මහවැලි වැසියන්ගේ වීර්යයට අභිමානයක් එක් කරමු | සිළුමිණ

මහවැලි වැසියන්ගේ වීර්යයට අභිමානයක් එක් කරමු

ක්‍රීඩාවේ සුන්දරත්වය, චමත්කාරය, ලාලිත්‍යය සහ සැබැඳියාව එක්තැන් කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ තිස්එක්වැනි වරටත් ඩී කලාපයේ මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේදි අදින් අවසන්වීමට නියමිතය. මහවැලි කලාපය හරහා බිහි වූ තවත් උපසංස්කෘතියක දක්ෂතා එක මිටකට ගොනුකර ගැනීම අරමුණු කරගෙන මහවැලි ක්‍රීඩා උලෙළ විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කරමින් මෙකී තරගාවලියත් සමඟ ගෙවා දමා ඇති කාල පරිච්ඡේද සංඛ්‍යාත්මකව තිස් එකකි. මෙකී කාලය තුළ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඉදිරියට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව පිළිබඳ නැවත විමසා බැලීම වටියි.

සංචාරක ජීවිතයක් ගෙවා දැමූ අපේ ආදි මුතුන්මිත්තන් සරුසාර ගංගා නිම්න භූමි කේන්ද්‍ර කර ගනිමින් වාඩිලා ගත් තැන් පටන් සමාරම්භය සටහන් වූයේ නව කෘෂි කාර්මික සංස්කරණයකි. මනුෂ්‍යයාට ක්‍රීඩා, කලා සහ සංස්කෘතික ජීවිතය යා වුණත් මේ නව්‍ය කෘෂිකාර්මික ජීවිතය උරුම කර දුන් නිස්කාන්සුවයි. මහවැලි නදියෙන් පෝෂණය වන කෘෂිකාර්මික ජනපදවල ජනයාට ක්‍රීඩා - කලා සහ සංස්කෘතික දිවියක් උරුම කර දෙනුවස් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මෙකී මහවැලි ක්‍රීඩා උලෙළ වෙත හිමිවනුයේ සුවිශේෂි ස්ථානයකි.

දශක තුනක් ගෙවා දමා ඇති මහවැලි ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාම්ප්‍රදායික ක්‍රීඩා උලෙළෙවල් අතර හැරවුම් ලක්ෂයක් කර ගැනීමට ප්‍රමාණවත්වය. නමුත් රටක් වශයෙන් අප එයට කොතරම් සූදානම් ද යන්න විමසා බැලිය යුතුය. අවසන් වරට නිමා වූ දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළේ දී හිස් අතින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණීමට සිදුවූයේ ඉතිහාසයේ වැඩි ම සහභාගිත්වය ද සටහන් කරමින්ය. එසේ හිස් අතින් පැමිණිය ද තවමත් ඒ පිළිබඳ වගේවගක් නැතිවග නම් පැහැදිලිය.

