ජන­ප­ති­ව­ර­ණය තුන්කොන් සට­නක් නොවෙයි; පාර්ශ්ව දෙකක් අතර සට­නක්! | සිළුමිණ

ජන­ප­ති­ව­ර­ණය තුන්කොන් සට­නක් නොවෙයි; පාර්ශ්ව දෙකක් අතර සට­නක්!

ජනතා විමුක්ති පෙර­මුණ මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කරන්නේ වසර 20කට පසු­වය. ඒ සම්බ­න්ධ­යෙන් හා වත්මන් දේශ­පා­ලන කර­ළියේ ජනතා විමුක්ති පෙර­මුණේ භූමි­කාව අර­බයා අද සිළු­මි­ණට අද­හස් දැක්වී­මට එක් වන්නේ ඒ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය.

 

ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා තෝරා­ගෙන තිබි­ය­දීත් ඇයි ඔහු නම් කිරීම ප්‍රමාද කළේ?

කිසිම ප්‍රමා­ද­යක් නැහැ. ජනතා විමුක්ති පෙර­මුණ විසින් ජාතික ජන­බ­ල­වේ­ගය ගොඩ­නැ­ඟු­වාට පසු තීර­ණ­යක් ගෙන තිබුණා ගාලු මුව­දොර පිටි­යේදී රැලි­යක් තැබී­මට. ගාලු­මු­ව­දොර රැලිය තැබී­මට සති­ය­කට පමණ පෙර අප ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා කවු­රුද යන්න සාකච්ඡා කර තීර­ණ­යක් ගත්තා. එසේම ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ගාලු­මු­ව­දොර රැලි­යේදී ප්‍රකාශ කර­න්නත් එහිදී තීර­ණ­යක් ගෙන තිබුණා. අපට එය ප්‍රකාශ කිරීමේ ප්‍රමා­ද­යක් වුණේ නැහැ.

 

අපේ­ක්ෂ­කයා ජවිපෙ දේශ­පා­ල­න­ඥ­යකු නොවන බවයි ඔබ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යන් මාධ්‍ය­යට පවසා සිටියේ. ඒත් ඒ තීන්දුව වෙනස් වෙලා නෙ...

අප අපේ­ක්ෂ­කයා සම්බන්ධ අව­සන් තීර­ණ­යක් ගෙන තිබුණේ නැහැ. කල් ඇති­වම තීර­ණය කර තිබුණේ ජනතා විමුක්ති පෙර­මුණ පම­ණක් නොව, ජාතික ජන බල­වේ­ගය විසින් අව­සන් තීර­ණය ගත යුතු බවයි. එහිදී විවිධ අද­හස් පළ වුණා. අව­සා­නයේ සියලු ප්‍රජා­ත­න්ත්‍ර­වේදී බල­වේග, වාමාං­ශික බල­වේග මෙන්ම සියලු විද්ව­තුන් හා වෘත්ති­ක­යන් ඒක­ම­ති­කව තීන්දු කළේ ජනතා විමුක්ති පෙර­මුණේ අයකු මේ සඳහා යොමු කළ යුතු බවයි. ඒ අනුව අපේ පක්ෂය තීර­ණය කළා ඒ සඳහා පක්ෂයේ සිටින සියලු සුදු­සු­ක­ම්ලාභී, දැනුම හැකි­යාව ඇති පක්ෂයේ නායක අනුර කුමාර දිසා­නා­යක සහෝ­ද­රයා අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් කරන්න. අව­සන් මොහොත වන තුරු අප කළේ අපේ ජාතික ජන­බ­ල­වේ­ගය ශක්ති­මත් කරන එක මිස අපේ­ක්ෂ­කයා කවු­රුද යන්න තීර­ණය කිරීම නොවෙයි.

 

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආග­ම­නය ඔබ පක්ෂ­යට විශාල අභි­යෝ­ග­යක් නේද?

