මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නායකයා මෙන්ම සේනාධිනායකයා ලෙස තමන් සතු ව්‍යවස්ථානුකූල බලය අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම කවර රටකට, කවර සංවිධානයකට, කවර ජන කොට්ඨාසයකට හෝ අභියෝගයට ලක් කළ නොහැකි බව අපි සෘජුව ම ද, නිර්භය ව ද, පැහැදිලිව ද ප්‍රකාශ කරන්නෙමු. ඒ වූ කලී ස්්‍ෛවරී, ස්වාධීන රාජ්‍යයක් ලෙස අපට තිබෙන පරම අයිතියක් බව මේ රටට ආදරය කරන නිදහස, ප්රජාතන්ත්රවාදය, සාධාරණත්වය ගරු කරන සියලු ජනතාවද එකහෙළා පිළිගනු නිසැක ය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ඒ පත්වීම අනුමත කර, එයට අත්සන යෙදූ නිල ලිපියෙහි තීන්ත වේළීමටත් පෙර ඇමෙරිකාව ඒ පිළිබඳව සිය නොසතුට හා කනස්සල්ල ද පළ කළේය. ඇමෙරිකාව සමඟ එක්වෙමින් කැනඩාව, යුරෝපා සංගමය මෙන්ම දෙමළ සන්ධානය ද එයට සිය විරෝධය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානි මිෂෙල් බැෂ්ලේගේ විරෝධයත් එයට එක් වී ඇත. මේ හැර බටහිරයන්ගෙන් යැපෙන අධිරාජ්‍ය ගැති ඇන්ජීඕ නඩ ද ඉතා ස්වාභාවික ලෙස ඒ ඊනියා විරෝධයට පක්ෂ ව සිටිති.
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවත්, ඒ පත්කිරීම සම්බන්ධයෙන් විදේශ පාර්ශ්ව මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන්නා සේම, එය පිළිගත නොහැකි ක්‍රියාවක් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය එයට ප්‍රතිචාර දක්වමින් නිවේදනය කර තිබිණි. මෛත්‍රී ජනාධිපතිවරයාගේ අභීත තීරණය මෙන්ම විදේශ අමාත්‍යාංශයේ සෘජු ප්‍රතිචාරය බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. අපේ ජනාධිපතිතුමාට සේනාධිනායකයා ලෙස හමුදාපති පත් කිරීමට නොහැකි නම් ඒ සේනාධිනායකම කුමකටදැයි සමාජ මාධ්‍ය ජාලය ඔස්සේත් ප්‍රශ්න කර තිබුණි. සැබැවින් ම අපට තිබෙන ප්‍රශ්නය ද එයයි. ස්වාධීන රටක් ලෙස වසර හැත්තෑවකටත් වැඩි කලක් ගෙවූ අපට රටේ අභ්‍යන්තර කටයුතු සඳහා කිසිවකුගේ අනුමැතියත් අවශ්‍ය නැත. මෛත්‍රි ජනාධිපතිවරයා යනු මෙරටේ බහුතර ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද රාජ්‍ය නායකයා ද වේ. ඒ ජනතා අභිමතය පරිදි මේ රට මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයාට හිමිව තිබෙන ව්‍යවස්ථානුකූල බලයකි. එසේ නම් ඇමෙරිකාවට හෝ ලෝකයේ ඕනෑම සුපිරි බලවතකුට හෝ අපගේ එකී ස්වාධීන අයිතියට බාධා කිරීමට හරස්වීමට ඉඩක් තිබිය නොහැකිය. එහෙත් ඒ ප්රජාතන්ත්රවාදී හිමිකම් නොතකා, දේශපාලන හා සදාචාර සීමාවලට ද උඩින් පැන නඟන මේ විරෝධය කුමක්ද?
