ලොවටම තරු පෙන්වා අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගත් අපේ කොල්ලා | සිළුමිණ

ලොවටම තරු පෙන්වා අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගත් අපේ කොල්ලා

“ඇමෙරිකාව, චීනය, ආසියාව, ජපානය වැනි දියුණු රටවල්වල විද්‍යාඥයන් කරන තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් අපේ රටේම ඉදගෙන කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි අපි තුන් දෙනෙක් එකතුවෙලා අලුත් ම තරුවක් හා ග්‍රහ පද්ධතියක් සොයාගෙන ලොවටම දායාද කිරීම.” මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික හා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා මේ අදහස් පළ කළේ මෙරට තාරකා විද්‍යා පර්යේෂණ ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආචාර්ය චන්දන ජයරත්න මහතාගේ උපදේශකත්වය හා අධීක්ෂණය මත නව ග්‍රහ පද්ධතියක් සොයාගත් මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත්ගේ පර්යේෂණය පිළිබඳව රටට හෙළි කරමිනි.

මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය තාරකා විද්‍යා අංශයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතාගේ පූර්ණ මෙහෙයවීම හා සහාය මත මහේෂ් පීරිස් විසින් මෙම නව ග්‍රහ පද්ධතිය සොයාගෙන ඇත. ඒ පිළිබඳව නාසා ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ ආයතන ගණනාවක් සොයා බලා එය සත්‍යම ග්‍රහ පද්ධතියක් බවට තීරණය කර තිබේ.

මේ අනුව අපේ රටේ විද්‍යාඥයන්ටත් ලොව ප්‍රමුඛ රටවල්වල විද්‍යාඥයන් සමඟ කරට කර වැඩ කර ලොව හොල්ලන අලුත් දේවල් සොයා ගැනීමට හැකියාව තිබේ.

මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආචාර්ය සරත් ගුණපාල හා ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සමඟ අපේ සම්මානනීය පුරවැසි ආචාර්ය ආතර් සී. ක්ලාක් සහ විද්වත්හු ඒ අතර ප්‍රමුඛත්වය ගනිති.

ඒ විද්වතුන් අතරට අපේ විද්‍යාඥයන් තිදෙනෙක් ද අලුතින් එක්වෙමින් අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටත ඇති අලුත් තරුවක හා ග්‍රහලෝක දෙකක් ඇති අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයා ගත්හ. ඒ බව රටට අනාවරණය කළේ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේදී ය.

මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සාමාජික කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර යන විද්වතුන් ගේ උපදෙස් අධීක්ෂණය හා මග පෙන්වීම ඇතිව මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් මහතා මෙම පර්යේෂණය සිදුකර මුළු ලොවටම අලුත් තරුවක් හා අලුත් ග්‍රහලෝක දෙකක් හඳුන්වා දී තිබේ.

නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ රඳවා ඇති කෙප්ලර් දුරේක්ෂයේ කෙප්ලර් 2 මෙහෙයුම යටතේ තරු 588991 ක් පමණ නිරීක්ෂණය කර විශේෂ පරිගණක ඇල්ගොර්තමක් භාවිතා කර එම තරුවල ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හඳුනාගනු ලැබේ. එයට අනුබද්ධව මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ අංශයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා 2017 වසරේදී අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි තාරකාවලට අයත් ග්‍රහ මණ්ඩල සොයාගැනීම සඳහා නාසා ආයතනයේ කෙප්ලර් - 2 මෙහෙයුමේ දත්ත උපයෝගි කර ගැනීම ආරම්භ කළේය. ඒ අනුව සිදුකරන පර්යේෂණ සඳහා 2018 වසරේදී පර්යේෂණ විද්‍යාඥ හා කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශනපති උපාධි අපේක්ෂක මහේෂ් හේරත් මහතා එක්විය. පසුව මෙම පර්යේෂණය පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ලියාපදිංචි වීමටත් මහේෂ් කටයුතු කළේය. ඒ අනුව එම උපාධිය සඳහා වූ පර්යේෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පූර්ණ උපදේශකත්වය හා ලබාදෙමින් මඟ පෙන්වමින් එම පර්යේෂණයේ අධීක්ෂක ලෙස කටයුතු කළේ ය.