අපට නම් ලොකු බල­පෑ­මක් නැහැ. ඇත්තෙන්ම ඔහු අපේ­ක්ෂ­කයා වීම නිසා අපට පහ­සුයි. ඒ පක්ෂයේ ඉන්න අපේ­ක්ෂ­ක­යන් අතු­රින් වැඩි­යෙන්ම චෝදනා තිබෙන, වැඩි­යෙන්ම විවේ­චන තිබෙන, දුර්ව­ලම අපේ­ක්ෂ­කයා තමයි ගෝඨා­භය රාජ­පක්ෂ කියන්නේ. ඔහුගේ පැමි­ණීම ගැට­ලු­වක් වනවා නම් වන්නේ අපේ රට­ටයි. ඒ නිසා ජන­තාව කල්පනා කළ යුතුයි මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩුවේ ඉහළ තන­තුරු හොබ­ව­මින් ඒ හරහා වංචා දූෂණ සිදු කළ අයකු රටේ පළ­මු­වන පුර­වැ­සියා ලෙස පත් කිරීම සුදු­සුද යන්න ගැන. ඒ වගේම ඔහු බල­යට පත් කරන්න යම් අයකු හෝ කණ්ඩා­ය­මක් කට­යුතු කර­නවා නම් එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගරු කරන ආග­මික නාය­ක­යන්ට කරන නිග්‍ර­හ­යක්. මා එසේ පව­සන්නේ පසු­ගිය 6 වැනිදා බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී සර්ව ආග­මික නාය­ක­යන් එක්ව ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස පත් කළ යුතු තැනැත්තා පිළි­බඳ නිර්දේශ මාලා­වක් දුන්නා. එහිදී සුපි­ළි­පන් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් උදෙසා කට­යුතු කළ යුතු ආකා­රය පැහැ­දි­ලිව දැක්වූවා. ඒ අනුව නඩු නැති අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරී­මත් එහි අඩංගු වුණා. ඒ අතින් බලන විට ඒ නිර්දේශ මාලාවේ වැඩි ප්‍රමා­ණ­ය­කට ගෝඨා­භය මහ­තාට සුදු­සු­කම් නැහැ. ඒ නිසා තම ආග­මික නාය­ක­යන්ට ගරු කරන කිසිම අය­කුට ඔහුට ඡන්දය පළ කරන්න බැහැ.

 

ඔබ පව­සන්නේ අභි­යෝ­ග­යක් එල්ල වන්නේ එක්සත් ජාතික පක්ෂ­යෙන් කියාද?

එක්සත් ජාතික පක්ෂ­යට අපේ­ක්ෂ­ක­යකු නැතිව නේ ඉන්නේ! ඒ පක්ෂය වැටිලා තියෙන වළේ ප්‍රමා­ණය හිතා­ගන්න වත් බැහැ. පක්ෂ­යේම අය කිය­නවා නාය­ක­යාට අපේ­ක්ෂ­කයා වෙන්න එපා කියලා. මැති­ව­රණ ඉති­හා­සයේ එහෙම දෙයන් අපි නම් ඇහු­ව­මයි. ඒ පක්ෂයේ අපේ­ක්ෂ­කයා වෙනු­වෙන් විශාල කඹ ඇදි­ල්ලක් තියෙන්නේ. සම­හරු කරු ජය­සූ­රිය බල­යට ගේන්න උත්සාහ කර­නවා. තවත් පැත්ත­කින් සජිත් ප්‍රේම­දාස මහතා බල­යට එන්න හද­නවා. එයා කිය­නවා පක්ෂ­යෙන් දැම්මේ නැතත් ඡන්දය ඉල්ල­නවා කියලා. ඒ පක්ෂ­යෙන් එන අපේ­ක්ෂ­කයා කවු­රුන් වුවත් විශාල අර්බු­ද­යක් මතු කර­ගෙයි එන්නේ. ඒ නිසා අපි ඒ ගැන එත­රම් උනන්දු වෙන්න දෙයක් නැහැ.

 

ඔබ පක්ෂය අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කරන්නේ වසර 20කට පසු­වයි. ජන­ධි­ප­ති­ව­ර­ණ­යේදී සට­නක් දෙන්න පුළු­වන් වෙයිද?

