කඳුරටින් මතු වූ කාන්තා ලාලිත්‍යය | සිළුමිණ

කඳුරටින් මතු වූ කාන්තා ලාලිත්‍යය

කඳුරටින් මතු වූ කාන්තා ලාලිත්‍යය විහිදුවාලූ ඩේසි රාසම්මා ඩැනියෙල් කිසිදා කිසිවකුටත් සමකළ නොහැකි සේ පසුකාලීනව රුක්මණී දෙවි ලෙස ශ්‍රී ලාංකේය සිනමා අඹරේ තරුවක්ව දිලුණාය.

රුක්මණී දේවිය රිය අනතුරකින් අභාවයට පත් වූයේ 1978 ඔක්තෝබර් 28 වනදා වනදා පෙරවරුවේ මීගමුව පාර තුඩැල්ලේදීය. ඇය මිය යෑමට පෙර දින එනම් ඊට පැය දහ අටකට පමණ පෙර ගුවන් විදුලි සංස්ථාව මැදිරියකදී සම්මුඛ සාකච්ඡාවක් පටිගත කෙරිණි. නිමිත්ත වී තිබුණේ ඇයගේ කලා දිවියට හතළිස් වසක් සම්පූර්ණ වී තිබීමයි.

ඒ හා සංවිධානය කළ සන්දර්ශනය පිළිබඳවත් ඇය විසින් එහිදී සඳහන් කරන්නට විණි. රුක්මණී සහභාගි වූ මෙකී සම්මුඛ සාකච්ඡාව පාලිත සමරසිංහ විසින් පටිගත කරන ලද්දේ ඔක්තෝබර් 27 වැනිදාය. 28 වනදා පෙරවරුවේ මේ සාකච්ඡාව ගුවන් විදුලියේ ධාවනය වන අතරතුර දී ම එය මඳකට නවතා මුළු මහත් ලංකාවම සලිත කළ වේදනාබර ප්‍රවෘත්තිය ගුවන්විදුලිය ශ්‍රාවකයා වෙත ලබාදීමට නිවේදකයාට සිදුවිය. සියල්ලන්ගේම හදවත මොහොතකට හෝ එම ප්‍රවෘත්තියෙන් නතර වූවාට සැක නැත. එයින් කියැවුණේ ලාංකේය සිනමාවේ නිළි රැජන සියල්ලන්ගෙන්ම සමුගෙන දෙව්මව් තුරුලට ගිය බවකි.

රුක්මණී දේවියගේ අභාවය සම්බන්ධව එක් විචාරකයකු ඩේලි නිව්ස් පුවත්පතට මෙවැනි සටහනක් තබා තිබිණි

“රුක්මණී දේවිය විසින් මූර්තිමත් කරනු ලැබුවේ නාගීනා, වෛජයන්ති මාලා, මංගෙස්කාර් යන තිදෙනාගේ සංකලනයයි. රංගනයේදී ඇය තුළ තිබුණු හැකියා මනා ලෙස පිළිබිඹු කරමින් සිනමාවේදී ද නැටුම, ගැයුම හා චරිත නිරූපණය ද ඇය රඟ දැක්වූවාය. ඔබ මොහොතකට සිතන්න නාගීනා, වෛජයන්ති මාලා, මංගේෂ්කාර් භාරතයට කවරාකාර නම් වූ අගනා සම්පත් ද කියා. එසේනම් මේ ඒ තිදෙනාගේම සංකලනයක් වූ රුක්මණිය ගැන තවත් කතා කළ යුතු දැයි ඔබටම වැටහේවි.

උපතින් දෙමළ ජාතික තරුණියක් වූ ඈ නුවරඑළියේ රම්බොඩ සිට පැමිණ ලාංකේය සිනමාවේ නිළි රැජන බවට පත්වූවාය.ක්‍රිස්තියානි පවුලක උපන් ඩේසි රාසම්මා ඩැනියෙල්ස් කොළඹට පැමිණීමත් සමගම පියා ගෙන දුන් ග්‍රැමෆෝන් තැටිවලින් ගීත ගායනයටද හුරුවූවාය. කාලයාගේ ඇවෑමෙන් ඇයගේ ගීත ගායනා හැකියාවෙන් මුල්ම ඵලය නෙළා ගන්නට සමත් වූයේ රූපසිංහ මාස්ටර්ය.

