දේශ­පා­ලන උත්තර සංවා­ද­යක් ඇවැසි ඵෙති­හා­සික හෝරාව! | සිළුමිණ

දේශ­පා­ලන උත්තර සංවා­ද­යක් ඇවැසි ඵෙති­හා­සික හෝරාව!

 

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ 68 වැනි සංව­ත්සර උළෙල අම­ත­මින් ඒ පක්ෂයේ සභා­ප­ති­ව­රයා මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාය­කයා ලෙසද මෛත්‍රි­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා විසින් කරන ලද කථාව නිසැ­ක­යෙන් ම වර්ත­මාන

ශ්‍රී ලාංකික දේශ­පා­ලන සමා­ජයේ අශ්ලීල, අශිෂ්ට, ග්‍රාම්‍ය, අධම හා අමන විලා­සය නිර්දය ලෙස අනා­ව­ර­ණය කර­න්නකි. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී

සළු­පිළි හා අබ­රණ වලින් සර­සන ලද ජර­පත් දේශ­පා­ල­න­යක නග්න­ත්වය හා ඒ දේශ­පා­ලන කුණ­පය මත සැණ­කෙළි සිරි විඳි­මින් ඔබ මොබ ඇවිද යන ව්‍යාජ දේශ­ප්‍රේ­මීන්ගේ නිරු­ව­තද

ජනා­ධි­ප­ති­ව­රයා එහිලා සිය පාක්ෂි­ක­ය­න්ටද සෙසු සියලු ජන කොට­ස්ව­ලට ද පෙන්වා දී ඇත.

 

ශ්‍රී ල.නි.ප. බිහි­වී­මට තුඩු දුන් සමාජ ‍‍ඵෙතිහා­සික කරුණු ද ඉතා නිවැ­රදි ව විශ්ලේ­ෂ­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා එයට එරෙ­හිව අභි­නව දේශ­පා­ලන සන්ධා­න­යක් ගොඩ­නඟා ගත යුතු බවද අව­ධා­ර­ණය කළේ ය. දසක හතක පමණ කාල­යක් මුළුල්ලේ අප විසින් අනු­ග­ම­නය කරන ලද දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­වල පසු­ගාමී හා බිහි­සුණු ස්වරූ­පය ජනා­ධි­ප­ති­ව­රයා තම පාක්ෂි­ක­යන්ට මෙන්ම මෙරටේ සියලු දේශ­පා­ලන ක්‍රියා­කා­රී­න්ටත්, වෙනත් ස්වාධීන හා සිවිල් සංවි­ධාන වල­ටත් පෙන්වා දුන්නේ දැඩි කම්පා­ව­කින් හා කල­කි­රී­ම­කින්ද යුතු ව ය. මගේ දැනුම හා වැට­හීම අනුව එදා ජනා­ධි­ප­ති­ව­රයා විසින් ආම­න්ත්‍ර­ණය කරන ලද්දේ සිය පාක්ෂි­ක­යන්ට පම­ණක් නොව සමස්ත මහ­ජ­න­තා­වට ම බව ය. ජනා­ධි­ප­ති­ව­රණ උද්යෝ­ග­ය­කින් මෝහ­න­ය­කට පත් කළාක් බඳු ව සිටින බොහෝ දෙනෙක් මේ දේශ­පා­ලන යථා­ර්ථය නොද­කින්නෝ ය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් කරන ලද දේශ­පා­ලන අනා­ව­රණ හා අන­තුරු හැඟ­වීම් නොතකා හෝ ඒවාට උඩින් පැන හෝ තව­දු­ර­ටත් අප රටට ගම­නක් නැති බව ඒ සියලු හැඟ­වීම් වල සමු­ද­යා­ර්ථ­යයි. සැබැ­වින් ම විවිධ දේශ­පා­ලන කව­ට­යන් විසින් දසක හත­කට නොඅඩු කාල­යක් මුළුල්ලේ නඩත්තු කරන ලද මේ දේශ­පා­ලන නිර­යෙන් රට ගොඩ ගත යුතුය. ඒ සඳහා කෙරෙන තෙර­පීම හා දේශ­පා­ලන ආයා­ච­නය ද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කථාවේ පැහැ­දි­ලිව දැක ගත හැකි­විය.

