මේ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනෑ | සිළුමිණ

මේ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනෑ

 

ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය හා ඒ සඳහා ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන් පිළි­බඳ ව සාධා­රණ සමා­ජ­යක්  සඳහා වූ ජාතික ව්‍යාපා­රයේ කැඳ­වු­ම්කරු මහා­චාර්ය සරත් විජේ­සූ­රිය මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි.

• 2015 වේදී සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ව්‍යාපා­රය ආර­ම්භයේ පැවති අභි­ලා­ශ­වල මේ වන විට කිසි­යම් වෙන­සක් ඇති වී තිබෙ­න­වාද?

2015 වේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සෝභිත හිමි­යන් සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ව්‍යාපා­රය ගොඩ­නැ­ඟුවෙ මේ රටට අවශ්‍ය වැද­ගත් ප්‍රති­සං­ස්ක­රණ උදෙසා. ඒ දේශ­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ උන්ව­හන්සේ සාක්ෂාත් කර ගැනී­මට බලා­පො­රොත්තු වූ ආකා­ර­යෙන් ඉටු වුණේ නැහැ. එහෙම වුණාට ඒ ඉල්ලීම් අද­ටත් වලං­ගුයි. උදා­හ­ර­ණ­යක් විදි­යට කිව්වොත් විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය අහෝසි කිරීම ගන්න. විධා­යක ජනා­ධි­ප­ති­ක්‍ර­මය මේ රටට කොයි­ත­රම් අන­ර්ථ­කාරී ද කියන කාර­ණාව ගැන තමයි සෝභිත හිමි­යන් වැඩි­යෙන්ම කතා කළේ. විධා­යක ජනා­ධි­පති ක්‍රමය මොන­ත­රම් නර­කද කියන කාර­ණාව 2015වේදී අප විසින් තෝර­පත් කර­ගත්ත පොදු අපේ­ක්ෂ­කය ම මේවන විට සනාථ කර තිබෙ­නවා. එක පුද්ග­ල­යකු අතේ බලය කේන්ද්‍ර­ගත වුණාම සිදු­වන පළ­මු­වෙනි දේ තමයි නීතියේ පාල­නය නැතිව යනවා. අනෙක් අතට හමු­දාව පොලී­සිය ඔහුගේ අණට කට­යුතු කරන තත්ත්ව­යට පත්වෙ­නවා. මේ හේතුව නිසා එදා සෝභිත හිමි­යන් යෝජනා කළේ කැබි­නට් මණ්ඩ­ලය ප්‍රධාන පාර්ලි­මේ­න්තු­වෙන් රාජ්‍ය පාල­නය කරන සම්ප්‍ර­දා­යක් ඇති කළ යුතුයි කියලා. ඒ නිසා මේ අව­ස්ථාවෙ අපි විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන කාර­ණාව වෙනු­වෙන් පෙනී සිටි­නවා.

• විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කර­ගැ­නී­මට තිබෙන අව­ස්ථාව මේකද?

විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කර ගැනී­මට අව­ස්ථා­වක් ලැබෙන අව­සන් අව­ස්ථාව සම­හර විට මේක වෙන්න පුළු­වන්.

• ඔබ එහෙම කියන්නේ ඇයි?

එක පුද්ග­ල­යෙක් අතේ බලය ඒක­රාශී වීම ඉතාම නරක දෙයක්. දේශ­පා­ලන බලය තමන්ගේ පවු­ලට හා තමන් ජීවත්ව සිටි­න­තාක් භුක්ති විඳි­න්නට අර­මුණු කර­ගෙන සිටින පුද්ග­ල­යෙක් කව­දා­වත් මේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කරන්නේ නැහැ. 19 වන සංශෝ­ධ­න­යෙන් අඩු කළ බල­ත­ලත් ඔහු නැවත උරුම කර­ග­න්නවා. ඒ විත­රක් නෙමෙයි, 19 වෙනි සංශෝ­ධ­නය අහෝසි කර 18 වෙනි සංශෝ­ධ­නය බලා­ත්මක කර­න්න­ටත් ඉඩ­කඩ තියෙ­නවා. මේ නිසා ව්‍යව­ස්ථා­ධා­යක සභාව, තොර­තුරු දැන­ගැ­නීමේ පනත හා කොමි­සන් සභා මඟින් ඇති කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෙන­ස්කම් නැති වෙන්න පුළු­වන්. මේ පිළි­බඳ ව ගැඹු­රින් සිතා­බලා කට­යුතු කරන්න කියල රටේ සියලු ජන­තා­ව­ගෙන් අප ඉල්ලන්නේ ඒ නිසයි.

