දෙවි­යන්ට ළං වෙන්න පොලි­තින් පිටු­ද­කින යාප­නයේ මිනිස්සු | Page 3 | සිළුමිණ

දෙවි­යන්ට ළං වෙන්න පොලි­තින් පිටු­ද­කින යාප­නයේ මිනිස්සු

පේ රටේ පොලි­තීන් භාවි­තය තහ­නම් කළ යුතු බවට කතා බහ කරන්නේ අදක ඊයේක සිට නොවේ. ඒ වෙනු­වෙන් බර­ප­තළ නීති රීති සකසා පොලි­තීන් භාවි­තය ඉඳු­රාම තහ­නම් කෙරෙන දින වක­වානු ප්‍රකා­ශ­යට පත් කළද ඒ සිය­ල්ලම අබි­බවා සෑම තැන­කම පොලි­තීන් භාවිත වෙයි.

පොලි­තීන් භාවි­තය තහ­නම් කොට ඒ වෙනු­වට විවිධ ආදේ­ශ­ක­යන් මේ ජන සමා­ජ­යට හුරු පුරුදු කිරී­මට බොහෝ ආය­තන මෙන්ම සංවි­ධාන දැඩි වෙහෙ­සක් ගන්නා ලද නමුත් ඒ සිය­ල්ලම මාධ්‍ය සංද­ර්ශ­න­ව­ලට පම­ණක් සීමා විය.

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලය පොලි­තී­න්ව­ලින් තොර කලා­ප­යක් බවට නම් කෙරෙන්නේ අපේ රටේ දකුණේ පොලි­තීන් භාවි­තය පිළි­බඳ බොහෝ කති­කා­වන් සිදු වෙමින් පව­තින වක­වා­නු­ව­ක­දීය.

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලය තුළ වෙනත් තීන්දු තීරණ ගැනී­මට ගිය අව­ස්ථා­ව­ලදී ඒ තුළ මිනී මරා­ග­න්නට ගියද මේ පොලි­තීන් භාවි­තය තහ­නම් කිරී­මට ගත් තීර­ණ­ය­යේදී කිසිම ගැට­ලු­වක් උද්ගත නොවීය.

අගෝස්තු මාසයේ පහ­ළොස් වැනිදා සිට යාප­නය විශ්ව­වි­ද්‍යා­ලය පොලි­තීන් භාවි­ත­යෙන් තොර කලා­ප­යක් බවට නම් කිරී­මත් සමඟ යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ සිය­ලුම ආපන ශාලා තුළ කැපී පෙනෙන වෙන­සක් දක්නට ලැබිණි.

උදෑ­ස­නම ආහාර ගැනී­මට ගිය සියලු දෙනා­ටම යාප­නය විශ්ව විද්‍යා­ල­යීය ආපන ශාලා­වෙන් ලැබුණේ තඩිම තඩි නෙලුම් කොළ­යකි. සියලු ආහාර බෙදුණේ ඒ නෙලුම් කොළ­ය­ටය. මීට පෙර ලන්ච් ෂීට්ව­ලින් හා වෙනත් පොලි­තී­න්ව­ලින් පිරුණු යාප­නය විශ්ව විද්‍යා­ලයේ සෑම තැන­කම දක්නට ලැබුණේ නෙලුම් කොළය.

අද අපේ රටේ දකුණේ සෑම තැන­කම හතු පිපෙ­න්නාක් මෙන් ''නෙලුම් කොළේ බත් කඩ '' බිහි වූවද දෙමළ ජන­තා­වගේ සම්භ­වය සිදු වූ දා පටන් ඔවුන් බත් කෑවේත් අනෙක් කෑම අනු­භව කළේත් මේ නෙලුම් කොළ­ව­ලය. එසේත් නැති නම් කෙසෙල් කොළ­ව­ලය.

ඉන්දීය බ්‍රාහ්ම­ණ­ය­න්ගෙන් මේ සිරිත ඉන්දීය දෙමළ ජන­තා­වට සමීප වූයේ පිරි­සු­දු­කම මුල් කර­ගෙ­නය. කෙනෙකු අනු­භව කළ පිඟා­නක ආහාර අනු­භව කිරීම බ්‍රාහ්ම­ණ­යන්ගේ සිරිත නොවේ.

