මොකක්ද මේ ප්‍රතී­තන කොමි­සම? | සිළුමිණ

මොකක්ද මේ ප්‍රතී­තන කොමි­සම?

ශ්‍රී ලංකාවේ විශ්ව­වි­ද්‍යාල පද්ධති නියා­ම­නය කිරී­මට නව පන­තක් ගෙන එන්නට රජය සූදා­නම්ය. උසස් අධ්‍යා­ප­නය සඳහා වූ තත්ත්ව සහ­තික කිරීම හා ප්‍රතී­තන කොමි­ෂන් සභාව (Quality Assurance and Accreditation Commission for Higher Education) පිහි­ටු­වීම සඳහා වූ පනත් කෙටු­ම්පත නමින් දිගු නම­කින් යුතු මේ පනත තව­මත් ඇත්තේ කෙටු­ම්ප­තක් ලෙසයි. මේ වන විට ගැසට් කර ඇති මේ පනත් කෙටු­ම්පත ඉදි­රි­යේදී පන­තක් වශ­යෙන් ගෙන එන්නේ පාර්ලි­ම්න්තුවේ සම්මත වීමෙන් අන­තු­රු­වය. එහෙත් උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පව­සන පරිදි මේ පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට යෑමට පෙර ආංශික අධී­ක්ෂණ කාරක සභා­වට යැවෙන අතර, එහිදී යම් යම් සංශෝ­ධන කිරී­ම­ටද නිය­මිත බව වාර්තා වෙයි.

මේ වන වට මෙම නව පනත් කෙටු­ම්පත හදාරා ඇති යම් යම් පාර්ශ්ව විසින් මේ එයට විරු­ද්ධව ජන මත­යක් මතු කර­න්නට පටන් ගෙන ඇත. ඒ මහත් ආන්දෝ­ල­න­යක් ඇති කළ බැටික්ලෝ කැම්පස් ප්‍රයි­වට් ලිමි­ටඩ්ද මෙයට ඈඳා­ග­නි­මිනි. සාමා­න්‍ය­යෙන් යම් ආය­ත­න­යක් විශ්ව­වි­ද්‍යා­ල­යක් හෝ එසේත් නැති නම් උපාධි පිරි­න­මන ආය­ත­න­යක් බවට පත් කිරීමේ අනු­මැ­තිය ලැබීම ලෙහෙසි-පහසු කරු­ණක් නොවේ. 2016 වසරේ මහත් ආන්දෝ­ල­න­යක් ඇති කළ බැටික්ලෝ කැම්පස් ප්‍රයි­වට් ලිමි­ටඩ් ද උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යෙන් ඉල්ලා සිටියේ උපාධි පිරි­න­මන ආය­ත­න­යක් බවට වූ සහ­ති­කය දෙන ලෙසයි. එහෙත් 2019 වසරේ ඒ ඉල්ලුම් පත්‍රය උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් ප්‍රති­ක්ෂේප කළේ අනු­මැ­තිය සඳහා වූ නිසි සුදු­සු­කම් පසුරා නොති­බීම හේතු­වෙනි. මේ නව පනත පිළි­බඳ විරෝ­ධතා දක්වන අය මතු කරන ප්‍රධාන චෝද­නාව නම් මේ නව කොමි­සම මඟින් ඒ අව­ශ්‍ය­තාව ඔවුන් පහ­සු­වෙන් ඉටු කර­ගනු ඇති බවයි.

