අද නිවේදක පරපුර දැනුම හොයන්නෙ නෑ | Page 2 | සිළුමිණ

අද නිවේදක පරපුර දැනුම හොයන්නෙ නෑ

කියවීම යහපත් මට්ටමක නෑ. සත්ගුණ නැහැ. සන්නිවේදකයකු තුළ මනුස්සකම නැත්නම් කොහොමද මිනිස්කම වපුරන්නේ?

ලාල් ‍හේමන්ත මාවලගේ. ඒ රුව හඬ ඔබට මතක ඇති. 1990 දශකයේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසින් ඔබට ඔහුගේ දසුන සිහියට නැගේවි. 1988 ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජාතික රූපවාහිනියට එක්වූ ඔහු 2000 වනතුරු ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කළා. උදෑසන ආයුබෝවන් වැඩසටහන ඔහු ඉදිරිපත් කළ ජනප්‍රිය වැඩසටහනක්. ඒ අතර එංගලන්තයේ රොයිටර් ආයතනයේ පුහුණුවක් ද පසුව ජපානයේ එන්.එච්.කේ. ආයතනයේ ද වැඩිදුර පුහුණුවක් ද ලැබුවා. 2008 වසරේ පවුලේ අය සමඟින් එංගලන්තයේ පදිංචියට ගිය ලාල් එහි විවිධ රැකියා කරන අතරේ රූපවාහිනී වාර්තා වැඩසටහනක් ද නිපදවූවා. 2014 දී නැවත ලාල් හේමන්ත මාවලගේ ලංකාවට පැමිණෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුර බාර ගන්නට ය.

ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශය 2017 දී ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරු එම අංශයට ජාතික සම්මාන ලබාගැනීමට පවා හැකි විය.

“ඒ වනවිට ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශය පටන් අරන් අවුරුදු 30 ටත් වැඩියි. කවදාවත් සම්මානයක් දිනලා තිබුණේ නැහැ. මම වැඩ භාර ගත්තට පසුව සුමති සම්මාන උලෙළේ දී ප්‍රවෘත්ති අංශයට සම්මාන තුනක් ලැබුණා. 2017 වසරේ ම රාජ්‍ය සම්මාන උලෙළේදීත් ප්‍රවෘත්ති අංශය සම්මාන තුනක් දිනා ගත්තා. නමුත් දේශපාලන ගැටුම් මත රැකියාව කරන්න බැරි නිසා 2017 මැද මා රැකියාවෙන් ඉවත් වුණා.”

හැම දෙයක් ම මුදල් මත ත‍ීරණය වන යුගයක ලාල් හේමන්ත මාවලගේ නව පරපුරට ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදන කලාව ගැන නොමිලයේ උගන්වන්න පටන් අරගෙන තියන එක විශාල වශයෙන් අප අගය කළ යුත්තක්.

“අද නාළිකාවල කටයුතු කරන ප්‍රධාන පෙළේ සන්නිවේදකයන් බොහෝ දෙනෙක් නිවැරැදිව මාධ්‍ය හසුරුවන බවක් දකින්නට නැහැ. මේ ක්ෂේත්‍රයේ නියැළෙන ජ්‍යෙෂ්ඨයින් විදියට නිවේදන කලාව බාල්දු වෙලා. වළ පල්ලට යන හැටි බලා ගෙන ඉන්න අපට අමාරුයි. ඒ නිසයි මම මෙම වැඩමුළු නොමිලයේ පවත්වන්නට හිතුවේ.

උච්චාරණ, හඬ අභ්‍යාස, ස්වසන අභ්‍යාස වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම, ප්‍රවෘත්ති නිවේදනය, සම්බන්ධයෙන් නොමිලයේ වැඩමුළු කිහිපයක් රට වටා ගෙනයන්නට බලාපොරොත්තු වෙනවා. මීට පෙර එක් වැඩමුළුවක් කළා. ළමයින් 200 ක් විතර ආවා. සහාය වන්න මීගමුව රෝහලේ කථන හා වාග් චිකිත්සක වෛද්‍යවරියක් අප සමඟ එක්වෙනවා. ‘ස්ථාපිත, ස්ථානෝචිත ප්‍රඥාව, ‘ස්’ ශබ්දය නිවැරැදිව හදන්න එමඟින් හැකියි.

ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක කලාවට පිවිසීමට සිහින දකින තරුණ තරුණියන්ට තවත් එවැනි නොමිලයේ එක්දින වැඩමුළු 2 ක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා. සැප්. 08 දින කොළඹ මහජන පුස්තකාලයේ හා සැප්. 14 දින මහනුවර තරුණ බෞද්ධ සම්මේලන ශාලාවේදී උදේ 8.30 සවස 3.30 දක්වා අවුරුදු 16 – 35 අයට සහභාගි විය හැකියි. ඒ අය අතරින් පළමුව පැමිණෙන 200 දෙනා මීට සහභාගි කරගන්න බවයි ලාල් පැවැසුවේ.

