වේදිකාවේ දැවැන්ත වෘක්ෂය | සිළුමිණ

වේදිකාවේ දැවැන්ත වෘක්ෂය

ප්‍රවීණ රංගවේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය ප්‍රසන්නජිත් අ‍බේසූරිය ලියූ සෝමලතා සුභසිංහ රංග කලා කාර්ය සාධනය දොරට වැඩුම 10 වැනිදා

ඇය අපෙන් සමුගෙන කාලයක් ගත වුවද ඇගේ නම තවමත් අප අතර ජීවමානය.වේදිකාවේ සදාතනික මතකයක් ඉතිරි කළ සෝමලතා සුභසිංහ, නාට්‍ය වේදිනියක, නාට්‍ය නිෂ්පාදිකාවක, අධ්‍යක්ෂකවරියක ලෙස ක්ෂේත්‍රයට බිහිකළ ගෝල බාලයින් අද කැපී පෙනෙන චරිත. ප්‍රවීණ රංගවේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය ප්‍රසන්නජිත් අ‍බේසූරියද ඒ අතර ඉදිරියෙන්ම සිටියි. මේ දිනවල ඔහු තම ඇදුරුතුමියට කෘත ගුණ දක්වනු වස් ග්‍රන්ථයක් එළිදක්වන්නට සූදානම් වෙයි. මේ, ඒ පිළිබඳ කළ කතා බහකි.

කෘතිය ගැන මුලින්ම කතා කරමු?

මේ ග්‍රන්ථය නම් කර තියෙන්නේ"සෝමලතා සුභසිංහ රංග කලා කාර්ය සාධනය'නමින්. එතුමියගේ නිර්මාණ සහ කලා කටයුතු පිළිබඳ විචාරාත්මක ඇගැයීමක් මෙහි අන්තර්ගත වෙලා තියෙන්නෙ.

කවදාද මේ සුබ කටයුත්ත සිදු වෙන්නෙ?

සැප්තැම්බර් 10 සවස 4.30ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පනීභාරත ශාලාවේදී තමයි මේ කටයුත්ත සිදුවෙන්නෙ. සාකච්ඡා මට්ටමින් සූදානම් කර ඇති මේ වැඩසටහන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ විශේෂ කතාවකින්ද සමන්විතයි. මෙහිදී ‍සෝමලතා සුභසිංහගේ නාට්‍ය කණ්ඩායම සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ද තිබෙනවා. ඊට අමතරව එතුමියගේ සමකාලිනව හිටපු ප්‍රවීණයන් විශාල පිරිසක් මේ උත්සවයට සහභාගී වෙනවා.‍ දේශනවලින් තොර සංවාදත්මක සාකච්ඡාවක් විදිහට තමයි මෙය සිදුවෙන්නෙ.ඕනෑම කෙනකුට නිදහසේ තම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තියෙනවා.

ගුරුතුමියකට ගෝල‍යකු දක්වන උපහාරයක්ද මේ?

ඔව්. මවකගේ සංග්‍රාමය කියන නාට්‍ය හැර එතුමියගේ හැම නාට්‍යකම මම රඟපාලා තියෙනවා. රංග වස්ත්‍ර නිර්මාණයෙන් දායක වෙලා තියෙනවා. මෙරට වගේම විදෙස් රටවල පැවැති නාට්‍ය වැඩමුළු සඳහා මම සම්බන්ධ වෙලා බොහෝ දේවල් ඉගෙන ගත්තේ ඇය නිසයි.

ඉතිං මම හිතන්නේ ගෝලයෙක් විදිහට ගුරුවරයකුට කළ හැකි ලොකුම උපහාරය ගුරුවරයාගෙන් ඉගෙන ගත් දර්ශනය තවත් පරපුරකට ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාම සහ ඒ දේවල් ඉදිරි පරම්පරාවට ඉගැන්වීමයි. ඒ අනුව මූලිකවම මම මේ ග්‍රන්ථය රචනා කරන්නෙ. ඇය කළ මෙහෙවර පිළිබඳත්, ඇගේ කලා කටයුතු පිළිබඳත් අද ඉන්න නව පරපුරේ ඇතැමෙක් දන්නෙ නැහැ.

