පවුලේ කතාවලට මිනිසුන් තවමත් මනාපයි | සිළුමිණ

පවුලේ කතාවලට මිනිසුන් තවමත් මනාපයි

ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘මිණි කිරණ’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ විජිත මංජුල සිංහපෘථිවි

නිර්මාණකරුවන්ට අත හිත දෙන්න වැඩපිළිවෙළක් අවශ්‍යයයි

විජිත මංජුල සිංහපෘථිවි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයේ නිෂ්පාදකවරයකු ලෙස සේවය කරනවා. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘මිණි කිරණ’ ප්‍රාසාංගික නාට්‍යය මේ දිනවල සතියේ දින පහේ ම රාත්‍රී 8.35ට ජාතික රූපවාහිනියෙන් විකාශනය වෙනවා. මීට පෙර විජිත මංජුල සල්මල් ලන්ද (2012) සඳ දිය මංකඩ (2017) ප්‍රාසාංගික නාට්‍ය අධ්‍යක්ෂණය කළා. 1996 ඔහු ජාතික රූපවාහිනියේ පුහුණුවන සහාය නිෂ්පාදකවරයකු වශයෙන් විමලරත්න අධිකාරි මහතා යටතේ පුහුණුව ලැබූ අයෙකි.

විජිත මංජුල සඳලංකාව ජාතික පාසලෙන් (1994) උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නි‍වේදන ඩිප්ලෝමාව නිම කිරීමෙන් පසුවයි ඔහු රූපවාහිනියට සම්බන්ධ වන්නේ. ඉංගම්මාරුව නාට්‍යයේ රංගනයට ද ඔහු එක් වී ඇත.

ඔහු ඒකාංගික නාට්‍ය 18ක් අධ්‍යක්ෂණය කර ඇති අතර සසර තරංග, භව සෙවණැලි, උපදින්න ඉඩදෙන්න, සෙනෙහස ආදී ඒ අතරින් කිහිපයෙකි. මුලින් අධ්‍යක්ෂණය කළ ප්‍රාසංගික නාට්‍ය දෙක ප්‍රේමය හා ආදරය පදනම් කරගෙන ගැමි පරිසරයේ නිර්මාණය වූවක්. ඔහුගේ මුල්ම නිර්මාණය, ‘මිණි කිරණ’ නාට්‍යය ආදරයට වඩා තණ්හාව පසුපස හඹා යන මිනිසුන් හා ජීවන ගැටලු පිළිබඳවයි.

“මිනි කිරණ නාට්‍යයේ පිටපත ලීවෙ සුසිරන් ද සිල්වා. මේ නාට්‍යය අධ්‍යක්ෂණයට මට ආරාධනා කළෙත් ඔහුමයි. ජීවිත කාලය තුළ මිනිසුන් හට ලැබෙන යම් යම් ලාභ ප්‍රයෝජන නිසි කළමනාකාරිත්වයකින් තොරව තණ්හාව මුල් කර ගනිමින් ක්‍රියා කිරීම තුළින් සිදුවන විනාශය මිනි කිරණ ‍ටෙලි නාට්‍යයේ කතා තේමාවයි. මෙම ටෙලිනාට්‍යයට නිෂ්පාදනයෙන් වෝල්ටර් අබේසුන්දරත් කැමරාකරණයෙන් චන්දන ධර්මප්‍රියත් සංගීතයෙන් මලිත් අබේසුන්දර ද සංස්කරණයෙන් මදුර ප්‍රසාද්, අංග රචනයෙන් ප්‍රියන්ත ඊශ්වර කලා අධ්‍යක්ෂණයෙන් රෝහිත් රුවන් ජයතිලක ඇතුළු පිරිස සහාය වනවා. සරත් කොතලාවල, සුරාජ් මාපා, සම්පත් ජයවීර, චන්දික නානායක්කාර, උදය කුමාරි, අවන්ති අපෝන්සු, රොෂානා ඔන්ඩච්චි, නිලූකා රේඛානි, වසන්ත කුමාරසිරි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ කුමාර වඳුරුස්ස සිතිජය ජයසේකර, වත්සලා කල්පනී, රන්මලී ගුණතිලක, නිශාදි ධනුෂ්කා රංගනයෙන් දායක වෙනවා.