දේශ­පා­ලන උත්තර සංවා­ද­යක නිරත වීමේ ඵෙති­හා­සික හෝරාව අප අබි­යස උදාවී තිබේ. එහෙත් තව­මත් පටු දේශ­පා­ලන බල ලෝභීන් විසින් දේශ­පා­ලන වේදි­කාව මත රඟ දක්වනු ලබන්නේ කෙබඳු විසූක දස්ස­නද යන්න අපි ගැඹු­රින් විමසා බැලිය යුතු නොවේද? අද යම් ප්‍රමා­ණ­යක හෝ දේශ­පා­ලන විඥා­න­යක් සහිත ජන­තාව තුළ මේ ඊනියා සංව­ර්ධ­නය ගැන හෝ වචී­ප­රම ප්‍රජා­ත­න්ත­වා­දීන්ගේ අලං­කාර වාග් හරඹ ගැන හෝ කිසිදු විශ්වා­ස­යක් නැත. ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළ ආකා­ර­යට ම අද දේශ­පා­ල­නයේ නිර­තව සිටින අය­ගෙන් කීදෙ­නෙක් ඒ සඳහා සුදුසු වෙත්ද? නව පෙර­මුණු ගැන, බල කඳ­වුරු ගැන කෙබඳු ඝෝෂා ඇසු­ණත් එබඳු අභි­නව දේශ­පා­ල­න­ය­කට රට යොමු කළ හැකි අයගේ සංඛ්‍යාව ඉතා අල්ප බව අමු­තු­වෙන් කිව යුතු නැත. මෙයට වසර 68 කට පෙර ශ්‍රී ල.නි.ප.ය ගොඩ­න­ඟ­මින් බණ්ඩා­ර­නා­යක මහතා පෙන්වා දුන් ඒ දේශ­පා­ලන දර්ශ­නය හා ජන­තා­වාදි අපෙක්ෂා විජ­ය­ග්‍ර­හ­ණය කර­වීමේ අර­මුණ අපෙන් ඈත් වී තිබේ. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මුළු මහත් ශ්‍රී ලාංකික ජන­තා­ව­ගෙන් ම අසන ලද්දේත් ඒ ප්‍රශ්නය ම ය; ඒ අප දේශ­පා­ලන පාඩම් ඉගෙන ගෙන තිබේ ද යන ප්‍රශ්න­යයි; අප හොරුන්ට, තක්ක­ඩි­යන්ට, දේශ­පා­ලන ජාවා­ර­මුන්ට මැදී වී නොසිටී ද යන ප්‍රශ්න­යයි. අද සමස්ත දේශ­පා­ල­නය ම දෝල­නය වන්නේ මන්ත්‍රී­කම, ඇම­ති­කම, සභා­ප­ති­කම මෙන්ම තමන්ට ලැබෙන ප්‍රති­ලා­භය, කුට්ටිය කුමක්ද යන්න සමඟ ය. සැබැ­වින් ම තමන් විසින් තෝරා පත් කර ගනු ලබන මහ­ජන නියෝ­ජි­ත­යන්ට හා දේශ­පා­ලන නාය­ක­යන්ට ඉතා කෙටි කල­කින් තම සමාජ වග­කීම හා තමන් බල­යට පත් කළ ජන­තාව ද අම­තක වන ආකා­රය රහ­සක් නොවේ. මේ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සිය හෘදය සාක්ෂිය අවදි කළ ආකා­ර­යයි.