මහවැලි ක්‍රීඩා උලෙළ හරහා අදටත් අන්තර්ජාතික වශයෙන් කතා කිරීමට ඉතිරිව ඇත්තේ ශ්‍රියානි කුලවංශගේ මතකයන් පමණී. ගෙවී ගියාවූ කාලය තුළ එනම් මෙකී දශක තුන ඇතුළේ ඕනෑ තරම් දක්ෂයෝ මේ හරහා බිහි වන්නට ඇත. නමුත් ජාතික වශයෙන් වැඩපිළිවෙළක් නොවූ නිසාම, එකී දක්ෂයෝ උපන් ගෙයිම වැළලී යන්නට ඇත. අද ලෝකය එදාට වඩා සෑම අතින් ම විවෘතය. ඩන්කන් වයිට්ගෙන් දශක පහකට පසු සුසන්තිකා ජයසිංහව ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට හැකි තැනකට ඔසවා තැබීමට හැකි වූයේ නම් ශ්‍රියානි කුලවංශට එකී අවස්ථාව මඟ හැරී ගියේ කෙසේද යන්න මේ තරගාවලිය අවසානයේ හෝ බලධාරින් අවධානය යොමු කරන්නේ නම් වටියි. හුදකලාව ගමනක් යා නොහැකි තරමට ලෝකය එකමිටක ගොනුවී අවසන්ය. මේ තුළ අප රටක් වශයෙන් ගමන් කළ යුත්තේ ඉදිරියට ම මිස ආපස්සට නොවේ. එහෙත් ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කරන විට අප රටක් විදියට ම ගමන් කරන්නේ ආපස්සට බව පැහැදිලිය. මෙතෙක් පැවැති මහවැලි ක්‍රීඩා උලෙළවලට වඩා විප්ලවයක් කිරීමේ කඩඉම මේ තරගාවලිය හරහා මතු කර ගත හැකිය. ප්‍රශ්නය වන්නේ අප මේ සඳහා කොතෙක් සූදානම් ද යන්නයි.

මහවැලි ක්‍රීඩා උලෙළ හෝ ලංකාවේ පැවැත්වෙන ක්‍රීඩා තරගාවලියක් මේ වර්ග කිලෝමීටර් හැට පන්දහසට කොටුකරගත යුතු නොවේ. මෙතැනින් එළියේ ළඟම තැන ලෙස අපට මුණ ගැසෙන්නේ සාග් ක්‍රීඩා උලෙළයි. මහවැලි ක්‍රීඩා උලෙළ හරහා බිහිවන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීදෙනෙක් සාග් තරගාවලියට එක්වී තිබේද යන්න විමසා බැලීම කාලෝචිතය. මහවැලි ක්‍රීඩා උලෙළ හරහා බිහිවන දක්ෂයන් රැක ගැනීමට ඉදිරියට ගැනීමට හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැඟිය යුතුය. එසේ නොමැතිව අනාගත ලෝකය ජයගත නොහැකිය. අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ තරගයක් දීමට පවා අප තරගකාරි මට්ටමක සිටිය යුතුය. නැතිනම් සිද්ධ වන්නේ සුපුරුදු පරිදි සහභාගිත්වයකට පමණක් සීමා වීමය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් දියුණුව කරා ගොස් ජය අත්පත් කර ගන්නේ නිලධාරින්ගේ සහ බලධාරීන්ගේ දුර දක්නා නිවැරැදි ක්‍රමවේදයන් හරහාය. ක්‍රීඩා යාන්ත්‍රණය පැනවිය යුත්තේ ක්‍රීඩාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ආරක්ෂා වන අයුරින් සහ එකී දක්ෂතාවල පැවැත්ම වෙනුවෙන්ය. එහෙත් අවාසනාවකට අපේ රටේ සිද්ධ වෙමින් පවතින්නේ නිලධාරින්ගේ සහ බලධාරින්ගේ පැවැත්ම වෙනුවෙන් සියලු දේ අඩු නැතුව සකසා ගෙන තිබීමය.

කඩ ඉමකට කේන්ද්‍රවී ඇති මහවැලි ක්‍රීඩා උලෙළ හරහා හෝ මේ මස්ත බාල්දු මජර ක්‍රීඩා සංස්කෘතියට ක්‍රීඩා නිලධාරින්ට මෙන් ම බලධා‍රින්ට ද පාඩමක් කියාදිය හැකි නම් එය ම ජයග්‍රහණයකි. ඒ අනුව මේ වැළලී යන ක්‍රීඩා ජයග්‍රහණයන්ට නව පණක්, හඬක් එක් කරලීමට හැකි නම් තිස් එක්වැනි මහවැලි ක්‍රීඩා උලෙළ බොහෝ දෑ වෙනස් කරලීමට හැකි සංධිස්ථානයක් වනු ඇත.

 

Comments