ආදරණීය ශ්‍රියා; | සිළුමිණ

ආදරණීය ශ්‍රියා;

හිරු නැගෙන්නට ද පෙර, රාත්‍රියේ පශ්චිම යාමයක ඔබේ අවසන් සුසුම්පොද වාමඬලට මුසු වූ බව මා අසන විට දේහය පිළිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබිණ. මා මඳක් ශෝක වූයේ ඔබේ දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ නිසා නොවේ. ජීවත්ව සිටි ඔබ, ගිලන්ව සිටියදී හමුවී ඔබේ සිතට සුව එළවන සුලු වදනක් තෙපළීමට නොහැකි වූ නිසා ය.

ඕනෑම මනුෂ්‍යයකු ජීවිතයෙන් සමුගන්නේ, අවසන් සුසුම් පොද වා මඬලට මුසු වූ මොහොතේදී ඒ ක්‍ෂණයේදී ම මිස මිහිදන් වන හෝ භෂ්ම වන අවස්ථාවේදී නොවන බව මම තරයේ විශ්වාස කරමි.

ඉන් අනතුරුව සිදු කෙරෙන සියල්ල සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පමණම ය; දේහය යනු දේහයක් ම පමණි. මගේ පෞද්ගලික විශ්වාසයට අනුව නම් ඔබේ දේහයේ, මගේ දේහයේ හෝ වෙනත් කවර වූ හෝ මියැදුණ සත්ත්වයකුගේ දේහයක් අතරේ කිසිදු වෙනසක් තිබිය නොහැකි ය.

මෘතදේහයක්, ප්‍රදර්ශන භාණ්ඩයක් විය යුතු ද යන ශංසය මා සිතේ බොහෝ කලක සිට හටගැනී තිබුණේ ඒ අනුව ය.

අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් විසින් වත්සුනු ඇතුළු නන්විධ වූ ආලේප තවරා කෘත්‍රිම සිනාවක් මුවඟට නංවා ඇති මෘතදේහ බොහොමයක් අසල නැඟී සිටියදී මේ ප්‍රශ්නය සිය දහස්වර මා තුළ පැන නැඟී තිබේ. අගනා මිනී පෙට්ටියක සුවපහසු විල්ලුද ඇතිරිල්ල, ඒ දිලිසෙනසුලු සැටින් ආවරණය නරඹන්නාගේ ඇසට මිස සැතපෙන්නාගේ සිරුරට කවර නම් සුවසහනයක් සලසන්නේ ද? එහෙත් මේ ගැටලුව ගැටලුවක් ලෙසින්ම සිත තුළ ගොළු වී පැවතුණේ ඒ ගැන සංවේදී වන කිසිවකු සිටිය හැකි ද යන්න පවා ප්‍රශ්නකාරී වූ නිසා ය.

දැන් මුල්වතාවට ඊට පිළිතුරක් සැපයුණේ ඔබේ මුද්‍රා තැබූ දේහයෙනි.

දෙව්ලොව දෙවියන් චුතව යන්නේ යැයි කියන අයුරින් ම මිනිසා ද චුත වන්නේ, අතුරුදහන් වන්නේ නම් කොතරම් යහපත් දැයි, අර්ථසම්පන්න දැයි මා තුළ වූ පැනයට පිළිතුරක් සැපයූයේ ද ඔබේ අභාවයයි. ඔබේ දේහයට මුද්‍රා තැබුණේ ඔබ ජීවිතයෙන් විදහා දැක්වූ අපිස්බව සංකේතවත් වන අයුරිනි යි මම සිතමි. ඔබත් මාත් අතරේ දීර්ඝකාලීන, සමීප ඇසුරක් නොතිබුණ ද අප හමු වූ අහම්බ වාර ගණනකදී සිදු වූ කතා බහ ඇසුරින් මම ඔබේ නිර්ව්‍යාජත්වය හඳුනා සිටියෙමි.

වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඔබේ සම්මුති නාමයට අනුකූල ස්වභාවයක් ඔබ සතුව පැවතිණ. අප බොහෝ විට දකින්නේ නැණ නුවණින් තොර ඥානපාලලා ය; ධර්මය නොහඳුනන ධර්මදාසලා ය. එහෙත් ‘ශ්‍රියා’ යනු සිරියාවන්ත භාවයේම ප්‍රතිමූර්තියකි. ඒ වූ කලී හදවතේ ශ්‍රියාව මුහුණට ආලෝකය විහිද වූ එක් දුර්ලභ අවස්ථාවකි.