“2015 ජන­වාරි 08 වනදා මැති­ව­ර­ණ­යේදී මම උඩු­ගම් බලා පීනපු කෙනෙක්. එය මොන­ත­රම් අභි­යෝ­ග­යක් ද කියලා එදා දේශ­පා­ලන ව්‍යාපා­රයේ සිටි අය­ටත්, රටේ ජන­තා­ව­ටත් ඒ අව­ස්ථාවේ පැහැ­දිලි වුණා. ඒ අභි­යෝ­ගය ජය­ග්‍ර­හ­ණය කරලා හදපු ඒ ආණ්ඩුව ජන­තා­වට දුන් පොරොන්දු අද ඇතැම් අයට අම­ත­කයි; එහෙත් බොහෝ දෙනෙක්ට මත­කයි. ඒ ආණ්ඩුව යම් ප්‍රමා­ණ­ය­කට, යම් වැඩ­කො­ට­සක් කළා වගේ ම අනෙක් හවු­ල්කා­රිත්ව පාර්ශ්වය මට කිසි­සේත්ම අනු­මත කළ නොහැකි රටට නොගැ­ළ­පෙන දේ රාශි­යක් කළා. ඒ අන්ත ලිබ­ර­ල්වා­දය අපට ගැළ­පෙන්නේ නැහැ. නව ලිබ­ර­ල්වා­දය රටට දේශ­පා­ලන හූනි­ය­මක් කිය­ලයි මම විශ්වාස කරන්නේ. නමුත් මෙහිදී අප විසින් දෙයක් තේරුම් ගත යුතු වෙනවා. නිර්ප්‍රභූ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් වීම නිසා, එවැනි වූ සාධ­නීය මැදි­හ­ත්වීම් සඳහා වූ නිසි ඇගැ­යිම් මෙර­ටට සාප­යක් වී ඇති ප්‍රභූ දේශ­පා­ලන පන්තිය විසින් වල දමා තිබෙ­නවා.”

මේ ආණ්ඩුවේ සම­හරු මෙන්ම එදා 2015 මෙහෙ­යුම සමඟ සිටි අය ද මේ යථා­ර්ථය නොද­නිත්ද? නැත­හොත් නොද­න්නාක් මෙන් සිටිත්ද? ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කරන පරි­දිම 2015 ඇති­ක­ර­ගත් යහ­පා­ලන ආණ්ඩුව තුළ වු ප්‍රති­වි­රෝ­ධතා බොහෝ විය. ආණ්ඩුවේ අන්ත ලිබ­ර­ල්වා­දය මේ රටට හූනි­ය­මක් වූ බව ජන­තාව ද දනිති. එසේම ආණ්ඩුවේ සිටි ලිබ­ර­ල්වාදි කල්ලි­යට මෙරටේ ජාතික සම්පත් ගැන හෝ සංස්කෘ­තික වටි­නා­කම් ගැන හෝ හැඟී­මක් නොවීය. එසේම මේ රට තම උරු­ම­යක් ලෙසත් ජන­තාව තමන්ගේ ප්‍රවේ­ණි­දා­ස­යන් ලෙසත් සල­කන ප්‍රභූ පන්ති­යක් ද සිටිති. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දෙන පරි­දිම කොළඹ කේන්ද්‍ර කර­ගත් මේ ප්‍රභූ කව­යට පිට­තින් එන කිසි­ව­කුට ඇතුළු වීමට ද නොහැ­කිය. මේ ප්‍රභූ දේශ­පා­ල­න­ඥ­යන්ගේ සෙවණ ලැබෙන්නේ දූෂිත ජාවා­ර­ම්කාර පිරි­ස­කට ය. ජාවා­ර­ම්කා­ර­යන් හා කළු සල්ලි­කා­ර­යන් වට­ක­ර­ගත් ඒ ප්‍රභූහු ඈත රජ­රට ගම­කින් පැමිණි මෛත්‍රී වැනි දේශ­පා­ලන චරි­ත­යක් දෙස බලන්නේ වපර ඇසින් ම ය. නිර්ප්‍රභූ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් සමඟ ඔවුන්ට තිබිය හැකි දේශ­පා­ලන ගනු­දෙ­නුව කුමක්ද?

මේ ප්‍රභූ දේශ­පා­ලන ආධි­ප­ත්‍ය­යට අභි­හෝ­ග­යක් එල්ල වූයේ ශ්‍රී ලං.නි.ප.ය බිහි­වී­මත්, එහි විප්ල­වීය විජ­ය­ග්‍ර­හ­ණය වු පනස් හයේ පෙර­ළි­යත් සමඟ ය. වර­ප්‍ර­සාද ලත් බමුණු කුලය පෙරළා දමා මෙරටේ පුංචි මිනි­සුන්ට හිස එස­වී­මට හැකි වූයේ ද එනිසා ය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සිහි­පත් කරන්නේ ඒ ප්‍රග­ති­ශීලි සමාජ බල­වේ­ගය යළි ගොඩ­නැ­ඟිය යුතු බව ය. එදා බණ්ඩා­ර­නා­යක මහ­තාට අවශ්‍ය වූයේ ද බ්‍රිතා­න්‍ය­යෙන් අපට ලැබුණු නිද­හස නමැති හිස් කඩ­දා­සිය අප්‍රා­ණික බවින් මුදා ගෙන මේ රටට වුව­මනා නිද­හස ස්ථාපිත කිරී­මට ය.

