ගාල්ල ක්‍රීඩාංගණයේ 16 දෙනාගේ යුද්ධය | සිළුමිණ

ගාල්ල ක්‍රීඩාංගණයේ 16 දෙනාගේ යුද්ධය

 

ක්‍රිකට් තරග අතරතුරදී නොයෙකුත් තරග වාර්තා බිහි වෙයි. එමෙන්ම විවිධ ක්‍රීඩකයන්ගේ විශේෂ හැසිරීම් - දස්කම් හා බැඳුණු සංසිද්ධි කතාබහට ලක් වේ. එහෙත් ක්‍රීඩාපිටියක බාධාවකින් තොරව තරගයක් පවත්වාගෙන යෑම සඳහා මහත් කැප කිරීමකින් කටයුතු කරන පිටිය සකසන්නන් පිළිබඳ අවධානය යොමු වන්නේ නැති තරම්ය. මේ ලිපිය ඔවුන් කරන මෙහෙවර ඇසුරෙන් සැකසුණකි.

 

“ඔබලා ගොඩක් මහන්සිවෙලා මටත් මගේ කණ්ඩායමටත් උදව් කළා. ඒ නිසා මට අද කඩුලු 500 යේ සීමාව පසු කරන්නට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී හැකි වුණා.” වර්ෂාව නතර වූ ගමන් ක්‍රීඩා පිටියේ වතුර අයින් කරන්න ඔබලා ගත්ත උත්සාහය මම අගය කරනවා. මේ හැම දේටම ගොඩක් ස්තූතියි”. යැයි දඟ පන්දු යැවූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් පැවසීය.

 

2004 මාර්තු 8 වැනිදා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ෂේන් වෝන් මෙලෙස ප්‍රකාශ කර සිටියේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටිය සකසන පුද්ගලයන්ටය. ඔහු එහිදී මාධ්‍ය මඟින්ද ක්‍රීඩා පිටිය සකස් කරන්නන්ට ස්තුති කරන්නට විය.

 

ශ්‍රී ලංකාවට එරෙහිව මේ තරගය පැවති අතර එහිදී ෂේන් වෝන් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් කඩුලු දහයකට වග කීවේය. මේ තරගය පවත්නා අතර තුර ගාල්ල ක්‍රීඩාංගණයට විටින් විට වර්ෂාව ඇද වැටුණු අතර අවස්ථා පහකට වැඩි ගණනක් ක්‍රීඩාපිටිය විටින් විට ආවරණය කරමින් ඉතා අසීරුවෙන් එහි රැඳී තිබුණු වැසි ජලය ඉවත් කිරීමට ක්‍රීඩා පිටිය සකසන්නන්ට සිදු විය.

 

මේ තරගය පුරාවටම ඔස්ට්‍රේලියාවට වැඩි වාසි අත් වී තිබුණේය. එහෙත් ක්‍රීඩා පිටිය සකසන්නන් කණ්ඩායම් දෙක ගැන සිතීම නොව තමන්ගේ රාජකාරිය අකුරට ඉටු කිරීම තම වගකීම බව එදින ලෝකයාට පසක් කළේය.

 

1876 දී ආරම්භ වන ගාල්ල ක්‍රීඩාපිටිය ඉතිහාසය පුරාවටම නොයෙකුත් ක්‍රීඩා සඳහා යොදාගත් අතර ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමත් සමඟ 1998 වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට යොදා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසර ලබා දෙන්නේය.

 

එතැන් පටන් එහි පැවැත්වුණු තරග ඉතිහාසය විමසීමේදී ගාල්ල ක්‍රිකට් පිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයේ තෝතැන්නක් වී ඇති බවයි. කලක් මෙහි එක්දින ක්‍රිකට් තරග ද පැවැත් වූ අතර මේ වන විට ටෙස්ට් ක්‍රිකට්වලට පමණක් සීමා වී තිබේ.

 

ඉකුත් සතියේ අවසන් වූ නවසීලන්ත ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමි වූ අතර මෙතෙක් ඉතිහාසය පුරාවට ටෙස්ට් තරග ජයග්‍රහණ 19ක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර මේ ක්‍රීඩා පිටිය තුළදී ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරග පරාජය වි ඇත්තේ හයක් පමණි. දැනට ටෙස්ට් තරග 33 පමණ මෙහි ක්‍රීඩා කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රිකට් විචාරකයින් මෙය නම් කර ඇත.