• ඔබ හිතන ආකා­ර­යට සාධා­රණ සමා­ජ­යක් සඳහා අවශ්‍ය සමාජ භාවිත මොන­වද?

පළ­වෙනි දේ තමයි නීතියේ පාල­නය. නීතියේ පාල­නය ස්ථාපිත වෙන්නට ඕන. අපේ රටට තිබෙන විශාල ණය කන්ද ගෙව­න්නට ඕන. අනෙක් පැත්තෙන් ආයෝ­ජ­ක­යන් ආක­ර්ෂ­ණය කර ගැනී­මට තියෙන අභි­යෝ­ගය. මේ සෑම ක්‍රියා­ව­ලි­යක් ම අර්බු­ද­ය­කට ගමන් කරල තියෙන්නේ අසා­මාන්‍ය විදියේ කොමිස් ලබා­ගැ­නීමේ ක්‍රියා­ව­ලි­යක් සිද්ධ වෙන නිසා. මේ කොමිස් ගැනීමේ ක්‍රියා­ව­ලිය කිසිදු ආකා­ර­ය­කින් රටේ යහ­ප­තට හේතු නොවන බව ඉතා­මත් ම පැහැ­දි­ලියි. සම­හර ආයෝ­ජ­කයෝ අපේ රටට එන්නේ නැත්තේ ඇතැම් ඇම­ති­වරු ඉල්ලන කොමිස් මුදල ඒ අයට ලබා­දෙ­න්නට බැරි නිසා. ඒ විත­රක් නෙමෙයි රාජ්‍ය යාන්ත්‍ර­ණයේ සිටින නිළ­ධා­රි­නුත් මේකට දැන් පුරුදු වෙලා තියෙ­නවා. මේවා නව­ත්වන්න නම් නීතියේ ආධි­පත්‍ය ස්ථාපිත වී තිබීම අත්‍යා­ව­ශ්‍යයි. උදා­හ­ර­ණ­ය­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යම්කිසි අප­රා­ධ­යක් සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කරල ඉවර වුණාට පස්සේ අදාළ චූදි­තයා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න ඕන. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඒ සඳහා හැකි­යා­වක් තියෙ­න්නට ඕනේ. ඒත් මේ පව­තින ක්‍රමය තුළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඒ තීර­ණය ගන්න බැහැ. ඒ සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යගෙ අව­ස­රය ඕන; අග­මැ­ති­ව­ර­යගෙ අව­ස­රය ඕන; නීතිය හා සාමය භාර ඇම­ති­ව­ර­යගෙ අව­ස­රය ඕන. මේ ආය­තන ස්වාධීන ආය­තන බවට පත් වුණොත් එහෙම වෙන්නෙ නැහැ. ඒ ආය­ත­න­ව­ලට නීතිය ක්‍රියා­ත්මක කරන්න පුළු­වන්. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඒආ­කා­ර­යෙන් අත්අ­ඩං­ගු­වට ගන්න එපැයි කියල ජනා­ධි­ප­ති­ව­රයා කිව්වට පස්සේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අර ගත කරපු කාලය; ශ්‍රමය; මහ­ජ­නය ඒවට විය­දම් කළ මුදල් අප­රාදේ. එහෙම බැලු­වම මහ­ජ­නයා ඉදි­රියේ සමාව දිය නොහැකි අප­රා­ධ­යක් මේ කරන්නේ.

