දරු පැටවු එක්ක ගෙවන ජීවිතේ හරිම සුන්දරයි | සිළුමිණ

දරු පැටවු එක්ක ගෙවන ජීවිතේ හරිම සුන්දරයි

අදින් ඇරැඹෙන මේ විශේෂාංගය අපේ රටේ මොනයම් හෝ ක්ෂේත්‍රයක නියැළී සිටින ජනප්‍රිය පුද්ගලයකුගේ කැදැල්ලක තොරතුරු සහ වර්නවත් පින්තූර ගොන්නක සංකලනයකට පමණක්ම වෙන්වීම විශේෂිතය.

ඒ සඳහා අද අපි තෝරා ගත්තේ පුංචි තරයේ ජනප්‍රිය නිවේදකයකු වන ජයන්ත අතපත්තුගේ කැදැල්ලයි‍. ස්වර්ණවාහිනී නාළිකාවේ My family, හද්දින්නත් තරු වැඩසටහන් අපූරුවට මෙහෙයවන ජයන්තගේ නිවහන පිහිටා තිබෙන්නේ කොට්ටාව නගරයට මදක් ඔබ්බෙන් පිහටි නිසංසල පරිසරයකය. වසර 16ක් පුරා අඛණ්ඩව ස්වර්ණවාහිනි පුංචි තිරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම නිවේදකයකු ලෙස තම දස්කම් රටටම පෙන්වූ ජයන්ත අතපත්තු ,ඔහුටම ආවේණික වූ විලාසයෙන් වැඩ සටහන් ඉදිරිපත් කරන්නේය. නිතරම සිනහ මුසු මුහුණින් රූපවාහිනී නරඹන්නන් ආමන්ත්‍රණය කරන ඔහු වඩ‍ාත්ම රසික සිත්වලට ඇතුළු වූයේ ස්වර්ණවාහිනියේ දිනූෂා සමඟ එක්ව ඉදිරිපත් කළ "හත්දින්නක් තරු" සජීවී වැඩසටහන ඔස්සේය.MY FAMILY ඔහු ප්‍රේක්ෂකයන් අතරට ගෙනගිය තවත් එක් අපූරු වැඩසටහනකි.

නිවේදකයකු ලෙසින් ස්වර්ණවාහිනියට සම්බන්ධ වූ ජයන්ත අද එහි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. වසර ගණනාවක්පුරා නිවේදන ක්ෂේත්‍රයේ නමක් දිනාගත්... අත්දැකීම් බහුල ඔහු, මෙ‍ම ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන එය පුළුල් විෂයයක් විදිහට හැදෑරීමට කැමැති ආධුනිකයන් හට අත්වැලක් වන්නට MY MEDIA ACADEMY නමින් විදයාතනයක් ඇරඹීය. එම ආයතනයේදී ප්‍රවීණයන් අතින් කැමරාකරණය ,තිර රචනය, අධ්‍යක්ෂණය ,හැඩගැන්වීම, නිවේදනය, රඟපෑම

ඇතුළු විෂයයන් රාශියක් හැදෑරීමේ අවස්ථාව ආධුනිකයන්හට හිමිවනු ඇත. වසර 16ක් එකම ආයතනයක රාජකාරිය කරන අතරතුර පාලන අධිකාරයෙන් ඔහුට පැසසුම් ලැබුණේ ජයන්තගේ තිබූ විශ්වසනීයත්වය සහ කාර්යශූර බව නිසාමය. ඔහුට විවිධ ආයතනවලින් උසස් රැකියාවන් සඳහා ඇරියුම් ලැබුණ ද ඔහු වෘත්තීය පන්නරය ලැබු ස්වර්ණවාහිනිය හැරදා කිසිම ආයතනයකට සම්බන්ධ නොවූයේ ඊට තිබූ අසිමිත ගෞරවය නිසාවෙනි.

මාධ්‍ය සගයෙකු පමණක් නොව ජයන්ත ,සම්මානලාභී රංගන ශිල්පියෙකි. එකම චරිතයක් වෙනුවෙන් දිවයිනේ පැවැති ප්‍රධාන සම්මාන උලෙළලවල් තුනකින් ඔහු රඟපෑ "හිරිපොද වැස්ස"සිනමා පටයේ රමිත්ගේ චරිතය වෙනුවෙන් සරසවිය, සිග්නිස්, සහ ජනාධිපති සම්මානවලට පාත්‍ර විය.

ඉදිරියේදී විකාශය කිරිමට සුදානම්ව පවතින ඉන්දියානු නිෂ්පාදනයක් වන "රාජා රාණි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ජයන්තව තෝරාගෙන ඇත.

දුෂාන්ති, ජයන්තගේ ආදරණීය බිරිඳයි. ඇය පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිණියක් ලෙසින්ද මනෝ උපදේශකවරියක් ලෙසින්ද කටයුතු කරන්නීය. සුරතල් සතුන්ට බෙහෙවින් ආදරය කරන ඇය මඟතොටේ තුවාලවී අසරණව සිටින පූසන්, බල්ලන් වැනි සතුන්ට ප්‍රතිකාර කොට උන් සුවපත් කළ වාර අනන්ත බව ජයන්ත සිනාමුසු මුහුණින් පැවසීය.

ඔවුන්ගේ කැදැල්ලේ ලොක්කි මනුති අකේත්යායි. ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. මහරගම ධර්මාශෝක විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන සනෙත් සිතුල ජයන්තගේ එකම පුත්රුවනයි.

Comments