බ්‍රාහ්ම­ණ­යන් එදා සෙම්බු­වක හෝ කෙණ්ඩි­යක පම­ණක් දැමූ දිය පානය කළේද මේ පිරි­සු­දු­කම ආරක්ෂා කර­ගැ­නීම පිණි­සය. එසේ නැති අව­ස්ථා­ව­ලදී ඔවුහු දිය කඩි­ති­ව­ලට ගොස් දෝතට ගත් ජලය පානය කළහ.

වරක් ඉන්දී­යාවේ මහත්මා ගාන්ධි­තුමා යුරෝ­පයේ සංචා­රය කළ අව­ස්ථා­වක ඔහුට භෝජන සංග්‍ර­හ­යක් ලබා­දුන් රාජ්‍ය නාය­ක­යෙ­කුට ඔහු පවසා තිබුණේ අපේ රටේ ආහාර වේලෙන් වේලට පිඟාන මාරු කරන බවයි. භෝජන සංග්‍ර­හය අත­ර­තු­රදී ගාන්ධි­තුමා ඒ බව ප්‍රකාශ කළත් යුරෝ­පීය රාජ්‍ය නාය­කයා ඔහුට ඒ බව නෑසු­ණාක් මෙන් සිට ඇත්තේ ඔහුට එය තේරුම් නොගිය බැවිනි.

පසු කලෙක ඒ යුරෝ­පීය රාජ්‍ය නාය­කයා ඉන්දි­යා­වට පැමිණි අව­ස්ථා­වේදී මහත්මා ගාන්ධි තුමා භෝජන සංග්‍ර­හ­යක් සූදා­නම් කළ අව­ස්ථා­වේදී ඔහුට පිඟන් සපයා දුන්නද ගාන්ධි තුමා ආහාර අනු­භව කොට ඇත්තේ කෙසෙල් කොළේය. ගාන්දි තුමා කතාව මතක් කොට දීම­ටත් පෙර යුරෝ­පීය නාය­කයා විමසා ඇත්තේ ''ඔබ තුමා එදා කී පිඟන් මාරු කිරීම මෙය දැයි '' යනු­වෙන් පමණි.

මේසා විශාල දිගු ඉති­හා­ස­යක් ඇති පොලි­තීන් භාවිත නොකි­රීමේ හින්දු ක්‍රමය ඔවුන් විසින් අත­හැර පොලි­තීන් භාවි­ත­යට හුරු වූයේද ගෝලී­ය­ක­ර­ණය නිසාය. නමුත් එහි ආදී­නව දිනෙන් දින දක්නට ලැබෙන විට යළිත් ඉපැ­රණි ක්‍රම­ය­ටම ඔවුන්ට පැමි­ණී­මට සිදුව තිබේ.

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලය මේ නව අරු­තට මුහුණ දෙනු ලැබුවේ යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ මහා ශිෂ්‍ය සංග­ම­යත් සෙසු ශිෂ්‍ය සංගම් කීප­යත් ගන්නා ලද තීර­ණ­ව­ලට අනු­වය.

මාස­යක් වැනි කාල­යක් තුළදී සියලු දෙනාම ඊට කැමති කරවා ගැනී­මට හැකි වූ බව කියා සිටියේ යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ මහා ශිෂ්‍ය සංග­මයේ සභා­පති එස්.ක්‍රිෂා­න්තන්ය.

''මේ දේ කරන්න ඕනේ කියලා අද­හ­සක් ආවේ අපේ විශ්ව­වි­ද්‍යා­ලයේ පැවැ­ත්වුණු සංස්කෘ­තික උත්ස­ව­ය­කට පස්සේ දව­සෙයි.