නීතිය හා පාල­නය කියන්නේ; රාජ්‍ය පාල­නය විධි­මත් ව පව­ත්වා­ගෙන යෑමට අවශ්‍ය සම්ප්‍ර­දාය ප්‍රති­ෂ්ඨා­ප­නය කිරී­ම­කට. අද ඒ සම්ප්‍ර­දාය කඩල බිඳල දාල තියෙන්නේ. ඒ දේශ­පා­ල­න­ඥ­යන්ට අව­භා­විත කිරීම සඳහා. ඒක මේ ක්‍රමය ගැන වැද­ගත් නීරී­ක්ෂ­ණ­යක්. උදා­හ­ර­ණ­ය­කට පහු­ගිය දව­සක ගම්මි­රිස් ගොවියා මුහුණ දෙන ප්‍රශ්නය පිළි­බඳ ව සාක­ච්ඡා­ව­කට ගියා; ඒ අය කතා කරන දේ මාත් අහ­ගෙන හිටියා. ප්‍රශ්නය විස­ඳන්න ගම්මි­රි­ස්ව­ලට මෙච්චර මිලක් ලබා­දෙ­නව කියල ඒ අය යෝජනා කර­නවා. ගොවියා සම්පූ­ර්ණ­යෙන් ම මුලා කිරී­මක් මේ කරන්නේ. ඇත්ත ප්‍රශ්න­යක් ගම්මි­රිස් ගොවි­යන්ට තියෙ­නවා. ඒක ඇති­වෙලා තියෙන්නේ කොහො­මද?. අනී­ති­කව ගම්මි­රිස් ජාවා­ර­මක් රේගුව ඇතුළෙ සිද්ධ වෙන නිසා. එත­කොට මේක පාල­නය වෙන්නට ඕන නීති­යෙන්. ඒක නීති­යෙන් පාල­නය වුණාම ඊට පස්සේ; ගම්මි­රිස් ගොවි­යගෙ ප්‍රශ්නය එන්නේ නැහැ; එ්ක විස­ඳිලා ඉව­රයි. ඒත් මේ මොන­වද මේ අය කියන්නේ; මේක වංචා­වක්. ඒව­ගේම ලංකාවේ ගොවි­යන්ට වී අලෙවි කර­ගැ­නීමේ ප්‍රශ්න­යක් තියෙ­නවා. රට ම දන්න කාර­ණ­යක් තමයි එහි ඒකා­ධි­කා­ර­යක් තිබෙන බව. මෙහෙම ඒකා­ධි­කා­ර­යක් තියෙ­න­කොට අව­සා­නයේ එහි පීඩි­තයා බවට පත්වෙන්නේ ගොවියා. ශුද්‍ර මූල්‍ය ණය පිළි­බඳ ව මහා විශාල ප්‍රශ්න­යක් ඇති­වෙලා තියෙ­නවා... ඒ නිසා අපි බලන්න ඕන, මේ ආය­තන ගොඩ­නැ­ඟිල තියෙන්නේ කොහො­මද? මේ වෙනු­වෙන් ඒ අය­තන කට­යුතු කරල තියෙන්නේ කොහො­මද? කියල. නීති කියන දේ සම්පා­ද­නය වෙලා තියෙන්නේ මහ­ජ­න­තා­වගේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන්. ඒ නීති තියෙන්න ඕන; එක එක ජාවා­රම් කාර­යන්ට; දේශ­පා­ල­ඥ­යන්ට ධන­වත් වීමට නෙමෙයි.

• එහෙම නම් මේ ආයතන ක්‍රියා­ත්මක වෙන්නේ මහ­ජන අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් නෙමෙ­යිද?

නීති­පති දෙපා­ර්ත­මෙ­න්තුවේ ලිපි­ගොනු දහස් ගණන් ගොඩ­ගැ­හිල තියෙන කියල මාධ්‍ය­ව­ලින් අපිට නිත­රම කිය­නවා. ඇත්තට ම ඒවට කොච්චර කාල­යක් වැය­වෙලා තියෙ­න­වාද? සම­හර පරී­ක්ෂණ අව­සන් කරල නීති­ප­තිට බාර දීල තියෙ­නවා. නමුත් ඒවා එත­නින් එහාට යන්නේ නැහැ. අල්ලස් හා දූෂණ කොමි­සන් සභා­වට ස්වාධී­නව කට­යුතු කරන්න නෛතික බල­යක් හිමිව තිබෙ­නවා. නමුත් පහු­ගිය කාලය තුළ නඩු වැටිල තියෙන්නේ දෙන්න­කුට පම­ණයි.

