ඌව වෙල්ලස්සේ අලුත්ම රිද්මය | Page 2 | සිළුමිණ

ඌව වෙල්ලස්සේ අලුත්ම රිද්මය

ඌව වෙල්ලස්සෙන් බිහිවු තවත් අපුරුතම සංගීත කණ්ඩායමක් තමයි ‘සුළඟ විත් රියෝ‘. සාම්ප්‍රදායික ගායන වාදන රටාවෙන් මිදි ඔවුන්ගේ ම නව ආරකට නිර්මාණය කරගත් සංගීතය තුළින් වින්දනීය රසාස්වාදනයක් ප්‍රේක්ෂකයන් ට ලබාදිමට නිරන්තරයෙන් වෙහෙසෙන මෙම සංගීත කණ්ඩායම එළඹෙන 24 වැනිදා වැල්ලවාය පුරවරයේදි වෙල්ලස්සේ ජනතාව ට නොමිලේ ම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකිමක් ලබාදීමට කටයුතු සුදානම් කර තිබේ .

දශකයකට අධික කාලයක විවිධ සංගීත කණ්ඩායම්වලට සහය දෙමින් වාදනයෙන් මෙන්ම ගායනයෙන් ද හැකියාවන් දක්වන තරුණයන් පිරිසගෙන් සැදුම්ලත් ‘සුළඟ විත් රියෝ‘ සංගීත කණ්ඩායමේ නායකයා ඉන්දික සඳරුවන් කෙටි කතාබහකට මෙලෙස එකතු විය.

සුළඟ විත් රියෝ සංගීත කණ්ඩායමේ ඔබ කවුරුද?

මගේ නම සුළඟ සඳරුවන්. ඒ වගේම කණ්ඩායමේ නායකයා සහ නිවේදකයා ලෙසත් කටයුතු කරනවා.

ගම් පළාත?

වැල්ලවාය

පාසල් ගියේ?

ගම්පංගුව කනිෂ්ඨ විද්‍යාලයට

සංගීතය පටන් ගන්නේ පාසලෙන්?

පුංචි කාලේ ඉඳලා මට සංගීතයට ලොකු කැමැත්තක් තිබුණා. මගේ සංගීත දිවියට අඩිතාලම වැටෙන්නෙත් පාසලෙන්ම තමයි

කණ්ඩායම් සංගීතයට යොමුවන්නේ?

මම පාසලෙන් ඉවත් වුණාට පස්සේ යුද හමුදා සංගීත කණ්ඩායමට එකතු වුණා. එහි අවුරුදු අටක් සේවය කරලා තමයි ඉවත් වුණේ.

ඊට පස්සේ?

බුත්තල ෆයර් රේන්ජ් සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කළා. එහෙම වැඩ කරද්දි මගේම කියල සංගීත කණ්ඩායමක් පටන් ගන්න ඕනේ කියන ආසාව හිතට ආවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි සුළඟ විත් රියෝ පටන් ගත්තේ.

මේ වන විට සංගීත කණ්ඩායම ආ ගමන්මග පැහැදිලි කළොත්?

දශකයකට අධික කාලයක් තිස්සේ අපි මේ ප්‍රදේශයේ විවිධ සංගීත කණ්ඩායම්වලට එකතුවෙලා හිටියා. ඒ හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට සමිප වුණා. ඔවුන් අපෙන් වෙනස්ම ආකාරයේ නිර්මාණ ඉල්ලුවා. කාලයත් එක්ක අපිට රියෝ නමින් නව සංතිත කණ්ඩායමක් වෙල්ලස්සට දායාද කරන්න හැකි වුණා. විශේෂයෙන් ම සුළඟ සුභ සාධක සංගමයේ සාමාජිකයෝ මේ ගමනේදි අපිට ලොකු හයියක් වුණා.

සංගීත කණ්ඩායම හැඩකරන සාමාජිකයන් ගැන හැඳින්විමක් කළොත්?

ඌව පළාත් පුරා විසිරි සිටින දක්ෂයන් අතර අතිදක්ෂයන් පිරිසක් තමයි මාත් එකක් එකතුවෙලා ඉන්නේ. ඒ අනුව ලීඩ් ගිටාර් ශිල්පියා ලෙස දිනේෂ් එකතු වෙනවා. ඔහු වෙල්ලස්සේ කිං විදිහට තමයි හඳුන්වන්නේ.

ඩ්‍රම්ස් වාදනයෙන් සහයෝගය දෙන්නේ කැප්පෙටිපොල ප්‍රදේශයෙන් එක් වුණ ගුරුවරයෙක් වගේ අපිට ඉන්න මාධව, රිදම් ගිටාරයෙන් සහය දෙන්නේ ශ්‍රීමාල් දිසානායක. ඔහු සංගීත ගුරුවරයෙක් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි. අමිල ආරියරත්න කී බෝඩ් වාදන ශිල්පියා. ඔහු කුකරම්පොල ප්‍රදේශයේ පදිංචි .ඒ වගේම බේස් ගිටාර් වාදන ශිල්පියා තණමල්විලින් අපිට එකතුවෙන්නේ. මධූ අම්පාරේ. සම්පත් බුත්තල. ප්‍රදිප් වගේම පැල්වත්තේ මහේල ගායනයෙන් අපිට සහයෝගය දෙනවා. සංගීත කණ්ඩායමක තියෙන්න ඕනේ හොඳ බැඳිමක් . සහයෝගයක් එකිනෙකා අතර සුහදත්වයක් .ඒ වගේම පවුලක් විදිහට ඉන්නවනම් කිසිම වෙලාවක ගැටලු ඇතිවෙන්නේ නැහැ .එහෙම නොවන තැන තමයි කණ්ඩායමකින් සාමාජිකයෝ ගැලවිලා යන්නේ .

සුළග විත් රියෝ කියන්නේ අලුත් කණ්ඩායමක් නේද?

පළපුරුදු ප්‍රවිණයන් නොවුණත් අපි ප්‍රේක්ෂකයින් අතරට යන්නේ අලුත් සංගීත කණ්ඩායමක් විදිහට නෙවෙයි. ජනප්‍රිය සංගීත කණ්ඩාමක් විදිහටයි. මොකද දක්ෂයන් පිරිසක් අපිත් එක්ක ඉන්නේ. ඒ නිසා අපි ජනතාවට වෙනස් අත්දැකීම් ලබාදුන්නා. මෙවරත් වෙල්ලස්සෙ ජනතාවට සුපිරිම වෙනසක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. අහන් ඉන්න පුළුවන් රසයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ගායකයන්ගේ වාදකයන්ගේ නවතම අත්දැක්ම් රැසක් අපි මේ ප්‍රසංගයේදි ඉදිරිපත් කරනවා.

කවුරුද මේ දුර එන්න සහයෝගය දුන්නේ?

මගේ අම්මා. ඇය නිදිමරාගෙන අපිට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම දේනූ වීඩියෝහි දේනු අයියා, චාමී මෝටර් ආයතනයේ අසේල අයියා. ඒ වගේම බොහෝ දෙනෙක් ඉන්නවා.

එතකොට ලබන 24දා ට වැල්ලවායේ මොකද වෙන්නේ ?

වැල්ලවායේ මෙතෙක් ඉදිනොවුණු වේදිකාවක ජනප්‍රිය ගී තරු රැසක් ගී ගයන සුපිරිතම අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න අපි සුදානම් වෙලා ඉන්නවා .ඒ වින්දනීය අත්දැකීම් ලබාගන්න, හැමෝටම වැල්ලවාය බස් නැවතුම් පොළ අසලට එන්න කියලා ආරාධනා කරනවා.

Comments