ගුවන් යානයේ වේග­ය­ටත් වැඩි වේග­යෙන් නඩේ­ෂන් පවුලේ ඉර­ණම විසැඳූ අධි­ක­රණ තීන්දුව | Page 3 | සිළුමිණ

ගුවන් යානයේ වේග­ය­ටත් වැඩි වේග­යෙන් නඩේ­ෂන් පවුලේ ඉර­ණම විසැඳූ අධි­ක­රණ තීන්දුව

 

මෙරට යුද සමයේ ආර­ක්ෂාව පතා විදේශ රට­ව­ලට සර­ණා­ග­ත­යන් ලෙස ගිය අය බොහෝය. 2012 - 2013 අතර කාලයේ නඩේ­ස­ලිං­ග­ම්ලාද, ප්‍රියා­ලාද සිය පවුල් සමඟ ගම්බිම් අත­හැර ඔස්ට්‍රේ­ලියා රජයේ ආර­ක්ෂාව පතා යන්නේ එවැනි පසු­බි­ම­කය. සර­ණා­ග­ත­යන් ලෙස ඔස්ට්‍රේ­ලි­යා­වට බෝට්ටු­ව­කින් ගිය මේ පවුල් කිහි­පය ඉන් අන­තු­රුව ජිවත් වී ඇත්තේ ඔස්ට්‍රේ­ලි­යාවේ ක්ව්නිස්ලන්ඩ් ප්‍රාන්තයේ 'බිලෝලා' නම් කුඩා නග­ර­යේය.

ඒ කුඩා ගමේ ජීවත් වු ශ්‍රි ලාංකික දමිළ පවුල් අතර වු හිත­ව­ත්කම හේතු­වෙන් නඩේ­ස­ලිං­ගම් හා ප්‍රියා විවාහ වන අතර අව­සා­නයේ මේ යුවළ 'ගෝපිකා' නම් වූ හතර හැවි­රිදි දිය­ණි­ය­ක­ගේද, 'ධරු­නිගා' නම් දෙහැ­වි­රිදි දිය­ණි­ය­ක­ගේද මවු­පියෝ වූහ. මේ දරු දෙදෙ­නාම උපත ලබා­ඇත්තේ ඔස්ට්‍රේ­ලි­යා­වේ­දීය.

සිය දරු­වන් සමඟ නිද­හසේ ජිවත් වී ඔස්ට්‍රේ­ලි­යාවේ සර­ණා­ග­ත­බව ඇයැ­දුම් කළ නඩේ­ස­ලිං­ගම් යුව­ළට පසු­ගි­යදා අපේක්ෂා නොකළ සිද්ධි­ය­කට මුහුණ දෙන්නට සිදු විණි. ඔස්ට්‍රේ­ලියා බල­ධා­රීන් විසින් පිටු­ව­හල් කරනු ලැබු නඩේ­ස­ලිං­ගම් පවුල, ගම­නා­න්ත­යට සැතැ­පුම් 3000කට පෙර ඉහළ අහ­සේදී ලැබුණු හදිසි අධි­ක­රණ නියෝ­ග­ය­කින් යළි ඔස්ට්‍රේ­ලි­යා­වට කැඳ­වා­ගැ­නී­මට ඔවුන් වෙනු­වෙන් පෙනී සිටි එරට නීති­වේ­දීහු මෙන්ම සමාජ ක්‍රියා­කා­රීහු සම­ත්වුහ.

