රහට සංගීතය අහන්න විඳින්න, ගයන්න මම හරි ආසයි | සිළුමිණ

රහට සංගීතය අහන්න විඳින්න, ගයන්න මම හරි ආසයි

හා හා පුරා කියලා පවත්වන පළමු ප්‍රසංගය අගෝස්තු 31වැනිදා නුවරඑළිය නව නගර ශාලාවේ හවස 4.30ට පවත්වන්න දැන් සියලු කටයුතු සූදානම්. අපේ කලඑළි බැස්ම නම් කරලා තියෙන්නේ 'තාල වර්ෂා‘ කියලා...

එදාට සෝමසිරි මැදගෙදර, එම්.ජි. ධනුෂ්ක, මංජුලා දිල්රුක්ෂි, සයුරි මිහිඳුකුල සහ මම ගායනයෙන් එකතු වෙනවා. මේ ප්‍රසංගයෙන් පසු අපේ බලාපොරෙත්තුව 'තාල වර්ෂා' රට වටා ගෙනියන්නයි.

උදේශ් නිලංග, සුපිරි තරු අඹරේ පෑයූ තරු අතර අදටත් නොනිවි දිළෙන තරුවක්.. කවදත් නිහඬව තමන්ගේ වැඩකටයුතු කරගෙන යන උදේශ් ගැන ලැබුණු අලුත් ආරංචියක හැබෑ තතු හොයන්නට පසුගිය දිනෙක ඔහු අප පිළිසඳරට එක්කාසු කර ගත්තා.

උදේශ් අලුත් පෙරළියකට සුදානම් වෙනවා කියලා ආරංචි?

හැම පෙරළියක්ම සංගීතය එක්ක තමයි. අලුතෙන් 'Om' නමින් Acoustic Band එකක් පටන් ගත්තා. ඒ ගැන වෙන්න ඇති ඔය ආරංචිය.

Om.. නම හොඳට හිතලා බලලා දාගත්ත එකක් වගේ?

'Om' කියන්නේ විශ්වයේ ශබ්දය... උපයංග ශ්‍රී වික්‍රමසිංහ යෝජනා කරපු නම් කිහිපය අතරින් අපේ හිත ගත්තේ ඒ නම. Acoustic Band එකකට ඒ නම හොඳට ගැළපේවි කියලා හිතුණා.

ඔබේම සංගීත කණ්ඩායමක් පටන් ගන්න අදහසක් එන්නේ කොහොමද?

සෑහෙන කාලෙක ඉඳන් තිබුණු හීනය තමයි ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15කට විතර පස්සේ මේ හැබෑ කර ගත්තේ. සෑහෙන කාලයක් මම Beet Bands සහ Electronic Bands කිහිපයකම හිටියා. නමුත් ලංකාවේ සෑහෙන පිරිසක් මාව දැන ගත්තේ සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහන ඔස්සේ. ඒ වැඩසටහනෙන් ඉවත් වුණාට පස්සේ තවත් කාලයක් තනි ගමනක් ගියා. රහට සංගීතය අහන්න, විඳින්න ගයන්න මම හරි ආසයි. මෑතකදී මට හිතුණා කට්ටියක් එකතු කරගෙන Acoustic Band එකක් හදලා අලුත් වැඩ කිහිපයක් කරගෙන ගියොත් හොඳයි කියලා.

කොහොමද 'Om' කණ්ඩායම හැදෙන්නේ?

