නිහතමානී රජකුමරිය | Page 2 | සිළුමිණ

නිහතමානී රජකුමරිය

පෙම්වතියගේ උපන් දිනය දවසේ ඇයව පුදුමකරවන්න හිතාගත්තු පෙම්වතෙකු පසුගිය දවස්වල ඇය සිටින බැංකොක් නුවරට ඉගිළ ගිය පුවතක් බොලිවුඩ්පුරයෙන් දැනගන්න ලැබුණා. පෙම්වතිය තමයි, නවක සුරූපී නිළි සාරා අලිඛාන්. පෙම්වතා, කාටික් ආර්යන්. සුපිරි නළු සායිෆ් අලිඛාන්ගේ දියණිය තමයි, සාරා. ඇය මේ දිනවල බැංකොක් නුවර රැඳී සිටින්නේ ‘කූලී නම්බර් වන්’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්වෙලා. පසුගිය සතියේ යෙදී තිබුණු සාරාගේ 24 වැනි උපන්දිනය වෙනුවෙන් තමයි, කාටික් හදිසියේ ම ඇයටත් නොදන්වා, තෑග්ගකුත් රැගෙන චිත්‍රපටය රූගත කරන දර්ශන තලයට ගියේ. ඒ තෑග්ගට අමතරව අති විශේෂ උපන් දින කේක් එකකුත් කාටික් එහි රැගෙන ගියා. සියලු දෙනාගේ ම සුබ පැතුම් මැද සාරා උපන් දින කේක් එක කැපුවා. මුල්ම කේක් කෑල්ලනම් ටිකක් ලොකුයි. එය සාරා ගේ සුරතින් යොමු වුණේ තම පෙම්වතා, කාටික් වෙතටයි. රාත්‍රිය උද‍ාවෙද්දී ඇරඹුණු මේ උපන් දින සාදයට ‘කුලී නම්බර්වන්’ චිත්‍රපටයේ සාරා සමඟ ප්‍රධාන චරිතයක් රඟන වරුන් ධාවාන් ද ඒ සමඟම සෙසු කාර්මික ශිල්පීන් ද එකතු වුණා. ඒ විතරක් නොවෙයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ධාවාන් ද ඊට සහභාගි වුණා. (ඔහු, වරුන්ගේ පියායි.)

මේ උපන්දින සා‍දයේදී ගන්නා ලද පින්තූර කාටික්, තම ඉන්ස්ටග්‍රෑම් පිටුවට ද ඇතුළත් කර තිබුණා. ඒ සමඟම සාරාට සුබ පැතුමක් ද සටහන් කර තිබුණා. එය සඳහන්ව තිබුණේ මේ අයුරින්.... “Happy Birthday, princess Sara Ali Khan..!” සැබවින්ම, ඒ උපන්දින සුබ පැතුමෙහි සටහන්වූ ලෙස ම සාරා රජ කුමරියක් ම තමයි. ඇගේ සීයා (සායිෆ්ගේ පියා) ගේ පාර්ශ්වය ඉන්දියාවේ රජ පෙළපතකට අයිතියි. ඒ නිසා තමයි, සාරාගේ සීයා මන්සූර් අලිඛාන් පතාඋඩි කුමරුන් ලෙස හඳුන්වන්නේ.

රජ පෙළපතකට අයිති යුවතියක වුණත් සාරා වෙතින් ප්‍රකට වන නිහතමානිත්වය කාගේත් ප්‍රශංසාවට ලක්වී තිබෙනවා. බැංකොක්වල චිත්‍රපට රූගත කිරීමෙන් පසුව යළි සියරට බලා පැමිණි සාරා, මුම්බායි ගුවන් තොටුපළේදී පෙන්වූ නිරහංකාරී හැසිරීම එවැනි එක් අවස්ථාවක්. වෙනත් නළුවෙකු හෝ නිළියක නම් තමන් සතු ගමන් මලුවල ප්‍රමාණය විශාල නම් ඒවා තබාගෙන යන ට්‍රොලිය තල්ලුකරගන්නේ වෙ‍නකෙකුට කියලයි. නමුත්, සාරා නම් ඇගේ ගමන් මලු සියල්ලම දමා ගත් ‍ට්‍රොලිය තල්ලු කරගෙන පිටතට පැමිණියේ තමන් විසින්මයි. මේ අවස්ථාව පෙන්වන ඡායාරූපයක් එදිනම වෙබ් අඩවිවල පළවී තිබුණා. එය දුටු ප්‍රවීණ නළු රිශි කපූර් (ඔහු තවමත් ඇමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.) සිය ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ කිසිම අව්කණ්ණාඩියක් නොපැළැඳ, කිසිදු ආරක්ෂකයෙකු පෙරටු කර නොගෙන සාමාන්‍ය කෙල්ලක මෙන් තමන්ගේම ගමන් මලු රැගෙන ගිය සාරා කාටත් ආදර්ශයක් බවයි.

 

Comments