ඒ කතා පුවත අති­ශය හැඟූ­ම්බර වන අතර, අධි­ක­රණ ඉති­හා­සයේ මෙතෙක් නොඇසූ සුවි­ශේෂි සිදු වීමක්ද වෙයි. ඔස්ට්‍රේ­ලි­යාවේ 'ක්වීන්ස්ලන්ඩ්' ප්‍රාන්තයේ පදිං­චිව සිටි එම පවුල පසු­ගිය මාර්තු මාසයේ බල­හ­ත්කා­ර­යෙන් රැඳ­වුම් මධ්‍ය­ස්ථා­න­ය­කට ගෙන යනු ලැබී­මත් සමඟ එම සිද්ධිය, ජාතික මට්ටමේ මහ­ජන විරෝ­ධ­යක් දක්වා විහිදී ගියේ ඒ පවුල කෙරේ එරට වැසි­යන් තුළ තිබු ආද­රය නිසාත් එරට බල­ධා­රින්ගේ අත්ත­නෝ­ම­තික ක්‍රියා­වන්ට විරෝ­ධය පෑමත් නිසාය. ඔවුන් ආපසු රැද­වුම් මධ්‍ය­ස්ථා­නය වෙත ගෙන එන මෙන් ඉදි­රි­පත් කෙරුණු මහ­ජන පෙත්ස­මට එක් ලක්ෂ විසි දහ­ස­කට අධික අස්සන් ප්‍රමා­ණ­යක් එක් වී තිබිණි.

නඩේ­ස­ලිං­ගම් පවුලේ සර­ණා­ගත අයැ­දු­ම්පත් පුළුල් සහ සවි­ත­රා­ත්මක මට්ට­මින් සලකා බලන ලද බවත්, ආග­මන -විග­මන නිල­ධා­රීන් විසින් එම අයැ­දු­ම්පත් ප්‍රති­ක්ෂේප කරනු ලැබ ඇති බවත් එරට ඔස්ට්‍රේ­ලියා ස්වදේශ කට­යුතු භාර ඇමති පීටර් ඩට්න් එරට මාධ්‍ය­යට ප්‍රකාශ කරද්දි එරට වැසි­ය­න්ගෙන් බල­ධා­රින්ට එල්ල වූයේ දැඩි විරෝ­ධ­තා­වකි.

සිය සර­ණා­ගත අයැ­දු­ම්පත් ප්‍රති­ක්ෂේප කරනු ලැබී­මට එරෙ­හිව මවු­පිය දෙපළ සහ වැඩි­ම­හල් දරුවා විසින් වරි­න්වර ඉදි­රි­පත් කරන ලද නෛතික අභි­යා­චනා ද මෑත අවස්ථා කීප­ය­ක­දීම ප්‍රති­ක්ෂේප කෙරිණි. කෙසේ වෙතත් තදින් සිටි බල­ධා­රීන් තීර­ණය කළේ එම දමිළ පවුල සර­ණා­ග­ත­යන් නොවන හෙයින් ඔවුන් වහා පිටු­ව­හල් කළ යුතු බවය.

අගෝස්තු 29 වැනිදා රාත්‍රිය මෙල්බෝර්න් ගුවන් තොටු­පොළ තර­මක් උණු­සුම් විය. ඔවුන්ගේ පිටු­ව­හල් කිරී­මට විරෝ­ධය පාමින් ඒ වන විටත් විරෝ­ධ­තා­ක­රුවෝ ගුවන් තොටු­ප­ළට එක් වෙමින් සිටි­යහ. මෙහිදි නඩේ­ස­ලිං­ගම්ගේ පවුල ගුවන් තොටු­ප­ළට ගෙනැ­විත් ඇත්තේ වෑන් රථ දෙක­කිනි. නඩේ­ස­ලිං­ගම් හා දරු දෙදෙනා ගුවන් යානය තුළට ගෙන ආවත් මව ඊට ගොඩ වීම ප්‍රති­ක්ෂේප කර ඇත. දරු­වන් දෙදෙනා හඬ­මින් ගුවන් යානයේ අසුන් ගත් පසු මව ඊට නංවා ඇත්තේ බල­හ­ත්කා­ර­යෙනි.