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟී ඇති හෙයින් මේ පත්වීම නොකළ යුතු බව මේ විරෝධතා නඟන්නෝ කියති. මෙහිදී මූලික වශයෙන්ම මතු කළ හැකි සාධාරණ ප්‍රශ්න කීපයක් තිබේ. මේ කියන යුද අපරාද චෝදනා තහවුරු කිරීමට පිළිගත හැකි සාක්ෂි තිබේද? ශවේන්ද්‍ර සිල්වාගේ යුද මෙහෙයුම් නිසා නිශ්චිතවම අගතියට පත්වූවෝ සිටිත්ද? එහි වින්දිතයෝ සිටිත්ද? අනෙක් අතට ඇමෙරිකාවට මෙබඳු චෝදනාවක් නැඟීමට තිබෙන පාරිශුද්ධභාවය කුමක්ද? අප දන්නා පරිදි මේ යුද අපරාධ චෝදනා ලැයිස්තුවේ ඇමෙරිකාවට තිබෙන කුප්‍රකට ප්‍රසිද්ධිය අප්‍රමාණ ය. ඇමෙරිකාවේ අත්තනෝමතික හා සාපරාධී මැදිහත්වීම් වලට වන්දි ගෙවන රටවල් අතර ඉරාකය, සිරියාව, ලිබියාව මෙන්ම ඇෆ්ගනිස්ථානය ද සිටියි. ඉරාකයේ සදාම් හුසේන්ට අත් කළ ඉරණම ගැන ඇමෙරිකාවට කිව හැක්කේ කුමක්ද? මේ රටවල ගැහැනු පිරිමි පමණක් නොව ලක්ෂ ගණන් දරුවෝ ද ඇමෙරිකාවේ යුද කාමයේ ගොදුරු බවට පත් නොවූවෝ ද? ඇමෙරිකානු ප්‍රහාර වලින් ඇෆ්ගනිස්ථානයේ හා පකිස්ථානයේ සිවිල් වැසියන් මිය යෑම පිළිබඳ ව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා ආසියානු කලාප භාරව සිටි රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්ටද එදා යුද අපරාද චෝදනා එල්ල විය. එසේ නම් අපට ඇඟිල්ල දිගු කරන ඇමෙරිකාවට රටවල් කීයක ඇඟිලි ලක්ෂ කීයක් දිගු විය හැකිද? ඇමෙරිකාවේ ප්‍රචණ්ඩ ඉතිහාසය ගැන ලෝකය ම දනිති.
එදා සුප්‍රකට ඇමෙරිකානු ජනාධිපතිවරයකු ව සිටි ඒබ්‍රහම් ලින්කන් සිය රටේ උද්ගතවු බොදුම්වාදී සිවිල් යුද්ධයේ මෙහෙයුම් බාර කළේ ජනරාල් ග්‍රාන්ට් නමැති සෙන්පතියකුට ය. ඔහු යුද ශක්තියෙන් සතුරන් පරාජය කළේ ය. පසුව ඔහු ඇමෙරිකානු යුද හමුදාපති ධුරයට පත් කිරීමේදී මානව හිමිකම් වලින් බරපතල විරෝධතාවක් එල්ල විය. එහෙත් එහිදි ලින්කන් කිවේ ජනරාල් ග්‍රාන්ට්ට කෙබඳු යුද අපරාද චෝදනා නැගුනත් ඔහු සිය මව්බිමේ වීරයකු බව ය. ලින්කන් යනු කුඩා දරුවන්ට පවා සවන් දුන් නායකයෙකි. ග්‍රේසි බෙඩ්ල් නැමැති 11 හැවිරිදි දැරියක් විසින් ලියන ලද ලිපියක් හා එයින් ජනාධිපතිවරයා වෙනස් වූ ආකාරය පිළිබඳ ව ද ලෝක ප්‍රකට පුවතක් තිබේ. එසේම ජගත් කීර්තිමත් සාහිත්‍යධරයකු වූ ලියෝ තොල්ස්තෝයි ලින්කන් හැඳින්වූයේ ඔහු මිහිතලය මෙන් විශිෂ්ට ජනාධිපතිවරයකු බව ය. ලින්කන්ට ඇමෙරිකාව පමණක් නොව ලෝකය ම ගෞරව කරන්නේ ඔහු තුළ වූ දේශාභිමානයත් මානව ගුණයත් නිසා ය.
