අනියත බව අත්දුටු නිසා අත්හැරීම පුරුදු කළා... | Page 2 | සිළුමිණ

අනියත බව අත්දුටු නිසා අත්හැරීම පුරුදු කළා...

කීර්ති පැස්කුවෙල් කියන්නේ රසික ජන හදවත් මියුරු සප්ත ස්වරයෙන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ ගායකයෙක්. කලක් ඉතාම ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු ලංකාවට සමුදී නවසීලන්තයේ පදිංචියට ගොස් කලකට පසුව නැවතත් ලංකාවට පැමිණීම සංගීත ලෝලීන්ගේ සිත් සතුටින් කුල්මත් කිරීමට ඉවහල් වුණා. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් ඔහු මේ දිනවල සුවහසක් කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා සංගම් රැසක හරි හරියට වැඩ කරගෙන යනවා. අපි මේ ගැන ඔහුගෙන්ම විමසමු. ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල්

සාධාරණ කර්තෘ භාගයක් ලබාදීම සහ ගීත සොරකම් කිරීම වැළැක්වීමේ අරමුණින් අපි සංගීත අධ්‍යක්ෂවරුන්ටම වෙන් වූ සංගමයක් පටන් ගත්තා...

මා තරම් දුක් ගැහැට විඳි කලාකරුවෙක් නැද්දෝයි හිතෙනවා...

2011 දී හෘදයාබාධයකින් නැවතුණු මගේ හදවතට නැවත ප්‍රාණය ලැබීම ආශ්චර්යයක්.

ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ඇරැඹුණු “ප්‍රාර්ථනා” වැඩසටහනට ආධාර පිණිස සැප්.29 වැනිදා...“මනමාල හැන්දෑව” නමින් ඒකපුද්ගල ගී ප්‍රසංගයක් නෙළුම් පොකුණ රඟහලේ දී...

මේ දවස්වල සමාජ සේවා කටයුතුවල යෙදෙනවා කියලා ආරංචියි.

ඔව්. මම ඉතාමත් කාර්යබහුලයි. සංගම් තුනක නියෝජිතයෙක් වශයෙන් කලාකරුවන්ගේ චිර ජීවනයට කටයුතු යොදමින් ඉන්නේ.

ශ්‍රී ලංකා ගායක - ගායිකා සංගමයේ සභාපති වශයෙන් අපේ ගම පරිශ්‍රයේ ප්‍රසංගයක් සංවිධානය කළා සැප්තැම්බර් 14 දින “අපේ කමට අපේ ගී” නමින්. ගායක ගායිකා සංගමයට ආධාර වශයෙන්. අපේ සාමාජිකයින්ට මාස 03ක් දුරකථන ඇමතුම් නොමිලේ ලබා ගන්න මොබිටෙල් දුරකථන අංකයකුත් නොමිලේ ලබාදෙනවා මීට සමගාමීව.

ශ්‍රී ලංකා සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන උපදේශක මමයි. සරත් ද අල්විස් (සභාපති) සමන්ත පෙරේරා (ලේකම්) සුසිල් අමරසිංහ (භාණ්ඩාගාරික) පසුගිය වසරේ සැප්තැම්බරයේ ආරම්භ කළ මෙම සංගමයේ දැනට සාමාජිකයන් 170ක් පමණ සිටිනවා. ලංකාවේ හිටපු සියලු සංගීත අධ්‍යක්ෂකවරුන්, තනු නිර්මාපකයන් මියගිය හා දැනට සිටින අයගේ නිර්මාණවලට සාධාරණත්වය ඉටු කරන්න ඉදිරිපත් වීම මේ සංගමයේ බලාපොරොත්තුවයි. ඔවුන්ට සාධාරණ කර්තෘ භාග ලබාදීම හා ගීත සොරකම් කිරීම වැළැක්වීම අපේ අරමුණයි. සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ ප්‍රසංගයක් ද ඔක්තෝබර් 20 දින අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදලා තියනවා.

