නව­ක­වධ තුරන් කිරීමේ වග­කීම කා සතුද ? | සිළුමිණ

නව­ක­වධ තුරන් කිරීමේ වග­කීම කා සතුද ?

ර­සවි තුළ ක්‍රියා­ත්මක වන ම්ලේච්ඡ නව­ක­වධ සිද්ධි­වල තවම අව­සා­න­යක් දක්නට නැත. අප කොතෙක් ලියූ­වද, රටේ ඒ සම්බ­න්ධ­යෙන් වෙනම නීති පැන­වූ­වද මේ සංවි­ධා­නා­ත්මක වධ­දීම් විශ්ව­වි­ද්‍යාල තුළ ක්‍රියා­ත්මක වන්නේ කෙන­කුට අසන්න දකින්න බැරි තරමේ හිරි­කිත ආකා­ර­යෙනි.

 

කෙසේ වෙතත් නව­ක­ව­ධය අතු­ගා­දැ­මීම සම්බ­න්ධ­යෙන් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මේ වන විට පුළුල් ක්‍රියා­මාර්ග රැසක් ගෙන ඇති අතර, ඒ කොමි­සම පව­සන්නේ මෙය තුරන් කිරීමේ වැඩි වග­කීම ඇත්තේ විශ්ව­වි­ද්‍යා­ල­ය­වල පාල­නා­ධි­කා­රිය හා පාලක සභාව මත බවයි.

ඒ අනුව නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් අවශ්‍ය විනය හා නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම, එවැනි අයට දඬු­වම් දීමේ මාර්ග­යට යොමු කර­වීම හා නව­ක­වධ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වීම පිළි­බඳ වග­කීම ඇත්තේ අදාළ විශ්ව­වි­ද්‍යා­ලයේ පාලක සභා­වට හා පාල­නා­ධි­කා­රි­යට වන හෙයින් අප විශ්ව­වි­ද්‍යාල කිහි­ප­යක පාලක සභා සාමා­ජි­ක­යන් ඇමැ­තුවේ නව­ක­ව­ධය අදාළ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් අතු­ගා­දැ­මීම සම්බ­න්ධ­යෙන් ඔවුන් ගත් ක්‍රියා­මාර්ග විම­සී­ම­ටය.

ඒ ඒ විශ්ව­වි­ද්‍යාල පාලක සභා නව­ක­වධ පිළි­බඳ අව­ධා­නය යොමු කළේද?, නව­ක­වධ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් ගත් ක්‍රියා­මාර්ග මොන­වාද?, ඒ පැමි­ණිලි විභාග නොවූයේ නම් කුමක් කළේද? යනාදි ප්‍රශ්න­ව­ලට දුන් පිළි­තුරුය මේ.


නව­ක­වධ පනත ක්‍රියා­ත්මක නොකි­රීම ගැන විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් වග­කිව යුතුයි

නීති­ විශාරදයන්ගේ මතය

1998 දී අංක 20 දරන අධ්‍යා­පන ආය­ත­න­වල නව­ක­ව­ධය හා වෙනත් ස්වරූ­පයේ සාහ­සික ක්‍රියා තහ­නම් කිරීමේ පනත පාර්ලි­මේ­න්තුවේ සම්මත වී අවු­රුදු 20කටත් වැඩියි. මේ මඟින් නව­ක­ව­ධ­යට විරු­ද්ධව ක්‍රියා කිරී­මට දැඩි නෛතික ක්‍රියා­මාර්ග තිබු­ණත් මේ වන තුරුත් මේ ම්ලේච්ඡ වධය ක්‍රියා­ත්මක වන්නේ ඇයිද යන්න අප සොයා බැලිය යුතුයි. එදා මේ පනතේ අර­මුණ වුණෙත් නව­ක­ව­ධය මුලි­නු­පුටා දැමී­මයි. මේ සඳහා දැඩි දඬු­වම් පමු­ණුවා තිබෙ­නවා. ඇප ලබා­ගත හැකි වන්නේ මහා­ධි­ක­ර­ණ­යෙන් පම­ණයි. ඒ වගේම මෙය සංඥය වර­දක්. නව­ක­ව­ධ­යක් සිදු වන අව­ස්ථාවේ එය දුටු තැනම අත්අ­ඩං­ගු­වට ගන්න පුළු­වන් කියලා මේ පනතේ සඳ­හන් කර තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් අප­රාධ නඩු විධාන සංග්‍රහ පනතේ 306 වග­න්ති­යට අනුව වද­ර­ක­රුගේ වයස, වරදේ ස්වභා­වය වැනි කරුණු සලකා බලා විත්ති­කරු වර­ද­කරු කිරී­මට ප්‍රථම අව­වාද කර ගෙදර යැවීමේ හැකි­යා­වක් තිබෙ­නවා. ඒත් ඒ අව­ස්ථාව මේ පන­තින් අත්හි­ටුවා තිබෙ­නවා. එයින් පැහැ­දිලි වන්නේ නව­ක­ව­ධ­යට කිසිදු අයු­ර­කින් සමා­වක් නොලැ­බෙන වර­දක් බව. මෙයට අවු­රුදු 2 සිට අවු­රුදු 20 දක්වා සිර දඬු­වම් හිමි වනවා. ඒ වගේම සෑම අධි­ක­ර­ණ­ය­කින්ම මෙවැනි නඩු­ව­ලට විශේ­ෂ­ත්ව­යක් ලබා දී කඩි­න­මින් විභා­ග­යට ගත යුතු වනවා. එහෙත් මේ සියලු නීති ප්‍රති­පා­දන සලසා තිබි­ය­දීත් ඇයි අවු­රුදු 20ක් වැනි කාල­යක් ගියත් මේ වධයේ අව­සා­න­යක් දකින්න බැරි?

