කී දෙනෙක් ආදරය කළත් මම ආදරය කරන්නෙ හිත ගිය කෙනාටයි | සිළුමිණ

කී දෙනෙක් ආදරය කළත් මම ආදරය කරන්නෙ හිත ගිය කෙනාටයි

තුන්කොන් ආදරයකට මැදි වුණු යෞවනයේ කතා පුවතක් කියාපාන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යය මේ දවස්වල සතියේ දින පහේම රාත්‍රි 8.00ට හිරු නාළික‍ාවෙන් විකාශය වනවා. මේ ආදර කතාවේ ප්‍රධාන චරිතය වන ‘අසලිගේ’ චරිතයට පණ පොවන සචිනි රුවන්තිකාගේ අපූරු රංගන ප්‍රතිභාව දැන් කාගෙත් කතාබහට ලක් වන නිසා ‘රසඳුන’ අපත් මෙවර ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 ‘අසලි’ ප්‍රේක්ෂකයන්ගේ හුස්මක් තරමටම ළං වෙලා නේද?

ඔව්. මම හිතුවටත් වඩා ‘හුස්මක් තරමට’ වගේම එහි අසලිගේ චරිතයට ප්‍රේක්ෂකයන් ගොඩක් සමීප වුණා.

කොහොමද ලැබෙන ප්‍රතිච‍ාර?

වයස් භේදයකින් තොරව ගොඩක් ‍හොඳ

ප්‍රතිචාර ලැබෙනවා.

මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

දවසක් මට හිරු නාළිකාවෙන් කතා කරලා කිවුවා මෙහෙම නාට්‍යයක චරිතයක් සඳහා තිර පරීක්ෂණයක් තියෙනවා, ඒකට පෙනී සිටින්න කියලා. මාව අසලිගේ චරිතය සඳහා තෝරාගත්තේ ඒ පරීක්ෂණයෙන් පසුවයි.

ඔබට එහි ප්‍රධාන චරිතය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රයට මම තාමත් ආධුනික නිසා ‍ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක නාට්‍යයක ප්‍රධාන චරිතය ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා.

ඇත්තටම සචිනි කොහොමද රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

පළමු නිර්මාණයෙන් පස්සේ මගේ අධ්‍යාපන කටයුතු නිසා මම ටික කලකට රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ අතර මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. වාණිජ නිරූපණ ශිල්පිනියක විදිහට තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.

ඒ කියන්නේ මේ ඔබේ පළමු රංගන අත්දැකීම නොවෙයි?

නැහැ. සිවගුරුදාසන් අධ්‍යක්ෂවරයාගේ ‘අඟුරු සිත්තම්’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. හැබැයි එය ප්‍රධාන චරිතයක් නොවෙයි. ඒ අනුව මේ මගේ දෙවන නිර්මාණය වුණත්, ප්‍රධාන චරිතයකට පණ පොවන පළමු නිර්මාණය කියන්න පුළුවන්.

‘අසලි’ මෙහිදී තුන්කොන් ආදරයකට මැදි වනවා. සැබෑ ජීවිතයේදී සචිනිට එවැනි සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණොත්...

කී දෙනෙක් මට ආදරය කළත් මට ඒ අතරින් ආදරය කියන දේ දැ‍නෙන කෙනාව තමයි මම තෝරාගන්නේ. ඒත් මට තාම එහෙම අත්දැකීමකට නම් මුහුණ දෙන්න වෙලා නෑ!

ඔබ නොකියා කියන්නේ දැනට සචිනිට ආදරවන්තයෙක් නෑ කියලද?

මෙහෙමයි, මම මීට පෙර ආදරය කරලා තියෙනවා; ආදරය විඳලා තියෙනවා. ඒත් දැන් මම ප්‍රේමවන්තියක් නෙමෙයි.

අලුත් නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැද්ද?

දැනට ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. තාම කිසිවක් භාර ගත්තේ නැහැ.

රිදී තිරයේ රංගන වරම් හිමි වුණොත්?

පුංචි තිරය, රිදී තිරය කියලා භේදයක් නෑ. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.

සචිනිගේ පවුලේ විස්තර ගැන කෙටියෙන් කීවොත්...

මමයි, අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි ඉන්නෙ. තාත්තා දැනට ජපානයේ රැකියාවක් කරනවා.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

ලොකු ලොකු බලාපොරොත්තු නෑ. හැබැයි අලෙවිකරණය පැත්තෙන් ‍වැඩි දුර ඉගෙනගන්න කැමැතියි. ඒ අතරේ හොඳ නිර්මාණ ලැබුණොත් අධ්‍යාපන කටයුතු සමඟ කාලය බලලා, තෝරා ‍බේරා ගන්නවා.

Comments