මෛත්‍රී පොදු අපේ­ක්ෂ­කයා ලෙස 2015 දී උඩු­ගම් බලා පිහි­නුවේ ද මේ රටට අවශ්‍ය වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රති­සං­ස්ක­රණ ඉටු­ක­ර­දීම සඳහා ය. එහෙත් 2015 හවු­ල්ක­රු­වන් වූ පක්ෂ­යට අවශ්‍ය වූයේ මෛත්‍රී ජනා­ධි­පති පුටුවේ තබා ගනි­මින් තමන්ගේ අර­මුණු ඉටු කර ගැනීම ය. ඒ ප්‍රභු­ක­වය උත්සාහ කළේ මෛත්‍රීගේ දේශ­පා­ලන සුජාත භාවය ජන­තා­වට පෙන්වා ඔවුන්ගේ ඇස්ව­ලට වැලි ගසා තම ලිබ­රල් ධන­වාදී දේශ­පා­ලන න්‍යාය පත්‍රය බලා­ත්මක කිරීම පමණි. එහෙත් මෛත්‍රී වැනි දේශ­පා­ලන විඥා­න­යක් සහිත ස්වදේ­ශ­වාදී, සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දි­යකු එබඳු ප්‍රති­ගා­මි­ත්ව­ය­කට ඉඩ නොදීම පුදු­ම­යක් නොවේ. ඇත්ත වශ­යෙන් ම එහිදී සිදු වූයේ ඉහත කී දූෂිත, රදළ ප්‍රභූන් හා ඔවුන්ගේ ගජ­මි­තු­රන් මෛත්‍රීට එරෙ­හිව නැගී සිටීම ය. මේ එදා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිය පාක්ෂි­ක­යන්ට කරන ලද ආයා­ච­න­යයි.

“ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පොදු මිනි­සාගේ දේශ­පා­ලන පක්ෂ­යයි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අප විසින් අපේ වග­කීම සහ යුතු­කම් තේරු­ම්ගත යුතුයි. රද­ළ­වාදී දූෂිත ප්‍රභූ පන්තිය එක ම පිලක් බවට පත්වෙලා මට විරුද්ධ වුණා. වසර හතර හමා­රක් මට සිදු­වූයේ රටට වැඩ කරන්න නොවේ. ඔවුන්ට විරු­ද්ධව සටන් කරන්න. අන්ත දූෂිත දේශ­පා­ල­න­යක් අදත් රට වෙලා­ගෙන තිබෙ­නවා. මේ රටේ දූෂ­ණය නැත්තේ කොතන ද, පාර්ලි­මේ­න්තුවේ ද, පළාත් සභාවේ ද, පළාත් පාලන ආය­තන වල තත්ත්වය කුමක්ද? අද කොළඹ මහ නගර සභාවේ ඉඳලා පළාත් පාලන ආය­තන සිය­යට අනූ­වක් අන්ත දූෂි­තයි, ගොඩ­නැ­ගිලි සැලැ­ස්මක් අනු­මත කර­ගන්න. ඉඩම් සැලැ­ස්මක් අනු­මත කර­ගන්න සභා­ප­තිට මිලි­යන ගණ­නක් දෙන්න ඕන.”

අද රට ම වෙළා ගෙන ඇත්තේ ඒ දූෂ­ණ­යයි. මෛත්‍රි - රනිල් පාල­නයේ බර­ප­ත­ළම දෙද­රී­මට හේතු වූයේද ආණ්ඩුවේ පිරි­ස­කගේ කෙබඳු හෝ අනු­බ­ල­යක් ලැබ සිදු කළ මහ බැංකු මංකො­ල්ල­යයි. මෙහි ප්‍රබල චූදි­ත­යකු ලෙස ප්‍රකට අර්ජුන් මහේ­න්ද්‍රන් හා ආණ්ඩුවේ ප්‍රමු­ඛ­යන් අතර තිබෙන සබ­ඳ­තාව වසන් කළ නොහැ­කිය. මේ ජනා­ධි­ප­ති­ව­රයා විසින් ශ්‍රී ල.නි.ප. සමු­ළු­වේදී කරන ලද අනා­ව­ර­ණ­යයි.