‘ඔස්කා ගීත නිර්මාණ කේන්ද්‍රය කියලා තවත් සංවිධානයක් පිහිටුවාගෙන තියනවා. මෙය බුද්ධිමය දේපළ කාර්යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ගීත රචකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන්, ශබ්ද පරිපාලකයින්, සංගීත කණ්ඩායම්වල විවිධ අය මීට සම්බන්ධයි. කලාකරුවන්ගේ කර්තෘ භාග එකතු කිරීමේ බලපත්‍රය තියෙන්නේ මේ සංගමයට. මෙහි ක්‍රියාකාරී සාමාජිකයන් හා අනෙක් ‍තොරතුරු ගැන ජුලි 17 දින (පනතක් ලෙස) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා. නිර්මාණකරුවන්ගේ අයිතිය සුරැකීම, කර්තෘ භාග ලබාගැනීම හා කළමනාකරණය පිළිබඳව. ප්‍රසංග වේදීකාවල ශිල්පීන්ට, ගුවන්විදුලි, රූපවාහිනී නාලිකා විදේශ ප්‍රසංග සඳහා නිර්මාණ ශිල්පීන්ට කර්තෘ භාග ලබාදීම පිළිබඳව මෙහිදී සලකා බැලෙනවා.

අපේ ගායක ගායිකා සංගමයට රජයෙන් ලැබුණු ලක්ෂ 250 (මිලියන 25) මුදල රජයේ ස්ථාවර තැන්පතුවක තැන්පත් කරලා ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ට විශ්‍රාමික වැටුපක් වශයෙන් ජීවිතාන්තය දක්වා ගෙවීමට කටයුතු කරනවා. පහුගිය කාලේ අපේ සමහර කලාකරුවන් බොහොම අසරණ වෙලා විවිධ ආධාර පතා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරලා තිබුණා. සමාජයේ ගෞරවයට - අභිමානයට පත් විය යුතු පිරිසක් මෙසේ හෑල්ලු විය යුතු නැහැ.

ඔබ ජනප්‍රියත්වයේ ඉහළට ගිය සමයක රට හැර ගියා. නැවත මවු රටේ ස්ථාපිත වුණා...

ඒ කුරිරු යුද්ධය කාලේ සංගීතයත් අඩපණ වෙලා තිබුණේ වෘත්තියක් ලෙස කරගෙන යාමට නොහැකි තරමට. ඒ නිසා වෙන වෙන වෘත්තීන්වල නියැළුණා. ඇඟලුම් පිටරට යැවීමේ ව්‍යාපාරයක් කළා. තවත් මිතුරෙකුගේ යෝජනාවකට අනුව. සංචාරක ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරලා මාව නැත්තටම නැතිවුණා. මම තවත් ලංකාවෙ හිටියානම් සිය දිවි නසාගන්න ඉඩ තිබුණා. බිරිය යෝජනා කළා පිටරට යමුයි කියලා. නවසීලන්තයට ගියා. 2004 පෙබරවාරි 04 නැවත ලංකාවට ආවා. මේ ක්ෂේත්‍රයේ නැවත ගමනක් යා හැකිදැයි මා සොයා බැලුවා. ඒ යුගය වන විට මල්, පන්සල්, පල්ලි එකම ස්වර රටාවල ගැයූ ගීත තමයි ජනප්‍රිය වෙලා තිබුණේ. ඒක මගේ ගීත ශෛලීය නෙමෙයි. ඒ අතර තමයි ලක්මාලි කාරියවසම් පදරචනය කළ “කඳුළ ඉතිං සමාවෙයන්” ගීතය ලැබුණේ ඒකේ තනුව සුරේෂ් ද සිල්වා ගේ.

“කඳුළ ඉතිං සමාවෙයන්” ගීතය මගේ සංගීත දිවියේ දෙවෙනි ගමනයි. ඒකාකාරී ගීත රැල්ලකින් හෙම්බත් වෙලා හිටිය රසිකයින්ට ඒක ලොකු අත්දැකීමක් වුණා. ඒ ගීතයෙන් පස්සේ මට කලින්ටත් වඩා ජනප්‍රියත්වයක් ලැබුණා.

වර්තමානයේ අන්තර්ජාලය සම්බන්ධයෙන් විවිධ චෝදනා තියෙනවා. ඒත් ඔබ මේ සම්බන්ධයෙන් බොහෝම ධනාත්මක ආකල්පයක් දරනවා.

පසුගිය වසර දහය තුළ සමාජජාලා හුඟාක් ජනප්‍රිය වුණා. මම වැඩිහිටියෙක් වුණාට මොකද මමත් මේ නවීන තාක්ෂණය සමඟ update වුණා. විවිධ වෙබ් අඩවි face book, වල පළවෙන දේවල් ගැන එහි ක්‍රම‍ෙව්ද ගැන මට විශාල අවබෝධයක් තියනවා. ඒවායේ නරක පැත්ත ඉවත්කර හොඳ පැත්ත ප්‍රයෝජනයට ගනිමින් වැරදි දේ විවේචනය කරමින් යන ගමනක් මේක. මධ්‍යස්ථව ඉඳලා හරි විදිහට හොඳට පාවිච්චි කළොත් ඒවායෙන් ලැබිය හැකි ප්‍රයෝජන එමටයි.

