දිවියට සමුදුන් සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ | සිළුමිණ

දිවියට සමුදුන් සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ

දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 95 වන වියෙහි පසුවූ ඔහු, ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

1924 වසරේ පෙබරවාරි මස 21 වන දා රොබට් මුගාබේ උපත ලැබුවේ රොඩේසියාවේදී ය .

රොඩේසියා රජය විවේචනය කිරීමේ චෝදනාවට 1964 වසරේ සිට දශකයකට අධික කාලයක් ඔහු බන්ධනාගාරගතව සිටියේ නඩු විභාගයකින් තොරව ය.

බන්ධනාගාරගතව සිටියදීම, 1973 වසරේදී රොබට් මුගාබේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා ගැනිණි.

සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලබා ගැනීමෙන් පසු එරට අග්‍රාමාත්‍ය ධූරයට පත් ප්‍රථම පුද්ගලයා ද රොබට් මුගාබේයි.

1980 වසරේ සිම්බාබ්වේ රාජ්‍යයේ අගමැති ලෙසින් බලයට පත් වූ ඔහු 1987 වසරේදී ජනාධිපති ධුරය ලබා ගත්තේ එරට ව්‍යවස්‌ථාව සංශෝධනය කරමිනි. 

එතැන් සිට ඔහු තිස්‌ හත් වසරක්‌, එනම් 1980 සිට 2017 නොවැම්බර් මස දක්‌වා අති දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළේය. 

බලයට පත් වූ මුල් වකවානුවේ කළු ජාතික ජනතාවට සෞඛ්‍යය පහසුකම් සහ අධ්‍යාපනික අවස්ථා ලබාදීම වෙනුවෙන් ඔහු කළ මෙහෙවර ජනතා ප්‍රශංසාවට ලක් විය.

එහෙත් මතභේදයට තුඩු දුන් ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථික පරිහානිය කරා ගෙන ගියේ ජනතා විශ්වාසය ද බිඳ දමමිනි.

ඔහුගේ පාලන කාලයේ අවසන් වසර කිහිපය තුළදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ විමුක්තියේ සංකේතයකි.

නූතන සිම්බාබ්වේ රාජ්‍යයේ පියාණන් ලෙස ද සැලකෙන රොබට් මුගාබේ, 2017 වසරේ නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ධූරයෙන් පළවාහැරියේ තිස් වසරක පාලන යුගය නිමාවට පත් කරමිනි.

වත්මන් සිම්බාබ්වේ නායක එමර්සන් මනන්ග්වා හිටපු නායකයාගේ අභාවය ගැන සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, ඔහු වත්මන් සිම්බාබ්වේ රාජ්‍යයේ නිර්මාතෘවරයෙකු ලෙස ඔහු හඳුන්වා ඇත.

Comments