“මගේ වසර පහ­කට ආසන්න පාලන කාලය තුළ මේ ආණ්ඩු­වට කරන්න තිබුණ ලොකුම නින්දාව, අප­හා­සය, ලොකුම හුනි­යම, භීෂ­ණය සිදු කරපු මහ බැංකු කොල්ලය වග උත්ත­ර­ක­රු­වන් මේ රටේ දේශ­පා­ල­න­යෙන් වහ වහා ඉව­ත්විය යුතුයි.”

ජන­ධි­ප­ති­ව­රයා සඳ­හන් කරන පරි­දිම මේ මහ බැංකු මංකො­ල්ලය පිළි­බඳ චෝද­නා­වෙන් ආණ්ඩු­වට නිද­හස් විය හැකිද? කුමක් වුවත් ඒ සිද්ධි­යට හවුල් වූ බව සනා­ථ­වන කිසි­වෙක් මෙරටේ දේශ­පා­ල­න­යට සුදුසු නොවන බව අප­ගේද අද­හ­සයි. දූෂණ, වංචා, මැඩ­ල­න්නෙ­මුයි වහසි බස් දෙඩු අයට මේ පිළි­බ­ඳව කීමට ඇත්තේ කුමක්ද?

ජනා­ධි­ප­ති­ව­රයා විසින් එදා ශ්‍රී ල.නි.ප. සමු­ළු­වේදි තවත් චෝද­නා­වක්ද ඉදි­රි­පත් කළේය. ඒ මෙරටේ ජන­තාව සතු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­යක් වන ඡන්ද බලය උදුරා ගැනී­මය. අද පළාත් සභා වල නිල කාලය අව­සන් වුවත් ඒ සඳහා නියෝ­ජි­ත­යන් තෝරා ගැනී­මට ක්‍රම­යක් නැත. 19 වැනි සංශෝ­ධ­න­යෙන් හඳුන්වා දුන් ස්වාධීන මැති­ව­රණ කොමි­සම ගිනි තපි­න්ට­දැයි අපි නොවි­ම­සමු. එහෙත් අභා­ග්‍ය­ය­කට මෙන් පළාත් සභා ඡන්ද නැතත් ඒ වෙනු­වෙන් නිල­ධා­රීහු දහස් ගණ­නක් වැටුප් ලබති. වර­ප්‍ර­සාද භුක්ති විඳිති. ජන­තා­වගේ ඡන්ද බලය අහිමි කිරීම ගැන ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙන් මොර දෙන ඇන්ජීඕ නඩද මුනි­වත රැකීම ඊටත් වඩා ප්‍රශ්න­යකි. උතුරේ දෙමළ දේශ­පා­ලන නාය­කයෝ ද එය තුෂ්ණීම් භූතව ඉව­සති. මෙහි ඊටත් වඩා පුදුම සහ­ගත කරු­ණක් තිබේ. පළාත් සභා කිසි­වක් ක්‍රියා­ත්මක නොවු­වද ඒවායේ හිටපු මැති ඇම­ති­ව­රුන්ට තීරු­බදු සහිත වාහන බල­පත්‍ර ලබා දීමට ආණ්ඩුවේ ඇම­ති­ව­ර­ය­කුට කරු­ණාව පහළ වීම ය.

සැබැ­වින්ම රට උග්‍ර ආර්ථික අර්බු­ද­ය­කට හිරවී තිබෙන මේ මොහො­තෙහි ඒ පළාත් සභා නියෝ­ජි­ත­යකු වෙනු­වෙන් ඇමෙ­රි­කානු ඩොලර් 35,000 ක් වැනි මුද­ලක් ලබා දීමේ සාධා­ර­ණ­ත්වය කුමක්ද?