මේ නිසා අපි අව­ධා­න­යෙන් ප්‍රකාශ කරන්නේ නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් බල­ධා­රීන් වග­කිව යුතු බවයි. විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් නීති­යට අනුව ක්‍රියා­ත්මක වූවා නම් අද මෙවැනි තත්ත්ව­යක් ඇති වන්නේ නැහැ. විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් ක්‍රියා­ත්මක නොවී, මේ පනත සම්මත කළ පම­ණින් ගහෙන් ගෙඩි එන්නා සේ නව­ක­ව­ධය නැති කරන්න බැහැ. මෙහි මුල් පැමි­ණිල්ල ආදාළ විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් විසින් සිදු කළ යුතුයි. නව­ක­ව­ධ­යට විරු­ද්ධව නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදී යම් ප්‍රශ්න­යක් පැන­න­ඟි­නවා නම්, නීති­මය බාධා­වක් මතු වේ නම් හෝ පොලී­සිය විසින් සිය වග­කීම පැහැර හැරේ නම් ඒ සඳහා නීති­පති අව­ධා­නය යොමු කිරීමේ අව­ස්ථාව තියෙ­නවා. මේ සඳහා විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන්ට ඍජු­වම නීතිපති දෙපාර්තමේන්තුවෙන් උප­දෙස් ගත හැකියි. හැම නව­ක­වධ සිදු­වී­ම­ක­ටම විරු­ද්ධව ක්‍රියා­ත්මක වීමට පැමි­ණි­ල්ලක් කිරීම අව­ශ්‍යයි. මේ අව­ස්ථාවේ පොලිස් නිල­ධා­රීන් පවා මේ නව­ක­වධ පනත ගැන අව­බෝ­ධ­යෙන් සිටීම වැද­ගත්. ඉදි­රි­යේදී මේ අය දැනු­වත් කිරී­ම­ටත් බලා­පො­රොත්තු වනවා.

මේ නව­ක­වධ නීතිය ක්‍රියා­ත්මක වීමේදී වින්දි­ත­යන් ආරක්ෂා කිරීමේ පනත ද ඉතා වැද­ගත්. මේ අනුව නව­ක­ව­ධ­යට ගොදුරු වූ අය­කුට මේ පනත යටතේ වන්දි ලැබී­මට, ආර­ක්ෂාව ලැබී­මට හා ප්‍රති­කාර ලැබී­මට අව­ස්ථාව හිමි වනවා. ඒ වගේම තමන්ට යම් හිරි­හැ­ර­යක් සිදු වුණොත් රටේ පවත්නා නීති­යට අනුව ඕනෑම සිසු­ව­කුට තමන්ම ගොස් අදාළ පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කරන්න පුළු­වන්. පරි­පා­ල­නය හරහා යන්න අවශ්‍ය නැහැ.