අපි එදා ඉඳලා උත්සාහ කළේ මේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය ඉවත් කර­න්නයි. ඒ හැම අව­ස්ථා­වක්ම අසා­ර්ථක වුණා. 2015 වසරේ පොදු අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේත් අප ඒ උත්සා­හය ගත්තා. එයින් පසු­වත් අපි 20 වන සංශෝ­ධ­නය පාර්ලි­මේ­න්තු­වට ගෙනාවේ මේ විධා­යක ක්‍රමය ඉවත් කිරී­ම­ටයි. ඒත් ඒ සඳහා අනෙක් පක්ෂ සහාය ලැබුණේ නැහැ. එනිසා අපට සිද්ධ වුණා මේ කාර්යය අප­ටම පව­රා­ගන්න. ඒ අනු­වයි සියලු පාර්ශ්ව­වල ආශී­ර්වා­ද­යෙන් යුතුව අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කළේ.

 

ඔබ එසේ කිව්වත් විධා­යක බල­තල අඩු වූ විට පළාත් සභා­ව­ලට තමන්ට අවශ්‍ය ලෙස කට­යුතු කළ හැකි තත්ත්ව­යක් නිර්මා­ණය වනවා නේද? එවිට ජාතික ආර­ක්ෂා­වට වන්නේ කුමක්ද?

ඔය කියන අයම නේද කලින් විධා­ය­කය අහෝසි කරන්න එකඟ වුණේ? එත­කොට ඔය කතාව කියන්න තිබු­ණනෙ. චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක 1994 බල­යට පත් වුණේ 1995 ජූලි 15ට කලින් විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු දීලයි. මහින්ද රාජ­පක්ෂ මහතා දෙපා­රක් පොරොන්දු වුණා. මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාත් ඒ බවට අනි­වාර්ය පොරො­න්දු­වක් දුන්නා. ඇත්ත තත්ත්වය ඒක නොවෙයි; මේකෙ රහ වැටුණු කෙනා ඒක දාලා යන්න කැමැති නැහැ.

විධා­ය­කය නිසා රටේ අවුල් විය­වුල් නිර්මා­ණය වුණා මිසක් රටට වෙච්ච කිසිම සෙතක් නැහැ. උතුරේ යුද්ධය ආරම්භ වුණේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය ගෙනා­වට පස්සෙ, 1988/1989 භීෂ­ණය නිර්මා­ණය වුණේ ඊට පස්සෙ, සුදු වෑන්, පැහැ­ර­ගැ­නීම්, අතු­රු­දන් කිරීම්, ප්‍රභූ ඝාතන මාධ්‍ය­වේ­දීන් ඝාතන මේ සියල්ල ආරම්භ වුණේ විධා­යන ජනා­ධි­පති ක්‍රම­යෙන් පසු­වයි.

 

දශක ගණ­නා­වක්ම මේ රට පාල­නය කළේ ප්‍රධාන පක්ෂ දෙක විසින්. එවන් තත්ත්ව­යක් යටතේ වසර 20කට පසු අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරීම එක් අත­කින් හාස්‍ය­යට ලක් වන්නක් නේද?

අද සමා­ජය පෙළ­ගැ­සීම් අනුව ජනා­ධි­ප­ති­ව­ර­ණය ඇත්තෙන්ම තුන්කොන් සට­නක් නෙමෙයි, මේක පාර්ශ්ව දෙකක් අතර සට­නක්, එක් පැත්ත­කින් වසර 71ක් තිස්සේ රට අගා­ධ­යට ඇද­දැමූ සොර­කම දූෂ­ණය වංචාව අග­යන ඒ පැත්තෙන් මේ පැත්තට පනින, මේ පැත්තෙන් ඒ පැත්තට පනින මහ­ජන නියෝ­ජි­ත­ය­න්යැයි කියා­ගන්නා පිරිස් සිටින පක්ෂ දෙකක් හෝ තුනක අපේ­ක්ෂ­ක­යන් ඒවි. මේ පැත්තෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගරු කරන, දූෂ­ණ­යට සොර­ක­මට වැට බඳින අපේ­ක්ෂ­ක­යන් එක් කෙනෙයි. මේක කඳ­වුරු දෙකක සට­නක්.

