මහ පාරේ සිට බොලිවුඩයට ගිය රානු මොන්ඩාල් | Page 2 | සිළුමිණ

මහ පාරේ සිට බොලිවුඩයට ගිය රානු මොන්ඩාල්

දුගී දුප්පත්කම  කරපින්නා ගත්ත ද  ජීවිතය අත්හරින්නට කිසිවිට නො සිතන්න.  ඔබ නො සිතන  මොහොතක ජීවිතයේ සැබෑ අරුත හිමිවනු ඇතිබවත් දුටු සිහින යථාර්ථයක් වන  බවත් සිතට ගන්න.  ඒ වෙනුවෙන් කැප වෙන්න. කිසිවක්  අත්හරින්නට එපා. රානුගේ කතාව අපට කියන්නේ එයයි.

කාර්යබහුල වූ සමාජයක දී වූවද මිනිස් වෙසින් දෙවියන් කොහේ හෝ සිටිය හැකියි. උපතින් කතෝලික  බැතිමතියක වූ රානු  විඳි දුක දැක්කේ ද  දෙවියන් පමණි.  දැන් රානු දුක්වින්දා  ඇති යැයි දෙවියන්ට ද සිතෙන්නට ඇත.  ඒ නිසාම ඇගේ  ලයාන්විත හඬින්  වශී වූ තරුණයකු  මිනිස්වෙසින් දෙවියන්  ඈ ඉදිරියට එව්වාය. අද ඇගේ කළමනාකරු වී හිඳින අතීන්ද්‍ර චක්‍රවර්ති  මිනිස් වෙස්ගත් දෙවියා විය.

ජීවිතය පුදුමාකාරය. එය මොනතරම් පුදුම ද කිවහොත් මහ මඟ සිඟමන් යදිමින් සිටි ළඳක් හිටි හැටියේ ගමක්, නගරයක්, රටක් නොව ලෝකයම වසඟයට ගත්තාය. ඒ වෙන කිසිවකින් නොව ඇගේ මනමෝහිනීය හඬිනි. ඈ අද ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක බවට පත්වී හිඳින රානු මොන්ඩාල් බව ඔබත් දනී.

එසේ නම් සාර්ථකත්වය කුමන මොහොතක කෙලෙසින් උදාවේදැයි කිසිවකුට අනාවැකි කිවහැකි නොවේ. මේ කියවන ඔබට ද මේ සාර්ථකත්වය එලෙසම උදාවිය හැකියි. ඒ නිසා ජීවිතය පිළිබඳ විශ්වාසය තබන්න. ඒ විශ්වාසය පෙරදැරිකරගෙන ඉදිරියට යන්න.

බොහෝ දුප්පත් පවුලක දියණියක ලෙසින් රානු මාරියා මෙලොවට බිහිවන්නේ 1960 නොවැම්බර් 05 වැනිදාය. ඒ බටහිර බෙංගාලයේ නාඩියා දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණනගර් අසල කාර්තික්පාරා නම් ගම්මානයේ දුප්පත් වෙළෙන්දකු වූ ආදිත්‍ය කුමාර්ට දාවය. ළදරු වයසේ දීම මාපියන් මියයාම නිසා මාපිය සෙනෙහස අහිමිවන මේ දියණියගේ භාරකාරත්වය පැවැරෙන්නේ නැන්දණියක් වෙතයි. දුප්පත්කම කරපින්නාගෙන උපන්න ද දෙවියන්ගේ ආශිර්වාදයක් ලෙසින් ඈ සතුව මිහිරි හඬක් තිබුණි.

මේ නිසාම කුඩා කල සිට සංගීතයට පෙම් බැන්ද ද ඒ වෙනුවෙන් අතහිත දෙන්නට කෙනෙක් ඇයට සිටියේ නැත. කුඩා කල සිටම තනිව සිංදු කියමින් තමන්ම සංගීතය හැදෑරුව ද එ පිළිබඳ විධිමත් පුහුණුවක් ලබන්නට මඟක් නොවීය.

ඇගේ හැකියාව වෙනුවෙන් අත දෙන්නට කෙනෙක් සිටියේ ද නැත. සියල්ලෝම ඇයට සිනා සුණා පමණි.

