පුළුවන් කාලයක් සෙල්ලම් කරනවා... | සිළුමිණ

පුළුවන් කාලයක් සෙල්ලම් කරනවා...

රන්ජන් ජයතිලක හැටේ දශකයේ, ගායන ශිල්පියෙක්. “පොල් කට්ටට වතුර අරන්”, “කුඹුකේ ලි‍ඳේ”, “සිතක පෙම්බර සිතුවිලි”, “අරලිය මල්”, “වෙලේ ම‍ඬේ” (සුජාතා අත්තනායක සමඟ) “රුවන් නිදන හෙළ බිමයි” (වික්ටර් රත්නායක සමඟ) ගීත රැසක් ගායනා කර ඇත. ඔහු රැකියාව කළේ ඇඟිලි සලකුණු කාර්යාලයේ, පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන්. ඒ කාලේ පටන්ම රන්ජන්, ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ දක්ෂයෙක්.

මෑත භාගයේ, ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ කීර්ති පැස්කුවල්, රොහාන් සිල්වා, ජානක වික්‍රමසිංහ ආදී පිරිස් තමයි ඔහුව උනන්දු කළේ නැවත ක්‍රීඩාවලට. ඔහු 2018 වසරේ ස්පාඤ්ඤයේ මලගානුවර පැවැති ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව නි‍යෝජනය කළා.

මෙම වසරේ ජූලි 13, 14 ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංවිධානය මඟින් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වූ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී ඔහු සහභාගි වූ මීටර් 1500, 800, 400 සහ 200 ඉසව් 4න්ම ජයග්‍රහණය කිරීමට සමත්වුණා පමණක් නොව ඉසව් 3න් නව වාර්තා පිහිටුවීමටත් ඔහුට හැකිවුණා.

පසුගිය අගෝස්තු 03, 04 දිනවල ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංවිධානය මඟින් බණ්ඩාරගම, ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී ද දෙවන වතාවටත් මී. 1500, මී. 800, මී. 400, මී. 200 ඉසව් හතරෙන් ම ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වුණා. මෙහිදී රන්ජන් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් හිමි කර ගත්තා.

රන්ජන් දැනට ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ගිණුම් පරීක්ෂකවරයා ලෙස කටයුතු කරනවා. ‘තිනුලි’ නමින් C.D. පටයක් අලුතින් එළිදැක්වුවා. ‘සාමය’ සම්බන්ධව කියවෙනවා. මෙයට ද්‍රවිඩ ගීතත් ඇතුළත්.

“මට දැන් අවුරුදු 74ක්. මම ගම්පහ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ ක්‍රිකට්, රගර්, පාපන්දු ක්‍රීඩා කළා. මගේ බිරිඳ නන්දා ජයතිලක විශ්‍රාමික ගුරුවරියක්. පුතා රුවන් ජයතිලක මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් ලෙස කටයුතු කරනවා. දිලුපා කුමාරි දුව බෞද්ධ ඩිප්ලෝමාධාරිනියක්, දහම් පාසල් ගුරුවරියක්. ගායකයෙක් ලෙස ඒ කාලේ මම කලාභූෂණ සම්මානය පවා ලැබුවා. මම අවුරුදු 35 සිටම හුඟාක් රටවලට ගිහින් ක්‍රීඩා ඉසව් ජයග්‍රහණය කළා. තවත් පුළුවන් කාලයක් ක්‍රීඩා කරන්නයි මගේ බලාපොරොත්තුව. ක්‍රීඩාවට මාව උනන්දු කිරීම ගැන මත්තේගොඩ වැවරවුමේ ඇවිදීමේ සංගමයේ ක්‍රීඩා උපදේශිකා දුර්ගා හෝප්ටන් මහත්මියටත්, ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයටත් ස්තුතියි.

192/51B ආසිරි උයන, මත්තෙගොඩ. ඔහුගේ ලිපිනයයි.

Comments