දිව්‍යලෝකයක් වන් ගමක් යක්කුරය | සිළුමිණ

දිව්‍යලෝකයක් වන් ගමක් යක්කුරය

පැරණි ගම්වැසියන් යක්කුරේ දූපත හැරගියේ කාලිංග මාඝ ආක්‍රමණයත් සමඟින්ලු. ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ ඒ ආකාරයට. යක්ෂ පරම්පරාවේ  අවසාන පුරුක් අදත් යක්කුරේ ගමේ වාසය කරන්නේ ඒ ඉතිහාසය  පපුවෙ තද කරන්.

ජනශ්‍රැති, ජනප්‍රවාද හා ප්‍රාදේශීය සභා විසින් තමයි අපේ සංස්කෘතිය ලස්සන කරන්නේ; හැඩ කරන්නේ. ගෙදරින් එළියට බහින අපේ ගැමියා හූනෙක් දෙපාරක් චික් චික් ගෑවොත් මඳක් නැවතී හිඳ තමයි නැවත ගමන ආරම්භ කරන්නේ. යක්ෂ, නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අපගේ ජනවිඥානය ඇතුළත තිබෙන ඒ ස්වදේශීකත්වය අමතක කිරීම පහසු නෑ. නවකතාකරුවන්, කෙටිකතාකරුවන් වගේම කවියන් පවා බොහෝ විට ජනශ්‍රැතියෙන්, ජන විඥානයෙන් පෝෂණය ලැබූ බව ඔවුන්ගේ නිර්මාණ පරිශීලනය කරන ඔබට අරුමයක් නොවෙයි. නිර්මාණවලට වස්තු බීජ වන්නේ ජන හදවතේ ලැඟුම් ගත් දේයි. එවිට ඒ නිර්මාණ අපේ ජීවිතයේ අංග බවට පත්වෙන්නට පටන් ගන්නවා. විමලරත්න කුමාරගම: අපේ හදවත කියැවූ කවියා සංහිඳ පාමුල අයියනායක දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කර, ගසක අත්තක් එල්ලා කැලයට යන ගැමියන් ගැන කවි පබඳින්නේ ඒ නිසා.

පාසල් නිවාඩු සමයේ ඔබට නිවාඩුපාඩුවේ යන්නට ආරාධනා කරන මේ සුන්දර ගමත් විශේෂිත වන්නේ ජනශ්‍රැතිය, ජන විඥානය නිසයි. විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමඟ නාගරීකරණය වීම හේතුවෙන් ජනාකීර්ණ වූ අපේ ගම්වලට වඩා මේ ගම බොහොම වෙනස්. තවමත් සිය අනන්‍යතාව, රැකගන්නට ඔවුන් සමත් වී සිටිනවා. මේ අපූර්ව ගම පිහිටලා තියෙන්නේ උතුරු මැද පළා‍තට අයත් නුවරගල දිසාවට වෙන්නයි. යක්ෂ පරම්පරාවේ අවසාන පුරුක ලෙසටයි මේ ගමේ ජනතාව හඳුන්වන්නේ.

"යක්කුරේ" කිවු පමණින් ඔබ අසා ඇති; ඒත් මට විශ්වාසයි, ඔබ වැඩි දෙනෙක් ගිහින් නැති බවට නම්. අදටත් ස්වභාව සෞන්දර්යය විනාශ නොවුණු අපේ විඥානය හා හද ගැස්ම හඳුනාගත් ස්වභාවිකත්වයට ඇති ඇල්ම අඩු නොවුණු ගමක් විදියට යක්කුරේ හැඳින්වුවහොත් ඔබ එකඟ වේවි නිසැකයෙන් ම. සංක්‍රමණිකයන් එක්ක මුල්ගම් බිම් අතහැර ආවත් යක්කුරේ මුල්ගම තියෙන්නේ ග‍ඟෙන් එගොඩ; ඒ කියන්නේ මහවැලි ගඟ මැද අක්කර 54ක පමණ භූමි භාගයක තමයි යක්කුරේ දූපත පිහිටා තිබෙන්නේ. දැනට යක්කුරේ කියලා ජනාවාස වෙලා තියෙන ගමේ ඉඳන් ඇත්ත යක්කුරේට යන්න නම් ගඟට බැහැලා 8 kmක් විතර ගඟ දිගේ යන්න ඕන. යක්කුරේ දූපතට යන්න තියෙන එකම මාර්ගය ගඟ දිගේ යෑම පමණයි. ගඟ දිගේ යෑම පහසු නැහැ; ජීවිත අවදානම් සහිතයි. මේ ග‍ඟේ කිඹුලන් සිටින බවත් තැන තැන වළවල් තිබෙන බවත් ගම්වාසීන් පවසනවා. ඒත් කුතුහලය ඇවිස්සුණාට පස්සේ මේ කිසිවක් ම නොපෙනී යනවානේ. ඉතින් යක්කුරේ දූපතට යන ආශාවත් පාලනය කරගන්න බැරි වුණා. අවදානම නොතකාම පැරැණි යක්කුරේ බලන්න යන්න ගඟ දිගේ පිටත් වුණේ ඒ නිසා ම යි. ඒත් ඔබ නම් යෑමට පෙර දෙවරක් නොවෙයි සියවරක් ඒ ගැන සිතන්නට ඕන.