ඒ උත්සවේ අව­සන් වෙලා උදේ බල­න­කොට මුළු පිට්ට­නිය පුරාම තිබුණේ පොලි­තීන් පිරිලා. ඒවා සුද්ද කරන්න වුණේ අපි­ට­මයි. ඒ ශ්‍රම­දා­නය කරන අත­ර­තුරේ තමයි අපි කතා වුණේ යාප­නය විශ්ව විද්‍යා­ලය පොලි­තී­න්ව­ලින් තොර කලා­ප­යක් කරන්න ඕනේ කියලා. මේකට ඔක්කොම වගේ කැමති වුණා. ඊට පස්සේ අපි ආචා­ර්ය­ව­රුන්ගේ සංග­මය එක්කත් කතා කළා. ඒ අයත් පීඨා­ධි­ප­ති­ව­ර­යාත් අනෙක් සේරම අයත් කැමති වුණා.

මේ වැඩ­පි­ළි­වෙ­ළේදී වැඩි­යෙන්ම කැමති වුණේ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ පිරි­සයි. මොකද ඒ අයට උදේට අතු ගාන්න ගියාම වැඩ ගොඩයි. හැම තැනම තියෙන්නේ පොලි­තීන්... ඒවා ඉද­ල්වල පැට­ලෙ­නවා. අතු ගාන්න හරිම අමා­රුයි.

අපි සේරම සංවි­ධා­නය වෙලා විශ්ව­වි­ද්‍යා­ලයේ ආපන ශාලා ඔක්කෝ­ටම මේ ගැන කිව්වා. කිසිම තැනක අපි දැන්වී­මක් දැම්මේ නෑ. ඔක්කොම කිව්වේ කටින් කට පණි­වුඩ ක්‍රම­ය­ටයි. අපේ සහෝ­දර සහෝ­ද­රි­ය­න්ටත් කිව්වා කෑම ගෙද­රින් ගේන­කොට නැවත පොලි­තී­න්වල ගේන්න එපා කියලා.

ඉතින් මේ විදි­හට තමයි මේ වැඩ පිළි­වෙළ ක්‍රියා­ත්මක වුණේ. දැන් වැඩේ ඉතා සාර්ථ­කව ක්‍රියාත්ම වෙනවා. ඉතින් සතු­ටුයි අපිට පුළු­වන් වුණා බුද්ධි­ම­තුන් විදි­හට ඉදිරි පර­ම්ප­රා­වට යමක් කරලා තියන්න. ඊළඟ පර­ම්ප­රා­ව­නුත් මේක තවත් සංව­ර්ධ­නය කරලා ඉදි­රි­යට ගෙනි­යන්න ගත්තම ඉබේම පරි­ස­රය ආරක්ෂා වෙනවා.’’

විශ්ව­වි­ද්‍යාල මහා ශිෂ්‍ය සංග­මයේ සභා­ප­ති­ව­රයා සමඟ ප්‍රවෘ­ත්ති­යට අදාළ දේ කතා කර­මින් එක් වරම යමක් මතක් වූවා සේ මෙසේ කීවේය.

''අපිට කලින් යාප­නයේ කෝවිල් කීප­ය­කම මේ පොලි­තීන් තහ­නම ක්‍රියා­ත්මක කර­නවා යැයි'' පැව­සු­වේය.

''ඒ කොහෙද?.” මම විම­සු­වෙමි. ඔහු කෝවිල් ගණ­නා­ව­කම නම් වට්ටෝ­රු­වක්ම කියා ගෙන ගියේය. ඔහු­ගෙන් ලබා­ගත් තොර­තුරු අනුව මම ක්‍රියා­ත්මක වුණෙමි.

යාප­නයේ වඩ­ම­රච්චි නැඟෙ­න­හිර ශ්‍රී සිත්ති වින­යා­ගර් කෝවිලේ ප්‍රධාන කුරු­ක්කල් සත්‍ය­වේල් කුමා­ර­ස්වා­මීගේ දුර­ක­තන අංක­යට මම ඇම­තු­මක් ලබා ගත්තෙමි. දුර­ක­ත­න­යට කුරු­ක්ක­ල්ව­රයා පිළි­තුරු දුන්නත් ඔහු සිටියේ මහා කංක­ර­ච්ච­ල­යක් ඇති තැන­කය.