ඔස්ට්‍රේ­ලියා වේලා­වෙන් 29 වැනිදා රාත්‍රි 11ට නඩේ­ස­ලිං­ගම් පවුල රැගත් ගුවන් යානය ගුව­න්ගත විය. එහෙත් සියල්ල කණ­පිට පෙර­ළෙ­න්නට වුයේ සුළු මෙහෙ­තෙකි. නඩේ­ස­ලිං­ගම් පවුල රැගත් ගුවන් යානය ගුව­න්ගත වී කිලෝ මීටර් 3000 සිමාව ඉක්ම විය. ගුවන් යාන­යට වඩා වැඩි වෙග­යෙන් ක්‍රියා­ත්මක වූ ෆෙඩ­රල් අධි­ක­ර­ණය සිය තීන්දුව ප්‍රකා­ශ­යට පත් කළා පම­ණක් නොව කිලෝ මිටර් 3000 ක් දුර ඉහළ අහසේ පියා­සර කර­මින් තිබූ යානය වහාම ගොඩ බැස්ස­වී­මට විනි­සු­රු­ව­රයා නියෝග කළේය. ඒ දෙහැ­වි­රිදි 'ධරු­නිගා' දිය­ණිය පිටු­ව­හල් කරනු ලැබීම සම්බ­න්ධ­යෙන් එරට නීති­වේ­දින් නීති­මය කරුණු උප­ක්‍ර­ම­ශී­ලිව අධි­ක­ර­ණයේ ගොනු කර තිබී­මය.

ඔස්ට්‍රේ­ලියා වේලා­වෙන් පාන්දර 3ට පමණ යානය නැඟෙ­න­හිර ඔස්ට්‍රේ­ලි­යාවේ ඩාර්වින් (Darwin) නග­ර­යට ගොඩ­බ­ස්වනු ලැබීය. අධි­ක­රණ ඉති­හා­සයේ පම­ණක් නොව ගුවන් සේවා ඉති­හා­ස­යේද එවැනි පුව­තක් අස­න්නට ලැබුණු ප්‍රථම අව­ස්ථාව මෙය වෙයි.

ඔස්ට්‍රේ­ලියා අධි­ක­ර­ණය ඒ තහ­නම් ආඥාව ලබා­දෙන ලද්දේ ඔවුන්ගේ කුඩා දිය­ණිය 'ධරු­නිගා' වෙනු­වෙනි. පිටු­ව­හ­ල්බව තාව­කා­ලි­කව ඉවත් වුවද ඒ පවු­ලට තව­මත් සහ­න­යක් ලැබී නැත. එම අධි­ක­රණ නියෝ­ගය ඇයගේ පවුලේ සෙසු අය­ටත් අදාළ කිරී­මට අධි­ක­ර­ණය ක්‍රියා කරා­විද? එසේ නොවු­ව­හොත් 'ධරු­නිගා' දිය­ණි­යට මව­ගෙන් හා පියා­ගෙන් වෙන් වී ඔස්ට්‍රේ­ලි­යාවේ තනි වීමට සිදු වේද? එරට නීති­වේ­දින් පෙන්වා දෙන්නේ එසේ සිදු­වු­ව­හොත් එය ඉතා අමා­නු­ෂික ක්‍රියා­වක් වන බවයි.

මේ අව­ස්ථාවේ අධි­ක­ර­ණය නඩේ­ස­ලිං­ගම් පවුල වෙනු­වෙන් මානු­ෂික තීන්දු­වක් දෙනු ඇතැයි එරට වැසි­යන්ගේ බලා­පො­රො­ත්තුව වෙයි. ඇයගේ පවුලේ සෙසු සාමා­ජි­ක­ය­න්ටත් ඔස්ට්‍රේ­ලි­යාවේ ජීවත් වීමේ අව­ස්ථාව ලබා­දෙනු ඇතැයි තවත් පිරි­සක් අපේක්ෂා කරති. මේ වන විට නඩේ­ස­ලිං­ගම් පවු­ල­වෙ­නු­වෙන් එරට හිත්පිත් ඇත්තන්ගේ සිත් බොහෝ උණු වී ඇත. එරට විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් මෙන්ම සංක්‍ර­මණ භාර ඇමැති ඩේවිඩ් කෝල්මන් පවා ආයා­චනා කර ඇත්තේ ඒ පවුල වෙනු­වෙන් සානු­ක­ම්පිත වන ලෙසයි.

(තොර­තුරු, ඡායා­රූප බී.බී.සී පුවත් ඇසු­රෙනි)

Comments