පාසල් කාලේ ඉඳලාම මම රංගනයට යොමුවෙලා හිටියේ. ක්‍රමයෙන් මම අධ්‍යක්ෂණයට පිවිසුණා. රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරුන් වන විමලරත්න අධිකාරී, දයාරත්න රටගෙදර යන ප්‍රවීණයන් සමඟ මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. හොඳ හැදෑරීමක් කරලා තමයි ඉහළ මට්ටමේ නිර්මාණයක් කළ හැකි වන්නේ. ඒ වගේ ම තමයි නිර්මාණාත්මක රසය තිබිය යුතුයි. ධම්ම ජාගොඩ, තිලක් ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල පරම්පරාවලින් පස්සේ විමලරත්න අධිකාරි ප්‍රමුඛ හතරවන පරම්පරාව ලෙස තමයි අපි අධ්‍යක්ෂණයට යොමුවෙලා තියෙන්නේ.

රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරු 12 දෙනෙක් ඉන්නවා. හැමෝටම පිළිවෙළට අවස්ථාව ලැබෙනවා, නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නට. ඒ හැම නාට්‍යයක්ම ප්‍රචාරය වෙනවා. මිණි කිරණ කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශයේ තමයි රූගත කිරීම් කෙරුණේ. මැණිකක් සම්බන්ධ කතාවක් නිසා හුඟාක් අය කුතුහල‍යෙන් බලනවා. You tube එකේ. ප්‍රතිචාරවලින් ඒ බව දැනෙනවා. හුඟාක් අය කතා වෙනවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා.

සෑම නාළිකාවකින්ම ටෙලිනාට්‍ය ගණනාවක් විකාශනය වෙන නිසා අද ටෙලි නාට්‍යවලට විශාල තරගයක් තියෙනවා නේද?

අසීරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් හොඳ දෙයක් කළොත් මිනිස්සු අතර රැඳිලා තියෙනවා. තාක්ෂණය දියුණු නිසා you tube හරහා පසුව වුණත් බලන්න පුළුවන්. ටෙලිනාට්‍ය පූර්ව ප්‍රචාරයත් ප්‍රේක්ෂක පිරිස වැඩි කරගන්න හැකි සාධකයක් වෙනවා. වර්තමානයේ හොඳ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු සිටිනවා. එක එක නිර්මාණකරුවන්ට ආවේණික වූ සුවිශේෂ ගුණාංග තියෙනවා. එකම නිර්මාණකරුවාගේ වුණත් එකිනෙකට වෙනස් නිර්මාණ කරනවා. ඒ නිසා නිර්මාණකරුවන් හා විවිධ නිර්මාණ එකින් එක සංසන්දනය කරන්න බැහැ.

කඩිනමින් ප්‍රවෘත්ති ලබාදීම (breaking news) ගැන විමසද්දි අනිකුත් පෞද්ගලික නාළිකා ඉන්නෙ රූපවාහිනියට වඩා ඉදිරියෙන් නේද?

ජාතික රූපවාහිනියෙන් ප්‍රවෘත්ති හා අනෙකුත් තොරතුරු ලබා දෙන්නේ හොඳින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වඩාත් වගකීමෙන් යුක්තවයි.

ජාතික රූපවාහිනිය බොහෝ තැන්වල අංක 1 ට සුසර කරලා තියෙන්නේ වෙන නාළිකාවක ප්‍රවෘත්තියක් විකාශනය වුණත් ඒ රූපවාහිනී ප්‍රවෘත්තිවලත් ගියාද කියලා බලන්න හුඟාක් අය පුරුදු වෙලා සිටිනවා. රජයේ මාධ්‍ය වශයෙන් මිනිස්සු හුඟාක් වෙලාවට අපේ ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව කෙරෙහි විශ්වාසය තබනවා.