Band එකේ සාමාජිකයෝ බහුතරයක් මුණගැහෙන්නේ ශ්‍රීමාල් කියන මල්ලි හරහා. ඒ පිරිස මුණගැහුණු පළමුවැනි දවසෙම තේරුණා දිගු ගමනක් යන්න පුළුවන් ඉතා දක්ෂ තරුණයන් පිරිසක් බව. ඔවුන්ගේ දක්ෂතා සහ දැනුම කණ්ඩායමක් විදිහට පුහුණුවීම්වලට බොහෝ පහසුවක් වුණා. අනුරුද්ධ මධුසංඛ (ඩ්‍රම්ස්), අනුෂ්ක අනුරාධ (පර්කෂන්) සම්පත් දිනේෂ් (ලීඩ් ගිටාර්), නදීර මධුසංඛ (රිදම් ගිටාර්), නුවන් තරංග (බේස් ගිටාර්), ක්‍රිෂාන්ත චන්දික (කී බොර්ඩ්), අභිෂේක් නවෝද් (නියාමක ගායක) මේ තමයි 'Om' සාමාජිකයින්.

මේ හැබෑ කරගත්ත හීනය අභියෝගයක් කියලා හිතෙන්නේ නැද්ද?

ඔව්; එය එක්තරා අභියෝගයක්. නමුත් ඒ අභියෝගය, අවදානම මගේ අර කියපු හීනෙට යට වුණා. අද කාලේ දවස ගානේ ආටිස්ලා බිහිවෙනවා. නමුත් දැන් නම් මිනිස්සු දන්නවා දක්ෂ , අදක්ෂ කවුද කියලා. ඉතින් අපේ ප්‍රයත්නය මිහිරි සංගීත, ස්වර නාද රටාවලින් මිනිස්සුන්ගේ දෙසවන් පුරවමින් මේ ක්ෂේත්‍රයේ යම් කිසි ගමනක් යන්න. කණ්ඩායමක් විදිහට අපි හැම දේම සාකච්ඡා කරලයි තීරණ ගන්නේ. මගේ ඉලක්කය ඔවුන්වත් ගොඩ දාගෙන කණ්ඩායමක් වශයෙන් දීර්ඝ ගමනක් යන්න. මේ ගමනෙදි ශිරෝමි ප්‍රියදර්ශනීගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇය අපේ කණ්ඩායමට ලොකු ශක්තියක්. ඇය නිසා බොහෝ පිරිසක් අපේ සංගීත කණ්ඩායම දැනගත්තා.

මොනවද 'Om' එක්ක සැලසුම් වෙලා තිබෙන අලුත් වැඩ?

කණ්ඩායම පටන් අරන් දැන් මාස කිහිපයක්. විවාහ උත්සවවලට අපට සෑහෙන ආරාධනා ලැබෙනවා. විදෙස් ප්‍රසංගවලට දැනටමත් ආරාධනා තියෙනවා. නමුත් සංගීත කණ්ඩායමක් විදිහට තවම අපේ කලඑළි මංගලයක් තිබුණේ නැහැ.

කවදද කලඑළි බහින්න හිතන් ඉන්නේ?

අගෝස්තු 31 නුවරඑළිය නව නගර ශාලාවේ හවස 4.30ට. අපේ කලඑළි බැස්ම නම් කරලා තියෙන්නේ 'තාල වර්ෂා‘ කියලා. හා හා පුරා කියලා පවත්වන පළමු ප්‍රසංගය. එදාට සෝමසිරි මැදගෙදර, එම්. ජි. ධනුෂ්ක, මංජුලා දිල්රුක්ෂි, සයුරි මිහිඳුකුල සහ මම ගායනයෙන් එකතු වෙනවා. මේ ප්‍රසංගයෙන් පසු අපේ බලාපොරෙත්තුව 'තාල වර්ෂා' රට වටා ගෙනියන්නයි.

ඉදිරියේදී උදේශ් 'Om' කණ්ඩායමට පමණක් සීමා වේවිද?