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා චෝදනා කරන පරිදි ම මේ වර්ගයේ අමන යෝජනා කරන අය ද මේ රටේ දේශ­පා­ල­න­යට සුදුසු නොවෙති. මහ­ජන මුදල් තම සුඛ විහ­ර­ණය සඳහා අලජ්ජී ලෙස යොදා ගන්නා දේශ­පා­ල­න­යක් නඩත්තු කිරීම රටේම අවා­ස­නා­වක් නොවේද? ජනතා ප්‍රශ්න පසෙක තබා සිය දේශ­පා­ලන සනු­හ­රයේ ප්‍රශ්න විසඳා ගැනීමේ තරු­පහේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් තිබෙන එකම රට ශ්‍රී ලංකා­ව­දැයි අපට හරි­ය­ටම කිව නොහැ­කිය. මහ­ජන සේව­යට එන මහ­ත්ව­රුන්ගේ විලා­සය ද මේ. ඇත්තට ම මේ සෙල්ල­ක්කාර දේශ­පා­ල­න­ඥ­යන්ට ජන­තා­වගේ මුදල් ගැන තැකී­මක් නැති හැටි

ජනා­ධි­ප­ති­ව­රයා විසින් එම ශ්‍රී ල.නි.ප. සමු­ළු­වේදී මෙරටේ රාජ්‍ය යාන්ත්‍ර­ණය අවු­ලක් බවට පත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය පිළි­බ­ඳ­වද විවේ­ච­නා­ත්මක විග්‍ර­හ­යක් කර තිබුණී. සත්ත­කින්ම නුදුරු අනා­ග­ත­යේදී එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් රටට ස්ථාවර පාල­න­යක් ලබා දිය හැකිද? රුපි­යල් කෝටි 450 කටත් අධික මහ­ජන මුද­ලක් වෙන් කර තෝරා ගන්නා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ තත්ත්වය කුමක්ද? මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ යෝජ­නාව වූයේ ජන­තාව උනන්දු විය යුත්තේ 2020 දී රට භාර­ගන්නා ඇමැ­ති­ව­රයා ගැන මිස මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය ගන්නා අපේ­ක්ෂ­කයා ගැන නොවන බවය. සැබැ­වින්ම මේ දේශ­පා­ලන අවුල නිර්මා­ණය කළෝ 19 වැනි සංශෝ­ධ­නය ක්‍රියා­ව­ලිය බාරව සිටි අය වෙති. ඒ ක්‍රියා­ව­ලිය ව්‍යව­ස්ථා­දා­ය­කය හා විධා­ය­කය අතර නිර්මා­ණය කළේ ලිහා ගත නොහැකි අවු­ලක් බව රහ­සක් නොවේ. මේ රටේ තිබෙන ව්‍යව­ස්ථා­දා­යක, විධා­යක හා අධි­ක­රණ කේෂ්ත්‍ර තුන ම මේ වන­විට අවුල් ජාල­යක් වී තිබෙන බව බොහෝ විට කියනු ඇසෙයි . යහ­පා­ලන ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීන් විසින් ව්‍යව­ස්ථාව සමඟ කරන ලද සුක්ෂම හා වංච­නික ක්‍රීඩා­වක් බඳු සංශෝ­ධන වලින් සිදු වී ඇත්තේ කුමක්ද යන්න දැන් විමසා බැලීම ද නිෂ්ඵල ය.

කෙසේ වුවද 19 වැනි සංශෝ­ධ­නය මොකද්දෝ හදි­සි­ය­කින් හා කල­බ­ල­ය­කින් කරන ලද්දක් බව නම් පැහැ­දිලි ය. ජන­මත විචා­ර­ණය මඟ හරි­මින් විධා­යක බලය අග­මැ­තිගේ මට්ට­මට කපා ගැනීම විනා එයින් රටට සිදුවු යහ­ප­තක් නැති බවද ඉඳුරා කිව යුතුය. ව්‍යව­ස්ථාව පම­ණක් නොව අද මුළු මහත් රට ම පව­තින්නේ විශාල අර්බු­ද­යක ය. දුෂ­ණය ඉහ වහා ගොසින් ය. බොහෝ ආය­තන අයාලේ යමින් තිබේ. පාර්ලි­මේ­න්තුවේ කෝප් කමි­ටුව අබි­යස හෙළි­ද­ර­ව්වන තොර­තුරු වග­කී­මක් නැති දූෂිත පාල­න­යක දුඟඳ රටට ම ලබා දෙන්නකි. වග­කිව යුතු කිසි­වෙක් නැති නන්නා­ත්තාර වූ ආය­ත­න­වල සල්ලි කඳු සාක්කු­වල වැටෙන ආකා­රය විස්ම­යට වඩා පිළි­කුල දන­වයි.

