ඇමසන් දැවේ | Page 2 | සිළුමිණ

ඇමසන් දැවේ

ගින්නට හේතුව මිනිස් ක්‍රියාකාරකම්

ග්ලැසියරයේ අවමංගල්‍යය අයිස්ලන්තයේදී සැමරේ

ඇමසන් ගින්න අභවකාශයටද දිස් වේ

ගෝලීය උෂ්ණත්වය පෘථිවිය වනසයි

පෘථිවිය වැලපෙමින් තිබේ. ඇමසන් වනය ගිනිගෙන මියයමින් සිටියදී අයිස්ලන්තය තම ඔක්ජෝකුල් ග්ලැසියරයේ මරණ සහතිකය නිකුත් කළේය. නොකඩවා ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පෘථිවියේ මුළු මහත් ජෛව සංතතියටම මරණ සහතික නිකුත් කිරීමට සූදානම්ව සිටී.

අැමසන් ගින්න මෙන් හදිසියේ ඇතිවූවක් නොවූවද ඔක්ජෝකුල් මියගියේ සෙ‍ෙමනි. හරියටම කියන්නේ නම් පසුගිය වසර සියයක කාලයක් තිස්සේ ඇය මියයමින් සිටියාය. ග්ලැසියරයක් සමන්විත වන්නේ ගලායන අයිස් ප්‍රවාහයකිනි. මේ අයිස් ප්‍රවාහ වසර කිහිපයකට අඟලක් වැනි ප්‍රමාණයකින් හෝ එයට අඩු ප්‍රමාණයකින් ගලා යෑම සිදුවේ. ගෝලීය උෂ්ණත්වය ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර ගලායෑම වේගවත් කරන බව පරිසර විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ අදින් වසර විස්සකට පමණ ඉහතදීය.

ඔක්ජෝකුල් යනු ග්ලැසියරවලින් ගහන අයිස්ලන්තයේ මිනිස් වාසයට ආසන්නයෙන්ම පිහිටා ඇති ප්‍රමාණයෙන් තරමක් කුඩා ග්ලැසියරයකි. එය ‘ඔක්‘ නම් වන ගිනිකන්ද වසා පිහිටා තිබිණි. ජෝකුල් යනු අයිස්ලන්ත භාෂාවෙන් ග්ලැසියරයට කියන නමය. වසර සියයක කාලයකින් අඟලක් හෝ චලනය වී නොමැති නිසාත්, චලනය වීමට තරම් අයිස් එහි නොමැති නිසාත් ඔක්ජෝකුල් මියගොස් ඇති බව නිලවශයෙන් ප්‍රකාශ කිරීමට අයිස්ලන්ත බලධාරීන් තීරණය කළේය. සැබැවින්ම තවදුරටත් එහි ග්ලැසියරයක් නොමැත. ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් එහි වූ අයිස්වලින් ඉතා විශාල ප්‍රමාණයක් දියවී ගොසිනි. එබැවින් මින් ඉදිරියට එම ගිනිකන්ද ‘ඔක්‘ යන එහි නමින් පමණක් හැඳන්වෙනු ඇත.

අයිස්ලන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ තවත් වසර 200ක් ඇතුළත අයිස්ලන්ත භූමියේ පවතින සියලුම අයිස් දියවී යනු ඇති බවය. මේ සියල්ලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් මිස අන් කිසිවක් නොවේ.

පසුගියදා සියදෙනකුගෙන් යුත් පිරිසක් පැය දෙකක් පුරා ‘ඔක්‘ ගිනිකන්ද නැග ග්ලැසියරය පැවති භූමියට පිවිසියහ. ඔවුහු එහි ස්මාරකයක් ස්ථාපිත කළේ ඔක්ජෝකුල් සිහිවීමට පමණක් නොව මිනිසාට නිවැරදි වීමට සිහිකැඳවීමටත්ය. මේ ස්මාරකය පිහිටුවීමටද කුඩා දරුවන්ද දායක වූයේ තම වැඩිහිටි පරම්පරාව විසින් තමන්ට අහිමි කළ ඔක්ජෝකුල් සිහිකැඳවමින්, ලෝකය බේරා ගැනීමට ඉක්මන් විය යුතු බවට පණිවිඩයක් දීමටය.

කෙසේවුවද ඔක්ජෝකුල් තවදුරටත් ගෝලීය උෂ්නත්වය සමනය කිරීමට තමන් වෙතින් සිසිල් වායු ධාරා පරිසරයට එක්කරමින් සටන් කරන්නේ නැත. ඔක්ජෝකුල් මිනිසා සමග කළ සටනින් පැරදී මරු තුරුලට ගොසිනි.