ඊට හේතු සාධක ඔවුන් පෙළ ගස්වන්නේ මේ ආකා­ර­යෙනි. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­ම­ටත් වඩා ඉහ­ළින් ඇති මේ කොමි­ස­මට, මෙතෙත් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම හා උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සතු වූ බල­තල බහු­ත­ර­යක් පැවැරී ඇත්තේය. උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පව­සන පරිදි මේ නව කොමි­සමේ කාර්ය දෙකක් හඳු­නා­ගෙන ඇත. ඉන් එකක් වන්නේ මෙතෙක් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම විසින් පාල­නය වූ හා තත්ත්ව පාල­නය කළ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල 15 ඇතු­ළුව උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යෙන් පාල­නය වූ කොත­ලා­වල ආර­ක්ෂක විද්‍යා­ය­ත­නය, පාලි හා බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලය, සාගර විශ්ව­ව­වි­ද්‍යා­ලය ඇතුළු අනු­බ­ද්ධිත විශ්ව­වි­ද්‍යාල 5, පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යාල හා උපාධි පිරි­න­මන ආය­ත­න­ය­වල තත්ත්ව පාල­නය හා ප්‍රතී­ත­නය කිරී­මට හැකි වීමයි (ප්‍රතී­ත­නය යනු තත්ත්වය පව­ත්වා­ගෙන යෑම, දිගින් දිග­ටම අධී­ක්ෂ­ණය කිරී­මයි). මේ අනුව මේ වග­කීම් සියල්ලේ වැඩි බල­තල ඉදි­රි­යේදී හිමි වන්නේ ඒ කොමි­ස­ම­ටය.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැන­කය. එනම්: මේ කොමි­සම සාමා­ජි­ක­යන් 13 දෙනෙ­කු­ගෙන් සම­න්විත වන අතරේ එයින් 9 දෙන­කුම පත් කරන්නේ උසස් අධ්‍යා­පන ඇමැති විසින් වීමේය. ඉතිරි 4 දෙනා පත්වන්නේ නිල බල­යෙනි. ඒ 4 දෙනාට මුදල් හා උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් හෝ ලේකම් නියෝ­ජ­නය කරන්නෝ දෙදෙ­නෙක්, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම හා ජාතික අධ්‍යා­පන කොමි­සම යන දෙකෙහි සභා­ප­ති­වරු හෝ ඒ අය නියෝ­ජ­නය කර­න්නන් දෙදෙ­නෙක් අයත් වෙති. මෙයට විරෝ­ධ­තාව දක්වන ආචා­ර්ය­ව­රුන්ගේ සංග­මය හා විශ්ව­වි­ද්‍යාල උප­කු­ල­ප­ති­ව­රුන්ගේ සංග­මයේ ප්‍රශ්නා­ර්ථය යොමු වන්නේ විෂය භාර ඇමැති විසින් පත් කරන තන­තුරු 9 කෙරෙ­හිය. මේ 9 දෙනා තේරීම සඳහා විෂය භාර ඇමැති විසින් තමන් තොරා­ගත් 15 දෙන­කුගේ ලැයි­ස්තු­වක් ජනා­ධි­ප­ති­ව­ර­යාට යොමු කළ යුතුයි. එයින් කමි­ටුවේ 9 දෙනා තෝරා­ග­න්නේත්, ඒ 9 දෙනො­ගෙන් සභා­ප­ති­ව­රයා තෝරා­ග­න්නේත් ජනා­ධි­ප­ති­ව­රයා විසින්ය. සාමාන්‍ය ක්‍රම­යට කෙටු­ම්ප­තක් සංශෝ­ධ­නය කළ හැක්කේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මාර්ග­යෙනි. එහෙත් මෙයට අධ්‍යා­පන ක්ෂේත්‍රයේ බල­ව­තු­න්ගෙන්ම එල්ල ‍වී ඇති චෝදනා සැල­කි­ල්ලට ගනි­මින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන්න ප්‍රථ­ම­යෙන් මේ කෙටු­ම්පත ආංශික අධී­ක්ෂණ කාරක සභා­වට යොමු කරන්නේ සංශෝ­ධන අපේ­ක්ෂා­වෙනි. එහිදී මේ පත් කිරීම් පිළි­බඳ සාකච්ඡා කෙරෙනු ඇත.