වර්ෂ 2018 දී කෙප්ලර් 2 මෙහෙයුමේ 6 වැනි නිරීක්ෂණ සැසියේදී ආලෝක වර්ෂ 1133 ක් ඈතින් පිහිටි EPIC 212737443 නමැති තරුවේ දීප්තිමත් දත්ත මාස 9 ක් තිස්සේ විශ්ලේපණය කිරීමෙන් අනතුරුව එම තරුව වටා ග්‍රහලෝක දෙකක් භ්‍රමණය වන බව මහේෂ් හේරත්ට නිරීක්ෂණය කිරීමට හැකි විය. ඒ අනුව මෙරට විද්‍යාඥයන් තිදෙනකුගේ ඒකාබද්ධ මෙහෙයුමකින් එම තරුව හා ඊට අනුබද්ධ ග්‍ර‍හලෝක දෙක සොයාගැනීමට අවස්ථාව ලැබිණි. මෙම තරුව K2 310a ලෙස නම්කර ඇති බව පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් පවසයි. එංගලන්තයේ වසර 200ක් තරම් පැරණි ලොව පිළිගත් රාජකීය තාරකා විද්‍යා සංගමය මගින් පළකරන MNRAS තාරකා විද්‍යා සඟරාවෙහි (Monthly Notices of the Royal Astronomical Society) මෙම නව ග්‍රහ මණ්ඩලය සොයා ගැනීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය පාරාග්‍රහලෝක (Exoplanet) පිළිබඳ ජාත්‍යන්තර වෙබ් අඩවි තුළ ද ඇතුළත් කර ඇත. Exoplanet Archive, Extra solar planet encyclopedia ආදී වෙබ් අඩවිවල ද මේ පිළිබඳව හෙළි කරයි. ඒ අනුව මේ පිළිබඳව ජගත් පිළිගැනීමක් ලැබී ඇත.

අලුතින් සොයාගත් ග්‍රහලෝක 2 වායුගෝලයක්, ජලය සහිත මතු පිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇති බවට අනුමාන කෙරේ. මෙම ග්‍රහලෝක 2 ආසන්න වශයෙන් ස්කන්ධ සමානවේ. එනම් පෘථිවියේ ස්කන්ධය මෙන් නව ගුණයක් වේ. ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය ද එකිනෙකට සමානය. එනම් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මෙන් 1.4ක් පමණ වේ.

මෙම ග්‍රහලෝක දෙකෙන් විශාලත්වයෙන් කුඩා තරුවට ළඟ ග්‍රහලෝකය K2 310b ලෙස නම්කර ඇති අතර එහි විශ්කම්භය පෘථිවියේ මෙන් 2.6 ගුණයකි. (33,165km). මෙම ග්‍රහලෝකය එහි ජනක තරුවට නක්ෂත්‍ර ඒකක 0.1 දුරින් (පෘථිවිය සහ සූර්යයා පිහිටා ඇති දුරින් 1/10) පිහිටා ඇති අතර එහි මතුපිට උෂ්ණත්වය සෙ.අ. 263 ක් පමණ වන නිසා මෙම පළමු ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු නොවේ. මෙහි භ්‍රමණ කාලය දවස් 13.6කි.

විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා තරුවට ඇත ග්‍රහලෝකය K2 310c ලෙස නම්කර ඇති අතර එහි විෂ්කම්භය පෘථිවියේ මෙන් 2.7 ගුණයකි. (34,441km). මෙම ග්‍රහලෝකය එහි ජනක තරුවට නක්ෂත්‍ර ඒකක 0.3ක් පමණ දුරින් (පෘථිවිය සහ සූර්යයා පිහිටා ඇති දුරින් 1/3) පිහිටා ඇති අතර එහි මතුපිට උෂ්ණත්වය සෙ.අ. 42 වන අතර මෙම ග්‍රහලෝකයේ ජලය පැවතීමේ වැඩි හැකියාවක් ඇති බව මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. මෙම ග්‍රහලෝකයෙහි භ්‍රමණ කාලය දවස් 65 කි.