මේ අතර මිනිසාගේ ම්ලේච්ඡ පහර එල්ල වූ තවත් අගනා සම්පතක් ලොව අනෙක් කෙළවරේ මාරයා සමඟ සටන් කරමින් සිටී. ඒ අැමසන් වනයයි. පෘථිවියට මිනිසා එක්කරන විෂ වායූන් උරා ගනිමින් මිනිසාට ජීවය පවත්වාගෙන යෑමට හිතකර පරිසරයක් බිහිකිරීම වෙනුවෙන් සටන් කරන මූලික සටන්කරුවා වන්නේ ශාඛ ප්‍රජාවයි. පෘථිවි තලය මත දැනට ජීවතුන් අතර සිටින ශාඛ ප්‍රජාවේ වැඩිම ගහණය හමුවන්නේ ඇමසන් ද්‍රෝණියෙනි. ඒ අැමසන් වනයයි. ලෝකයේ විශාලතම නිවර්තන වනාන්තරය වන්නේද එයයි. සම්පූර්ණ ඇමසන් ද්‍රෝණිය වර්ග සැතපුම් මිලියන 72.2ක් දක්වා පැතිරෙන අතර ඇමසන් වනය ඒ අතරින් වර්ග සැතපුම් මිලියන 2.1ක පැතිරේ. රටවල් හයක් මේ සම්පතට හිමිකම් කියන නමුදු වැඩිම ප්‍රතිශතයක් එනම් සියයට 60ක් අයත් වන්නේ බ්‍රසීලයටය.

සාමාන්‍යයෙන් වියළි කාලයේදී එනම් ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී ඇමසන් පුරා ලැව්ගිනි ඇතිවීම සාමාන්‍ය වුවද මෙවර ඇති වී ඇති ලැව්ගිනි කිසිසේත්ම සාමාන්‍ය ඒවා නොවේ. මීට පෙර 2016 වසරේ වියළි කාලයේදී ඇමසන් පුරා තැනින් තැන ලැව්ගිනි 65000ක් හඳුනාගෙන තිබේ. 2018 වසරේදී එය 39759ක් දක්වා පහත වැටුණද මේ වසරේදී ඉතා ඛේදනීය ලෙස මේ වන විට හඳුනාගෙන ඇති ලැව්ගිනි සංඛ්‍යාව 75000කි. දැවීගොස් ඇති භූමි ප්‍රමාණය තවමත් ගණනය කර නැත. එහෙත් ගත වන සෑම මොහොතකම පාපන්දු පිටියක තරම් ප්‍රමාණයක් ගින්නට ගොදුරු වන බව දැනට ප්‍රකාශ වී තිබේ.

අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා මගින් ලබා ගන්නා ලද ඡායාරූපවලද ඉහළ අහසට නැගෙන මහා දුම්කඳ ඉතා පැහැදිලිව සටහන් වී තිබේ. මේ සියල්ල පෙන්වා දෙන්නේ මේ මහා ගින්න ඇතිකරමින් සිටින විනාශයයි. වියළි කාලයේදී ඇමසන් ලැව් ගිනි ඇතිවීමට ඇතැම්විට ස්වභාවික හේතුද ප්‍රධාන වේ. අකුණු ඒ සඳහා විශාල වශයෙන් බලපෑම් කරන සාධකයකි. එමෙන්ම ලැව්ගිනි ඇතිකරන අනෙක් ප්‍රධාන සාධකය මිනිස් ක්‍රියාකාරකම්ය. වගාව සඳහා බිමි සකස් කිරීමේදී භුමිය ගිනිතැබීම ගොවීන්ගේ මූලික ක්‍රියාවකි. එහි අතුරු ප්‍රතිඵලය වන්නේ අක්කර ගණන් දැවී යෑමය. අප රටේ ද බොහෝ කැළැ ගිනිගැනීමට මූලික හේතුව මෙයයි.

