ක්‍රිකට් වීරයාගෙන් පොරොන්දුවක් | සිළුමිණ

ක්‍රිකට් වීරයාගෙන් පොරොන්දුවක්

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ගිය වසරේ අගෝස්තු මාසයේදී පාකිස්තානයේ අගමැති ලෙස පත් වූ විට බොහෝ දෙනා තුළ මහත් වූ බලාපොරොත්තු ඇති විය. ඒ පිරිස අතරට අසල්වැසි ඉන්දියාවත් අයත්ය. විවිධාකාර ගැටලු රැසකින්ම පීඩාවට පත්ව සිටින පාකිස්තානයේ සාමාන්‍ය ජනතාව සිය ක්‍රිකට් වීරයාගේ නායකත්වයෙන් තමන්ට සහනයක් ලැබෙනු ඇතැයි සිතූහ. ඒ සඳහා අවශ්‍ය පියවර කිහිපයක්ම අගමැති ඉම්රාන් විසින් දැනටමත් ගෙන තිබේ.

ඉන්දියානුවන්ගේ එකම බලාපොරොත්තුව වූයේ පාකිස්තානය සමඟ පවතින කාශ්මීර අර්බුදයට ඉම්රාන්ට කිසියම් විසඳුමක් ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇතැයි යන්නය. ඒ ඉම්රාන් ඛාන් යනු ඉන්දු පාකිස්තාන දෙරටේම ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ වීරයකු වන බැවිනි. ඔහු අගමැති වීමෙන් මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී ඇත. එසේ වුවත් මේ කාලය තුළදී කාශ්මීර අර්බුදය තව තවත් උග්‍ර වී තිබෙනු මිස එයට විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. යළිත් වතාවක් දෙරට අතර යුද්ධයක් ඇති විය හැකි ආකාරයටම එම අර්බුදය ගත වූ වසරක පමණ කාලයේදී වැඩි වූයේය.

මෙම දෙරට අතර යළිත් වතාවක් යුද්ධයක් ඇති වුවහොත් එය දකුණු ආසියාවටම ප්‍රබල බලපෑමක් වේ. එමෙන්ම එය මුළු ලොවටමත් බලපායි. ඒ විශේෂ එමෙන්ම අති භයානක හේතුවක් නිසාවෙනි. එනම් මේ දෙරටම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධව සිටින බැවිනි. එසේ වුවත් යළිත් වතාවක් යුද්ධයක් කිරීමට තමන්ට ඇවැසි නැති බවත් කෙදිනකවත් යුද්ධය පාකිස්තානය විසින් ආරම්භ කරන්නේ නැති බවට ඉම්රාන් ඉකුත් දින ලොවට සහතිකයක් දෙනු ලැබීය.

“අපි (පාකිස්තානය) කිසිම විටෙකවත් යුද්ධයක් ආරම්භ කරන්නේ නැහැ. පාකිස්තානය සහ ඉන්දියාව යන දෙරටම න්‍යෂ්ටික බලවතුන් වෙනවා. මේ ගැටලුව තවත් වැඩි වුවහොත් එය ලොවටම අනතුරක් වෙනවා. කිසිම ප්‍රශ්නයකට උත්තරය යුද්ධය නෙමේ. මේ බව ඉන්දියාවට පැවසීමට මට අවශ්‍යයි. යුද්ධයේ ජයග්‍රාහකයාම තමයි පරාජිතයාත් වෙන්නේ. යුද්ධය වෙනත් දේවලුත් බිහි කරනවා”

 

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය කර පැය කිහිපයකට පසුව පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තවත් ප්‍රකාශයක් නිකුත් කළේය. එමගින් දැක්වුයේ ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ අදහස් දැක්වීම ඇතැම් මාධ්‍ය විසින් සීමාව ඉක්මවමින් වාර්තා කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ දෙරටේ සබඳතාවලට දැවැන්ත බාධකයක් ඇති වූයේ මෙම වසර මුලදීය. ඒ කාශ්මීර් ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේදී ඉන්දීය මධ්‍යම සංචිත පොලිස් බළකායට සම්බන්ධ 40 ක පමණ පිරිසක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුගේ ප්‍රහාරයකින් මිය ගිය බැවිනි. එහි වගකීම පාකිස්තානයේම ස්ථාපිත ජායිෂ් - ඊ - මුහමඩ් (ජෙම්) සංවිධානය විසින් භාර ගත් බවට වාර්තා විය. ඊට ප්‍රතිචාර ලෙසට ඉන්දියාව විසින් පාකිස්තානයේ මාන්ෂෙහ්රා දිස්ත්‍රික්කයේ බාලාකොට් නගරයේ පිහිටි ජෙම් සංවිධානයේ පුහුණු කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළේය. 2005 වසරේදී සිදු වූ කාශ්මීර භූමිකම්පාවෙන් මේ නගරය විනාශ වූයේය. එහෙත් පසුව එය යථා තත්ත්වයට පත් කෙරිණි.

 

මේ අර්බුදය යළිත් වර්ධනය වූයේ ජම්මු සහ කාෂ්මිරයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දීය රජය තීරණය කිරීම නිසාය. ඊ‍ට පාකිස්තාන ප්‍රතිචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මට්ටම පහත හෙළීමට තීරණය කිරීමයි.

 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉම්රාන් ඛාන් අතර මීට පෙර පැවැති දුරකතන සංවාදයක තොරතුරුත් ඉම්රාන් හෙළි කළේය. “දෙරටේම තිබෙන්නේ සමාන තත්ත්වයන් කියලා මම ඔහුට (මෝදි) පැවසුවා. පරිසර වෙනස් වීම් ගැනත් සඳහන් කළා. අපි සිටින්නේ බෝම්බයක් උඩයි. අපි මේ පරිසර වෙනස් වීම ගැන අවධානය යොමු කළේ නැත්නම් දෙරටම දරුණු ජල හිඟයකට මුහුණ දෙන්න සිදු වෙනවා. සාකච්ඡාවෙන් කාශ්මීර ආරවුල විසඳා ගනිමු යැයි මම ඔහුට වැඩිදුරටත් පැවසුවා.”

 

එසේ වුවත් ඊට සිය අසල්වැසියාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ ගැන ඉම්රාන් පසුතැවෙයි.

 

“මම කුමන ආකාරයක උත්සාහ දැරුවත් ඉන්දියාව හැසිරෙන්නේ හරියට සුපිරි බලවතෙක් ලෙසටයි. ඔවුන් අපිව පාලනය කරන්න හදනවා.“

Comments