එවක ඇය දහතුන් හැවිරිදි වියේ පසුවූ අතර මෙතෝදිස්ත විද්‍යාලයේ ශිෂ්‍යාවකි. උප්පත්තියෙන්ම ජාතිය සිංහලවත් ආගම බෞද්ධවත් නොවූ ඇගේ කලා දිවියේ ආරම්භය සිදුවූයේ ඊට ප්‍රතිවිරුද්ධ සංකලන සමගිනි. රූපසිංහ මාස්ටර් සමඟ ඇය ගායිකාවක ලෙස කිරුළු පැළ­ැඳියේ 1938 ඔක්තෝබර් 28දාය. ඒ “ශ්‍රී බුද්ධගයා විහාරේ වඳිමි මෝක්ෂ පතා“ ගීතයයි.

රුක්මණිය රටක් පුරා රැවුදෙන නාමයක් බවට පත්වන්නට වූයේ එතැනින්ය. වර්තමානයේ වුවමනා ලෙස සිංහල වචන උච්චාරණය කිරීමට නොහැකි, මැළිකමක් දක්වන, එය මදිපුංචිකමක්යැයි කියා සිතන තරුණියන් සිටිනා සමාජයක මීට දශක හය හතකට පෙර සිංහල ගීතය ඉංග්‍රීසියෙන් ලියා තබමින් සිංහල පදවැල් අමුණා ගායනයේ යෙදුණු ඩේසි රාසම්මා ඩැනියෙල් නමැති දෙමළ ජාතික තරුණිය අගය කළ යුතුම චරිතයකි.

ඩේසි රාසම්මා නැතහොත් රුක්මණී දේවිය උපත ලැබුවේ 1923 දී ය. ඇය උපත ලබන කාල වකවානුවේදී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලයවත් හිමිව නොතිබිණි. සරලව කිවහොත් කාන්තාව යනු ආවෘත රාමුවක් තුළ පිහිටා සැලකූ චරිතයක් ම විය.

එවක සමාජීය හා පවුල් පරිසරය සැකසී තිබූ ආකාරයට කාන්තාවට තිබුණේ දරුමල්ලන් හදාගනිමින් ගේදොර ඉවුම් පිහුම් කිරීමය.

මෙවන් වූ පරිසරයක ඩේසි රාසම්මා ඩැනියෙල් සියලු සමාජ සම්මත පසෙක දමා කලාව උදෙසා කාන්තා නියෝජනය ලබා දීමට මුල් වූ ප්‍රථම ගැහැනිය ලෙස ලංකාවේ ඉතිහාසගත වන්නේය.

රුක්මණියගේ මව ගුරුවරියකි. ඇය සේවයේ නියුතු වූයේ වැල්ලවත්ත සෙන්ට් ක්ලෙයාර් විද්‍යාලයේය. රුක්මණිය මවට බෙහෙවින් ආදරය කළ අතර ගුවන්විදුලි සාකච්ඡාවලට පැමිණි සෑම මොහොතකම තම මවත් පියාත් ගැන සෙනෙහසින් කතා කළ බවත් කියැවේ. ජයරුක් නිවෙස උකසට සින්න වුවාට පසු රුක්මණිය යලිත් ගියේ තම මවගේ නිවෙසටයි.

ඉන් පසු කාලය ඇයට බෙහෙවින් දුෂ්කර කාලයක් විය. හෙන්රි ප්‍රියශාන්ත මහතාගේ රිදී තිරයේ දිව්‍යාංගන පොත් පිංචේ සඳහන් වන අන්දමට 1978 ඔක්තෝබර් මස දෙවන සතියේ රුක්මණියගේ මව බොහෝ සෙයින් රෝගාතුර වන්නට විය. මේ කාලවකවානුව රුක්මණී දේවිය බොහෝ සෙයින් ආර්ථික වශයෙන් පිරිහී ගිය කාල වකවානුවකි. මේ නිසා ඇයගේ හිතවත් ශිල්පීහු රුක්මණීව තම සන්දර්ශන සඳහා සහභාගි කරවා ගත්හ. මවගේ බෙහෙත් හේත් සඳහා දැඩි මුදල් අවශ්‍යතාවක් තිබූ හෙයින් ඇය නොකඩවා සන්දර්ශනවලට සහභාගි වූවාය. මිය ගිය දින පවත්වන්නට යෙදුණු සන්දර්ශනයේ ද එක් අරමුණක් වූයේ එයයි.