ඒ වගේම 2015 අවු­රුද්දෙ මෛත්‍රී­පාල සිරි­සේන මහතා ප්‍රමුඛ රජ­යක් හදන්න ලක්ෂ 62ක ජන­ව­ර­මක් දුන් ජන­තාව ආයිත් මහින්ද රාජ­පක්ෂ මහතා වෙත යොමු වන්නේ නැහැ. ඒ වගේම ජන­ව­ර­මට පයින් ගැසූ මෛත්‍රී­පාල සිරි­සේන මහතා දෙස හෝ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රම්‍රඛ එක්සත් ජාතික පක්ෂය දෙස බල­න්නෙත් නැහැ. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගරු කරන සමා­ජ­ය­කට දීපු ඒ ජන­ව­රම අපේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය දෙසට හැරෙන බව අපට විශ්වා­සයි.

 

ඒ අතරේ පළාත් සභා ඡන්ද­යත් එන බවක් පේනවා. ජනා­ධි­ප­ති­ව­රයා දැඩි උත්සා­හ­යක් ගන්නවා පළාත් සභා මැති­ව­ර­ණය කෙසේ හෝ මේ වසරේ පව­ත්වන්න. ඔබ පක්ෂය ඒ මැති­ව­ර­ණය ආවොත් කොහො­මද එයට මුහුණ දෙන්නේ?

ඡන්ද­යක් අවොත් ඒකට මුහුණ දිය යුතුයි. අප ඕනෑම වේලා­වක ඡන්ද­යට සූදා­නම්. එහෙත් මේ අව­ස්ථාවේ ජනා­ධි­ප­ති­ව­රයා පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට උත්සාහ දරන්නේ දේශ­පා­ලන විය­වු­ලක් හැදී­ම­ටයි. මොකද: මේ අව­ස්ථාවේ ජනා­ධි­ප­ති­ව­රයා පිළි­ගන්න කෙනෙක් නැහැ. එතු­මාට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ල­න්නත් බැහැ. ඒකට නීති­මය බාධා­වක් නැහැ. එහෙත් පිළි­ගැ­නී­මක් නැහැ නෙ. කවුද ඡන්දෙ දෙන්නෙ? සීමා නිර්ණය පනත පසු­ගිය වසරේ පරා­ජය කළේ මහින්ද, රනිල්, මෛත්‍රී කියන මේ සියලු දෙනාගේ එක­ඟ­ත්ව­යෙන් නෙ. පළාත් සභා මැති­ව­ර­ණය ඉක්ම­නින් පව­ත්වන්න ඕනෑ නම් ඒ අව­ස්ථාවේ ජනා­ධි­ප­ති­ව­ර­යාට තිබුණා නෙ කෙසේ හෝ මැති­ව­ර­ණය පව­ත්වන්න ක්‍රම­යක් සොයා ගන්න. එහෙත් එහෙම කළේ නැහැ. දැන් ඒ වෙනු­වෙන් උත්සාහ කිරී­මෙන් සිදු වන්නේ ජන­තා­වගේ ඡන්දය දීමේ ක්‍රියා­ව­ලිය අවුල් කිරී­මක්.

 

විමල් වීර­වංශ මහතා පක්ෂ­යෙන් ඉවත් වීම ඔබ පක්ෂ­යට බර­ප­තළ පාඩු­වක් වූ බව මා පැව­සු­වොත්...