 


විශ්ව­වි­ද්‍යාල පාල­නා­ධි­කා­රිය හරි­යට ක්‍රියා­ත්මක වුණේ නැහැ

මනෝ සේක­රම් යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලක සභාවේ සාමා­ජික

අනෙ­කුත් විශ්ව­වි­ද්‍යා­ල­වල වගේම මේ විශ්ව­වි­ද්‍යා­ල­යේත් නව­ක­ව­ධය අඩු-වැඩි වශ­යෙන් තිබෙ­නවා. ඒකට ප්‍රධාන හේතුව මීට විරු­ද්ධව කවුරු හෝ නිවැ­රදි අභීත තීර­ණ­යක් ගෙන නොති­බීම. මේ වන විට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම එය නැති කිරීමේ තීන්දු­වක් ගෙන තිබෙ­නවා. ඒ වගේම කිසිම දේශ­පා­ල­න­ඥ­යෙක් හෝ දේශ­පා­ලන පක්ෂ­යක් මීට විරු­ද්ධව කිසිම තැනක කතා කර නැහැ. මේ ප්‍රශ්න­යේදී උප­කු­ල­ප­ති­ව­ර­යාට හා විශ්ව­වි­ද්‍යාල පාල­නා­ධි­කා­රි­යට මේ කට­යුතු නැවැ­ත්වීමේ ඍජු බල­යක් තිබෙ­නවා. එහෙත් ඒ අය සිය රාජ­කා­රිය ඉටු කළේ නැහැ. ඒ අය හරි­යට ක්‍රියා­ත්මක වූවා නම් මේ නව­ක­වධ නැවැ­ත්වීමේ හැකි­යාව තිබුණා.

ඒ වගේම නව­ක­ව­ධය නැවැ­ත්වීම එක් විශ්ව­වි­ද්‍යා­ල­යක පම­ණක් කිරී­මෙන් පලක් නැහැ. හැම විශ්ව­වි­ද්‍යා­ල­යක්ම එකතු වී පොදු එක­ඟ­තා­ව­කට පැමිණ මේ දේවල් නැවැ­ත්වී­මට කට­යුතු කළ යුතුයි. මේ ප්‍රශ්න­යේදී සම­හර බල­ධා­රීන් නීතිය ක්‍රියා­ත්මක කරන්න බය වුණා. පොලී­සි­යට දැනුම් දෙන්න බය වුණා. යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ තත්ත්වය මීට ටිකක් වෙනස්. මේ ළමයි ජීවත් වුණේ යුද්ධය පැවැති පරි­ස­ර­යක. මේ නිසා පරි­පා­ල­න­යත් තව­මත් ශක්ති­මත් නැහැ. විශ්ව­වි­ද්‍යා­ලය තුළට පොලී­සිය ගෙන්වන්න බයයි. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. මේ ප්‍රශ්න­යේදී උප­කු­ල­ප­ති­ව­රයා මෙන්ම පාල­නා­ධි­කා­රිය ශක්ති­මත් විය යුතුයි. මවු­පි­යන් පවා තම දරු­වන්ට කිව යුතු වන්නේ නව­ක­ව­ධය දුන්නොත් තම දරු­වන්ට සර­ස­වි­යට යෑම තහ­නම් කරන බව. විශ්ව­වි­ද්‍යාල උපා­ධි­ධා­රීන් රජයේ හා පෞද්ග­ලික අංශයේ රැකි­යා­ව­කට යනවා නම් සම්මුඛ පරී­ක්ෂ­ණ­යේදී නව­ක­වධ හෝ විශ්ව­වි­ද්‍යාල තුළ විනය විරෝධි ක්‍රියා­වක් නොකළ බවට සහ­ති­ක­යක් අනි­වාර්ය කර­නවා නම් වඩා වැද­ගත්.

 


අපට අවශ්‍ය උප­දෙස් නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ගන්න පුළු­වන්

ආචාර්ය රවී ජය­සේ­කර සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ පාලක සභාවේ සාමා­ජික

දැන් මෙහි නව­ක­ව­ධය බොහෝ දුරට අඩු වෙලා තිබෙ­නවා. මේ විශ්ව­වි­ද්‍යා­ලයේ නව­ක­ව­ධය ගැන පාලක සභාව නිර­න්ත­ර­යෙන් අව­ධා­නය යොමු කළා. නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් ලැබෙන පැමි­ණිලි හැකි ඉක්ම­නින් පරී­ක්ෂ­ණ­ව­ලට යොමු කරන ලෙස අපි පීඨා­ධි­ප­ති­ව­රුන්ට දැනුම් දුන්නා. ඒ වගේම නේවා­සි­කා­ගා­ර­වල සිදු වන වධ නව­ත්නත් අව­ශ්‍යයි. මේ පිළි­බ­ඳ­වත් අපි සෝදි­සි­යෙ­නුයි සිටින්නේ. නවක සිසුන් විශ්ව­වි­ද්‍යා­ල­යට පැමිණි පසු අප ඒ අයගේ ආර­ක්ෂාව පිළි­බඳ අව­ධා­න­යෙන් සිටිය යුතු ආකා­රය දැනුම් දෙනවා.