තාරුණ්‍යයෙහිදී ඔබ ඉතා සුන්දර ලලනාවක වූ බව මා අසා දැන සිටිය ද එකල අප අතර දැනහැඳුනුම්කමක් පැවතුණේ නැත. මුලින් ම, කුඩා කාලයේදීම මට ඔබ මුණගැස්වූයේ ‘ශ්‍රී’ සඟරාවයි. එහෙත් පුවත්පත් කලාවේදිණියක වශයෙන් ඔබ විසින් ලියා පළකරනු ලැබූ කෘති, පරිවර්තන පිළිබඳ නාමලේඛනයක් මීට එක්කරන්නට මෙහිදී මා සූදානම් වන්නේ නැත. ඒ, මේ කෙටි ලිපිය ලියැවෙන්නේ (අතින් ඇල්ලිය නොහැකි සුවඳක් වැනි) ඉන් ඔබ්බට ගිය ඔබ පිළිබඳ වෙනත් කතාවක් කියන්නට වන නිසා ය.

‘මරණය’ ඔබට බියක් ගෙන නුදුන් බව මට නිසැක ය. මරණයට පෙර සූදානමකින් ඔබ පසුවූයේ ඒ නිසා ය. ඔබ ඉල්ලා සිටියේ සාම්ප්‍රදායික උත්කර්ෂවත් අවමංගල්‍යෝත්සවයක් සංවිධානය නොකරන ලෙස ය. ඒ සඳහා මාධ්‍ය අඬහැරයක් අනවශ්‍ය යැයි ද ඔබ කියා තිබිණ. එතෙර සිටින ස්වකීයයන්ට ඔබේ මරණය දැනුම්දීම ද නොකළ යුත්තකැයි ඔබට හැඟී තිබිණ. මේ සියල්ලෙන් විශද වන්නේ ඔබ ධර්මයට (සොබාදහමට) කොතරම් නම් අනුගතව සිටියේ ද යන්නයි.

ඔබේ නිවස ඔබේ වටාපිටාව ධර්මානුකූල ලෙස නිර්මාණය වූයේ ද ඒ අනුව විය හැකි ය. (බුදුදහම හා සොබා දහම යනු එකක් ම මිස දෙකක් යැයි මම නොසිතමි.) බුදුදහම හා සොබාදහම සමඟ නිරන්තර ගනුදෙනුවක යෙදී සිටි ඔබට මරණයේ විරාමය, විරාමයක් ම වූ බව මට නිසැක ය. බාහිර හා අභ්‍යන්තර වශයෙන් කැපීපෙනුණ ඔබේ සුන්දරත්වය ගැන සිතන විට ජිනා සෙර්මිනාරා නම් වූ ප්‍රංස කතුවරියගේ Many mansion II කෘතියේ එන එක් අවධාරණයක් මගේ සිතට නැගෙයි. (‘සංසාර මන්දිර II’) නමින් එය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියෝ ය.)

‘සියලු මිනිස් සිරුරක් ම ඒ තුළ වාසය කරන මනසේ ස්වභාවය හා සම්බන්ධ යම් යම් ලක්ෂණ කෙරෙහි අතිශයින් වැදගත් වන යතුරක් හා සංඥාවකි.’

ෂෝපන් හවර් නම් වූ ජර්මානු දාර්ශනිකයා මේ අදහස වෙනත් අයුරකින් ප්‍රකාශ කර ඇත්තේ මෙසේ ය.

‘මගේ කය වනාහී මගේ චේතනාවේ වාස්තවීකරණයයි’

මේ ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේගේ අවධාරණ අසීමිත ය. ඔබේ අභාවය අපට, සමාජයට පාඩුවක්, අලාභයක් වූ බව සැබෑ ය. එහෙත් ඔබ වෙනුවෙන් ශෝක කළයුතු දැයි දෙගිඩියාවක් ද සිතට නැගෙන්නේ ඉහතින් සඳහන් කළ තත්ත්වය යටතේ ය.

පසුගිය සතියේ සිදුවූ ඔබේ අභාවයට පුදුමාකාර ලෙස සම්බන්ධ කළ හැකි අපූරු අවධාරණයක්, ප්‍රාර්ථනයක් සටහන්ව ඇත්තේ පසුගිය සතියේම එළිදුටු මගේ ‘ඉවුරු’ නවකතාවේ ය.

එය ශ්‍රියා රත්නකාර නම් වූ ඔබට ද මේ අවස්ථාවට ද වලංගු ය.

ඔබට සුව නිදි: මිහිරි සිහින,

සොඳුරු සිහිනයෙන් කිසිදා සමු නොගන්න.

සදා සුව නින්දේ ගැලෙන්න.

එහෙත්...?

කිසි දා නොමියෙන්න.

කැත්ලීන් ජයවර්ධන

Comments