කාලය ගෙවිණි. මාපියන් අහිමි මේ දියණිය යාන්තම් 19 වැනි වියට පිවිසෙත්ම විවාහ කරදෙන්නට ඇගේ නැන්දා කටයුතු කළාය. ඒ 1979 වසරයි. දුප්පත්කමත් නූගත්කමත් පිරුණු පරිසරයක මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට ද බැරිය. එපමණක් නොව ඉන්දියාවේ බොහෝ පළාත්වල සිදුවන්නේ මෙවැනි හිරිමල් වියේ දීම දියණියන් විවාහකර දීමයි.

නොඑසේ නම් මීටත් අඩු වයසින් බොහෝ ඉන්දියානු දියණියෝ කුලගෙට පිවිසෙති. වැඩිහිටියන්ගේ කැමැත්තට මිස ඇගේ කැමැත්තට කිසිවක් සිදුවන්නේ නැත. ඇගේ සැමියා බාබුල් මොන්ඩාල් ය. විවාහයෙන් ඇයට ලැබුණු එකම දායදය දියණියකගේ මවක් වීමට අවස්ථාව උදාවීමයි. අවාසනාව තව දුරටත් ඇය සමඟ බව පසක් කරමින් 1981 දී ඇගේ සැමියා දිවි ගමනින් සමුගත්තාය. ඉදින් ඈ ඉතා අඩු වයසින්ම කණවැන්දුම් විය. දුක්මහන්සියෙන් උස්මහත් කළ දියණිය විවාහකර දුන්නාය. එක් දරු මවක් වන දියණිය කලකට පසු සිය සැමියාගෙන් දික්කසාද විය.

ඇය කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යමින් ජීවිතය සරි කරගත්තාය. ඇයට බරක් සේ සලකා මව අතහැර දැම්මාය. ඉන්පසු දස වසරක්ම ඈ ජීවිතය ජීවත් කරවන්නට අපමණ දුකක් වින්දාය. අද ඒ දියණිය රානු සොයාගෙන පැමිණ තිබේ. ඇය ස්වාතිය.

රානු ජීවත් වීම සඳහා සිය මිහිරි හඬ ප්‍රයෝජනයට ගනිමින් මහ මඟ ගී ගැයුවාය. ඇගේ ගී කොතරම් මිහිරි වී ද ඒ මිහිරිබව හොයන්නට කවුරුත් උත්සාහ කළේ නැත. අනුකම්පාවක් උපන්නොත් එක්කෙනෙක් දෙන්නෙක් කාසියක් දෙකක් ඈ ඉදිරියේ දමා ගියාය.

මේ මුදල ඇගේ දිවිය යන්තම් ගැටගහ ගන්නට පමණක් ප්‍රමාණවත් විය. කුසට අහරක් වැටුණූ වාර ගණනට වඩා නො වැටුණූ වාර ගණන වැඩි විය. සිය ජීවිතයේ අවාසනාව පිළිබඳ නෙතට කඳුළු ඉනුව ඒවා ඔහේ ගලන්නට ඉඩහැර ඈ සිය ජීවිතය හෙව්වාය. අවසන් වරට ඈ බටහිර බෙන්ගාලයේ රණඝාට් දුම්රිය ස්ථානයට වී කවුරුත් කීයක් හෝ දේවි යැයි සිතමින් සුපුරුදු ලෙසින්ම සිය මිහිරි හඩ අවදි කළාය.

බලාපොරොත්තු මොනතරම් තිබුණ ද ඒවා එකක්වත් ඉටු වූයේ නැත. නමුත් ඈ ඒ කිසිවකට දෙවැනි නොවන්නට සිය මිහිරි හඬ හැමදාමත් අවදි කළාය. දුක හංගාගෙන මිහිරි හඬින් ගී ගැයුවාය.

කාර්යබහුල වූ සමාජයක දී වූවද මිනිස් වෙසින් දෙවියන් කොහේ හෝ සිටිය හැකියි. උපතින් කතෝලික බැතිමතියක වූ රානු විඳි දුක දැක්කේ ද දෙවියන් පමණි. ද

ැන් රානු දුක්වින්දා ඇති යැයි දෙවියන්ට ද සිතෙන්නට ඇත.

ඒ නිසාම ඇගේ ලයාන්විත හඬින් වශී වූ තරුණයකු මිනිස්වෙසින් දෙවියන් ඈ ඉදිරියට එව්වාය. අද ඇගේ කළමනාකරු වී හිඳින අතීන්ද්‍ර චක්‍රවර්ති මිනිස් වෙස්ගත් දෙවියා විය.