කෙප්ලර් - 2 යටතේ කළ පර්යේෂණ අනුව ඈතින් ම පිහිටි වැඩිම භ්‍රමණ කාලයක් ඇති ග්‍රහලොව K2 310c ය. අපගේ සූර්යාට වඩා උෂ්ණත්ව‍යෙන් අඩු තැඹිලි පැහැයෙන් යුක්ත තරුවක් වටා මෙම ග්‍රහලෝක දෙක භ්‍රමණය වන අතර ඔවුන්ගේ භ්‍රමණ සහ පරිභ්‍රමණ වේග සමාන වීමේ හැකියාවක් ඇත. (Tidal locking) එම නිසා හැමවිටම ග්‍රහලෝකයේ එක් පැත්තක් හැම විටම තරුව දෙසට යොමුවන අතර අනෙක් පැත්ත අඳුරේ පවතී.

ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ මෙම නව ග්‍රහලෝක පද්ධතිය සොයාගැනීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මහත් පිළිගැනීමක් හිමිවන අතර ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ තාක්ෂණය අතින් ඉදිරියෙන් ඇති දියුණු යුරෝපීය රටවල් අතරට ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක සම්ප්‍රාප්තිය අප රටටත් අපේ විද්‍යා හා අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයටත් මහත් අභිමානවත් කටයුත්තකි. ඒ සඳහා දායක වූ විද්‍යාඥයන් තිදෙනාටත් එම පර්යේෂණය සඳහා පහසුකම් ලබාදුන් මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයටත් රටේත් ජනතාවගේත් රජයේත් ඇගැයීම හිමිවිය යුතුව ඇත.

මෙම නව නිර්මාණය ලොවට හෙළි කිරීමට පර්යේෂණ කළ 27 හැවිරිදි විද්‍යාඥ මහේෂ් හේරත් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු එක්සත් රාජධානියේ තාරකා විද්‍යාව පිළිබඳව උපාධියක් ද බෙල්ජියමේ සරසවියක අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් ද ලබාගෙන තිබේ. පසුව කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී දර්ශනපති උපාධිය හැදෑරීමට ආතර් සී. ක්ලාක් ආයතනයේ සහාය ඇතිව මෙම පර්යේෂණය ආරම්භ කර තිබේ. මහේෂ් හේරත් මහතා කරන දර්ශනපති උපාධියේ උපදේශක ලෙස මහාචාර්ය චන්දන ජයරත්න මහතා කටයුතු කරන අතර මේ අලුත් ග්‍රහ පද්ධතිය ලොවට හඳුන්වා දීමට මහාචාර්ය චන්දන ජයරත්න වසර 30ක් තිස්සේ කළ තාරකා විද්‍යා පර්යේෂණවල අත්දැකීම් ද උපයෝගී කර ගෙන ඇත. මහේෂ් හේරත් මහතාගේ පියා සුප්‍රසිද්ධ වෛද්‍යවරයකු වන චූලා හේරත් මහතාය.

කෙප්ලර් දුරේක්ෂයෙන් තරු ලක්ෂ ගණක් සොයාගෙන තිබෙනවා. නමුත් අපි මේ පර්යේෂණයේදි ඒ තර අතරින් 30,000ක් තෝරාගෙන පසුව ඒ ප්‍රමාණය 500 කට අඩු කර පර්යේෂණ කරනු ලැබුවා. මෙහිදී අපි බැලුවේ තරුවක් ඉදිරියෙන් ග්‍රහ ලෝකයක් යනවිට තරුවේ ආලෝකය අඩුවීමේ සංසිද්ධියයි. මේ සඳහා සංවේදි අධික්ෂණික පරිගණක ක්‍රමවේද අපි පාවිච්චි කළා.

ඒ අනුව ඉතා වැදගත් යයි සිතන තරු පිළිබඳව පමණක් අපි වැඩිදුර අධ්‍යයනය කළා. ඒ අනුව සුදුසුම තරු 5 - 6 ක් සොයාගෙන ඉන්පසුව අපි k2 310 a තරුව කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම් කළා. ඒ අනුව තමයි මේ තරුවට අදාළ ග්‍රහ ලෝක දෙක අපිට සොයාගන්න ලැබුණේ. මහේෂ් හේරත් පවසයි.

පස්සේ මේ පිළිබඳව ලොව ප්‍රසිද්ධ MNRAS ඇතුළු තාරකා විද්‍යා සඟරාවලට අපේ නව සොයා ගැනීම පිළිබඳව තොරතුරු යැව්වා. ඒ අනුව 2019 ජුනි මාසේ මේ සොයාගත් ග්‍රහ ලෝක සැබෑ ග්‍රහ ලෝක ලෙස ලොව සියලු විද්‍යාත්මක ආයතන විසින් පිළිගත්තා.