මෛත්‍රි ජනාධිපතිවරයා ද ඒ කීර්තිමත් රාජ්‍ය නායකයන්ගේ ඉතිහාසයට අයත් නුතන රාජ්‍ය නායකයකු බව ඔහුගේ මේ ප්‍රතිචාරයෙන් මනාව තහවුරු වේ. එදා ප්රභාකරන්ගේ කුරිරු ත්රස්තවාදීන්ට එරෙහිව සිදු කළ මානුෂික මෙහෙයුම්වල බිහිසුණු ස්වරූපය කෙබඳුදැයි අමුතුවෙන් කිවයුතු නැත. ශවේන්ද්‍ර සිල්වා බඳු සෙන්පතියන්ගේ කැපවීම්, දිවි පිදීම් නොවන්නට මේ රට ඊළාම් දේශයක් වනු නිරනුමාන ය. එයට ඉඩ නොදුන් රණවිරුවන් දංගෙඩියට රැගෙන යෑමේ වෛරය බටහිර ඇතැමුන්ගේ මෙන්ම පරගැති ඇන්ජීඕ නඩවල ද ලේ සමඟ මුසු වී තිබෙන්නකි. එදා ප්රභාකරන් ගලවා ගැනීමට අසිහියෙන් මෙන් මේ රටට දිව ආ මිලීබෑන්ඩ්ලා, බර්නාඩ් කුෂ්නර්ලා. (බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමතිවරු) මෙහිදි අපට සිහි වේ. ඇමෙරිකාව පමණක් නොව කොළඹ එක්සත් ජාතීන්ගේ නිලවල සැක සහිත හැසීරීම් කොපමණ තිබුණිද? කොටි කඳවුරු නඩත්තු කළ මාරි අම්මලා කොටින්ට කිරි පොවද්දී අහක බලා ගෙන සිටි බටහිර ඇතැම් අයට තිබෙන්නේ ද සිංහලයන් සමග වෛරයක් බව සැඟවිය නොහැකිය.
ශ්‍රී ලංකාවේ සිදු වූ මානුෂික මෙහෙයුම පිළිබද ලෝකයට මැවූ බොහෝ ව්‍යාජ හා විරූපී චිත්‍ර වල හිමිකාරත්වය ඇත්තේ ද ඒ බටහිරයන්ට හා උන්ට ගැතිකම් කරන ඇන්ජීඕ කාරයන්ට ය. චැනල් ෆෝ නාලිකාවේ දුෂ්ට මෙහෙයුම් සමඟ ජිනීවා ගිය යුද අපරාද මල්ල අසත්‍යය මත පදනම් වූ බොරු චෝදනා බවද හෙළිවී තිබේ. එදා මෙරටේ යුද අපරාධ සිදු වූ බවට චෝදනා පත්‍ර සකස් කළ ඇමෙරිකාව ඒ ඉතිහාසය වමාරා කන්නේදැයි අපි නොදනිමු. මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානි මිෂෙල් බැෂ්ලේත් අද ශවේන්ද්‍ර සිල්වා විරෝධයෙන් ආතුර වී සිටිනු පෙනේ. එහෙත් මේ මානව හිමිකම් මණ්ඩලය දූෂිත ආයතනයක් ලෙස චෝදනා නඟමින් ඉන් ඉවත් වූ ඇමෙරිකාව යළිත් ඒ වලට ම පැනීම තරමක් විස්මය දනවන්නක් ද වේ. මෙහිදී තවත් කරුණක් මතු කළ යුතුය. එනම් 2010 සිට 2015 දක්වා ඇමෙරිකාවේ රැදී සිටිමින් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත (නියෝජ්‍ය ) ලෙස ශවේන්ද්‍ර සිල්වා දූත මෙහෙවරක් ඉටු කළ බව අපට මතක ය. එහෙත් එදා ප්‍රශ්නයක් නොවූ ඇමෙරිකාව අද සිය තානාපතිනි අලිනා ට්‍රිප්ලිට්ස් උගුලක හිර කර තිබේද? කුමක් වුවත් මේ සියලු පිරිස් පසු පස දෙමළ ඊළාම්වාදයේ සෙවණැලි වැටී තිබේ නම් අපි පුදුම නොවෙමු. එනිසා මේ යුද අපරාධ චෝදනාවල සුජාතභාවය බරපතල සැකයට තුඩු දෙන්නක් නොවේද?