මෘදුකාංග ඉංජිනේරුවකු වූ ඔහු රණඝාට් දුම්රිය ස්ථානය හරහා ගමන් කිරීමේ දී ළඳකගේ ඉතාමත් මිහිරි හඬක් සවනත වැකිණි. මෙලෙස මිහිරි හඬින් ගී ගයන්නේ කවුරුන්දැයි සෙවීමට යන ගමන පසෙක තබා ඔහු උත්සුක විය. කෙස් ඉදුණ, මහලු කාන්තාවක් දුම්රිය ස්ථායේ කුලුනකට බර දී මොහොමඩ් රාෆිගේ සින්දුවක් ඇගේ මන මෝහනීය හඬින් ගයමින් සිටියාය.

ගීය අවසන් වූ පසු ඈ අසලට කිට්ටු වූ අතින්ද්‍ර, භාරත ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර්ගේ ගීයක් ගයන්නට ඇරියුම් කළේය. ඔහුගේ ඇරියුම පිළිගත් ඈ ‘ඒක් ප්යාර් කා නාග්මා හායි’ ගයන්ට වූවාය. ඒ හඬ මොනතරම් ලයාන්විත දැයි සිතූ ඔහු සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කර සිය ෆේස්බුක් ගිණුමට එක්කළාය. ඒ 2019 ජූලි මාසයේ දී ය.

එය මොනතරම් ජනප්‍රිය වී ද යත් සෝනි රූපවාහිනියේ විකාශය වන ‘සුපර් ස්ටාර් සිංගර්’ වැඩසටහනේ ගී ගැයීමට ඇයට ආරාධනා ලැබුණි. එහි විනිශ්චයකරුවකු ලෙසින් කටයුතු කළ ගායකයකු, නළුවකු, සංගීතවේදියකු, චිත්‍රපට නිෂ්පාදකයකු, ගීත රචකයකු මෙන්ම චිත්‍රපට බෙදාහරින්නකු ද වූ හිමාෂ් රේෂාමියා ඇගේ හඬට මොනතරම් වශී වූයේ ද කියතොත්, කොතරම් පැහැදීමක් ඇති වූවාද යත්, වහාම ඉදිරියේ දී ප්‍රදර්ශනය වීමට තිබෙන ඔහුගේ චිත්‍රපටයක් වන ‘හැපී හාඩි ඇන්ඩ් හියර්’ සඳහා ගීත දෙකක් ගැයීමට ඇයට අවස්ථාව දුන්නාය. ඒ ගීත ඈ ගැයුවේ ඔහු සමඟය. එහි සංගීත අධ්‍යක්ෂවරයා ද හිමාෂ්ය. ඔහු ඇයට සහාය වෙමින් ගීතය පටිගත කරන තුරුම ඇය අසලට වී සිටියාය.

දුම්රිය ස්ථානයක හපුටු, වැරහැලි වූ ඇඳුමින් ගී ගැයූ රානු හැඩ කරන්නට රූපලාවණ්‍ය ආයතනයක් ද ඉදිරිපත් වී නොමිලයේම ඒ කර්තව්‍යය කර දුන්නේය. ඇගේ සුදු වූ කෙස් ගස් කළු විය. දෙතොල මත ලිප්ස්ටික් තැවරුණි. කොණ්ඩය මෝස්තරයකට කපා සැකසුණි. නළලත තිලකයක් බබලන්නට විය. දෑතේ සහ දෙපයේ නිය මත කියුටෙක්ස් ගැල්විණි. ගත දැවටුණේ වටිනා සාරියකිනි. මේ අර දුම්රිය පොළේ ගී ගැයූ දුප්පත් රානු ද යන වග හඳුනාගන්නට ද බැරි තරම්ය.

තමන් අතැර දැමූ මවගේ ජනප්‍රියත්වය දුටු දියණිය ද වසර දහයකට පසු ඈට ළං විය. දියණියගේ සෙනෙහස කුමක් වුවත් මවු සෙනෙහසේ බලමහිමය නිසා දියණිය හමු වූ මොහොතේ ඇගේ දෙනෙතින් ගලන්නට වූයේ සතුටට ගැලූ කඳුළු කැටය. වසර පණස් නවයක්ම එකසේ දුක රස බැලූ රානුට අවසානයේ දී සිය අරමුණ සැබෑ කරගන්නට අවස්ථාව උදාවිය. දුටු සිහින සැබෑ විය. අද ඇගේ දෙනෙතේ නළියන්නේ සතුටු කඳුළුය.