පසුව ඒ පිළිබඳව පර්යේෂණ පත්‍රිකාව MNRAS සඟරාව පසුගිය මාසේ ප්‍රසිද්ධ කළා. පසුව මේ සොයාගැනීම නාසා ආයතනයට ඊට අනුබද්ධ JPL පර්යේෂණ ආයතනයට දැන්වුවා. පසුව එය මේ සොයා ගැනීම සත්‍ය නිවැරැදි සොයා ගැනීමක් බවට පිළිගනු ලැබුවා. මේ අනුව නාසා ආයතනයේ වෙබ් අඩවිය තුළත් මේ අලුත් ග්‍රහලෝක හා තරු පිළිබඳව තොරතුරු ඇතුළත් වී තිබෙනවා.

මේ අපිට හම්බවෙච්ච තරුව තිබෙන්නේ අපේ කන්‍යා ලග්න රාශිය ආසන්නව. මේ තාරකාව තැඹිලි පාටටයි පෙනෙන්නේ. මේ තරුව අපේ ඉරට වඩා පොඩියි. මේ තරුව අපේ ඉරට වඩා අඩු උෂ්ණත්වයක් තිබෙන එකක්. කෙල්වින් අංශක 4800ක තමයි ‍මේ තරුවේ උෂ්ණත්වය. අපේ ඉරේ උෂ්ණත්වය කෙල්වින් අංශක 5800 ක් විතර වෙනවා. මේ වගේ තාරකාවල තිබෙන ග්‍රහලෝක පිළිබඳව අපිට සොයාගන්න ලේසියි.

“අපි සොයාගත් ග්‍රහ ලෝක දෙකෙන් ඈතින් පිහිටි විශාල ග්‍රහලෝකයේ එනම් k2 310 c හී උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 42ක්. අලුත්ම පර්යේෂණ අනුව එහි ජලය තිබීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ අනුව k2 310 c ග්‍රහලෝකය අපගේ පදිංචියටද සුදුසුයි”

අපි සොයාගත් අලුත් ග්‍රහයන් දෙකෙන් පුංචි ග්‍රහයා තම තරුව වටා ගමන් කිරීමට ගතකරන්නේ 13.6 යි. ඒ අනුව ඒ ග්‍රහ ලෝකයේ අවුරුද්දක් යනු දින 13යි. මෙහිදී හමුවුණු දෙවැනි ග්‍රහ‍ලෝකය k2 310 c තම තරුව වටා යාමට දින 65ක් ගත වෙනවා. අලුත්ම තොරතුරු අනුව කෙප්ලර් - 2 මෙහෙයුමෙන් සොයාගත් 4000 කට අධික ග්‍රහලෝක අතරින් තම තරුවට ඈතින්ම පිහිටි දිගම පරිභ්‍රමණ කාලය ඇති ග්‍රහලෝකය ලෙස මේ k2 310 c හඳුන්වන්න පුළුවන්. මෙම ග්‍රහලෝක දෙකම නෙප්චූන් ග්‍රහයට වඩා පුංචියි. හැබැයි පෘථිවියට වඩා ලොකුයි.

මේ අලුත් ග්‍රහලෝකවල පෘෂ්ඨයේ පාෂාණමය සිලිකේට් යකඩ වැනි දේවල් සමඟම ඝනත්වය වැඩි විශාල වායු ගෝලයක් තිබෙන්න පුළුවන්.මෙහි ජලවාෂ්ප, හීලියම් හයිඩ්‍රජන් ඇමෝනියා ආදියත් තිබෙන්න පුළුවන්.

අලුත් තරුවේ වාසයට සුදුසු ප්‍රදේශය අපේ සූර්යාට වඩා ආසන්නයෙන් පිහිටා තිබෙනවා. ඒ අනුව මේ තරුවට අදාළ වාසයට සුදුසු කලාපය දෙවැනි ග්‍රහ ලෝකයට ළඟින් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අනුව මේ k2 310 c ග්‍රහලෝකය පිළිබඳව මීට වඩා පර්යේෂණ කළ යුතුයි. ජීවය එහි තිබෙන්න පුළුවන්. පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් පෙන්වා දෙයි.

