කාලෙකට පස්සෙ කෝච්චියට ‘ඩොලර්’ තල්ලුවක් | සිළුමිණ

කාලෙකට පස්සෙ කෝච්චියට ‘ඩොලර්’ තල්ලුවක්

පේක්ෂකයා කවුරුන් වුණත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. කොහොමත් මම කලින් කිව්වා වගේ එක පාරටම අපේක්ෂකයා නම් කරනවට වඩා හොඳයි, නිසි වෙලාවට නම් කරන එක.

මෙරට ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රථම වරට ආසියානු සංවර්ධන බැංකුව මඟින් දුම්රිය සංවර්ධනය පිණිස අතිවිශාල මුදලක් ලබා දීම සඳහා පසුගියදා ගිවිසුම් අස්සන් තැබිණි. ඒ මඟින් සිදු කෙරෙන දුම්රිය සංවර්ධන කටයුතු හා මේ දිනවල දේශපාලන කරළියේ සිදු වන පෙරළි පිළිබඳ සිළුමිණ හා කතාබහට එක් වන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතායි.

ඔබ අමාත්‍යාංශය යටතේ ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට ඇමරිකානු ඩොලර් මිලියන 161ක ප්‍රතිපාදන හිමි වුණා. මොනවාද කරන්න බලාපොරොත්තු වන්නේ?

දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රථම වරට තමයි ආසියානු සංවර්ධන බැංකුව මඟින් එසේ ණය ආධාර දුන්නේ. ඒ මුදලින් ණය ආධාර ලෙස දී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 160ක්; එහෙමත් නැත් නම් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 28,980ක් පමණයි. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියනය ආපසු ගෙවිය යුතු නැති ආධාරයක් ලෙසයි දී ඇත්තේ. මේ මුදලින් අපි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම කොළඹ නගරාසන්න දුම්රිය සේවාව දියුණු කිරීම සඳහා තමයි ඒ ණය මුදලෙන් වැඩි ප්‍රමාණයක් වැය කෙරෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් යැපෙන, වසරකට කෝටි ගණනාවක් පාඩු ලබන ආයතනයක්. එවැනි ආයතනයක් වෙනුවෙන් මෙපමණ ණය මුදලක් වැය කිරීම කොතරම් ඵලදායක වෙයි කියලද ඔබ හිතන්නේ?

මේ ණය මුදල ලැබෙන්නේ 0.5% වාර්ෂික පොලියකට. ඒ වගේම ඒ වගේම ණය ආපසු ගෙවන්න අවුරුදු 29ක කාලයක් ලැබෙනවා. අවුරුදු 9ක සහන කාලයකුත් සමඟ. එමෙන්ම මෙහිදී අප තේරුම් ගත යුතුයි පොදු ප්‍රවාහනයේදී ආර්ථිකමය වශයෙන් වාසිදායක, පරිසර හිතකාමී ප්‍රවාහන සේවය වන්නේ දුම්රිය සේවාව බව. ඒ නිසා එහි ගුණාත්මක බව හා කාර්යක්ෂමතාව නැංවිය යුතුයි. ඒ මඟින් මඟී ජනතාවට සපයන සේවාව ඉහළ නැංවිය යුතුයි. එය සිදු නොකර ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න බැහැ. ලෝකයේ බොහෝ රටවල පොදු ප්‍රවාහනය ඉහළ නංවා තිබෙන්නේ දුම්රිය සේවාව ඉහළ නැංවීමෙනුයි.

මේ වසරේ සිදු කරමින් පවතින සංවර්ධන කටයුතු ගැන විස්තර කළොත්...

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කළා. එස්-13 වර්ගයේ දුම්රිය බලවේග කට්ටල 12ක් ඉන්දියාවෙන් ගෙන්වනවා. එයින් කට්ටල 10ක්ම මේ වන විට ගෙනැවිත් තිබෙන්නේ. උඩරට මාර්ගය සඳහාම එස්-14 වර්ගයේ දුම්රිය බලවේග කට්ටල 9ක් චීනයෙන් ගෙන්වනවා. එයින් එක් දුම්රියක් මේ වන විටත් මෙරටට ගෙන්වා තිබෙනවා. එම්-11 වර්ගයේ අධිබල දුම්රිය එංජින් 10ක් ඉන්දියාවෙන් ආනයනය කරන අතර, එයින් එන්ජින් 4ක්ම මේ වන විට ගෙන්වා අවසානයි. එසේම ඉවත දමා තිබූ දුම්රිය මැදිරි 200ක් පෞද්ගලික අංශය හා එක්ව මේ වන විටත් ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කරමින් පවතිනවා. ඉන්ධන ගැල් හා කන්ටේනර් ප්‍රවාහන ගැල්ද මේ වන විටත් ආනයනය කෙරෙමින් තිබෙනවා. ඊට අමතරව ලබන වසරේ තවත් දුම්රිය හා මැදිරි ගෙන්වීමට කටයතු කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදලින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මොනවාද?