ඉදිරියේ දී ඇය කල්කටා වේ පිහිටි සමාජ ශාලාවක් සඳහා දුර්ගා පූජා තේමා ගීතයක් ගායනා කිරීමට නියමිත බවත්, තවම අවසන් කර නොමැති අක්ෂේ කුමාර්ගේ චිත්‍රපටයක් සඳහා ගීතයක් ගායනා කිරීමට නියමිත බවත් තතු දන්නෝ පවසති. මේ දක්වා ඇය සංගීතවේදීන් වන හිමේෂ් රේෂාමියා සහ සංඛර් සමඟ වැඩ කර ඇත.

සුපිරි නළු සල්මාන් ඛාන් විසින් ඇයට නිවෙසක් තිළිණ කළ බව පැවසෙතත් සමහරුන් පවසන්නේ එය අසත්‍ය ප්‍රචාරයක් බවයි. රානුගේ කළමනාකරු වන රානුව සොයාගත් අතින්ද්‍ර පවසන්නේ සල්මාන් ඛාන් රානුට නිවෙසක් ලබා නොදුන් බවයි. එය බොරු පුවතක් බවයි. එමෙන්ම හිමේෂ්ගෙන් විශාල මුදලක් නොලැබුණ බවයි. එහෙත් ඔහු ඇයට අවශ්‍ය ගමන්බිමන් පහසුකම් සලසා තිබේ. නමුත් සෝනු නිගම් ගේ කාර්යාලයෙන් මෙන්ම ඒ. ආර්. රහ්මන්ගේ කාර්යාලායන් ද ඇයට ඇරියුම් ලැබී තිබේ. එමෙන්ම දෙමළ, තෙළිඟු ආදී දකුණේ සිනමාවෙන් මෙන්ම බොලිවුඩයෙන් ද ඇයට ආරාධනා ලැබී ඇත. දැන් අතින්ද්‍ර වෙහෙසෙන්නේ එම අවස්ථාවලට රානු සම්බන්ධ කිරීමටයි.

රානුට ඉදිරියට එන්නට අවස්ථාව සලසා දුන් හිමේෂ් ඒ පිළිබඳ කියා ඇත්තේ මෙවැන්නකි.

“සල්මාන් ඛාන්ගේ පියා වූ සලීම් මාමා වරක් මට උපදෙස් දුන්නේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම දක්ෂ පුද්ගලයකු හමු වූ විට, ඔහු/ඇය අතැර නොදමා එම පුද්ගලයාට ඔහුගේ/ඇයගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට උදව් කරන ලෙසයි. අද මට රානුජි මුණගැසුණා. ඇයට දෙවියන් ආශීර්වාද කර ඇති බවයි මට හැඟෙන්නේ. ඇගේ හඬ විස්මිතයි. ඒ නිසාම මට හැකි උපරිමයෙන් ඇයට උපකාර කරන්නට සිතුවා. ඇයට දෙවියන් දීලා තියෙන්නේ අපූරු තෑග්ගක්. එය ලෝකය සමඟ බෙදාගත යුතුයි.ඒ හින්දා මගේ 'හැපි හාඩි ඇන්ඩ් හියර්' චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීමට ඇයට අවස්ථාව ලබා දුන්නා.” රානු එම සිනමාපටය වෙනුවෙන් හිමේෂ් සමඟ ‘තෙරී මේරි කහානි’ හා ‘ආදත්’ නම් ගීත දෙකක් ගායනා කළා. මෙහි කොටසක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඒ සඳහා ඇත්තේ වඩාත් සුවිශේෂ වූ එදා මෙදා නොවූ ඉල්ලුමකි. අද ඇයට වේදිකා මත ගී ගැයීමට හොඳ ඉල්ලුමක් ඇත. ක්‍රමයෙන් පසුබිම් ගායනයට චිත්‍රපට ද හිමිවනු ඇත. ඉදින් මේ උදාවී ඇත්තේ ඇගේ ජීවිතයේ වසන්තයයි.

එසේනම් ඔබ ද දුගී දුප්පත්කම කරපින්නා ගත්ත ද ජීවිතය අත්හරින්නට කිසිවිට නො සිතන්න. ඔබ නො සිතන මොහොතක ජීවිතයේ සැබෑ අරුත හිමිවනු ඇතිබවත් දුටු සිහින යථාර්ථයක් වන බවත් සිතට ගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. කිසිවක් අත්හරින්නට එපා. රානුගේ කතාව අපට කියන්නේ එයයි.

අන්තර්ජාලයෙනි

Comments