හැම දේකටම බිරියගෙන් ලැබෙන සහාය හරි වටිනවා නේද?

සත්තකින්ම මා ඉතාමත් වාසනාවන්තයි. චන්දනා වගේ බිරියක් ලැබීම ගැන. මගේ ආහාර රටාව, නිරෝගිකම, ඇඳුම් පැළඳුම්, බේත් හේත් හැම දෙයක්ම ඇය සැලසුම් කරනවා. කෑම වුණත් රසට ඇය උයා දෙනවා. අපි හැමෝම සතුටින්.

ඔබ දැන් ආදරණීය සීයා කෙනෙක්....

මට දරුවෝ හතර දෙනයි. දිනේෂා විවාහවෙලා එංගලන්තේ සිටින්නේ. ඇයට අවුරුද්දක පුතෙක් ඉන්නවා. මම පොඩි කාලේ ඉඳලාම පොඩි ළමයි හුරතල් කරන්න ආසයි. ලංකාවේ නැති එක ගැන දුකයි. දෙවැනි පුතා කසුන් සංගීත ක්ෂේත්‍රයේ ඉන්නේ. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මම පුතාගෙනුත් හැමදාම අහනවා කවදද සීයා කෙනෙක් වෙන්නෙ කියලා. ලොකු දුව චාරුණි නීතිඥවරියක් වීමේ බලාපොරොත්තුවෙන් ලන්ඩන් විශ්වවිද්‍යාල විභාගය සමත්වෙලා තියෙන්නේ. නටාලියා (19) ව්‍යාපාර කළමනාකරණය අංශයෙන් උසස් අධ්‍යාපනය ලබමින් ඉන්නවා. පවුලක් ලෙස අපි සතුටින් ඉන්නේ. දරුවන් දිහා අපි බුද්ධිමත්ව බලා තමයි සියලු තීරණ ගත යුත්තේ.

ජීවිතේ දිහා ආපසු හැරිලා බලද්දී තෘප්තිමත් ද?

එදා - මෙදා තුර ජීවිතය ගැන විමසද්දි මා තරම් දුක් ගැහැටවලට බාධාවන්ට ලක් වූ කලාකරුවෙක් තවත් නැද්දෝ හිතෙනවා. මම අන්තිම අඩියෙන් ජීවිතය පටන්ගත්ත කෙනෙක්. තාත්තා අවු: 10 දී නැති වුණා. දරිද්‍රතාවය නිසා විවිධ රැකියා කළා. මේ තත්ත්වයට එන්න බොහෝම දුක් ගැහැට, කරදර, කම්කටොලුවලට මුහුණ පාන්නට සිදු වුණා. මේ ඇත්ත කතාවක්. හිතලුවක් නෙමෙයි. ඉවසීමෙන්, කැපවීමෙන්, ඒකායන පරමාර්ථයෙන් අරමුණු කරා බාධාවන් මැඬගෙන යාමට මා ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කළා. 2011 ඔක්. 21 හෘදයාබාධයකින් මගේ හදවත නැවතුණා. වෛද්‍යවරු මාව අතහැරදාලා හිටියේ... ඒ වෙලාවෙ ලස්සන විදුලි එළියක් මැදින් පාවෙලා යනවා වගේ මට දැණුනා. වෛද්‍යවරු නැවතත් උත්සාහ කරලා විදුලි ධාරාවන් තුනකින් මගේ ප්‍රාණය නැවත ලැබුණා. මරණය දක්වා ගමන් කළ මා ජීවිතයේ යථාවබෝධය ලැබුවා.‍ මගේ ජීවිතයේ අනියත බව, නිසා අත්හැරීම මම පුරුදු කළා. වසරකට ලංකාවේ රුධිර පිළිකාවෙන් 500 මියයනවා. ඇට මිදුලු බද්ධය මගින් මෙයට ප්‍රතිකාර කළ හැකියි. කෙනෙකුගේ අැටමිදුලු තවත් කෙනෙකුට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලක්ෂ 3000ක් අවශ්‍ය වෙනවා. ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කරන්න ප්‍රාර්ථනා නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ඒ අරමුණින් එයට ආධාර වශයෙන් සැප්.29 දින නෙළුම් පොකුණ රඟහලේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. “මනමාල හැන්දෑව” නමින්. මේ වගේ සමාජ සේවා රැසක් තුළින් මා පුදුම සැනසීමක් ලබනවා.

Comments