වත්මන් පරපුර මේ කොටස් වශයෙන් විකාශනය වන ටෙලිනාට්‍යවලින් ඈත්වෙලා නේද?

ඔව්; අලුත් පරපුර ටෙලිනාට්‍ය නැරඹීමේ අඩුවක් තියෙනවා තමයි. නගරවල අය සිනමා ශාලාවට යනවා. ඉස්සරට වඩා දැන් බොහෝ පිරිසක් අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරනවා. මිනිසුන්ට වෙලාව පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඒත් හොඳ නිර්මාණයක් කළොත් ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර නැතුවා නොවෙයි. පවුල් සංස්ථාව පිළිබඳ කියවෙන කතාවලට මිනිස්සු තවමත් මනාපයි.

සිංහලෙන් හඬ කවන ලද විදේශීය මෙගා ටෙලිනාට්‍ය රැල්ල දේශීය ටෙලිනාට්‍ය කලාව ආක්‍රමණය කරලා කීවොත්?

සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. හඬ කවන ලද නාට්‍යවලට හුඟාක් අඩු මුදලක් තමයි වැයවන්නේ. අනික් අතට විදේශීය රටක ටෙලිනාට්‍යවල රඟපාන නළු නිළියන් දිවා රාත්‍රී පුරාම වර්ණවත් ඇඳුම්, ආභරණ හැඳ පැළඳ රඟපානවා වුණත් ඒ නොගැළපීම් ගැන නිහඬව සිටිනවා. වෙනත් රටක සංස්කෘතියක් කියලා. ඒත් ලංකාවෙ නාට්‍යයක එහෙම වුණා නම් අඩුපාඩු ලොකුවට කතා කරනවා. අපේ තියෙන්නේ පිළුණුවෙච්ච සංස්කෘතියක් නෙමෙයි. ඒත් මිනිස්සු අර පාට පාට ඇඳුම්, සුවපහසු මන්දිර, විසිතුරු ආභරණ වගේ මායා දැලේ පැටලිලා. ඒවා මාස ගණන් එකදිගට අදිනවා.

දේශීය නිර්මාණකරුවන්ට විශාල බරපැනක් දරාගන්න අමාරුයි. හුඟාක් නිර්මාණකරුවන්ට මේ ගැටලුව තියෙනවා. අපහසුවෙන් හරි හොඳ නිර්මාණයක් කළත් චැනල්වලට දෙන්න ක්‍රමයක් නෑ. නැත්නම් වර්තමානයේ හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. ඔවුන්ට අතහිත දෙන්න, රැකගන්න රාජ්‍ය වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ඔබ ලබා ඇති ඇගයීම්, අනාගත බලා‍පොරොත්තු එහෙම...

සුමති සම්මාන උලෙළේ 2005 වසරේ හොඳම ඒකාංගික නාට්‍ය අධ්‍යක්ෂණයට මගේ නම නිර්දේශ වුණා. “සල්මල් ලන්ද” හා “සඳදිය මංකඩ’ නාට්‍යවලට. නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙක් වශයෙන් මම නාට්‍ය අංශයේ දෛනික වැඩසටහන් කරනවා. ඉදිරියේදී තවත් හොඳ ටෙලි නාට්‍ය වගේම හොඳ සිනමා කෘතියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි හැමදෙයක් ගැනම සුභවාදීව බැලිය යුතුයි. හෙට දවස මීට වඩා සුභවාදී ලෙස සලකන්න මා හිතනවා. මම හොඳම සම්මානය ලෙස සලකන්නෙ මිනිසුන් අතර ජනප්‍රිය වීම තමයි.”

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන විජිත මංජුල බිරිය නිලංකා සුභාෂිනීගෙන් ලැබෙන සහය ගැන කියන්නටත් අමතන නොකළේය.

අංක 10, මන්ත්‍රී පෙදෙස, මදුරුගමුව, ගෝනවිල ඔහුගේ ලිපිනයයි.

Comments