 

7500 ක් පමණ වන තරග නරඹන්නන්ට පිවිසිය හැකි ගාල්ල ක්‍රිකට් පිටිය දැනට ලංකාවේ තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් කුඩාම ක්‍රීඩා පිටිය වනමුත් ලෝකයේ දර්ශනීයම ක්‍රිකට් ක්‍රීඩා පිටිවලින් එකක් බව අන්තර්ජාතික ක්‍රිකට් විස්තර විචාරකයෝ පවසති.

 

මෙතෙක් ලෝකයේ බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 800 සපුරා ගන්නේද ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී වීම සුවිශේෂි සංසිද්ධියකි. 2010 වසරේ ජුලි 18 වැනි දා ඉන්දීය කණ්ඩායමට එරෙහිව මුරලි මේ දක්ෂතාව දැක් වූ අතර ඒ තරගයට ද වර්ෂාව හේතුවෙන් බාධා එල්ල විය. එහෙත් ක්‍රීඩා පිටිය සකසන්නන්ගේ උනන්දුව කැප වීම හේතුවෙන් ඒ තරගයද අවලංගු නොකොට පැවැත්වීමට හැකි වූ බව මුරලිදරන් තරගය අවසානයේ ප්‍රකාශ කර සිටියේය.

කළමනාකරු හර්ෂ මුණසිංහ

 

ක්‍රිකට් ක්‍රීඩා තරග අතරතුරදී නොයෙක් තරග වාර්තා බිහි වෙයි. එමෙන්ම විවිධ ක්‍රීඩකයන් ගේ විශේෂ හැසිරීම් කතාබහට ලක් වෙයි. එහෙත් ක්‍රීඩාපිටියක තරගයක් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා මහත් කැප කිරීමක් සිදු කරන පිටිය සකසන්නන් පිළිබඳව අවධානය යොමු වන්නේ නැතිතරම් ය. ලොව පුරා ඉදිකර ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩාපිටියකම මේ සුවිශේෂි පුද්ගලයන් දැක ගත හැකිය. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්ම පිළිබඳ වගකීම උර දරා සිටින එබඳු කිහිප දෙනෙකු සිය රැකියාව පිළිබඳව තමන් සතු අත්දැකීම් අප හා පැවසුවේ මේ අන්දමට ය.

 

බී.එල්. මංජුල -

ක්‍රීඩාපිටිය සකසන්නන්ගේ ප්‍රධානී

 

ක්‍රිකට් තරගයක් නරඹන එක සෑම දෙනාටම මහා සතුටක්. එය රට ගැන නැගෙන කැක්කුමක් සමඟ ගතවන කළායක් කියලයි මට හිතෙන්නේ. ඒත් ලෝකයාට නොපෙනෙන කතා ගොඩක් මේ තරගය පිටු පස තිබෙනවා. විශේෂයෙන්ම අංශ කිහිපයකින් නොයෙක් ආකාරයෙන් මේ සඳහා කැපවෙන විශාල පිරිසක් සිටිනවා කියන එක මගේ මතයයි.

 

ටෙස්ට් තරගයක් ආරම්භ වීමට පෙර අප ක්‍රීඩාපිටිය මෙන්ම තණතීරුව සකස් කිරීමට නොයෙක් ක්‍රියාමාර්ග ගන්නවා. දවස් පහක් සෙල්ලම් කරන ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා පිටියක් උසස් මට්ටමින් පවත්වා ගෙන යෑම ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. විශේෂයෙන්ම වර්ෂාවක් ඇද හැලු‍ණොත් අපි ඒ සඳහා වහාම ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම වර්ෂාව නතර වූ පසු තරගය යළිත් පැවැත්විය යුතුයි. ඒ නිසා ක්‍රීඩාපිටියේ තෙත බරිත කම සහ වැසි ජලය ඉවත් කිරීම අපට පැවරෙන ප්‍රධානම වගකීමයි. එය ඉතා පරිස්සමෙන් සිදු කළ යුතුයි.