නැහැ. මම එකතැනක කොටු වෙලා නැහැ. මගේ අලුත් නිර්මාණ කිහිපයකම වැඩකටයුතු නිමා වෙන්න ළඟයි. උදයංග ශ්‍රී වික්‍රමසිංහ පදරචනා කළ අරෝෂ් ජයකොඩි සංගීතවත් කළ රාගිනි ගීතයත්, උවිඳු දයාරත්න ගේ පද රචනයෙන් හා රොෂේන් වලිසුන්දරගේ සංගීතයෙන් තවත් ගීතයකුත් කළා. මේ වෙනස් ආරයේ ගීත දෙකක්. මගේ රසිකයන්ට ළඟඳීම අහන්න පුළුවන් වෙයි. අලුත් ටෙලි නාට්‍යයකටත් පසුබිම් ගායනයට ආරාධනා ලැබිලා තියෙනවා.

වර්තමානයේ හතු වගේ පිපෙන ගායකයන් අතර උදේශ් ඉන්නේ කොතැනද කියලා මම ඇහැව්වොත්?

මගේ සංගීත ගමන මම හයියෙන් ආවේ නෑ. තව ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කරගන්න තියෙනවා. පුරුදු වෙන්න තියෙනවා. තවම මම ගායනයෙන් පරිණතයි කියල හිතන්න බැහැ. නමුත් ගායකයෙක් විදිහට මම ස්ථාවරයි කියලා හිතෙනවා. මට ඕනෑම ආරක ගීත ගයන්න ඕනෑම අවස්ථාවක ගී ගයන්න පුළුවන් කියලා හැඟෙනවා. ඒ නිසා මම ස්ථාවරයි.

ඒ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමත් පහසු නැහැ?

පවතින්න කියලා කාලෙන් කාලෙට ජනප්‍රිය ඕනෑම දෙයක් කරන්නවත් රිංගිං ටෝන්ස්වලට සිංදු කියන්නවත් මට අවශ්‍යතාවක්, අදහසක් නැහැ. මේ ක්ෂේත්‍රයේ දැන හඳුනා ගත්තට පස්සේ ගායනයට ලැබුණු ආරාධනා පවා මම බාර ගත්තේ පදරචනයේ අර්ථවත් බව හා සංගීතයේ ගුණාත්මක තිබුණු ගීත පමණයි.

පැරැණි ගායකයන්ගේ ගීතවලට මිනිස්සු අදටත් ප්‍රිය කරන්නේ ඇයි..?

ඒ ගීත රස නිසා. මට අවශ්‍ය එහෙම ගමනක් යන්න.... නමුත් මේ ගමන නිකම්ම ආපු ගමනක්වත් නිකම්ම යන්න පුළුවන් ගමනක්වත් නෙමෙයි. ඒ ගමන පිටිපස්සේ සෑහෙන පිරිසක් හිටියා. මම අද යම් තැනෙක ඉන්නවා නම් මේ ස්තුතිය ඒ සියලු දෙනාට පිරිනැමිය යුතුයි.

පසු ගිය කාලේ රූපවාහිනි වැඩසටහන් බොහොමයකට සහභාගී වෙන්න මට ආරාධනා ලැබුණා. චින්තක අනුරුද්ධ පෙරේරා අධ්‍යක්ෂණය කළ, සුරේෂ් මාලියැද්ද ගේ සංගීතයෙන් රසවත් වූ 'පියෝ ලෙජන්ඩ්' වැඩසටහනේ ලංකාවේ දැවැන්තයින් සමඟ ගීත ගායනයට අවස්ථාව ලැබුණා. රංග ප්‍රේමරත්නගේ ටෝන් පොයම්ස්, මහේෂ්ගේ 'සිහිනයකි රෑ' , සන්තුස ලියනගේ ගේ 'තාල භාෂණ' , මාවෝ ලක්ෂිතගේ 'සිනෙත්‍රා' වැනි වැඩසටහන් වලට ආරාධනා ලැබීම මා ලද භාග්‍යක්. එවැනි ගුණවත් හරවත් වැඩසටහන්වලින් මගේ හැකියාව මිනිස්සු අතරට අරන් යන්න පහසුවක් වුණා. ඒ සියලු දෙනාටම මම ස්තුති වන්ත වෙනවා.

Comments