මොන දේ කළත් මගේ හිත සංගීතයට බැඳිලා | සිළුමිණ

මොන දේ කළත් මගේ හිත සංගීතයට බැඳිලා

අද වෙනකොට එක  එක රැලි තියෙනවා.  නමුත් මම කැමැතියි මේ කිසිම රැල්ලකට  හසු නොවි, වෙන් නොවි මගේ දක්ෂතා  සුබාවිත ගීත යත් සමඟ  ඉදිරියට යන්න

ඔබ දුටුවේ එක කඳුළු බිඳක් පමණයි

හිත ගොළු වී දුක් කඳුළු ගඟක් සඟවයි

ඔබ දුටුවේ මගෙ සෙනෙහෙ බිඳක් පමණයි

හිත ඇතුළේ ආදරය ගඟක් සඟවයි....

ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකිර්ති විසින් තනුනිර්මාණය කරන ලද , ප්‍රවීණ ගී පද රචක නාරද විජේසූරියගේ ගී පද වලින් හැඩවුණ මේ ගීතය ගයන්නේ යොවුන් ගායන ශිල්පිනී රුවිනි විජ්සුන්දරය.

බාල වියේ සිටම සංගීතයට ගායනයට ඇල්මක් දැක්වූ රුවිනි මුලින්ම ගීත ගැයීම ආරම්භ කරන්නේ පාසල් වේදිකාවෙන්. කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කළමනාකරණ උපාධිය හදාරන්නීය. වානිජ විෂයන් හැදෑරුවද ඇය තම හැකියාවට සැඟවෙන්නට නොදුන්නාය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී ද ඇය ගීත ගායනය කළාය. එමෙන්ම රුවිනි වසර කිහිපයක් කේමදාස පදනමේ ගායන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කළ අතර දැන් ඇය පෞද්ගලික ආයතනයක සේවය කරන්නීය.

“මට පුංචි කාලේ ඉදලාම අපේ ගෙදර හොඳ ගීත අසන්නට ලැබුණා. ඒ නිසා වෙන්නැති දැනුම් තේරුම් ඇති වයසේ ඉඳලා මම සංගීතයට, ගීත ගායනයට ඇල්මක් දක්වන්නට ඇත්තේ. මගෙ අම්මා සංගීයට සිනමාව , ගීතයට බොහොම කැමතියි.

මොනදේ කළත් මගේ හිතේ ගීත ගායනයට, සංගීතයට පුදුමාකාර බැඳිමක් ආදරයක් තිබෙනවා. ඒ නිසා තමයි මම ගීත ගායනයට යොමු වුණේ. මගේ අම්මා සෞම්‍යා විජේසුන්දර හා තාත්තා රොහාන් විජේසුන්දරගෙන් මට හොඳ මඟ පෙන්වීමක් සහයෝගයක් ලැබුණා. ඒ වගේ ම පාසලෙනුත් මට ලැබුණ ධ්‍යෛර්ය විශාලයි. මගේ පළවෙනි ගීතය තමයි ‘සඳ කඩා වැටී.....’ කියන ගීතය. මේ ගීතය ලිව්වේ නාරද විජේසුරිය මහත්මයා. සංගීතවත් කළේ නාලක අංජන කුමාර මහත්මයා. අනෙක් ගීතය තමයි ‘ඔබ දුටුවේ එක කඳුළු බිඳක්...’ ඒ ගීතය ලියුවෙත් නාරද විජේසුරිය මහතා. සංගීතවත් කළේ විශාරද රෝහණ ධර්මකිර්ති මහතා. මම හිතනවා මා ගැයූ ගීත වලින් වඩාත්ම රසිකයන් කැමති වූ ගීතය තමයි ‘ආවත් ඔයා...’ කියන ගීතය. මේ ගීතය රචනා කළේ උදාර ප්‍රගීත්. මම මේ වන විට ගීත නවයක් පමණ ගායනා කර තිබෙනවා. ඒ ඇතැම් ගී සඳහා රූප රචනා කර තිබෙනවා.

මම පැමිණි මේ ගමනේදි මට සහාය දුන් අය බොහෝමයි. ගී පද රචක චන්ද්‍රෙස්න තලංගම, දිලුම් තේජාන්, සංදේශ් බණ්ඩාර, යන අය ගැන සිහිපත් කරන්නේ බොහෝම ආදරයෙන්.”

සංගීත දිවියට පිවිසිම පිළිබඳ ඇය පවසන්නේ එලෙසිනි.

අද දවසේදී ගායන කේෂත්‍රයට පිවිසෙන්නෝ බොහෝය. නමුදු ඔවුන්ට ඉදිරියට එන්නට මාධ්‍ය මඟින් ඇති ඉඩකඩ මදය. බොහෝ විට මේ නවකයන්ගේ ගී අපට ඇසෙන්නේ යුටිය­ුබය හරහාය. රුවිනිගේ ගීත ද අපට අසන්නට සිදුව ඇත්තේ යුටියුබයෙනි. තරුණ තරුණියන් අතර නිතර ඇසෙන ඇගේ ගී පිළිබඳ රුවිනි කියන්නේ මෙවැනි අදහසකි.

“ අද වෙනකොට එක එක රැලි තියෙනවා. නමුත් මම කැමැතියි මේ කිසිම රැල්ලකට හසු නොවි, වෙන් නොවි මගේ දක්ෂතා සුබාවිත ගීතයත් සමඟ ඉදිරියට යන්න. මේ වන විට මා ගායනා කර ඇති ගීත එකිනෙකට වෙනස්.” ඒ ඇගේ අදහසය. ගායන ලොවට අලුතින් එක් වූ ඇයට මේ ක්ෂේත්‍රයේ දිගු දුරක් යාමට අප සුබ පතමු.

ඡයාරූපය/තිලක් පෙරේරා

Comments