80 දශකය කියන්නේ මගේ කලා ජීවිතයේ සොඳුරුතම යුගයයි | සිළුමිණ

80 දශකය කියන්නේ මගේ කලා ජීවිතයේ සොඳුරුතම යුගයයි

“සංගීතේ,, ටෙලි නාට්‍යයේආච්චි අම්මාගේ චරිතයට පුදුම ප්‍රතිචාරයක් ලැබෙන්නේ

රසික රසිකාවන්ගෙන් ලැබෙන ආදරය මාව විමතියට පත් කරවනවා

මීට වසර ගණනාවකට පෙර පුංචි තිරයේ විකාශය වූ නාලන් මෙන්ඩිස් ගේ ‘නෑදෑයෝ’ ටෙලි නාට්‍යයේ ‘අගිදහාමි’ අදටත් බොහෝ දෙනෙක් ආදරයෙන් සිහිපත් කරනු ලබන චරිතයක්. මිනිසුන්ට මේ චරිතය මේ තරමට මතක හිටියේ එහි රඟපෑ රංගන ශිල්පිනියගේ අති විශිෂ්ට රංගනය නිසාමයි. ඇය අප කවුරුත් හොඳින් දන්න අප කාගෙත් ආදරය ගෞරවය ලබන ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල.

 ඉතිං කොහොමද ඔබට...?

හොඳයි දරුවෝ... සතුටින්... සැනසීමෙන්... දෙවියන් අදහ­‍ගෙන ඉන්නවා. දැන් ඉතිං මං මේ ජීවිතේ අවසාන කාලේ ගෙවනවා.

ඇය එහෙම කියනකොට නම් ඇති වූයේ වේදනාවක්. මොකද ඇය තාම හොඳට ශක්තිමත්ව නිරෝගීව ජීවත් වන නිසා.

සිනහවෙලා උන්නාට යම් දුකක් ඔබේ සිතේ තිබෙනවාද?

අනේ නෑ දරුවෝ... මම දැන් මොනවාට දුක් වෙන්නද? දරුවන් පුංචි කාලේ ඒ අය උස් මහත් කරන්න නම් මමත් මහත්තයත් ලොකු දුකක් වින්ඳා. දැන් එහෙම නෑ. දරුවෝ හොඳින් ජීවත් වෙනවා. හොඳ අම්මා කෙනෙක්... හොඳ කලාකාරිනියක් ලෙස තෘප්තිමත් ජීවිතයක් මම ගත කරන්නේ.

ඔබේ ඇයි වැඩිය දකින්න නැත්තේ...?

කවදත් මම එහෙමට කාර්යබහුල වුණේ නෑ. සීමිත නිර්මාණ ප්‍රමාණයකට පමණයි මම දායක වුණේ. මට කළ හැකි දේ පමණයි මම භාර ගත්තේ. මුදල් පසුපස මම කවදාවත් ගියේ නෑ.

ඒ වුණාට ඔබ කරපු චරිත මිනිසුන් ආදරයෙන් වැලඳ ගත්තා...?

අන්න එච්චරයි මට කලාවෙන් ඉතුරු වුණේ. විශ්වාස කරන්න... මේ ළඟදි වුවමනාවකට එළියට ගිය වෙලාවේ තරුණ දරුවෝ වගයක් ඇවිත් මාව වටකරගත්තා. මේ ‘අගිදහාමි’ නේද කියලා සතුටින් කතා කළා. ඉතිං බලන්නකො ‘නෑදෑයෝ’ ටෙලි නාට්‍යය විකාශනය වෙද්දි ඒ දරුවෝ පොඩි ඇති... තාම හොඳට මතකයි නේ... මට හිතාගන්නවත් බෑ.

අගිදහාමි ඔබගේ රංගන ජීවිතයේ සුවි‍ෙශ්ෂි කීවොත්?

ඇත්තටම ඔව්. මට මේ චරිතය ලැබුණහම මම බය වුණා මට කරගන්න පුළුවන් වෙයිද කියලා. මම මුලදි බැහැ කීවා. පසුව නෑදෑයෝ නාට්‍ය කරපු අය කීවා ඔබතුමියට මේ චරිතය කරන්නට පුළුවන් කියලා. ඉතිං කළා. බලන්නකො ලැබුණු ප්‍රතිචාර.

ඇය පවසන්නේ සිත පිනා ගිය සතුටකින්.

ඔබගේ ආරම්භය මතක් කරමුද?

‘සාමා’ චිත්‍රපටයෙන්. හරි කැමැත්තෙන් රඟපෑවේ. අද වාගේ නෙමේ පුදුම සහයෝගයකින් එදා වැඩ කළේ. ඊට පස්සේ නොයෙකුත් නිර්මාණ කළා. ටෙලි නාට්‍යවලින් තමා මිනිසුන් මාව දැන ගත්තේ.

මගේ තාත්තා තමා මට උදව් කළේ. එයා නිතරම මට කීවේ කලාව කියන්නේ පූජනීය දෙයක්. දේවත්වයෙන් අදහන්න කියලා. රඟපානවා කියන්නේ ලේසි දෙයක් නෙමේ කියලා. ඒ වචන පිළිපැදපු නිසා වැරදුණේ නෑ.