නගර සැල­සුම්, ජල සම්පා­දන හා උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රියන්ත මායා­දුන්න මහතා මේ සම්බ­න්ධ­යෙන් පළ කරන්නේ මෙවන් අද­හ­සකි:

“මේ පනත සම්බ­න්ධ­යෙන් ඔවුන්ගේ අද­හස් දක්වන්න, විශ්ව­වි­ද්‍යාල ආචාර්ය සංග­මය වගේම උප­කු­ල­ප­ති­ව­රුන්ගේ සංග­මය අපෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා කමිටු අව­ස්ථා­වේදී ඉඩ හිමි වනවා. මේ කොමි­සමේ පොදු අර­මුණු කිහි­ප­යක් තිබෙ­නවා. ලංකාවේ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල, අනු­බ­ද්ධිත විශ්ව­වි­ද්‍යාල, රාජ්‍ය නොවන විශ්ව­වි­ද්‍යාල, මෙන්ම උපාධි පිරි­න­මන ආය­ත­න­වල මෙතෙක් නීත්‍ය­නු­කූල ක්‍රම­ය­කට තත්ත්ව පාල­න­යක් සිදු වුණේ නැහැ. ඒ අඩු-පාඩු සියල්ල මේ මඟින් ඉටු කෙරෙ­නවා. මෙයින් රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­ය­ට­වත්, නිද­හස් අධ්‍යා­ප­න­ය­ට­වත් කිසිදු ආකා­රයේ හානි­යක් වන්නේ නැහැ. මේ වන තෙක් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මෙන් පාල­නය වුණේ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල පම­ණයි. එහෙත් මේ කොමි­ස­මෙන් ඒ සියල්ල ඉදි­රි­යේදී තත්ත්ව පාල­න­ය­කට යටත් වෙනවා. එයින් කියන්නේ නැහැ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ හෝ උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ බල­තල හීන වීමක් හෝ අඩ­පණ වීමක් සිදු වුණා කියලා. මේ හැම දේම සොයා බැලී­මට නිල ආය­ත­න­යක් තිබීමේ අව­ශ්‍ය­තාව කාල­යක සිට තිබුණා. මේ කෙමි­සම පත් කිරීම හදි­සියේ ගත් තීර­ණ­යක් නෙමෙයි. ඒ වගේම බැටික්ලෝ කැම්පස් ප්‍රයි­වට් ලිමි­ටඩ් ආය­ත­න­යට මේ මඟින් උපාධි පිරි­නැ­මීමේ සහ­ති­කය ලබා­ගන්න පුළු­වන් කියලා අද­හ­සක් තියෙ­නවා. අපි ඒ අයගේ ඉල්ලීම ඉවත දැම්මේ නිසි සුදු­සු­කම් සපුරා නොති­බීම නිසයි. ඕනෑම ආය­ත­න­යක් අප ලබා දෙන ඒ සුදු­සු­කම් සපුරා ඇත් නම් ඒ අව­ස්ථාව ලබා ගත හැකියි. මේ කොමි­සම පිහි­ටු­වූ­වත් නැතත් අව­ශ්‍යතා සියල්ල සපුරා ඇත් නම් අනු­මැ­තිය ලබා ගත හැකියි...“

ශ්‍රී ලංකාව තුළ විදේශ රට­වල් සමඟ සම්බ­න්ධ­යක් පව­තින උසස් අධ්‍යා­පන ආය­තන රැසක් ඇත. එහෙත් ඒ ආය­තන නියා­ම­නය කරන්න ලංකාවේ කිසිදු ආය­ත­න­යක් නැත. එසේම විදේශ රට­වල රාජ්‍ය, පෞද්ග­ලික මෙන්ම අනු­බද්ධ හා උපාධි ප්‍රදා­නය කරන ආය­තන සියල්ල පාල­නය වන්නේ එක් ආය­ත­න­යක් මඟිනි. එහෙත් අපේ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මෙ­නුත්, තවත් සම­හ­රක් උසස් අධ්‍යා­පන ආය­ත­න­යෙ­නුත් පාල­නය කර­න්නේය. විදේශ රට­වල් සමඟ සම්බ­න්ධතා ඇති ඒවා පාල­නය කරන්නේ ඒ ඒ රට­ව­ලිනි. එමෙන්ම විදේශ රට­ව­ලද මේ ආය­තන සියල්ල තත්ත්ව පාල­නය හා ප්‍රතී­ත­නය වන්නේය.