මේ ආය­ත­නය ස්වාධී­නයි කිව්වට ස්වාධී­න­මද කියන ප්‍රශ්න­යත් අපට එනවා. ඇත්ත­ටම මේ මහා­ප­රි­මාණ වංචා දූෂණ පිළි­බ­ඳව විම­ර්ශන සිදු කරන්න මේ ආය­තන අස­මත් ද? එහෙම නැත්තම් දේශ­පා­ලන බල­පෑම් නිසා මේ ආය­තන එ් දේවල් කරන්නේ නැද්ද? එහෙම නම් මේ ආය­තන නඩත්තු කිරී­මට වැය කරන මහා ධන­ස්ක­න්ධය මහ­ජ­න­තා­වගේ. ඒක වතුරේ. ඒ නිසා මේ ආය­තන ශක්ති­මත් වෙන්නට ඕන; කාර්ය­ක්ෂම වෙන්න ඕන. ඒවා වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම ස්වාධීන වෙන්නට ඕන. එත­කොට තමයි නීතියේ ආධි­පත්‍ය ප්‍රති­ස්ථා­ප­නය වෙන්නේ.

• අපට යහ­පත් පාල­ක­යන් පත් කර මේ රට යහ­පත් තැන­කට ගේන්න නම් මේ මැති­ව­රණ ක්‍රම­යෙත් යම් වෙන­සක් අවශ්‍ය වෙනවා නේද?.

ලංකාවේ පව­තින මැති­ව­රණ ක්‍රමය තුළ නුසු­දුසු අය වැඩි ප්‍රමා­ණ­යක් මහ­ජන නියෝ­ජි­තයො බවට පත්වෙලා තියෙ­නවා. එවැනි අය පත්වෙන්න හැකි­යා­ව­කුත් මේක ඇතුළෙ තියෙ­නවා. මේවන විට සම­හර අයගෙ අධ්‍යා­පන සුදු­සු­කම් පිළි­බ­ඳ­වත් තොර­තුරු අනා­ව­ර­ණය වෙලා තියෙ­නවා. ඒක අපි පැත්ත­කින් තියමු. ඒත් මේ විදි­යට විවිධ ජාවා­ර­ම්කා­ර­යෝත් මේක ඇතු­ළට පත්වෙලා ඇවිත් තියෙ­නවා. පාර්ලි­මේ­න්තුව කියන්නේ නීති සම්පා­ද­නය කරන තැනක්. ඒ ගොල්ලන්ට නීති සම්පා­ද­නය කිරී­මට හැකි­යා­වක් නැහැ. එහෙ­නම් මේ ජාවා­රම් කාරයෝ පාර්ලි­මේ­න්තු­වට එන්නේ මොක­ටද? එගොල්ලො එන්නේ ඒ අයගෙ ජාව­රම් වඩ­වඩා දියුණු කර ගැනී­මට. ඒවට තියෙන නීති­මය ගැට­ලු­ව­ලින් ආරක්ෂා වීමට. මේ නිසා ව්‍යාපාර කිරීම මහ­ජන නියෝ­ජි­ත­යන්ට නීති­යෙන් තහ­නම් කර­න්නට ඕන.

• ඒත් ප්‍රායෝ­ගික වෙන්නේ ඒක නෙමෙයි නේද?