ඒ ඩොලර් මිලියන 161ක මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන මූලික ව්‍යාපෘති 8ක් තිබෙනවා. ඒ යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ආසන වෙන් කිරීමේ නව පද්ධතියක් ස්ථාපිත කිරීම, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදි කිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම, කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කිරීම සහ ඊට සමගාමීව මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම, රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව සඳහා නව කර්මාන්ත ශාලාවක් ගබඩාවක් සහ යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ කොළඹ මාලිගාවත්ත යටි බිම් මාර්ගය පුළුල් කිරීම වනවා.

අපේ රටේ බොහෝ ව්‍යාපෘති ආරම්භ කිරීම් පමණයි අවසන් වන දින වකවානු නැහැ. ඒ ව්‍යාපෘති වසර ගණනාවක් ඇදී යනවා. මේ ව්‍යාපෘතිත් එහෙම වෙයිද?

මේ සියලු ව්‍යාපෘති වසර 2025 වන විට අවසන් වනවා. ඒ විතරක් නොවෙයි, බ්‍රිතාන්‍ය යුගයෙන් පසු උඩරට මාර්ගයත් අප විශේෂ සංවර්ධනයකට ලක් කරනවා.

ඒ සම්බන්ධව විස්තර කළොත්...

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය ධාවන ක්‍රමවේදය වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලබන අතර, කඩුගන්නාවේ සිට කටුගස්තොට දක්වා ද්විත්ව දුම්රිය මාර්ග ස්ථාපිත කිරීමත් පේරාදෙණියේ සිට ගම්පොළ දක්වා මාර්ගය ද්විත්ව මාර්ග බවට පත් කිරීමත් ඒ මාර්ග විදුලි දුම්රිය සේවාවට පරිවර්තනය කිරීමත් මේ අතර වනවා.

ඔබ පැවසුවා දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම හා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවීකරණය වන බව. ඒ සම්බන්ධව පැහැදිලි කළොත්.....

දැනට තිබෙන දුම්රිය ස්ථානයට ගොස් ආසන වෙන් කිරීමේ ක්‍රමය වෙනුවට ක්‍රම 5ක් හඳුන්වා දෙනවා. ඒ අනුව තමන් සිටින ස්ථානයේ සිටම දුරකතනයෙන්ම ‘මොබයිල් ටිකට්’ ගන්න පුළුවන්. ඒ වගේම දුම්රිය ස්ථානයට ගොස් ප්‍රවේශ පත්‍ර කවුන්ටරයෙන්ද ගත හැකියි. එමෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානවල ස්වයංක්‍රීය යන්ත්‍ර සවි කරනු ලබනවා. අන්තර්ජාලයෙන් මෙන්ම ආසන වෙන් කිරීම උදෙසා ස්ථාපිත කෙරෙන වෙනත් මධ්‍යස්ථානවලින්ද ආසන වෙන් කරවාගත හැකි වන පරිදි මේ සේවාව පුළුල් කරනවා.

පුත්තලම අරුවක්කාලු දක්වා කුණු ප්‍රවාහනය දුම්රියෙන් සිදු කරන්න කතා වුණා. තවම ඒ කාර්යය ගැන අවධානය යොමු කරන්න හිතලා වත් නැද්ද?

වනවාසල කුණු බැහැර කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කරන තුරු ලොරි පිටින්ම දුම්රියෙන් කුණු ප්‍රවාහනය ආරම්භ කිරීමට පරීක්ෂණ දුම්රිය ධාවනය මේ වන විට ආරම්භ කර තිබෙනවා. එය සාර්ථක වුව හොත් කුණු ප්‍රවාහනය කිරීම ස්ථිරවම කරන්න පුළුවන්. ඒ කුණු ලොරි පෙරියනාගවිල්ලුව දක්වා ගෙන ගොස් එතැන් සිට ලොරි අරුවක්කාලු දක්වා මහා මාර්ගයෙන් ගෙන යෑමට කටයුතු කරනු ලබනවා.