ඇමසන් වනය පෘථිවියේ ජීවයේ පැවැත්මට ලබා දෙන්නේ මිල කළ නොහැකි සහයෝගයකි. ජීවියේ පැවැත්මට අවශ්‍ය ඔක්සිජන්වලින් සියයට 20ක් මුදාහරින්නේ අමසන් වනය බව පර්යේෂණ මගින් සනාථ කර තිබේ. එමෙන්ම ලොව පුරා ජෛව විවිධත්වයෙන් සියයට 10ක්ම ඇමසන් වනයට ආවේනික වේ. කොටින්ම ඇමසන් යනු පෘථිවියේ පෙනහළු ලෙස හඳුන්වන්නේ මේ වැදගත්කම හේතුවෙනි. මහ වන මැදින් ආම්භ වී මේ සා විශාල ජීවි සමූහයකට පණ පොවමින් ගළා විත් බ්‍රසීලයේ ඇමසන් ද්‍රෝණියෙන් මුහුදට වැටෙන ඇමසන් ගංගාවද ලෝකයේ විශාලත්වයෙන් වැඩිම ගංඟාව වේ. මේ ගංගාව සහ වනාන්තරය එක්ව ජීවය ලබා දෙන්නේ බ්‍රසීලයට පමණක් නොවන්නේය. ඔවුන් ජීවය ලබා දෙන්නේ මුළු මහත් පෘථිවියටය. මේ දැවී අළු වී යන්නේ එවන් වූ සම්පතකි.

වාර්තා වන අන්දමට සති අන්තය වන විට බ්‍රසීලයෙන් අර්ධයක් පමණ ඉහළට නැගෙන දුමෙන් වැසී ගොසිනි. එම දුම අසල්වැසි පිරූ, බොලිවියාව වැනි රටවල් කරාද පැතිරෙමින් තිබෙන බවට අභ්‍යවකාශ ඡායාරූප සාක්ෂි දරමින් සිටී.

කෙසේවුවද ලොවපුරා ජනතාව ඇමසන් ගැන ශෝකයට පත් වන විට බ්‍රසීලයේ අන්ත දක්ශිණාංශික ජනාධිපති බොල්සෙනාරෝටද චෝදනාවලින් ගැලවීමේ හැකියාවක් ලැබී නැත. ගොවීන්ගේ ජීවන මට්ටම් දියුණු කිරීමට ඔහු ලබා දුන් මැතිවරණ පොරොන්දු ප්‍රකාරව වැඩි වශයෙන් භූමිය වගාවට යෙදවීමට ඔහු මෙවර අවසර ලබා දී තිබේ. ඔහු බලයට පැමිණියේ පසුගිය ජනවාරි මාසයේදීය.මැතිවරණයට පෙර පැවති ඡන්ද සටනේදී ඔහු පවසා සිටියේ බ්‍රසීලයට සම්පතක් වන ඇමසන් වනය ජනතාවගේ සුභසිද්ධියට, රටේ දියුණුවට යොදවන බවයි.

ඔහුගේ පැමිණීමෙන් පසු බ්‍රසීලයේ වන විනාශය සියයට 80කින් ඉහළ ගොස් ඇති බව පැවසේ. වන විනාශය හේතුවෙන්ම බොල්සෙනාරෝට චේන් සෝ ජනාධිපති යනුවෙන් පටබැඳි නාමයක්ද හිමි වී තිබේ.

ඒ අනුව වනාන්තර එළි කරමින් වගාව දියුණු කිරීමට ඔහුගේ පැමිණීමත් සමග ගොවීන්ට, එඬේරුන්ට අවසර හිමිවිය. මේ ඇතිවන ගිනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බව පරිසරවේදීන් කොතෙක් පැවසුවද බ්‍රසීල රජය එය පිළිගැනීමට දක්වන්නේ මැළිකමකි. එහෙත් පරිසරවේදීන් පවසන්නේ සාමාන්‍යයෙන් කාලගුණය කොතෙක් වියළි වුවද ඇමසන්හි ඇති ස්වභාවික තෙත් ගතිය හේතුවෙන් එහි ගිනි පැතිරීම එතරම් පහසු නොවන බවයි. එහි ලැවි ගිනි ඕස්ට්‍රේලියාවේ හෝ කැලිෆෝර්නියාවේ මෙන් පහසුවෙන් පැතිරී යන්නේද නැත. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ගොවීන් තම වගා කටයුතු ආරම්භ කරන්නේ වනය ගිනි තැබීමෙනි. ඒ සිදුකරන්නේද වියළි කාලයේදීය. මේ දක්වා ගත වූ අතීතයේදී ගොවියන් වනය එළි කිරීමට මෙතරම් දිරිමත්ව නොසිටි බව පරිසරවේදීන් පවසන්නේ දත්ත ගෙන හැර දක්වමිනි. මේ සා විශාල ගිනි ගැනීම් සහ පැතිරීම් ඇතිවීමට හේතුව ජනාධිපතිවරයාගේ දිරිගැන්වීම් බව පරිසරවේදීන් පවසද්දී බ්‍රසීලයේ පරිසර ඇමතිවරයා පවසා සිටියේ මේ ගිනිගැනීම්වලට හේතුව වියළි කාලගුණය, සුළඟ සහ උණුසුම බවයි. එහෙත් සීඑන්එන් ඔස්සේ තම අදහස් දැක්වූ පරිසරවේදීන් කිහිපදෙනෙක්ම පවසා සිටියේ මේ සා විශාල ගිනිගැනීම් රාශියක් සිදුකිරීමට ප්‍රධානතම ස්වාභාවික ගිනිගැනීම් සාධකය වන අකුණුවලට නොහැකි බවයි.