වර්තමානයේ බොහො­් ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක නිවේදිකාවන් තුළ නිවේදකයකු සතුවිය යුතු ගුණාංග ප්‍රමිතිය බොහොම පහළ මට්ටමක තියෙන්නේ. වාග් විලාසය පවා දුර්වලයි නේද?

වර්තමාන‍යේ බොහොමයක් සන්නිවේදකයන් දැනුම හොයාගෙන යන්නේ නැහැ. කියවීම යහපත් මට්ටමක නෑ. සත්ගුණ නැහැ. සන්නිවේදකයකු තුළ මනුස්සකම නැත්නම් කොහොමද මිනිස්කම වපුරන්නේ. නිවේදකයකු දැනුවත් නැතුව කොහොමද සමාජය දැනුවත් කරන්නේ. මම තාමත් සතියේ පත්තර ටික කියවනවා. පරිසරය, සාහිත්‍ය, විචාර, විද්‍යාව, ඉතිහාසය ආදී විවිධ ක්ෂේත්‍රවලට අදාළව පළවූ ලිපි එකතුවක් මගේ පුස්තකාලයේ තියෙනවා පොත් 1500ක් විතර.

කිසිම නිවේදකයකුට දැනුම අපට දෙන්න බැහැ. ඔහු දැනුම සොයාගෙන යා යුතුයි. සියලු විෂයයන් පිළිබඳ හැකි සෑම විටම කියවිය යුතුයි. නිවැරැදි උච්චාරණය, භාෂා භාවිතය, රූපවාහිනියේ නම් ප්‍රසන්න බව. අඩුම ගානේ මේ ටිකවත් තිබිය යුතුයි.

අද තියන ලොකුම ගැටලුව, නිවේදකයින් නව දැනුමෙන් තොරවීම, පොත්පත් කියවන්නේ නැති තරම්. ඒ වගේ ම සන්නිවේදකයකු හොඳ නිර්මාණශීලී අයකු විය යුතුයි. ප්‍රේමකීර්ති ද අල්විස් ඊට හොඳම උදාහරණයක්. අද සමාජ මාධ්‍ය ජාල රැල්ල ඇතුළේ බාගෙට බාගයක් ම තියෙන්නේ කුණුහරුප. You tube, face book වගේ සමාජ ජාල ප්‍රයෝජනයට ගෙන වැදගත් සමාජ මෙහෙවරක් කළ හැකියි. ඊසොප්ගේ උපමා කථා, ප්‍රස්තාව පිරුළු වගේ ළමයින්ට වැදගත් දේ දෙන්න පුළුවන්. මම කියවන පොත්පත්වල අඩංගු වැදගත් කරුණු කෙටිසටහනක් යොදලා වෙනම තබා ගන්නවා.”

ඔබගේ වැඩසටහන්වලට සම්මාන එහෙමත් ලැබෙන්න ඇතිනෙ?

“මම රූපවාහිනියේ ඉද්දි නිෂ්පාදනය කළ We are the same (අපි හැමෝම එක සමානයි) වැඩසටහනට ජපානයේ එන්.එච්.කේ. සම්මානය ලැබුණා 2006 දී. එමෙන් ම මා නිපදවූ A highflayer (ඔහුට ඉහළින් ඉගිලිය හැකිය) වාර්තා වැඩසටහනට, ජර්මනියේ Prixjuna සම්මානය ලැබුණා. ලංකාවේ රාජ්‍ය සම්මාන රැසක් ලැබුණා වාර්තා වැඩසටහන් කීපයකටම.

පවුලේ අය තාමත් එංගලන්තයේ නේද? කොහොමද අනාගතය සැලසුම් කරලා තියෙන්නේ?

බිරිය රීනි කාමලී එංගලන්තයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. පසිඳු මධු සංඛ පුතා ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ වාණිජ අං‍ශයෙන් අධ්‍යාපනය හදාරනවා. මේ වසරේ වැඩිම ලකුණු ගත් තුන් දෙනාගෙන් කෙනෙක්. පවිත්‍ර මෝදිත පුතා ව්‍යාපෘති කළමනාකරණය විෂයය ඉගෙන ගන්නවා. දෙවැනි පුතා ඡායාරූප ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා. මම මෙහේ තනියම ජීවත්වෙන්නේ උපන් රටට යම් සේවයක් කරන්නයි. මගේ පවුලේ අය නම් එංගලන්තෙම ජීවත් වෙයි. මමත් අවසාන කාලේ එහෙ යනවා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න.

977/24, සෙත්සිරිගම, අතුරුගිරිය

ඔහුගේ ලිපිනයයි.

Comments