
ලේක්හවුස් ආයතනයේ සුන්දරත්වය ගැන සහ එය අතහැර දිවයින කාර්යාලට යන පත්තරකාරයකුගේ වෙන් වීමේ වේදනාව එකවර අත්විඳිය හැක්කේ ආයුබෝවන් ආමර්වීදිය පොතෙනි. ලේක්හවුසියට සමුදී බ්ලුමැන්ඩල් හි දිවයින කාර්යාලටය ගිය ඔහු ඒ පොත ලියන්නේ ඔහුගේ මාධ්‍ය ජීවිතයට දශක කිහිපයක් ගිය තැනය. ඔහු පසුගියදා තම දිවි මඬලට සමුදුන් ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීයකු වූ මෙරිල් පෙරේරා මහතාය. පත්තර ලෝකය මෙරිල් අයියා නැතහොත් මෙරිල් මහත්තයා ලෙසින් හැඳින්වු ඔහු දිවයින පුවත්පත තුළ ඉතා තීරණාත්මක කාර්යක් සිදු කළ ප්‍රවීණයකු ලෙස ප්රකටය.
උප කතුවරයකු ලෙස දිවයින ආරම්භයේදීම සම්බන්ධ වන මෙරිල් පෙරේරා මහතා දිවයින ප්‍රධාන කර්තෘවරයාද විය. අවසානයේ දිවයිනට සමුදෙන්නේ එහි උපදේශක කර්තෘවරයා ලෙසිනි. තම වෘත්තිය ප්‍රාණයටත් වඩා පළමු කොට සැලකූ කතුවරයකු ලෙස හැඳින්විය හැකි මෙරිල් පෙරේරා මහතා සෑම විටෙකම පසුදා එළිදකින පුවත්පතින් ජනතාවට දැනෙන වෙනසක් සිදු කිරීමට බොහෝ කැප වූයේය. විශේෂයෙන් පුවත්පතේ නිමාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්වූ ඔහු මෙරට පුවත් පත් කලාව තුළ නව නිර්මාපකයකු ලෙසද ප්‍රසිද්ධියට පත් වී සිටියේය. 1964 වසරේදි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙසින් ලේක්හවුස් ආයතනයෙන් තම මාධ්‍ය ජිවිතය අරඹන ඔහු ජනතා සහ දිනමිණ පුවත්පත්වලට සම්බන්ධ වී කටයුතු කළේය.
දිවයින පුවත්පත ආරම්භ කිරිමේදී ප්‍රවීණ පුවත්පත් කතුවර එඩ්මන්ඩ් රණසිංහ මහතා සමඟ උපාලි පුවත්පත් සමාගමට සම්බන්ධ වූ ඔහු විශ්‍රම ගන්නා තුරුම සේවය කළේ දිවයින පුවත්පත වෙනුවෙනි. රැයක් දහවලක් නැතිව සේවය වෙනුවෙන් කැපවූ ටෙමරිල් පෙරේරා මහතාගෙන් මාධ්‍ය ලෝකයට සහ මාධ්‍යවේදින්ට ගත හැකි ආදර්ශ බොහෝය.
ආයුබෝවන් ආමර් වීදිය, දිවයිනේ විසි වසක්, ආදරණීය තාත්තා, පැණි වළලු යන ග්රන්ථද රචනා කළ ඔහු චිත්‍රපට විචාරය කෙරෙහිද මුල් කාලයේ ඇල්මක් දක්වු මාධ්‍යවේදියෙකි. විවිධ සම්මානවලින් පිදුම් ලද මෙරිල් පෙරේරා මහතා තම අවසන් කාලය පාණදුර ගත කළ අතර පසුගිය 03 වැනිදා මිය යන විට 73 වියේ පසු විය.