බස් රථ සම්බන්ධව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්....

බස් රථ ඇණිය දියුණු කරන්න මේ වන විට අපි කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම මේ වන විටත් අප ලංගමට සුපිරි බස් රථ චීනයෙන් ආනයනය කර ලබා දී තිබෙනවා. ඒවා බොහෝ විට අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන්න පුළුවන් වේවි.

ඊට අමතරව ඔබ අමාත්‍යාංශයෙන් ගෙන ඇති පියවර මොනවාද?

පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එය අන්තර්ජාතික ගුවන් තොටුපොළක් බවට පත් කිරීමෙන් අපට වඩාත් ඵලදායි සේවාවක් ලබා දෙන්න පුළුවන් වේවි. ඒ වගේම එයින් අභ්‍යන්තර ගුවන් සේවාවන් ආරම්භ කරන්න පුළුවන්. සංචාරක ආකර්ෂණයට හොඳ අවස්ථාවක් ලබාගන්න පුළුවන් වේවි.

මේ දිනවල දේශපාලන වේදිකාවේ ඔබ වැඩිපුර දකින්න නැහැ...

මම කතා කරනවාට වඩා ජනතාවට වැඩ කරන්නයි කැමැති.

එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් සන්ධානයට බාලගිරි දෝෂය ඇති වෙලාද?

අනිවාර්යෙන්ම සන්ධානය හැදෙනවා. සියලු දෙනාගේම එකඟත්වයෙන් තමයි සියල්ල සිදු වන්නේ.

අපේක්ෂකයා තෝරාගැනීම දුර-දිග යන ගැටුමක් වෙලා වගේ...

එහෙම දුර-දිග ගිය ගැටුමක් නැහැ. එය සාකච්ඡා මට්ටමේ පවතින්නේ. මගේ පෞද්ගලික මතය නම් පක්ෂය තුළ සාකච්ඡා පවත්වා, පසුව අපත් සමඟ කතා කළ යුතුයි කියන එකයි.

මේ අපේක්ෂක ගැටුම නිසා පක්ෂය හා සම්බන්ධ අනෙක් පක්ෂ සහ මන්ත්‍රීවරුන් අතර සබැඳියාව දුරස් වෙලා වගේ නේද?

එහෙම තත්ත්වයක් නැහැ. ඔවුන් අපත් සමඟ යම් යම් කරුණු ගැනත් සාකච්ඡා කර තිබෙනවා. මේ වන විට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා තනිව තරග කර දිනන්න අපහසු බවක්. අනෙක් පක්ෂත් ඒ තීරණයේ තමයි ඉන්නේ. ඒක ඇත්තෙන්ම හොඳ තීරණයක්. සන්ධානයක් හදලා ප්‍රතිපත්ති මාලාවක් යටතේ තරග කිරීම කළ යුතුයි.

ඔබ මේ අවස්ථාවේ කොතැනද ඉන්නේ?

කතාවෙන් ප්‍රතිපත්ති හදලා හරියන්නේ නැහැ. ක්‍රියාවෙන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, ජනතා සෙත සාදන අපේක්ෂකයා කොතැනද; මම එතැන හිටගන්නවා.

අනෙක් පක්ෂවල අපේක්ෂකයන් නම් කරගෙන යනවා. ඇයි මේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා පමා වන්නේ?

ඇයි අපි අපේක්ෂකයා ඉදිරිපත් කරන්න හදිස්සි වෙන්නේ? මම නම් හිතන්නේ ඡන්දෙට මාසයක් තිබුණාම හොඳටම ඇති අපේක්ෂකයා ඉදිරිපත් කරන්න.

ඔබ හිතන්නේ අපේක්ෂකයා කවුරුන් විය යුතුද?

අපේක්ෂකත්වයට සුදුසු අය ගොඩක් ඉන්නවා. ඒකයි ප්‍රශ්නෙ. අනෙක් පක්ෂවලට අපේක්ෂකයො නැහැ. අපේක්ෂකයො නැති නිසා තමයි ඉන්න කෙනා දාලා තියෙන්නේ. ‍අපේක්ෂකයො වැඩි නිසා තමයි මේ අපේක්ෂක ගැටලුව ඇදී යන්නේ.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම අභියෝගයක් නෙමෙයිද?