අපේ විශ්ව­වි­ද්‍යා­ල­වල පව­තින ගුණා­ත්මක භාවය හා රටට වැඩ­දායි පාඨ­මා­ලා­ව­ලට දරු­වන් යොමු කරන්න මෙවැනි කොමි­ස­මක අව­ශ්‍ය­තාව තිබු­ණද ඒ කට­යුත්ත විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මඟින්ම කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්න­යකි. එසේම අපේ රටේ තරම් මැති-ඇමැ­ති­වරු එහා මෙහා මාරු වීම වෙන කිසිම රටක සිදු වන්නේ නැත. එවන් තත්ත්ව­යක් යටතේ ඇමැති මාරු වෙද්දි කොමි­සමේ 9 දෙනාද මාරු වන්නට ගිය හොත් මේ අපේ­ක්ෂිත ප්‍රති­ඵ­ලය ඉටු වේද යන්න ප්‍රශ්න­යකි.

අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් උඩු­වා­වල මහ­තාගේ අද­හස මෙබ­ඳුය:

“විශ්ව­වි­ද්‍යා­ල­යක් පවත්වා ගෙන යෑමට ප්‍රතී­ත­න­යක් අව­ශ්‍යයි. එහෙත් මේ තාක් කාල­යක් එය ඉටු වූවාද යන්න ප්‍රශ්න­යක්. මේ මඟින් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ බල­තල අහෝසි වන්නේ නැහැ. විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ළම­යින් ඇතු­ළත් කිරීමේ කට­යුතු සිදු කරන්නේ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මඟි­නුයි. එහෙත් උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යෙ­නුයි, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මෙ­නුයි මෙතෙක් සිදු කළ තත්ත්ව පාලන කට­යුතු ඉදි­රි­යේදී පැවැ­රෙන්නේ අලුත් කොමි­ස­ම­ටයි. මේ නිසා බල­තල බෙදිලා, කට­යුතු වඩා විධි­මත් වෙනවා. මේ කොමි­සම පත් වන්නේ අවු­රුදු 5ක කාල සීමා­ව­කට. ඒ වගේම කොමි­ස­මට ඇමැති විසින් පත් කරන අය­ටත් යම් කාල­සී­මා­වක් දිය යුතුයි. මෙයට කැබි­නට් අනු­මැ­තිය ලැබුණා; නීති­පති අව­ස­රය ලැබුණා. නීති කෙටු­පත් සම්පා­දක විසින් මෙය පනත් කෙටු­ම්ප­තක් වශ­යෙන් සකස් කර තිබෙ­නවා. මෙහි නිල­ධා­රීන් නම් කෙරෙන්නේ පාර්ලි­මේ­න්තුව විසින් පනත සම්මත කළ පසු­වයි...“

විශ්ව­වි­ද්‍යාල සම්බ­න්ධ­යෙන් රටේ පව­තින ආක­ල්පය එත­රම් යහ­පත් නොවන බව අමු­තු­වෙන් නොකිව මනාය. නව­ක­ව­ධය හා සිසු අර­ගල හමුවේ අපේ විශ්ව­වි­ද්‍යාල ලෝකය ඉදි­රියේ ගොඩ­න­ඟා­ගෙන ඇති ප්‍රති­රූ­පය යහ­පත් නැත. මෙය මවක-පියකු සිය දරු­වකු සර­ස­වි­යට ඇතුළු කර­න්නට දෙව­රක් සතන යුග­යකි. ඒ ම්ලේච්ඡ නව­ක­වධ සිදු­වීම් මෙන්ම පාරක් පාරක් ගානේ රස්ති­යාදු වෙමින් කරන සිසු අර­ගල හේතු­වෙනි. මේ තත්ත්ව­යට විස­ඳුම් දී, අපේ විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට අන්ත­ර්ජා­ති­කව හිමිව තිබූ ඉහළ පිළි­ගැ­නීම රැක­ග­න්නට තව­මත් කිසිදු රජ­යක් සමත් වී නැත. උසස් අධ්‍යා­ප­නය පැත්තෙන් අප රැක­ගත යුතු ගැටලු මේවාය. අලුත් තන­තුරු ඇති කර­මින්, ඒවාට වැටුප් හා දීමනා ගෙව­මින් පත් කරන නව කොමි­ෂ­න්ව­ලට මෙවැනි දේ නවතා ලන්නට බල­යක් නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න­යකි.

Comments