මේ අලුත් ග්‍රහ මණ්ඩලය ලොවට අනාවරණය කිරීමට මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කළ මෙහෙවර අගය කළ යුතුමය. එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න මහතාගේ අනුමැතිය ඇතිව මෙම නව සොයා ගැනීම් කිරීමට එහි තාරක, විද්‍යා පර්යේෂණ අංශයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සුරාජ් ගුණසේකර මහතා කළ මෙහෙය අගය කළ යුතුමය.

මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ 1992 ට පෙර තාරකා විද්‍යා පර්යේෂණ අංශයක් තිබුණේ නැත. එය ආරම්භ කිරීමටත් එහි අපේ රටේ තවමත් තිබෙන විශාලතම දුරේක්ෂය එහි ස්ථාපිත කිරීමටත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා අමිල මෙහෙයක් සිදු කළේය.

පසුව එහි තාරකා විද්‍යාඥ පර්යේෂණ අංශයේ ප්‍රධානියා වූයේ සරාජ් ගුණසේකර මහතාය. මෙම ග්‍රහ ලෝක සොයා ගැනීමට අදාළ පර්යේෂණයේ මූලාරම්භය වූයේ සරාජ් ගුණසේකර මහතා විසින් කෙප්ලර් දුරේක්ෂයේ කේප්ලර් 2 ව්‍යාපෘතිය මඟින් අලුත් ග්‍රහ ලෝක සෙවීමට ලබාදෙන දත්ත ලබාගැනීම ආරම්භ කිරීමයි.

“මේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ලොව කුඩා රටක් විදියට වුවත් අපටත් ලොව තාරකා විද්‍යා පර්යේෂණ මට්ටමේ ඉහළම මට්ටමට එන්නට අවස්ථාව ලැබුණා. මේ අපේ තරුණ විද්‍යාඥ පරපුරේ ජයක්. මේක ඇත්තටම මහේෂ් කැපවීමෙන් කළ වැඩක්. මේ සොයාගත්ත k2 310 a තරුව සූර්යාට වඩා උෂ්ණත්වය අඩු තරුවක්. උෂ්ණත්වය අඩු තරුවල ආයුෂ වැඩියි. උෂ්ණත්වය වැඩි තරුවල ආයුෂ අඩුයි. මේ අනුව k2 310 a තරුවේ හෝ ඊට සම්බන්ධ ග්‍රහලෝකවල ජීවයක් ඇති වීමටත් ඒ ජීවය එහි දිගු කල් පැවැත්වීමටත් ඉඩකඩ වැඩියි. මේ ග්‍රහලෝක දෙකෙන් ඈතින් පිහිටි එකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 42කි.

අලුත්ම පර්යේෂණ ප්‍රස්තාර මත ඒ දෙවැනි ග්‍රහලෝකය හෙවත් k2 310 c ස්ථාපනය කළොත් එය ස්ථාපනය වන්නේ ජලය තිබෙන ග්‍රහලෝක තිබෙන ස්ථානයේයි. ඒ අනුව මේ දෙවැනි ග්‍රහලෝකයේ විශාල ලෙස ජලය තිබීමට වැඩිම සම්භාවිතාවක් තිබෙනවා” මෙවැනි පර්යේෂණ අප ආයතනයට සම්බන්ධව තවත් තරුණ විද්‍යාඥයන් විසින් සිදු කරගෙන යනවා. සරාජ් ගුණසේකර මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් පළ කරමින් මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීවේ “මෙම පර්යේෂණයේදි සොයා ගත් k2 310 c ග්‍රහලෝකයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් 42ක් නිසා අපට එහි පදිංචි වීමට පුළුවන් බවයි. අපේ අය මැදපෙරදිග ගිහිල්ලා ඉන්නේ. ඒ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 45යි. යාපනයේ පසුගිය කාලයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 42 ට ඉහළ ගියා. ඒ සමඟම මේකේ ජලයත් තිබෙනවා. ඒ අනුව මේකේ මුලින්ම පදිංචි වෙන්න අපිට අයිතියක් තිබෙනව.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය මඟින් ලොවටම වැදගත් තවත් අභ්‍යවකාශ පර්යේෂණ සිදු කරමින් පවතිනවා. එමඟින් මෙවැනි සුවිශේෂී සොයා ගැනීම් තවත් අනාවරණය වෙන්න පුළුවන්.“ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

සේයාරූ - ගයාන් පුෂ්පික

 

Comments