නව­ක­වධ සිදු­වීම් සම්බ­න්ධ­යෙන් අපි පොලී­සිය දැනු­ම්වත් කළා. ඒ පැමි­ණි­ලි­වල මූලික පරී­ක්ෂ­ණ­ව­ලින් පසු සති දෙකක පන්ති තහ­න­මක් යෙදී­මට පීඨා­ධි­ප­ති­ව­රුන්ට බලය දුන්නා. මේ සම්බ­න්ධ­යෙන් පීඨා­ධි­ප­ති­ව­රුන් විසින් පාලක සභාව දැනු­ම්වත් කළ යුතුයි. මුල් කාලයේ මේවාට ක්‍රියා­ත්මක වීමේදී යම් යම් බාධා මතු වුණා. දැන් එහෙම නැහැ. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම, නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව පවා අප දැනු­ම්වත් කර තිබෙ­නවා. මේ නිසා යම් යම් අව­ස්ථා­වල අපට අවශ්‍ය උප­දෙස් ඒ මඟින් ගන්න හැකි වේවි.


වග­කීම පාලක සභාව සතු බව දන්නවා

චන්ද්‍ර­සේන මාලි­යැද්ද සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලක සභාවේ සාමා­ජික

 අපේ විශ්ව­වි­ද්‍යා­ල­යේත් නව­ක­ව­ධය තිබෙ­නවා. යම් යම් අව­ස්ථා­වල එය දරුණු ස්වරූ­ප­යෙ­නුත් පැවැ­ත්වුණා. අපි දන්නවා, මේ සියල්ලේ අව­සාන වග­කීම පාලක සභාව සතු බව. පාලක සභාව රැස් වන්නේ මාස­ය­කට වතා­වක්. ඒත් නව­ක­ව­ධය ගැන පාලක සභා රැස්වී­ම්ව­ලදී කතා­බහ වන්නේ නැහැ. මේ නිසා පාලක සභාවේ න්‍යාය­ප­ත්‍රයේ එක් අංග­යක් මේ ගැන කතා කරන්න වෙන් විය යුතුයි. එහෙත් දැන් වන්නේ තත්ත්වය දරුණු වූ පසු පාලක සභාව රැස් වෙලා විශ්ව­වි­ද්‍යා­ලය වහ­න­වද නැද්ද කියලා තීර­ණය කීරිම පම­ණයි!

කන­ගා­ටු­දා­යක සිදු වීම තමයි අදත් නව­ක­ව­ධයේ දරුණු සිදු­වීම් වාර්තා වීම. මේ සිදු­වී­ම්ව­ලට සම්බන්ධ අයට දඬු­වම් දීමේදී පාලක සභාව කට­යුතු කළත් මේ සිදු­වීම් වළක්වා ගැනී­මට පාලක සභාව දක්වන සහ­යෝ­ගය අඩුයි. මෙවැනි නව­ක­වධ සිදු­වී­ම්ව­ලදී පොලී­සිය නීතිය ක්‍රියා­ත්මක කළත් ඔවුන් මේ සිදු­වීම් දෙස බලන ආකා­රයේ අඩු-පාඩු පව­ති­නවා. මන්ද: නව­ක­වධ සිදු­වීම් විවිධ දෘෂ්ටි කෝණ­ව­ලින් බැලිය හැකි නිසා. සම­හර දරුණු නව­ක­වධ සිදු­වීම් පොලී­සි­යට වාර්තා නොවන අවස්ථා තියෙ­නවා. සම­හර දේවල් පොලී­සි­යට වාර්තා වන්නේ සියල්ල සිදු වූවා­යින් පසු­වයි. සම­හර අධ්‍ය­යන කාර්ය මණ්ඩල ඉන්නවා මේවාට සම්බන්ධ අය. මේ නිසා මෙවැනි වධ දීම්ව­ලට විරු­ද්ධව කට­යුතු කිරී­මට පාලක සභා­ව­ටත් විශාල වග­කී­මක් තිබෙ­නවා. ඒ වගේම මේ පාලක සභා­ව­ලට සම්බන්ධ අය පොලිසි, නීති ක්ෂේත්‍ර­වල අය ඉන්නවා. මේ නිසා ඒ අයගේ සේවය මේ ප්‍රශ්න­යේදී ලබා­ගත යුතුවා සේම, පාලක සභාවේ මේ ගැන කතා කිරීම අනි­වාර්ය කළ යුතුයි.

