කාල කළමනාකරණය මගේ දියුණුවේ රහසයි | Page 2 | සිළුමිණ

කාල කළමනාකරණය මගේ දියුණුවේ රහසයි

කලක් පුංචි තිරයේ අහිංසකාව ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනි නයනා කුමාරි පසු කලෙකදි රූපලාවණ්‍ය ශිල්පිනිය ලෙස ද ජනප්‍රියත්වයට පත් වූවා ය. මෑතක සිට ඇය පුංචි තිරයේ දකින්නට නොලැබුණු නිසා ම ඇය හා කතා කතාබහකට අප සම්බන්ධ වුණා.

මගේ සැලොන් සහ ඇකඩමි එකෙන් ලංකාවේ තැන් 25ක එක් දින වැඩමුළු පවත්වනවා. පළමු වැඩමුළුව සැප්තැම්බර් 15 මාතර සණස සංවර්ධන බැංකු ශාලාවේ පැවැත්වෙනවා. මමයි ගයත්‍රියි තමයි මේ වැඩමුළු කරන්නේ. මනාලියන් හැඩ ගැන්වීමේ ඩිප්ලෝමා පාඨමාලාවත් මාතර සහ කුරුණෑගලදී ළඟදීම ඇරඹෙනවා.

රංගනයෙන් බොහෝ ඈත් වෙලා නේද?

ඔව්. ඇත්තටම ගොඩාක් අයින් වෙලා ඉන්නේ.

කලාවෙන් ගොඩ යන්න බැහැයි කියලා හිතුණද?

මම කලාවෙන් හොඳටම ගොඩ ගිය කෙනෙක්. අවුරුදු 14 දි කලාවට ඇවිත් මේ වෙද්දි චරිත ගණනාවක් ඔස්සේ ටෙලි නාට්‍ය 250කට ආසන්න සංඛ්‍යාවක් රඟපා තිබෙනවා. මම රංගනය ගැන හොඳ අධ්‍යනයකින් පුංචි තිරයට ආ කෙනෙක්. දැනටත් වේදිකාවට ගොඩක් සම්බන්ධයි. පුංචි තිරයේ හැම සම්මානයක්ම ලබන්නත් මට හැකි වුණා. වර්තමානයේ පුංචි තිරයට අඩු දායකත්වයක් ලැබෙන්නේ රූපලාවණ්‍ය පැත්තෙන් මම ගොඩක් කාර්බහුල නිසා.ඉතින් පුළුවන් වෙලාවට රඟපානවා.

රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට ද දැන් ඔබ ඉස්මතු වෙන්නේ?

එයත් කලාවක්. කෙනෙක් හැඩ කරලා, අපේ දැනුම තවත් පිරිසක් හා බෙදා ගෙන හොඳ තෘප්තියක් ලබන්න පුළුවන් කලාවක්.

මේ කාර්යබහුලත්වය ගෘහ ජීවිතයට බලපාන්නේ නැද්ද?

මම නිකම් ගේ අස්සට වෙලා ඉන්න කැමැති ගැහැනියක් නෙමෙයි. අවුරුදු 14 දි පටන් ගත් මේ ගමන අදටත් කිසිදු විවේකයක් නැතිව, ගෙදරත් නැතිව නමුත් සියලු වැඩ රාජකාරී කරන කෙනෙක්. ඒ නිසයි කොන්ද කෙළින් තියාගෙන අදටත් මගේ දේවල් මම කරගන්නේ. මට තිබෙන ලොකුම ශක්තිය මගේ මහත්තයා සහ පුතා. ඔවුන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.මගේ අම්මා එදා සිට මේ මොහොත දක්වාම මට හෙවනැල්ලක්ව ඉන්නවා.සහෝදරයන් ගෙන් පවා වචනෙන් කියා ගන්න බැරි දායකත්වයක් ලැබෙනවා. එ නිසයි මගේ ගමන මට ස්ථාවරව යන්න ලැබුණේ.ඒ ගමනෙදි මට ලැබෙන හැම දෙයින්ම මමත් ඒ හැම දේනාටම උදව් කරනවා.

ඔබ ඔබව, ඔබේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?

කාල කළමනාකරණයෙන් තමයි කෙනකුගේ වැඩ කටයුතු හරියට සිදු වෙන්නේ.මම එදා ඉඳන්ම එය හරියටම කළමනාකරණය කර ගෙන ආ කෙනෙක්. හරියට සැලැසුම් කරලා වැඩ කරන කෙනෙක්. මම ඩයරියක්වත් භාවිත කරන්නේ නැහැ. හැම දේම තියෙන්නේ මගේ ඔළුවේ. වසර ගණනක් රංගනය, රූපලාවණ්‍ය හදාරලා ඉන් ලබපු හොඳ පන්නරයකින් මෙතැනට ආ නිසා හැම දේම පහසුවෙන් මට දැන් කළමනාකරණය කර ගන්න පුළුවන්. එය තමයි මම ප්‍රගුණ කළ මගේ දියුණුවේ එකම රහස.

පහු ගිය කාලේ ලබපු අපල දැන් ඉවරද?