ඇමෙරිකාවේ මේ ප්‍රතිචාරය දේශපාලන අංශවල දැඩි අවධානයට යොමු වුවත්, ඇමෙරිකාවෙන් ලැබෙන ප්‍රදාන නිසා ආණ්ඩුවේම සමහරු මේ පිළිබඳ මුනිවත රකිතියි තවත් චෝදනාවක් ද තිබේ. ඇමෙරිකාවට අවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාවට බලපෑම් කර තම දේශපාලන හා ආර්ථික අරමුණු සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීම බව ද සමහරු කියති. ඇමෙරිකාවේ එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට යන්නාක් මෙන් ඇමෙරිකානු සොල්දාදුවන්ට අවි දරමින් නිල ඇඳුමින්ම මේ රටට ඇතුළු වීමට අවශ්‍ය වී තිබෙන බව ද සමහරු කියති. මොන ක්‍රමයකින් හෝ ගිවිසුම් වලට එකඟව එබඳු ක්‍රියාකාරකම් සිදුවීමේ අනතුරක් තිබේද යන්න දන්නේත් ආණ්ඩුව පමණි. රටක් වශයෙන් අපට ආර්ථික ප්‍රශ්න තිබෙන බව රහසක් නොවේ. එහෙත් ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ තෙරපුම් වලට අප යටත් විය යුතු නැති බව පමණක් කිව යුතුය. ජගත් ප්‍රසාදයට පාත්‍ර වූ ඉන්දීය ඇගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු වරක් ප්‍රකාශ කළේ ආසියාවේ හෝ අප්‍රිකාවේ හෝ ‘එහෙයි’ කියන්නන් මින්මතු නොසිටිනු ඇති බවත් අපි බලවක් රටවල මිත්‍රත්වය අගය කළත් ඔවුන් හා අසුන් ගත හැක්කේ සහෝදරයන් ලෙස බවත් ය.
ඇමෙරිකාව වේවා බ්‍රිතාන්‍ය වේවා වෙන ඕනෑම රටක් වේවා අප කුඩා රටක් ලෙස සලකා සිය අධිපතිවාදී බලයෙන් මත්ව අපට බලපෑම් කරන්නේ නම් එය අවිනීත හා අශ්ලීල දේශපාලන මූග්ධ ක්‍රියාවකි. එදා ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සඳහන් කළේත් ආසියාවේ පිහිටි රටවල් වලින් වැඩි සංඛ්‍යාවක් අධිරාජයවාදීන්ගේ යටත් විජිත බවට පත්වීම නිසා අලුතින් නිදහස ලද රටවල් දෙස ඒ බලවතුන් ඇස් හකුලුවා බලන බව ය. දේශපාලන අවුල්, ආර්ථික අර්බුද ජාතීන් අතර අසමගිය වැනි දුබලතාවලට උදව් කරන ලීලාවෙන් මේ බලවත්හූ අපට විවිධ බලපෑම් කරති. නිදහස හා ප්රජාතන්ත්රවාදය ඉගැන්වීමට ද ඔවුහු ඉදිරිපත් වී සිටිති. ඒ සඳහා නිරන්තරයෙන්ම තෝරා ගනු ලබන්නේ ද ඒ ඒ රටවල් අභ්‍යන්තරයේ සංවිධාන, පුරවැසියන් හා දේශපාලන ව්‍යාපාර ආදියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ගොනු වි සිටින ඇතැම් ආයතන වුවද අප වැනි රටවල් වලට හිස එසවීමට ඉඩ දෙන්නේ ඉතා අඩුවෙනි.
ඇත්ත වශයෙන් ම දසක තුනක් ඉක්ම වූ යුද්ධයක අමිහිරි මතක මෙන්ම සුව නොවූ තුවාල උතුරේ අහිසංක ජනමනස තුළ තිබිය හැකිය. එහෙත් ඒ තුවාල සුව කිරීම වෙනුවට ඒවා පාරමින් දේශපාලන ඵල නෙලා ගන්නා බොහෝ දෙමළ නායකයන් මෙන්ම දෙමළ ඊළාම්වාදීන්ට රැකවරණය දෙන ඇමෙරිකාව, කැනඩාව, ප්‍රමුඛ බටහිරයන්ගේ බලපෑම්, කුහක මැදිහත්වීම් අප බුද්ධිමත්ව වටහා ගත යුතුය. ඒ දේශපාලන විඥානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙන්ම මෛත්‍රී ජනාධිපතිවරයාට ද තිබේ. එනිසා මෛත්‍රී කිසි දිනක ඇමෙරිකාවට හෝ අන් කවරකුට හෝ දේශපාලන කප්පම් දිමට ද සූදානම් නැත.