රුක්මණී ව ගීත කලාවට කැන්දාගෙන ආවේ රූපසිංහ මාස්ටර්ය. රූපසිංහ මාස්ටර් පදිංචිව සිටියේ මාතරය. ඔහු රුක්මණීව ගීතයක් ගායනා කිරීමට තෝරා ගැනීමත් සමඟ තම පියා හා සතියකට ආසන්න කාලයක් මාස්ටර්ගේ නිවෙසේ නැවතී ගීත ගායනය පුරුදු පුහුණු වූවාය. ඇය ලංකාවේ සලකුණක් වන්නට ප්‍රථම පියවර තැබුවේ මාතරිනි. ආරම්භය එසේ වනවාත් සමඟ පුරා හතළිස් වසරකට පසු යළිත් තමාගේ ජීවන මගෙහි අවසාන සංදර්ශනයේ ගීත ගැයීමට මාතර යාමට වේ යැයි සිහිනෙන් හෝ ඇය නොසිතන්නට ඇත. නමුත් එය ඒ ආකාරයෙන්ම සිදුවිය .

1978 ඔක්තෝබර් 30 වැනිදා මාතර පැවැති සන්දර්ශනයේදී අවසානයේ තම සැමියා සමඟ ද රුක්මණිය අත්වැල් අල්ලාගෙන නටමින් ගීත ගායනා කළාය. ඒ

“පාරේ නටන්න හිතුණා

පාර නටන්න හොඳ නෑ“ ගීතයයි.

ඒ ගීතය අවසානයේ ඔවුන් මාතර තානායමයේදී අනෙකුත් අය සමඟින් ද සතුටු සාමීචියේ යෙදෙමින් කාලය ගෙවා දැමුවේ මේ ඔවුන්ගේ අවසන් සුහද හමුව වේයැයි සිහිනයකින් හෝ නොදැනයි. එය බොහෝ සෙයින් සොම්නස් සහගත මොහොතක් බව අතීත සටහන්වල දැක්වේ. මන්ද මාතර සංදර්ශනයෙන් පසුව හා 29 දා පැවැත්වෙන රුක්මණියගේ වසර 40 කලා දිවිය වෙනුවෙන් පැවැත්වෙන ගී සැඳෑව අවසන් වූවාට පසුව එඩී ජයමාන්න හා රුක්මණියගේ බලාපොරොත්තුව වී තිබුණේ යළිත් දෙදෙනාම එක් නිවෙසක ජීවත් වීමය. ලාංකේය කලා ක්ෂේත්‍රයේ කාන්තා සඳහනක්වත් නොවූ යුගයක ඇය එම මෙහෙය මොනවට ඉටු කළාය. ලාංකේය කලා ක්ෂේත්‍රයේ පමණක් නොව භාරතයේ ද ඇය තම නම රන්දන්නට සමත් වූයේ මෙරට සිනමාවේ රැජන ලෙසයි. ලාංකේය සිනමාවේ කාන්තාව සම්බන්ධයෙන් යම් ප්‍රගමනයක් වී තිබේද, ඒ සඳහා පූර්ණ වශයෙන් දායක වූ නිළිය වන්නේ රුක්මණී දේවියයි.

කඳුරටින් මතුවූ කාන්තා ලාලිත්‍යය විහිදුවාලු ඩේසි රාසම්මා ඩැනියෙල් කිසිදා කිසිවකුටත් සම කළ නොහැකි සේ පසුකාලීනව රුක්මණීදේවි ලෙස ශ්‍රී ලාංකේය සිනමා අඹරේ තරුවක්ව දිලුණාය. ඒ කෙදිනකවත් නොමැකෙන රුක්මණී සලකුණයි.

Comments