ඔබ සියලුම මාධ්‍ය නියෝජනය කළා කිව්වොත්?

ඔව්; වේදිකාව - පුංචි තිරය, සිනමාව තුනම මම ජය ගත්තා. අසූව දශකයේ තමා වැඩිපුරම නිර්මාණවලට මම දායක වුණේ. හරිම සුන්දර යුගයක්.

මෑතකදි ඔබ දුටුවේ ‘බන්ධනය’ හා ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටවලින්?

ඔව්... ඒ දෙක විතරයි අන්තිමට කළේ. ‘දැවෙන විහඟුන්’ මංගල දර්ශනය දවසේ නම් තිරයෙන් මම ම මාව දැකලා විස්මයට පත්වුණා. ඒ රඟපෑවේ මම ද කියලා හිතා ගන්න බැරුව ගියා.

ඔබ කරපු ඒ චරිතයට අපේ සම්මාන උලෙළවල්හිදී සාධාරණයක් ඉටු නොවුණා දෝ හිතෙනවා.

මුළු ජීවිත කාලයේම මට ලැබුණු එකම සම්මානය ජනතා සම්මානය විතරයි. මාව ඇගයුවේ නෑ කියලා අනේ මම තරහා නෑ. මොකද ජනතාව මාව අගයනවානේ. බලෙන් සම්මාන ලබා ගන්න බෑනේ. (සිනාසෙමින්) මම කාටවත් දුෂ්ටකම් නපුරුකම් කරන්න දන්නේ නෑ.

මොකටද ඔය දේවල් කරලා. මම කතෝලික. නමුත් බුදු දහමට මම හුඟාක් ලැදියි. ජීවිතේ මේ කිසි දෙයක් ස්ථිර නෑ කියලා මම අවබෝධ කරගත්තේ මගේ තාත්තාගේ මරණය දවසේ.

දරුවෝ කැමැතිද ඔබ රඟපානවට?

අනේ ඔව්... එයාලා මට හරිම ආදරෙයි. එයාලා දන්නවා මම මේ තුළින් ලබන තෘප්තිය. මට පුතාලාම පස්දෙනයිනේ. හැමෝම බැඳලා සාර්ථක පවුල් ජීවිත ගත කරනවා. මම ඒ දිහා බලලා හරියට සතුටු වෙනවා. හෙට මැරුණත් මට දැන් දුකක් නෑ.

‘සංගීතේ’ ටෙලි නාට්‍යයට දායකවීම ගැන මොකද හිතන්නේ?

ඒ නාට්‍යයේ ඉන්නේ ගොඩාක් අලුත් දරුවෝ. මම රඟපාන්නේ කසිප්පු අම්මාගේ චරිතයක්. මා සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා රඟපානවා. ඔහු මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. හැබැයි දැන් මේ එන අලුත් අය ගැන නම් මට හරිම දුකයි.

ඒ අය ප්‍රවීණයන්ට ගරු කරන්න දන්නේ නෑ, අපි ළඟට ඇවිත් කතා කරන්නේ නෑ. දුරකථනවලම එල්ලිලා... රඟපාන්න එහෙම බෑ. මේක ගැඹුරු විෂයයක්. අදටත් අපි අපිට වඩා ජ්‍යෙෂ්ඨයින්ට ගරු කරනවා. එහෙම ආපු නිසයි මේ තරම් දුරක් අති විශාල රසික ආදරයක් ලබමින් එන්න ලැබුණේ. මම අලුත් දරුවන්ට ආදරෙයි. නමුත් එයාලා ඒක තේරුම් ගන්නේ නෑ,

ඉතිං අවසානේ ඔබට මොනවද කියන්න තියෙන්නෙ?

අවුරුදු ගාණකින් මේ පත්තරයකින් කතා කළේ. සතුටුයි ඒ ගැන. කාටත් මම කියන්නේ ලද පමණින් සතුටු වෙන්න. කරන දේ හරියට කරන්න. ඉන්න ටික කා‍ලේ සතුටින්ම ඉන්න. මොකද මරණය අපිව කොයි මොහොතේ සොයන් ඒවිද දන්නේ නෑ. මම මගේ දරුවන්ට කියලා තියෙන්නේ මා මළ පසු ගෙදරින් කනත්තට මිස වෙන කොහේටවත් මිනිය රැගෙන යන්න එපා කියලා. ඉන්න කාලේ නැති ගරු බුහුමන්... ප්‍රතිචාර මැරුණහම මොකටද?

තව මම රඟපෑ අලුත්ම ටෙලි නාට්‍යයක් ළඟදි ස්වාධීන රූපවාහිනියේ විකාශනය වේවි. තව පුළුවන් කාලයක් ඉඳහිට හෝ රඟපානවා. මොකද එයින් ලැබෙන මානසික සුවය ඇත්තටම සුවදායක නිසා.

Comments