නැහැ. කිසිම අභියෝගයක් නැහැ. අපට තව කල් තියෙනවා අපේක්ෂකයා නම් කරන්න. සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් කල් අරගෙන කටයුතු කළ විටදී.

එහෙත් මේ කල් ගැනීම නිසා පක්ෂයේම අය විසින් පක්ෂයේම අය විවේචනය කරගැනීමයි දැන් සිදු වන්නේ. ඔබ එය අනුමත කරනවද?

නැහැ. කිසිසේත්ම නැහැ. පක්ෂයක් තුළ විනය ඇති කරගත යුතුමයි. එය පක්ෂය විසින් බලාගත යුත්තක්. මම නම් කිසිවෙක් විවේචනය කරන්නේ හෝ කිසිවකුට ආවඩන්නේ හෝ නැහැ.

ඔබ කියන්නේ පක්ෂයක විනය අනිවාර්ය බව නම්; විනය කඩන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි නේද?

අනිවාර්යයෙන්ම. පක්ෂයක විනයක් නැත් නම් කොහොමද ඒ පක්ෂය පවතින්නේ? සමහර තරුණ මන්ත්‍රීවරුන් හිතනව ඒ අය කියන-කරන සේරම හරි කියල. ඒ සිතිවිල්ල වැරැදියි. හැම පක්ෂයටම විනයක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් නීති-රීති පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි. මහජන නියෝජිතයාට වැඩියෙන් විනයක් අවශ්‍ය වනවා.

පක්ෂයේ තිබෙන මේ ගැටුම් අනෙක් පක්ෂවලට - නැත් නම් අනෙක් අපේක්ෂකයන්ට - වාසියක් ලෙස ඔබ දකින්නේ නැත්ද?

අනිවාර්යයෙන්ම වාසියක් වනවා. ඒ නිසා තමයි මා නිතරම පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය මේ කටයුතු සම්බන්ධව පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි කියා.

සුළු-ජන පක්ෂවල සහාය එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයාට ලැබෙයි කියා හිතනවාද?

අපට ගොඩක් සහාය දෙන අය ඉන්නවා. ඒකෙ අඩුවක් නැහැ.

දෙමළ ජාතික සන්ධානයත් සහාය දෙන බව පවසා තිබෙනවාද?

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය වෙනස් නේ. ඒ අය ගැන කියන්න බැහැ.

අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණොත් මොකද වෙන්නේ?

ඒකෙ ගැටලුවක් නැහැ. අපේක්ෂකයා කවුරුන් වුණත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. කොහොමත් මම කලින් කිව්වා වගේ එකපාරටම අපේක්ෂකයා නම් කරනවට වඩා හොඳයි, නිසි වෙලාවට නම් කරන එක.

යම් කිසි විදිහකින් සජිත් ප්‍රේමදාස මහතා ආවොත් ඔහුත් සමඟ වැඩ කරන්න කැමැතිද?

මම කැමැති නැහැ එක් එක් අපේක්ෂකයන්ගේ නම් විමසනවාට. එන අපේක්ෂකයා සමඟ වැඩ කරන-එක ඒ වෙලාවට බලමු.

ඒ කියන්නේ එන ඕනෑම අපේක්ෂකයකු සමඟ වැඩ කරන්න කැමැතිද?

දුවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ තරගයකට දාන්න. මොකද: මේක අමාත්‍යාංශයක්, එහෙමත් නැත් නම් ප්‍රාදේශීය සභාවක් නොවෙයි. මේක රටක් පිළිබඳ ප්‍රශ්නයක්.

ඔබ පවසන පරිදි ඔබ බලාපොරොත්තු නොවන, දුවන්න බැරි තරගකරුවකු ආවොත් මොකද කරන්නේ?

මම හරි ආසයි ජනතාවට වැඩ කරන්න. හරියට වැඩ කරන්න බැරි නම් ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න-එක. මට ඒක අමුතු දෙයක් නොවෙයි.

ඒ කියන්නේ දේශපාලනයෙන් සමු ගන්නවා කියන-එකද?

හරියට වැඩ කරන්න බැරි නම් මේ දේශපාලනයේ ඉන්න-එකේ තේරුමක් නැහැ නෙ?

Comments