නැහැ. දැන් වෙන්නේ; ඒ අයගේ පවුලේ නියෝ­ජි­ත­යන්ට ව්‍යාපා­රය බාර­දීල ඔවුන් දේශ­පා­ල­නයේ නිරත වෙන එකයි. සම­හර කැබි­නට් අමා­ත්‍ය­වරු තමන්ගේ ව්‍යාපා­ර­ව­ලට සම්බන්ධ කැබි­නට් පත්‍රිකා එන­කොට මගේ පවු­ලට සම්බන්ධ කැබි­නට් පත්‍ර­කා­වක් එන නිසා මංමෙ­ත­නින් නැඟි­ටල යනවා කියල එළි­යට යනවා. මේක හරිම අශිෂ්ට ක්‍රියා­වක්. එයා ඔක්කොම දේවල් ලෑස්ති කරල ඉවර වෙලා මං සුදන කියන්න එත­නින් ඉවත් වෙලා යනවා. මේ ජාවා­රම් ක්‍රියා­ව­ලිය තිබෙ­න­තුරා මේ අය­ගෙන් කව­දා­වත් මහ­ජන සේව­යක් බලා­පො­රොත්තු වෙන්න බැහැ. මොකද ඒ අය පැහැ­දි­ලි­වම මේ ඇවිත් තියෙන්නේ ජාවා­රම් කරන්න.

• මේ විදි­යට චෝදනා කර කර ඉන්නේ නැතිව, ඔබ වැනි දැන උගත් අයට එතෙන්ට යන්න පුළු­වන් නේද?

මේ මැති­ව­රණ ක්‍රමය ඇතු­ළත මහ­ජන නියෝ­ජි­ත­යකු බවට පත්වී­මට මහ විශාල ධන­යක් ආයෝ­ජ­නය කර­න්නට ඕන. පාර්ලිමේන්තු මැති­ව­ර­ණ­ය­කට විත­රක් නෙමෙයි ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­ය­කට වුණත් විශාල ධන­යක් විය­දම් කර­න්නට සිද්ධ­වෙලා තියෙ­නවා. මුළු දිස්ත්‍රි­ක්ක­යේම මැති­ව­රණ ව්‍යාපා­රය මෙහෙය වන්නට ඕන. මැති­ව­රණ සමයේ විශාල පිරි­සක් නඩත්තු කරන්න ඕන; විශාල වාහන ප්‍රමා­ණ­යක් නඩත්තු කරන්න ඕන. බලය පරි­හ­ර­ණය කරන්න ඕන. ප්‍රචා­රණ යාන්ත්‍ර­ණය 24 පැයේ ම පව­ත්වා­ගෙන යන්න ඕන. සිවිල් පුර­වැ­සි­ය­කුට මේවැනි තත්ත්වය තුළ එවැනි තත්ත්ව­ය­කට පත්වෙන්න කොහෙත්ම අව­කාශ නැහැ. මේ මැති­ව­රණ ක්‍රමය ඇතුළේ මතු­වෙ­න්නට පුළු­වන් විවි­ධා­කර ජාවා­ර­ම්ව­ලින් සල්ලි හොයා­ගත්ත අය­කුට හෝ කළු සල්ලි­කා­ර­ය­කුට පම­ණයි. කළු සල්ලි­කා­රන්ගෙ උද­ව්වෙන් ජය­ග්‍ර­හ­ණය කළාට පස්සේ ඒ අයට අනි­වා­ර්යෙන්ම ඔවුන්ගේ රූක­ඩ­යක් වෙන්න සිද්ධ වෙනවා. එනිසා මේ සිස්ටම් එක වෙනස් වෙන්නට ඕන. මේක වෙනස් නොකර අපට ඕන දේ කරන්න හරිම අමා­රුයි.

• ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා විදි­යට එක පැත්ත­කින් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා ඉදි­රි­පත් කර තිබෙ­නවා?