''අපි මේ කෝවිල් උත්ස­ව­වල පොලි­තීන් පාවිච්චි කරන්න එපා කියලා කර­ත්ත­ව­ලින් ලොකූ පෙළ­පා­ළි­යක් යනවා . පස්සේ මට කතා කරන්න ''යනු­වෙන් පවසා ඔහු දුර­ක­ත­නය විසන්ධි කළත් ඒ චිත්‍රය මම මගේ මනසේ මවා ගන්නට උත්සහ කළෙමි.

කෙසේ වෙතත් රාත්‍රී අටට පමණ කුරු­ක්ක­ල්ව­ර­යාට කතා කළ විට ඔහු මා සමග කතා කළේ ඔහු­ගෙන් වර­දක් සිදුවූ ආකා­රයේ පශ්චා­ත්තා­ප­යෙනි..

''මේ අපේ කෝවි­ල්වල උත්සව කාලේ ඇවිල්ලා. ඉස්සර මේ කෝවිල් උත්සව වලට සිය­ලුම සැර­සිලි කළේ පොල් කොළ තල් කොළ මඩු අතු මල් පොකුරු විවිධ කොළ වර්ග හා ලණු වගේ දේව­ලි­නුයි.

දැන් එහෙම නෑ. හැම ඒක­ටම අරන් එන්නේ පොලි­තීන් රෝල් පිටින්. ඊට පස්සේ එවගේ ලස්ස­නක් තිබ්බට ගරු ගාම්භී­ර­ක­මක් නෑ. ඒ ඔක්කො­ටම වඩා දැන් මුළු ලෝකෙම අය කිය­න­වනේ මේ පොලි­තීන් පරි­ස­ර­යට අහි­ත­ක­රයි කියලා. ඒක නිසා අපිත් තීර­ණය කළා මේ කෝවිල් උත්ස­ව­ව­ලට මොනම හේතු­වක් නිසා­වත් පොලි­තීන් ගේන්න එපා කියලා මිනි­ස්සුන්ට කියන්න.

මේ පණි­වුඩේ අපි මිනි­ස්සුන්ට කිව්වේ කරත්ත පෝලි­මක ගිහි­ල්ලයි. පරි­ස­රය දුෂ­ණය වෙන නිසා අපි ලව්ඩ්ස්පී­කර් බැන්දෙත් නෑ. කරත්ත පෝලිම ගෙවල් ළඟ නතර කරලා මිනිස්සු ආවම අපි කටින් පණි­වුඩේ කිව්වා. තෙරුම් කර­ලත් දුන්නා.

අපේ කෝවිලේ උත්සවේ තියෙන්නේ අගෝස්තු මාසේ අගදී. ඒක නිසා අපි මේ කාලයේ කරන්නේ මිනි­ස්සුන්ව දැනු­වත් කරන එකයි. මේ තීර­ණය ගත්තේ යාප­නයේ එක කෝවි­ලක් නෙමෙයි. කෝවිල් ගණ­නා­ව­කම උද­විය මේ තීර­ණ­යට එකඟ වුණා.

අපි උත්සහ කර­නවා පුළු­වන් තරම් ලවු­ඩ්ස්පී­කර් භාවිතා නොකර ඉන්නත්. කෝවි­ල්වල මෝලම් (විශේෂ බෙර) නාද ස්වරම් (කෝවි­ල්වල පිඹින නලා විශේ­ෂ­යකි) මැදට ලවු­ඩ්ස්පී­කර් සද්දෙත් ආව­හම මිනි­ස්සුන්ට එපා වෙනවා.

මිනිස්සු පරි­ස­ර­යට ආසා කර­නවා වගේම දෙවි­යොත් පරි­ස­ර­යට ආදරේ කර­නවා කියලා අපේ ලොකූ විශ්වා­ස­යක් තිය­නවා. ඉර හඳ අව්ව වැස්ස ගස් ගල් පර්වත ලෝක­යට එක් කළේ මැව්වේ දෙවි­යන් කියලා හින්දූන් විශ්වාස කර­නවා. ඒක නිසා­මයි අපි ගොඩාක් පූජා­වල් සූර්යා මුල් කර­ගෙන පවත් වන්නේ. සූර්යා තමයි මේ ලෝකෙට හැම දේම බිහි කරන්නේ. ඒ හැම දේම පවත්වා ගෙන යන්නේත් සූර්යා­මයි. මේ සූර්යා­ටම ඒ හැම දෙයක්ම විනාශ කර­න්නත් ශක්ති­යක් තිය­නවා.