 


පොලී­සිය නීතිය හරි­යට ක්‍රියා­ත්මක කළේ නැහැ

කපිල සම­ර­සිංහ රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ පාලක සභාවේ සාමා­ජික

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ නව­ක­ව­ධය අඩු-වැඩි ආකා­ර­යෙන් සැම පීඨ­ය­කම පව­ති­නවා. එහෙත් ඒ දේවල් පිට­තට ඒම වැළ­කෙ­නවා. වධ­කා­ගාර රුහු­ණෙත් තිබුණා. ඒ වගේම රුහුණු නේවා­සි­කා­ගා­ර­ව­ලත් මේ නව­ක­ව­ධය බිහි­සුණු ආකා­ර­යෙන් ක්‍රියා­ත්මක වෙනවා. විශ්ව­වි­ද්‍යාල පාල­නා­ධි­කා­රි­යට මේ සියල්ල වාර්තා වනවා. විශ්ව­වි­ද්‍යාල පාලක සභාව රැස් වන්නේ මාස­ය­කට වතා­වක් පම­ණයි. පාලක සභාවේ සිටින්නේ නිශ්චිත නියෝ­ජ­න­යක්. ඒ වගේම මේ පාලක සභාව විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­න­යට ඍජුව සම්බන්ධ වන්නේ නැහැ. පාලක සභාවේ සිටින අය­ගෙන් විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­න­යට නිත­රම සම්බන්ධ වෙන්නේ උප­කු­ල­පති හා පීඨා­ධි­ප­ති­ව­රුයි. මේ නිසා මේ ප්‍රශ්න­ව­ලදී වැඩි වැඩ කොට­සක් මේ අයට හිමි වෙනවා. අපි මාස­ය­කට වතා­වක් රැස් වන අව­ස්ථා­වේදි පම­ණයි මේ ගැන සාකච්ඡා කරන්න වෙන්නේ.

ළම­යින්ගේ වින­ය­වි­රෝධි ක්‍රියා­වක් මුලින්ම දැක්කොත් ඒ සම්බන්ධ විනය කට­යුතු මුලින්ම අභ්‍ය­න්තර පරි­පා­නය විසින් කළ යුතුයි. පසු­වයි ඒ සියලු දේ අධී­ක්ෂ­ණය සඳහා පාලක සභා­වට පව­රන්නේ. පසු­ගිය කාලයේ වාර්තා වූ නව­ක­වධ පැමි­ණිලි සියල්ල අපි පොලි­සි­යට භාර දුන්නා. මොකද, එයින් රටේ නීතිය කැඩී­මක් සිදුව ඇති නිසා. එහෙත් ඒ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් පොලී­සිය හරි­යට ක්‍රියා­ත්මක වුණේ නැහැ. ඒ නිසා උප­කු­ල­ප­ති­වරු මේ පැමි­ණිලි ඩී.අයි.ජීලා දක්වා ගෙන ගියත් වැඩක් වුණේ නැහැ. පැමි­ණිලි විභාග කිරීම දිනෙන් දින කල් දැම්මා. මේ නිසා සම­හර ඒවායේ සාක්ෂි පවා නැතිව ගියා. අන්ති­මේදී පැමි­ණිලි කළ අය­ටත් උන්න්දු­වක් නැතිව ගිහින් අව­සා­නයේ සිදු වුණේ පැමි­ණිල්ල වල්වැ­දී­මයි. එහෙත් මේ වන විට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම අපට දන්වා තිබෙ­නවා, මේ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් පොලී­සිය ක්‍රියා­ත්මක නොවුණ හොත් නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දීමට අදාළ අංශ­යක්. මේ නිසා ඉදි­රි­යේදී අපට ඒ සියල්ල වාර්තා කළ හැකි වෙනවා. විශ්ව­වි­ද්‍යා­ල­වල සෑම වස­ර­කම මේ දේවල් කරන පිරි­සක් ඉන්නවා. ඒ නිසා මේ අයට විරු­ද්ධව දැඩි දඬු­වම් දිය යුතුයි.

සුභා­ෂිණි ජය­රත්න

 

 

Comments