ලියම් - මිලේ සෙනෙහස පුපුරයි | Page 2 | සිළුමිණ

ලියම් - මිලේ සෙනෙහස පුපුරයි

නිවෙමින්, දැල්වෙමින් තිබූ සුපිරි තරු යුවළකගේ ප්‍රේමයක් සදාකල් දිදුළවන්නට එක් වහලක් යටදී සපථ කර ගත්තත් අද එය මිරිඟුවක් බවට පත්වෙලා. ලියම් හෙම්ස්වර්ත් සහ මිලේ සයිරස් නම් වූ රසික ජනතාව ආදරය කරන මේ සුපිරි තරු යුවළ පසුගියදා වෙන්වන්නට තීරණය කළා. මේ පුවත මුලින් ම ලොවට ප්‍රකාශ කළේ ඉන්ස්ටග්‍රෑම් පිටුවක සටහනක් තැබූ ලියම්. තමන්, මිලේගෙන් වෙන් වූ බවත් ඇගේ ඉදිරි ජීවිතයට සුබ පතන බවත් ලියම් එහි සටහන් කර තිබුණා. මේ සටහනින් පසුව ඔස්ට්‍රේලියාවේ පුවත්පතක් ලියම්ගෙන් වැඩි විස්තර විමසූවිට ඔහු පැවසුවේ තමන් ඒ ගැන කතා කිරීමට අකැමැති බවයි.

ජනප්‍රිය සිනමා නළුවකු වන ලියම්, ජනප්‍රිය ගායිකා මිලේ සයිරස් සමඟ පෙම් දමක පැටළුණේ 2009 දී ‘ද ලාස්ට් සෝන්’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි. මිලේ ද එම චිත්‍රපටයේ රඟපෑවා. එතැනින් ඇරඹුණු ලියම් - මිලේ පෙම් කතාව ගලා ගියේ බාධක කම්කටොලු මැදින්. ඔවුන් දෙදෙනා වරින් වර අමනාප වුණා. නැවත හාද වුණා. කෙසේ හෝ මේ ‍දෙදෙනා 2012 ජුනි මාසයේදී විවාහ ‍ගිවිස ගෙන ලොස් ඇන්ජලීස් නුවර පදිංචි වුණා. නමුත්, 2013 සැප්තැම්බර් මාසයේදී දෙදෙනා වෙන්වූ බවයි ප්‍රකාශ වුණේ. 2014 ජූලි මාසයේ ලියම් පැවසුවේ මිලේගෙන් වෙන් වූවත් ඇය සහ තමන් අතර දැඩි මිත්‍රත්වයක් පවතින බවයි. කාලය එලෙස ගෙවී ගියා. 2016 ජනවාරියේදී යළි කසු කුසුවක් පැතිරී ගියේ, ලියම් සහ මිලේ යළි එක්වන්නට අර අදින බවට සිදුවීම් කිහිපයක් ද කරළියට එක්කරමින්. පැතිරුණු කටකතා, ඕපාදූප සැබෑවක් බවට පත් කරමින් 2016 ඔක්තෝබරයේ දී මිලේ සයිරස් ප්‍රකාශ කළේ ඇය යළිත් ලියම් සමඟ විවාහ ගිවිස ගත්තාය කියලයි. දෙදෙනාගේ විවාහ මංගල උත්සවය 2018 දෙසැම්බර් 23දා පැවැත්වුණා. මේ විවාහයට පෙර 2018 නොවැම්බර් මාසයේදී ලියම් සහ මිලේගේ නිවහන ගින්නකට හසුවී විනාශ වුණා. ඒ, කැලිෆෝනියා ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නකට ගොදුරු වීමෙන්.

ලියම්ගෙන් වෙන් වූ පසුව මිලේ ප්‍රකාශ කළේ ජීවිතය අලුත් දවසකට අලුත් අත්දැකීමකට යොමුවන බවයි. ලියම් සහ මිලේ කිසිම අවස්ථාවක මේ වෙන්වීම දික්කසාදයක් ලෙස හැඳින්වීමෙන් වැළකී සිටීමට වග බලා ගත් අයුරු කැපී පෙනුණා.

Comments