දෙවි­යන් කිය­න්නෙත් එහෙම කොට­සක් කියලා දහමේ උග­න්ව­නවා. දෙවි­යන් සතුටු වුණාම අපිට හොඳ ප්‍රති­ඵල ලැබෙ­නවා. දෙවි­යන් කෝප වුණාම නරක ප්‍රති­ඵල වගේම ඉතාම භයා­නක ප්‍රති­ඵල තමයි ලැබෙන්නේ. මේ නිසා දෙවි­යන් වෙනු­වෙන් කරන සියලු දේම පරි­ස­ර­යට හිත­කා­මීව කර­ගෙන යන්නයි අපි තීර­ණය කරලා තියෙන්නේ.

බලමු අපි දැන් අවු­රුදු ගාණක්ම පොලි­තීන් භාවිතා කළානේ. එව්වා භාවිතා නොක­රත් මේ කෝවිල් මංගල්ල කරලා බලන්න වටි­නවා. මොකද ඉස්සර මේ පොලි­තීන් තිබ්බේ නැහැ. අපූ­රු­වට කෝවිල් මංගල්ල කළා. දෙවි­යන්ගේ පිහි­ටත් එදා මිනි­ස්සුන්ට හොඳට ලැබුණා.

දැන් මිනිස්සු කියන්නේ දෙවියෝ නැහැ. දෙවි­ය­න්ගෙන් පිහි­ටක් නෑ කිය­ලයි. අපි ආයෙත් පැරණි විදි­හ­ටම වතා­වත් සැර­සිලි කරලා උත්සහ කර­න්නට ඕනේ දෙවි­ය­න්ගෙන් අපිට නැති වුණු පිහිට ලබා ගන්න.''

අප කතා කළ කුරු­ක්ක­ල්ව­ර­යාට අයත් කෝවිලේ වාර්ෂික මංග­ල්ලය තව­මත් පවත්වා නැති නිසා මේ දින­වල වාර්ෂික මංගල්ල පැවැ­ත්වෙන කෝවි­ලක් සෙවී­මට අප උත්සාහ කළේ ඔවුන් කට­යුතු කරන්නේ කුමන ආකා­ර­ය­කි­න්දැයි දැන ගැනීම පිණි­සය.

යාප­නයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංග­ල්ලය මේ දින­වල පැවැ­ත්වු­ණද එහි කිසිම වග­කිව යුතු කුරු­ක්ක­ල්ව­ර­යෙකු සමඟ කතා කිරී­මට නොහැ­කිය. ඔවුන් ඒ තර­ම­ටම කාර්ය බහු­ලය.

නමුත් යාප­නයේ චුන්නා­කම් පළාතේ පිහිටි කන්නගි අම්මාන් කෝවිලේ කුරු­ක්කල් පොන්න­යියා ඥාන­ප්‍ර­ගා­සම් කුරු­ක්ක­ල්ව­රයා සමඟ කතා කිරී­මට අව­ස්ථාව ලැබිණි.

කෝවිලේ සර­සිලි ඇතුළු සියලු දේ වඩ­ම­රච්චි කෝවිලේ කුරු­ක්ක­ල්ව­රයා කී ආකා­ර­ය­ටම චුන්නා­කම් කෝවිල විසින්ද පිළි­පැද තිබිණි. එහි වෙන­සක් වශ­යෙන් අපට දැක­ගැ­නී­මට ලැබුණේ යාප­නය විශ්ව විද්‍යා­ලයේ පොලි­තීන් තහ­නම නිසා සිදු වී ඇති හොඳ විප­ර්යා­සය මෙන් වූ වෙන­සකි.