දැන් යළිත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් ගැන තෙප­ර­බෑම් ඇසෙයි. ඇත්ත­ටම මෙරටේ ව්‍යවස්ථා සම්පා­ද­නය අති­ශය දූෂිත ක්‍රියා­ව­ලි­යක් බව මතු යම් දිනක ඒ පිළි­බඳ ප්‍රබුද්ධ මන­ස­කින් කෙරෙන ශාස්ත්‍රීය විම­ර්ශ­න­ය­කින් තහ­වුරු වනු නිසැ­කය. ජේ.ආර්. යනු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සමග ක්‍රීඩා කළ මැකි­යා­වලී කෙනෙකි. කිසිදු ජන­ප්‍ර­සා­ද­යක් නොමැති කළු සල්ලි­කා­ර­යන්ට දේශ­පා­ලන දොර­ටුව හැර දුන් ඡන්ද ක්‍රමය ඔහුගේ නිර්මා­ණ­යකි. අද ජන­තාව බලා සිටින ජාතික ලැයිස්තු අර්බු­දය හා විග­ඩම වැනි විකෘති තිබෙන රටක් ලෝකයේ තිබේද යන්නත් ගැට­ලු­වකි. කුමක් වුවත් 19 වැනි සංශෝ­ධ­නය සිදු කළ ටිකිරි මොළ­කා­ර­යන් අප සිහි­පත් කරන්නේ එකක් කඩ­තොලු මකා ගන්නට ගොස් දෙකක් නොව දාහක් කඩ­තොලු සාදා දුන් ඉදු­රුවේ ආචා­රියා ය.

කෙසේ හෝ මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දෙන පරි­දිම අපත් රටත් හිරවී සිටින්නේ අවුල් ජාලා­වක ය. ඒ බොහෝ අවුල් මේ කියන 19 වැනි සංශෝ­ධ­නය සමඟ ගැට ගැසී තිබෙන බවද පෙනේ. පළාත් සභා ඡන්ද පැවැ­ත්වී­මට බාධා­වක් වී තිබෙ­න්නේද ආණ්ඩුවේ ම වර­දින් බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දී තිබේ. මහ­ජන මත­යට බියෙන් කෙරෙන දේශ­පා­ලන සට කප­ට­කම් මෙන්ම බල­කාමී දේශ­පා­ල­නය දැන් අව­සන් කළ යුතු බව අපගේ ද යෝජ­නාව ය. අලු­තින් පත්වන ආණ්ඩු­ව­කට අවශ්‍ය නම් පළාත් සභා නොප­වත්වා රට පාල­නය කිරී­මට වුවද දැන් මාවත විව­රව තිබෙන බව සම­හරු කියති. එහෙත් මේ පළාත් සභා ක්‍රමය තාක්ෂ­ණික දෝෂ­යක් නිසා අහෝසි වී යාමට ඉඩ­දී­මද යහ­පත් ක්‍රියා­වක් නොවන බව සද­හන් කළ යුතුය. පළාත් සභා වෙනු­වෙන් රට ගිනි තැබූ දෙමළ අන්ත­වා­දය මෙහිදී අපට සිහි­පත් වේ. එදා පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ බලය බෙදීම සඳ­හාය. ඒ අනුව උතු­රට ලබා දුන් පළාත් සභාව උතුරේ ජන අභි­ලා­ෂ­යන් හඳුනා ගත්තේද යන්න වෙනම ප්‍රශ්න­යකි. එහෙත් උතුරේ දෙමළ නාය­ක­යන් මේ පිළි­බ­ඳව දක්වන නිහැ­ඬි­යාව තේරුම් ගත නොහැ­කිය. උතුර නැගෙ­න­හිර එක් කළ යුතු යැයි ඝෝෂා කරන දෙමළ දේශ­පා­ල­න­ඥයෝ ද සිටිති. ඔවු­න්ගෙන්ද මේ පිළි­බඳ කිසිදු ප්‍රති­චා­ර­යක් තවම ලැබී නැත.

 

Comments