පහු ගිය කාලේ මට ඩෙංගු හැදිලා මරණය දැක දැක යාන්තම් ගොඩ ආවාහම හිතුණා මගේ අපලයක් ගෙවෙන්න ඇති කියලා. ඒ හැරුණම මගේ ජීවිතේ අපල තිබිලා නැහැ. මම හැම දේම සුබවාදීව දකින, බොහොම නිහඩව වැඩ රාජකාරි ගොඩක් කරන කෙනෙක්. කිසි දෙයක් අසුබ හෝ අපල විදිහට හිතන්නේ නැහැ.‍ ඔය අපල කියන දේවල් මගේ ගමනට බාධාවක් නෙමෙයි.කෙනෙක් ඔවුන්ගේ කාලය මිඩංගු කරලා කාටහරි මොනවහරි කියනවා කරනවා නම් වැය වෙන්නේ ඔවුන්ගේ කාලය මිසක් මගේ නෙමෙයි. කිසිම දේකින් නතර නොවි මගේ ගමන යන්න ඕනෑවටත් වඩා දුර මම දැන් ගිහින්.

ජනප්‍රියත්වය නිසා නිදහසක් නැහැ කියන අය ඇයි ජනප්‍රියත්වය රැකගන්න වෙහෙසෙන්නේ?

රංගන ශිල්පිනියක් නිසා මිනිස්සු අතර ඉහළම තැනක් මට ලැබී තියෙනවා.හැබැයි එය කරදරයක් හෝ පසු පස හඹා යන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මම එහෙම ගිය කෙනෙකුත් නෙමෙයි. මම ජනප්‍රිය නිළිය වුණෙත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර 10 ට පස්සේ. එයින්ම පැහැදිලි මම මොන තරම් හිමින් ගමනක් ආ කෙනෙක්ද කියලා. මට මිනිස්සුන්ගෙන් ලැබුණේ නැති වෙන්නේ නැති ජනප්‍රියත්වයක්. අදටත් කොතැන ගියත් ඒ ආදරය ගෞරවය ඉහළයි. ඒ ලබා ගත් ජනප්‍රියත්වය ස්ථිරයි. ඒ ලැබෙන්නේ අපේ හැකියාව මනුස්සකම නිසා වෙන්නැති.ඉතින් මේ ජනප්‍රියත්වය බොහොම හොඳ දෙයක්.හැමෝම එයට කැමැති. අකමැති කෙනෙක් ඉන්නවා නම් එය බො‍රුවක්. මම මේ ජනප්‍රියත්වය ආදරෙන් රැක ගන්නවා.

ඔබ හිත මිත්‍රකම් පවත්වන්නේ බොහොම අඩුවෙන් නේද?

මට මේ ක්ෂේත්‍රයේ යාළු මිත්‍රකම් ලොකුවට නැහැ.හැමෝම එක්ක සුහදව ඇසුරු කරනවා. ඔය සාද, සංගම්, රාත්‍රි සාද යන කෙනෙක් නෙමෙයි මම. ආරාධනා 10 ලැබුණොත් ඉන් තෝරා ගත් එක දෙකකට විතරයි යන්නේ. අනවශ්‍ය විදිහට මම මගේ කාලය වැය කරලා නැහැ. මගේ ජීවිතේ මං යම්කිසි දුරක් ඇවිත් තියෙනවා නම් ඒ මගේ දේවල්, මගේ පවුල, මගේ දරුවා ගැන බලන්න මට කාලය හොඳටම තිබිලා තියෙන නිසා. අනවශ්‍යයි කියන කිසිම දේකට මම ම‍ගේ කාලේ වැය කරනේ නැහැ.මම වැඩ කරන්නේ කාලය තමයි වටිනම දේ කියලා හිතලා. එයින් මම උපරිම ප්‍රයෝජන මේ වෙද්දි අරන් තියෙනවා.

ඔබේ හෙට දවස?

හෙට දවසේ ලොකු වැඩ කොටසක් කරන්න දැනටමත් සැලසුම් කරලයි තියෙන්නේ. ඒ සැලැසුම රූපලාවණ්‍ය සම්බන්ධයෙන්. මගේ සැලොන් සහ ඇකඩමි එකෙන් ලංකාවේ තැන් 25 ක එක් දින වැඩමුළු පවත්වනවා. එහි පළමු වැඩමුළුව සැප්. 15 මාතර සණස සංවර්ධන බැංකු ශාලාවේ පැවැත්වෙනවා. දුෂ්කර ගම්මාන තමයි මේ වැඩමුළු සඳහා ගොඩක් තෝරා ගෙන තිබෙන්නේ. ඒ වැඩමුළු අතරේ මනාලියන් දැක්මකුත් පවත්වනවා. එහි ජයග්‍රහකයන්ට එදිනට වටිනා සහතික ලැබෙනවා. මමයි ගයත්‍රියි එකතු වෙලා තමයි මේ වැඩමුළු කරන්නේ.මනාලියන් හැඩ ගැන්වීමේ ඩිප්ලෝමා පාඨමාලාවත් මාතර සහ කුරුණෑගල අරඹනවා.

ඡායාරූප - ඩයන් ප්‍රදීප්

Comments