අකිල අමාරුවේ? | සිළුමිණ

අකිල අමාරුවේ?

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති නවසීලන්තයට එරෙහි ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලැබීය. එසේ වුවත් ඊට පසුව වාර්තා වූ පුවත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායක වූයේ නැත. ඒ යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් විනිසුරුවන් විසින් චෝදනා කිරීමයි. අකිල මේ තරගයේදී කඩුලු 06 ක්ම දවා ගත්තේය.

 

මෙම තරගයේදී ප්‍රධාන විනිසුරුවන් ලෙසට ක්‍රියා කළේ එංගලන්තයේ රිචඩ් ඉලිංග්වර්ත් සහ මයිකල් ගොෆ්ය. රිචඩ් 1992 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අනුශුර එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකි. මයිකල් හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකි.

 

මෙම විනිසුරුවන් විසින් ප්‍රධාන තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට අකිලගේ පන්දු යැවීම ගැන වාර්තා කර තිබුණි. පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ ගැන දන්වන ලදි. තරග තීරක ඇන්ඩි අන්තර්ජාතිකව ක්‍රීඩා කළ හිටපු සිම්බාබ්වේ ක්‍රීඩකයෙකි.

 

ඉහත තරගයේදී පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනාව එල්ල වූයේ අකිලට පමණක් නොවේ. අකිල මෙන්ම දකුණතින් පිට දඟ පන්දු යැවූ නවසීලන්ත නායක කේන් විලියම්සන්ටත් මේ චෝදනාවම එල්ල වූයේය. කේන් 2014 වසරේදීත් මෙම චෝදනාවටම ලක් විය.

 

25 හැවිරිදි අකිල ගත වූ මාස 10 ක කාලය තුළදී මෙම චෝදනාවට ලක් වූ දෙවැනි වතාව මෙය වේ. ගිය වසරේ නොවැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදීත් අකිලට මෙම චෝදනාව එල්ල විය. එම තරගය පැවැත්වූයේත් ගාල්ලේදීමයි. පසුව ඔහු පරීක්ෂණයකට මුහුණ දෙනු ලැබීය. ඉන් අනතුරුව පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කර ගැනීමට ඔහුට සිදු වූයේය. මේ නිසා යළිත් අන්තර්ජාතිකව ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය.

 

කෙසේ වෙතත් මෙවර තත්ත්වය බරපතය. ඒ පැවැත්වෙන පරීක්ෂණයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට සනාථ වුවහොත් වසරක තහනමකට ලක් වීමට වැඩි අවස්ථාවක් තිබෙන බැවිනි.

 

අයි. සී.සී. විසින් මෙම දඬුවම ලබා දෙන්නේ දෙවසරක කාලයක් තුළදී ඉහත චෝදනාව සනාථ වන ක්‍රීඩකයන්ටය. අකිල දින 14ක් තුළ අයි.සී.සී. විසින් නම් කරන පරීක්ෂණාගාරයක් තෝරාගෙන එහිදී අදාළ පරීක්ෂණයට සහභාගි විය යුතුය. කෙසේ වෙතත් එතෙක් ඔහුට ක්‍රීඩා කිරීමට බාධාවක් නැත.

 

Comments