ඔබට සිතා ගැනීමට නොහැකි වේවි යක්කුරේ දූපතේ සුන්දරත්වය ගැන. එය මට අකුරු කළ හැකි සීමාවෙන් ඔබ්බේ තිබෙන දෙයක්. බොහෝ සුන්දර දේ හදවතට දැනෙන දේ මිසක් අකුරු කළ හැකි ඒවා නොවෙන බව ඔබ දන්නවා. යක්කුරේ දූපතත් එහෙමයි. එය මේ ලෝකයේ අතිමහත් වූ දෙයින් ඔබ්බේවන වෙන් වූ ලෝකයක්. අපේ ලෝකයේ ඇති බොහෝ දේ ඊට ගෝචර නෑ. අප්‍රමාණ සොබාදම් නාදාවලි, මහ පොළොවේ මිමිනීම්, ගස්වැල් එකිනෙකා හා මුමුණන දේ හැරෙන්නට එහි වෙන මොනවත් ම නෑ. සොබාදහමේ අනේකවිධ පැවැත්ම පමණමයි එහි තිබෙන්නේ.

මඟ දූපතට රූස්ස ගස්වලින් ආවරණය වෙලා, වෙනම අද්භූත ලෝකයක් අපට මවනවා. මා පෙර කී නාදාවලි හැරෙන්නට වෙනත් කිසිදු නාදයක් එහි නැහැ. අලින්ට බයේ ගම්වාසීන් වුණත් මේ දූපතට එන්නේ හදිසිම අවශ්‍යතාවකට පමණයි. මිනිස් හැසිරීම් නිසා මේ සද්දන්තයන්ට බලපෑමක් වූ අවස්ථා කිහිපයක් ගැනත් පරිසරවේදීන් අදහස් දක්වනවා. කැලෑව එළිකිරීමට, නීති විරෝධී ක්‍රියාවලට කැලයට යන එන අය නිසයි මේ දේවල් වන්නේ. කැලෑ පාළුවන්ගෙන්, සොබාදහමට වින කටින්නන්ගෙන් මේ අපූර්ව කැලය ආරක්ෂා කර ගැනීමට සටන් කළ යුතුව තිබෙනවා. අපේ වනගහනය මේ වන විටත් ශීඝ්‍රයෙන් අඩු වී යමිනුයි පවතින්නේ. ඒ නිසාම කැලය රැකගැනීම අපේ වගකීමක්.

පැරණි ගම්වැසියන් යක්කුරේ දූපත හැරගියේ කාලිංග මාඝ ආක්‍රමණයත් සමඟින්ලු. ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ ඒ ආකාරයට. යක්ෂ පරම්පරාවේ අවසාන පුරුක් අදත් යක්කුරේ ගමේ වාසය කරන්නේ ඒ ඉතිහාසය පපුවෙ තද කරන්.

යක්කුරේ දූපතේ ඉඳන් ගම්මානය දෙස බැලුවම අයස්කාන්ත දර්ශනයක් තමයි දිස්වෙන්නේ. පුදුමාකාර සුන්දරත්වයකින් මුළු පරිසරය ම වෙළී ගොස්. ග‍ඟේ වතුර ටිකක් අඩු ක‍ාලෙ ගිය නිසාදෝ අපට ‍ග‍ඟෙන් එගොඩ වෙන්න අපහසු වුණේ නැහැ. ගඟ මැදින් පිහිටා තිබුණු ගල්තලාවෙ මම දිගා වුණේ පරිසරයේ සුන්දරත්වය දරාගන්න බැරිව. අපේ නඩේ අය කිඹුලන් ගැන මතක් කළ නිසාම හිතට බයක් ආවත් ගල්තලාවෙ ඉඳන් බලද්දී දැනෙන ඇඟ හිරිවට්ටන හැඟීමෙන් මිදෙන්නට බැරිව මම මොහොතක් ඒ මතම හිටියා. මිහිඳුම් සළු එකින් එක ලිහෙමින් සොබාදහමේ නෙක රටා මැවෙන්නට වුණා. භාවනාව යනු සිත එක්තැන් කර ගැනීම නම් මට ඒ හැඟීම දැනෙමින් තිබුණා. හිරු සැඟවී යන්නට අර අදිද්දී අපි නැවත ගම්මානය කරා පියමැන්නා.

පැපොල් පළුවකට වත්කළ කළුතෙල් අතරින් පත්තුවුණු පහනක් ගමේ එහා කොනින් දිලෙමින් තිබුණා.

Comments