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙන්නේ මොන­ත­රම් වංච­නික ප්‍රවේශ ගණ­නා­වක් හර­හාද? ඔහු ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා විදි­යට ඉදි­රි­පත් වෙන්නේ තමන්ගේ ඇම­රි­කානු පුර­වැ­සි­කම නිත්‍යා­නු­කූ­ලව නැති කර­ගෙ­නද? කවු­රු­වත් තාම හරි­යට දන්නේ නැහැ. ඒක ඔහු රටට කියන්නේ නැහැ. ඒව­ගේම ඔහුට අනී­ති­කව සකස් කළ හැඳු­නු­ම්ප­තක් සහ ගුව­න්ග­මන් බල­ප­ත්‍ර­යක් තිබෙ­නවා. එයා නීති ගරුක පුර­වැ­සි­යෙක් නම් ඔහු මේ දේවල් අනී­ති­කව සකස් කර­ගෙන තිබෙන්නේ ඇයි? රටේ පාල­කයා වෙන්න උත්සාහ කරන්නේ එවැනි ආක­ර­යට බලය පරි­හ­ර­ණය කරන අයෙක් නම්, ඔහු බල­යට පත් වුණාම මොනව නොක­ර­යිද? ඔහු අනි­වා­ර්යෙන්ම මේ සම්ප්‍ර­දාය කොට්ට උරය අනික් පැත්ත හර­ව­නව වගේ කන­පිට හර­ව­නවා. අනෙක් අතට ගෝඨා­භය රාජ­ප­ක්ෂට අධි­ක­ර­ණය හමු­වට යන්න මොන­ත­රම් අවස්ථා යෙදුණ ද? ඒ හැම අව­ස්ථා­වක ඔහු සතු බලය පරි­හ­ර­ණය කරල නීතියේ රැක­ව­ර­ණය ලබා­ග­න්නට සම­ත්වෙලා තිබෙ­නවා. මෑත­කා­ලයේ මේ තරම් දූෂණ චෝදනා අප­රාධ චෝදනා ලබපු තවත් පුද්ග­ල­යෙක් නැති තරම්. එහෙත් ඔහු වෙනු­වෙන් නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ නැහැ. නීති­යෙන් එහෙම ඉඩක් නැති අව­කා­ශ­යක් ඔහු නිර්මා­ණය කර­ගෙන තිබෙ­නව නම් ඔහු බැරි­වෙ­ලා­වත් බල­යට පත් වුව­හොත්; මොන ආකා­ර­ය­කට මේ රටේ නීතිය හසු­රු­වා­විද කියන කාරණ මේ රටේ ජන­තාව ගැඹු­රින් කල්පනා කරල බලන්න වෙනවා.

• මේ රටේ පාල­කයා වෙන්න ඕන කුල­වත් වංශ­වත් වලව් පැලැ­න්ති­යක කෙනෙක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි­යන් ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. ඇත්ත­ටම මේ රටේ පාල­කයා විය යුත්තේ එවැනි අයෙක්ද?

ඒ හාමු­දු­රුවෝ එහෙම ප්‍රකා­ශ­යක් කළ එක ගැන මං අති­ශ­යින් කණ­ගා­ටු­වට පත් වෙනවා. එහෙම නම් බුදු­හා­මු­දු­රුවො කියන්න ඕන ශාස­නයේ පැවිදි වෙන්නත් ඕන උසස් වංශ­වත් ධන­වත් පවු­ල්වල අය විත­රයි කියල. එහෙම නම් සුනීත වගේ පුද්ග­ල­යෙක් කව­දා­වත් බුද්ධ සාස­නයේ පැවිදි කර­ගන්නේ නැහැ. මේ මහ­නා­යක හිමි වගේ හිමි­වරු දේශ­පා­ලන පර­මාර්ථ වෙනු­වෙන් කතා කිරී­මෙන්; උන්ව­හ­න්සේලා පිරි­හෙ­නව විත­රක් නෙමෙයි උතුම් වූ බුදු දහ­ම­ටත් ඒකෙන් විශාල අන­ර්ථ­යක් සිද්ධ වෙනවා. දැන් අපිට පේනවා කාදි­න­ල්තු­මත් දේශ­පා­ල­නය ගැන කතා කර­නවා; මහ­නා­යක හිමි­ව­රුත් දේශ­පා­ල­නය ගැන කතා කර­නවා. ඔවුන් මාධ්‍ය සාකච්ඡා තිය­නවා. මේවයෙ අද­හස් අර­ගෙන බැලු­වාම ඒ තුළ තියෙන්නේ පොදු මහ­ජ­න­තා­වගේ යහ­පත වෙනු­වෙන් කරන පුළුල් මැදි­හත් වීමක් නෙමෙයි.

Comments