ඉන්දියාවේ ගාන්ධි පාලන සමයේදීත් අපට යම් යම් බලපෑම් හා මැදිහත්වීම් කළ බවද රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඉන්දියාව මැදිහත් වූ ආකාරය පිළිබඳව සිය අත්දැකීම් විස්තර කරමින් එදා (1985-89 ) ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්ව සිටි ජේ.එන්.ඩික්සිත් විසින් ලියන ලද ‘කොළඹ භූමිකාව’ කියවා බැලීම අප වැනි රටවල දේශපාලන නායකයන්ට ප්‍රයෝජනවත් වනු නිසැකය. ඉන්දියාව ලංකාවට ඇඟිලි ගැසුවේ තම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති වූ බිය නිසා වුවද දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාව මැදිහත් විය යුතුය යන තමිල්නාඩුවේ තෙරපීමද එයට හේතු වී ඇත. එහෙත් විදේශ ප්රතිපත්තියක හොඳ යහපත් ගුණය වන්නේ ආචාරධර්ම මත පදනම්ව තම ජාතික නිදහස සුරැකෙන කරුණු මිත්‍රශීලිව විසඳා ගැනීම බව ඩික්ෂිත් යෝජනා කරයි. දේශපාලන හා තානාපති මට්ටමින් රටකට බලපෑම් කිරීම සදාචාරාත්මක නොවන බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ වෙනම ඊළමක් ක්‍රියාත්මක කරවීම සඳහා මුල් වූ බලවේග අදත් අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන බව අප තේරුම් ගත යුතුය. එහි අලුත් ප්‍රතිචාරය ශවේන්ද්‍ර සිල්වා අභිනව යුද හමුදාපතිවරයාට එරෙහිව නැඟෙන විරෝධය බව අප වටහා ගත යුතුය. හින්දු සාහිත්‍යයෙහි එන චීරාභිවාදනයකින් කියැවෙන්නේ ජනනිය හෙවත් මව ද, ජන්ම භූමිය හෙවත් මව්බිම ද ස්වර්ගයට වඩා උතුම් බව ය. ඉන්දීය ආධ්‍යාත්මය පුබුදු කළ මහා කවියකු වූ රවින්ද්‍රනාත් තාගෝර් එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කළ මැනවැයි ජාතියට හඬගා කියද්දී අපේ රටේ ස්වදේශියත්වයට මෙන්ම දේශප්‍රේමයට ද සරදම් කරන්නෝ කොතෙකුත් සිටිති. එබදු පසුබිමක මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වා බඳු දේශප්‍රේමී රණවිරුවකු මෙරටේ ජාතික ආරක්ෂාවේ ප්‍රබල වගකීමක් සඳහා පත් කිරීම ඵෙතිහාසික සිදු වීමකි. ජනපතිගේ ඒ ක්‍රියාව අලීනා ට්‍රිප්ලීට්ස් නෝනා මහත්මියගේ කනස්සල්ලට හේතු වුවත් එය මෙරටේ ස්වදේශිකත්වය අගයන මාතෘභූමියේ නිදහසට ගරු කරන බහු ජනතාවගේ අස්වැසිල්ලට හේතු වන බව ලියා තැබිය යුතුය.
එසේම රාජ්‍ය දූත සේවය සඳහා මේ රටට පැමිණ අනිසි මැදිහත්වීම් කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ව සිටි ඩේවිඩ් ග්ලැස්ටන් මහතා කළ සුන්දර වරදට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් දක්වන ලද ප්‍රතිචාරය ද මෙවේලේ සිහියට නැගෙයි. කුමක් වුවත් අපේ ජාතික අභිමානය හෑල්ලු කරන කාහට වුවද අප හිස නැමිය යුතු නැත.