ඕනෑම පක්ෂ­ය­කින් ඕනෑම කෙනකු ඉවත් වීම පාඩු­වක්. ඒත් පක්ෂ­යක රඳා පැවත්ම තිබෙන්නේ එහි සාමා­ජික ප්‍රමා­ණය මත නෙමෙයි. විශේ­ෂ­යෙන්ම අපි වගේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගරු කරන පක්ෂ­යක විනය සහිත ගුණය අව­ශ්‍යයි. ඒ ජීවය රැක­ගැ­න්මට අප අපො­හො­සත් වුණොත් පක්ෂයේ පැවැ­ත්මක් නැහැ. පක්ෂයේ විනය රකින්න අස­මත් අයකු ඉන්නවා නම්, ඒ අය පක්ෂ­යෙන් ඉවත් කිරීම ඒ පක්ෂ­යට හිත­ක­රයි. විමල් වීර­වංශ මහතා අද බල තණ්හා­වෙන් මත් වෙලා, ජාති­වා­ද­යෙන් මත් වෙලා සිදු කරන කතා-බහ දිහා බල­පු­වාම ඔහු පක්ෂ­යෙන් ඉවත් කිරීම කොත­රම් අවශ්‍ය දෙයක්ද කියලා හිතන්න පුළු­වන් නේද?

 

එහෙත් ඔබ පැව­සුවා ඔහු ඉවත් වීමෙන් පාඩු­වක් වුණා කියලා...

ඔහු ඉවත් කළ වේලාවේ ඔහුත් සමඟ මන්ත්‍රී­ව­රුන් කිහිප දෙනකු ඉවත් වුණා. ඒ අව­ස්ථාවේ සමා­ජය තුළ, පක්ෂය ගැන කතා­බ­හක් ඇති වුණා. එයින් පක්ෂය තුළ යම් ආකා­ර­යක ගැට­ලු­වක් ඇති බවට මත නිර්මා­ණය වුණා. එහෙත් අද ජන­තා­වට පේනවා ඇති එදා ජනතා විමුක්ති පෙර­මුණ ගත් තීර­ණය නිවැ­රැදි බව.

 

ඔබ පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් රතු අලි පැට­වුන් බවට විශේ­ෂ­යෙන්ම විමල් වීර­වංශ මහතා ප්‍රමුඛ කිහිප දෙන­කුම චෝදනා නඟ­නවා...

අපි ඒවාට පිළි­තුරු දෙන්න යන්නේ නැහැ. ජනතා විමුක්ති පෙර­මු­ණට එක්සත් ජාතික පක්ෂ­යත් එක්ක කිසිම ඩීල්-එකක් නැහැ. අපට එජා­ප­යෙන් බේර­ගන්න කිසිම දෙයක් නැහැ. අපට චෝදනා නැහැ. අපට චෝදනා කරන අයම තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු­වට බයෙන් ඉන්නේ. අපේ පක්ෂයේ අයට පාස්පොට් දෙක-තුන අර­ගෙන පැමි­ණිලි නැහැ. ඒව අහු­වු­ණාම අග­මැ­ති­ව­ර­යාට කතා කරලා බේරා­ගන්න කියන අය අපේ පක්ෂයේ නැහැ. ඒ වගේම නඩු පිට නඩු වැටෙන කොට රෑට රෑට අග­මැ­ති­ව­ර­යාට හොරෙන් කතා කරලා උදවු ඉල්ලන අය අපේ පක්ෂයේ නැහැ. සමා­ජ­යම ඒක දන්න­වනේ. ඇත්ත­ටම ඩීල් තියෙන්න කවුරු-කවු­රුද කියන එක අද රහ­සක් නෙමෙයි.

 

එහෙත් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු ප්‍රසි­ද්ධි­යේම පැව­සුවා ඔබ පක්ෂ­යට පළමු මනා­ප­යත්, එක්සත් ජාතික පක්ෂ­යට දෙවන මනා­ප­යත් දෙන ලෙස පක්ෂ­යෙන් කියූ කතා­වක් ගැන...

අප තවම ඡන්ද සටන ආරම්භ කර­ලාත් නැහැ. ඒ වගේම අප කාට­වත් ඡන්දෙ දෙන්න කිය­ලත් නැහැ. අප කියන්නේ එකම මනා­පය අනුර කුමාර සහෝ­ද­ර­යාට, ඒ කියන්නෙ ජාතික ජන­බ­ල­වේ­ග­යට දෙන්න කියන එක විත­රයි. ඔය කියන සම­හර අයට ඒ වගේ යම් යම් අව­ශ්‍යතා ඇති.

 

 

Comments