''කෝවිලේ මංග­ල්ල­යේදී විවිධ වර්ගයේ කෑම බීම ලබා­දෙ­නවා. එළ­කිරි බොන්න දෙනවා. ඒ දෙවි­යන්ට පූජා කළාට පස්සෙයි. ඒ වගේම දෙවි­යන්ට පල­තුරු පූජා කරලා ඒවත් කන්න දෙනවා. කිරි­බත් දෙනවා. දවල්ට අන්නා දානය (දෙවි­යන් වෙනු­වෙන් කෑමට දෙන දානය) දෙනවා.

මේ හැම දේම ඉස්සර කාලේ දුන්නේ තල්කොළ පොල් කොළ­ව­ලින් වියපු වට්ටි­ව­ලට උඩින් නෙලුම් කොළ­යක් හරි කෙසෙල් කොළ­යක් හරි දාලයි. ඒත් මේ මෑතක සිට ඒ හැම දේම දෙන්නේ පොලි­තීන් ලන්ච් ෂීට්ව­ලයි.

කෝවි­ල්වල පොලි­තීන් තහ­නම් කරන්න ඕනේ කියලා කෝවිල් සංගම් තීර­ණය කළාට පස්සේ අපි මේ සැරේ පළමු වෙනි වතා­වට අන්නා දානය දෙන්නේ කෙසෙල් පර­ඬැ­ව­ලින් හදපු විශේෂ පිඟන් වලයි. ඒ පිඟාන කෑම කාලා කුනු­ව­ලට දැම්මම සති­යෙන් දිරලා පොළො­වට පස් වෙලා යනවා.

පරි­ස­ර­යට හිත­කර මේ කෙසෙල් පර­ඬැ­ල්ව­ලින් හදන පිඟාන හද­න්නෙත් යාප­න­යේ­මයි. ඉතින් මේකෙන් ඒ අයට කීයක් හරි අතට ලැබෙ­නවා. ඒ වගේම පරි­ස­ර­යට කිසිම හානි­ය­කුත් නැහැ. අපේ කෝවිලේ විත­රක් නෙමෙයි මේ අවු­රුද්දේ ඉඳලා යාප­නයේ ගොඩාක් කෝවි­ල්වල දානය දෙන්නේ කෙසෙල් පර­ඬැල් පිඟන් වලයි.

යාප­නයේ නල්ලූර් කෝවි­ලෙත් මේ සැරේ කිරි­බ­තුයි දාන­යයි දෙන්නේ කෙසෙල් කොළ­ව­ලයි. මේ දව­ස්වල පෑවිල්ල දරුණු නිසා කෙසෙල් කොළ නෙලුම් කොළ හොයා ගන්න අමා­රුයි. ඒක නිසා අපි මේ කෙසෙල් පර­ඬැල් පිඟාන තෝරා ගත්තා''

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ කැන්ටි­න්වල කෑම බෙදන්නේ නෙලුම් කොළ­යේය. යාප­නයේ කෝවි­ල්වල කන්නට දෙන්නේ විශේෂ පිඟ­න්ව­ලය. කෝවි­ල්වල උත්ස­ව­ව­ලට පොලි­තීන් නැත. ඉතාම කෙටි කාල­යක් තුළ සියල්ල වෙනස් වෙමින් පවතී. ඒ වෙනස් වීම වෙනස් වී ඇත්තේ පරි­ස­ර­ය­ටත් රට­ටත් ලෝක­ය­ටත් ඉතාම හිත­කර ආකා­ර­ය­ක­ටය.

මේ වෙනස් වීම සඳහා කව­රෙ­කු­ගෙන් හෝ කිසිදු බල­පෑ­මක් නැත. තම තමන්ගේ හිත්ව­ලට හද­ව­ත්ව­ලට අනා­ග­තය පිළි­බ­ඳව දැනුණු විශාල අව­දා­න­මක් නිසා ඔවුන් මන­සින්ම වෙනස් වී ඇත. එවැනි මිනිස්සු ඉතාම සුන්දර මිනිස්සු වෙති.

Comments