 

මම දැන් මේ රැකියාව ආරම්භ කරලා වසර දහසයක් පමණ වනවා. ක්‍රීඩාවට මෙන්ම වෙනස් විදියේ රැකියාවක් නිසා සතුටින් සිදු කරගෙන යනවා. මෙය මෙලෙස පවත්වාගෙන යෑමට හිටපු ටෙස්ට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහත්මයා ලොකු කැප කිරීමක් කළ බව සිහිපත් කළ යුතුයි”

 

ඩී.බි.එම්.ජනක

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාපිටිය සකස් කිරීම සඳහා ස්ථීර සේවකයන් දහසය දෙනෙකු සිටිනවා. අවුරුද්ද පුරා ක්‍රිඩාපිටිය තුළ පැවැත්වෙන අන්තර්ජාතික, දේශීය මෙන්ම පාසල් තරග සඳහාත් නොයෙක් අවස්ථාවල නොයෙක් අයුරින් අප ක්‍රීඩා පිටිය සකස් කිරීමේ කටයුතුවල නිරත වනවා.

 

ඒ අතර ඉතා අපහසු කාර්යයක් වී ඇත්තේ තරග පවත්න අතරතුර වර්ෂාව ඇති වූ අවස්ථාවල නැවත තරගය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. අප කෙසේ හෝ නැවත තරගය පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමට ක්‍රියා කරනවා.

 

ඒ අතරිනුත් අන්තර්ජාතික ටෙස්ට් තරගයක් පැවැත්වෙන විට තත්ත්වය ටිකක් වෙනස් වෙනවා. ක්‍රීඩාපිටිය සකස් කරන්න ස්ථිරවම සිටින අප 16 සහය සඳහා පිටතින් පුද්ගලයින් 250 ක ගේ සහයෝගය මේ සඳහා ලබා ගන්නවා. ඒ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් වසර දහයකට වැඩි කාලයක් අපට සහයෝගය ලබා දෙමින් සිටිනවා.

 

මම වසර පහළොවකට වැඩි කාලයක් මේ කර්තව්‍යයේ නියැළෙනවා. මෙවැනි තරග පැවැත්වෙන විට වර්ෂාව ඇදහැලෙන අවස්ථාවන්හි ඉතාම අඩු තාක්ෂණයක් යොදා ගනිමින් කෙටි කාලයක් තුළ මුළු ක්‍රීඩා පිටියම ආවරණය කරන පිරිසක් සිටින්නේ ලංකාවේ විතරයි. සමහර අවස්ථාවල විශාල ප්‍රමාණයේ ආවරණ 200 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් තමයි මුළු ක්‍රීඩාපිටියම ආවරණය කරන්නේ. වැස්සෙන් පසුව ආවරණ ඉවත් කිරීමේදී වතුර පොදක්වත් ක්‍රීඩා පිටියට නොවැටෙන ලෙස ඉවත් කිරීමට අප වගබලා ගන්නවා.

 

මොහොමඩ් අස්කාර්

අපි‍ මේ රැකියාව ගොඩක් කැමැත්තෙන් සිදු කරන්නේ. අපිට ස්ථිර රැකියාවක් ලබා දීලා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාපිටිය මේ තත්ත්වයට ගෙන ආවේ වර්ණවීර මහත්තයා. අපි මේ අවස්ථාවේ ඔහුව ගෞරවයෙන් මතක් කරනවා.

 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට මෙන්ම රටට සේවයක් කරන්න අපට මේ මගින් හැකියාව ලැබිලා තිබෙනවා. අප මේ කටයුත්ත කරගෙන යන්නේ ගොඩක් සතුටින් උනන්දුවෙන්.

 

ජී.ඩබ්ලිව්. ජයවීර

අවුරුදු 12ක කාලයක සිට මම මේ රැකියාව කරගෙන යනවා. ගොඩක් සතුටෙන් තමයි මෙය කරගෙන යන්නේ. විශේෂයෙන් මම ක්‍රිකට්වලට ආදරය කරන නිසා මට මේ රැකියාව හොඳටම ගැළපෙනවා.

 

“බොහෝ අවස්ථාවල විදේශ ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින්, පන්දු යවන්නන් පැමිණ අපි සමඟ ඉතා සමීපව කතා බස් කර අපිව ඇගයීමට ලක් කරනවා. ඔවුන් නිරන්තරයෙන් පවසා සිටින්නේ අපි රැකියාවට එහා ගිය දෙයක් සිදු කරන බවයි. ඒ පිළිබඳව අපිට ඇත්තේ ලොකු සතුටක්.