මේ අතර බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ඡායාරූප සහ දත්ත මත වාර්තා කර තිබුණේ පසුගිය වසරට වසා සියයට 80කින් ගිනිගැනීම් වර්ධනය වී ඇති බවයි.

ලෝක වනසත්ව පදනමට අනුව මේ ගිනිගැනීම් හේතුවෙන් සිදුවී ඇති හානිය යළි ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකිය. එයට හේතුව වන්නේ ඇමසන් වනය විනාශ වීමෙන් විමෝචනය වන ඔක්සිජන් ප්‍රමාණය අඩුවනවා මෙන්ම මේ මහා ගිනි ජාලාව පරිසරයට එක් කළ කාබන් ප්‍රමාණයද අතිශයින් පරිසරයට හානිදායක වීමයි. කාබන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමේ ප්‍රධාන සාධකය වේ.

එමෙන්ම බ්‍රසීල ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල වෙනස් කරන තුරු ඇමසන් ආරක්ෂා කිරීම ඉතා බැරූරුම් කරුණක් වනු ඇති බවද පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ගොවීන් මහත් රාශියක් වනය ආරක්ෂා කිරීමට දැනුම්වත් කිරීම පහසු කටයුත්තක් නොවන බවට සාධක දක්වමිනි.

මේ අතර ලොවපුරා ජනතාව ඇමසන් වෙනුවෙන් කඳුළු සලමින් සිටිති. ඇමසන් වෙනුවෙන් යාඥා කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවිඩ ඉමහත් රාශියකි. එහෙත් තමන්ගේ වාහන භාවිතයෙන්, ශීතකරන ඇතුළු උපකරණ භාවිතයෙන් පරිසරයට සිදුකරන හානිය තනිතනිව වළක්වා ගනිමින් පරිසරය ආරක්ෂා කර ගැනීමට වැඩිදෙනෙක් අමතක කර ඇති බවක් පෙනේ. ගොවීන්ගේ ගිනිතැබීම් මේ ලැව්ගිනි ඇතිවීමට හේතුවුවද එම ගිනි පැතිරයෑමට අවශ්‍ය පරිසරය සකසා දී ඇත්තේ වැඩිවී ඇති පාරිසරික උණුසුම බව අමතක කළ නොහැක.

එවැනි පරිසරයක් බිහි කිරීමට දායක වූවෝ මිනිස් වර්ගයා වන අපමය. ලොව පුරා පරිසරවේදීන් ඇමසන් වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටිති. ගිනි නිවීමටද බ්‍රසීල රජය ඇතුළු ගිනි නිවන ඒකක මේ වන විටත් දරමින් සිටින වෙහෙස ඉතා විශාලය.

එහෙත් මේ මහා ගිනි ඡාලාව නැවැත්වීම පහසු නැත. මිනිසාගේ ක්‍රියාකාරකම් යළි ආපසු හැරෙමින් මුළු මහත් මිනිස් වර්ගයාම විනාශ කර දමමින් සිටී. එහෙත් අප කඳුළු සලමින් සිටිනවා විනා අවම තරමින් අපේ අනාගත පරපුරට ලෝකයක් ඉතිරි කිරීමට හෝ සිතිවිලි මාත්‍රයක් හෝ ඇති කර ගැනීමට අපොහොසත්ව සිටිමු.

අප මේ විනාශ කර ගනිමින් සිටින්නේ අපගේ දරුවන්ගේ අනාගතයයි. අයිස්ලන්තයේ පරිසරවේදිනියක් ඔක්ජෝකුල් අවමංගල්‍යයේදී පවසා සිටියේ ඔක්ජෝකුල් මියයමින් අපට පවසා සිටියේ ‘වහා ක්‍රියාත්මක වන‘ ලෙස බවයි. ඇත්තෙන්ම ඇමසන් පණපිටින් දැවෙමින් අපට පවසන්නේද එයමය. ඉතින් අප සැම පරිසරය ආරක්ෂා කිරීමට වහා ක්‍රියාත්මක විය යුතුමය.

Comments