ඇයව කොහොමද ඔබට මුලින්ම මුණගැසෙන්නෙ?

එතුමිය පිළිබඳ එතුමියගේ නිර්මාණ ගැන දැනගත්තත්, 1976 වසරේ සිට නාට්‍ය කලාවට මම සම්බන්ධවෙලා හිටියත්, 1987, 1988 දි සංස්කෘතික අමාත්‍යාංශයෙන් කරන රාජ්‍ය රංග කලා ආයතනයට බැඳුනට පසුව තමයි මට සෝමලතා සුභසිංහ ගුරුතුමියව මුණැහෙන්නෙ. පෞද්ගලිකව ඇයව හඳුනා ගන්නේ එතැනදි.

ගුරුවරයෙකු විදිහට ඇය ඔබට සුවිශේෂි වන්නේ කොහොමද?

ඒ සඳහා කෙටියෙන්ම ලබා දිය හැකි පිළිතුර රංගන ශිල්පයකු මෙන්ම ගුරුවරයකු විදිහට මම කටයුතු කරනවා නම් ඒ සියල්ලෙහි 'මොළය' සෝමලතා සුභසිංහ මහත්මියයි.

ඇය විවිධ ක්ෂේත්‍රවලට දක්ෂ සිසු පරපුරක් බිහිකළ රංගන ආචාර්යවරියක්?

ඇත්තටම මම වගේම දක්ෂ රංගන ශිල්පි, ශිල්පිනියන්, නාට්‍ය අධ්‍යක්ෂවරු, නාට්‍ය රචකයන්, වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු බවට පත්වෙලා ඉන්න බොහොමයක් පිරිස එතුමියගෙන් ඉගෙන ගත් අය. ලංකාවේ ඕනෑම නිර්මාණයක් ගත හොත් සෝමලතා සුබසිංහගෙන් ඉගෙනගත් කෙනෙක් නැති තරම්. නම් වශයෙන් කියන්නට ගියොත් කෙළවරක් නැති වෙයි. චාන්දනී සෙනවිරත්න, නාමල් ජයසිංහ, නදී කම්මැල්ලවීර, ප්‍රදීපා ධර්මදාස, ප්‍රියංකර රත්නායක, කෞශල්‍යා ප්‍රනාන්දු වැනි වේදිකාව සිනමාව ජයගත් විශාල පිරිසක් ඉන්නවා.

එතුමිය නැති අඩුව කොහොමද ක්ෂේත්‍රයට දැනෙන්නෙ?

ඇගේ වියෝව ලොකු අඩුවක්.සෝමලතා සුබසිංහ කියන්නේ විශාල ඵල ලබා දුන් දැවැන්ත වෘක්ෂයක්.ඇය නැති අඩුව පිරිමහන්න බෑ. ඒ දැනුම, ඒ පුහුණුව ඒ අත්දැකීම, හැමෝටම කරන්නට බැ. අද පරපුර සහ එදා පරපුර ගොඩක් වෙනස්. සිංහල නාට්‍ය කලාව අද තියෙන තත්ත්වයට ‍ගේන්න ඇය ගොඩක් මහන්සි වුණා, කැපකිරීම් සහ පර්යේෂණ කළා. අද තියෙන ආකල්ප අරමුණු ගොඩක් වෙනස්. ඒත් මම කියන්නෙ අපි පුළුවන් තරම් නව දැනුම හොයා යමින් ඒවා නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට යොදා ගැනීමට උත්සාහ ගත යුතුයි. එයට හොදම උදාහරණය සෝමලතා සුබසිංහ මහත්මියයි.

Comments