 

ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍ර්ග් මහතා අවස්ථා ගණනාවක්ම අප සමඟ කතා බස් කර තිබෙනවා. ඔහු ගාල්ලට හරිම ආස කෙනෙක්. ඒ වගේම ඔහු අපි ක්‍රීඩාපිටිය සකස් කරන අවස්ථාවල අප සමඟ කතා බස් සිදු කරනවා. ඔහු නොදන්නා බොහෝ දේ ඔහු අපගෙන් දැනගන්නා බව අප සමඟ පැවසූ අවස්ථා තිබෙනවා.

 

පී.එම්.වයි.එස්. බණ්ඩාර

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ පිරිසක් සිටිනවා. අපි මැච් පරදිනකොට දුක් වෙනවා වගේම මැච් දිනන කොට ගොඩක් සතුටු වෙලා ක්‍රිකට් වටා රොක් වෙන පිරිසක්. එවැනි ක්‍රීඩාවකට සහයෝගය ලබා දෙමින් රැකියාව කිරීම ලොකු භාග්‍යයක් ලෙස මා දකිනවා.

 

ටෙස්ට් තරගයක් හෝ වෙනත් තරගයක් පැවැත්වෙන දිනය දක්වා ගෙන ඒමට ලොකු පිරිසක් කටයුතු කරනවා. එය වචනයෙන් කියන්න බැහැ. විශේෂයෙන් වර්ෂාව තිබෙන කාලවල ක්‍රිකට් ක්‍රීඩාංගණ පවත්වාගෙන යෑම සහ තරග පැවැත්වෙන දිනයන්හි අපට රාජකාරි රැසක් පැවරෙනවා.

 

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවක මහතුන් රැසක් මේ ආකාරයට සිය රාජකාරිය සිදු කරගෙන යනුයේ එහි කළමනාකරු වන හර්ෂ මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙනි. ඔහු අප සමඟ මෙසේ අදහස් දැක්වීය. අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් හැටියට අප මෙය උසස් මට්ටමින් පවත්වාගෙන යනවා. ඒ සඳහා හොඳ කණ්ඩායමක් අපට සිටිනවා.

 

අතරමග නතර කිරීමට ගිය අන්තර්ජාතික ටෙස්ට් තරග රැසක් අප කළ කැපකිරීම් නිසා පවත්වාගෙන යන්නට හැකි වුණා කියලා මට කිව හැකියි. ඒ වර්ෂාවෙන් බාධා එල්ල වූ අවස්ථාවල අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩාපිටිය යළි සකස් කිරීම නිසයි.

 

අපි අදාළ බලධාරීන්ගෙන් ඉන්ලා සිටින්නේ ගාල්ල ක්‍රීඩාංගණයට ගෘහස්ථ ක්‍රිකට් පුහුණු අංගණයක් ලබා දෙන ලෙසයි. එලෙසම ලකුණු පුවරුව පැරණි එකක් තිබෙන්නේ. ඒ වෙනුවට නව තාක්ෂණය සහිත එකක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. අපි කාර්යාල මට්ටමේ තිදෙනකු සහ ක්‍රීඩාපිටිය සැකසිමේ අංශයේ දහසය දෙනකු එකතුවයි මේ ක්‍රීඩාංගණය පවත්වාගෙන යන්නේ.

 

ගාල්ල ක්‍රිකට් පිටියේ සේවකයන් සිදු කරන මේ කැප කිරීම ශ්‍රී ලංකාවේ සියලු ක්‍රිකට් ක්‍රීඩා පිටිවල සිටින සේවකයන් විසින් සිදු කරන බව අප අත්දැකීමෙන් දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිටිවල සිටින බොහෝ සේවකයන් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉතා මිත්‍රශිලී ප්‍රිය ජනක පුද්ගලයන් බව මා නොබියව පවසනවා” යැයි නවසීලන්ත වර්තමාන නායක කේන් විලියම්සන් ඉකුත්දා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.

මේ සේවකයන් විදේශිකයන් පවා දිරිගන්වන මොහොතක ඔවුන් පිළිබඳ සොයා බලා, ඔවුන්ගේ සේවය අගයමින් අවශ්‍ය පහසුකම් වැඩි කර තෘප්තිමත් කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි අපි බලා සිටින්නෙමු.

 

Comments