හිරු නැඟෙන්න කලින් ගඟ මැද රහසේ නිමා කළ දිය කැපුම් මංගල්‍යය | Page 2 | සිළුමිණ

හිරු නැඟෙන්න කලින් ගඟ මැද රහසේ නිමා කළ දිය කැපුම් මංගල්‍යය

පෙරහර නිමවූයේ අලුත්නුවර බැඳ තිබෙන වියන් කැපීමෙන්

දිය කැපූ ජලය තැන්පත් කළේ ගණ දෙවි කෝවිලේ

 

කප් සිටුවන්න ගහ කපන්න කලින් ගහ සුවඳ පැනින් නාවලා පුද පූජා රැසක්

මේවා සිදු කරන විදිහ කාටවත්ම කියන්න එපා කියලා තමයි අපේ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ. දෙවියන් වෙනුවෙන් කරන දේ හෙළි කළොත් වස් වදිනවා. සමහර දේවල් අපේ බිරියටවත් කියන්නේ නැහැ.

මගෙන් පස්සේ රාජකාරිය බාර ගන්නා කෙනාට මම මේ රහස් සියල්ල කියා දෙනවා.

මම හදිසියෙවත් පුතාට කියා දෙන්න කලින් මැරුණොත් එතනින් එහාට මේවා යන්නේ නැති නිසා දරුවාට කල්තියා චාරිත්‍ර විධි කියා දෙනවා.

පවුලක පුත්තු හතර දෙනෙක් හිටියොත් පරම්පරාවේ උරුමය කාටද දෙන්නේ කියලා තීරණය කරන්නේ පියා.

ආබාධිත අයෙකුට කොහොමත් මේ රාජකාරිය පවරන්නේ නැහැ. දරුවන් අතුරින් මේ දේවලට කැපවීම, හැඟීම තියෙන දරුවට තමයි තාත්තා ශාස්ත්‍රය දෙන්නේ.“

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයේ සිට අවසානය දක්වාම පැවැත්වෙන්නේ රජ දවස පටන් පැවත එන පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර අනුවය. එහිදී නැකැත් වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

පෙරහර ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීමේ මංගල්‍යයේ සිට දිය කැපීමේ මංගල්‍යය දක්වා සියලු දේ සිදු වන්නේ නැකැත් මූලික කර ගනිමිනි. මෙහිදී පෙරහර කෙන්ද්‍ර කර ගනිමින් පවත්නා පෞරාණික චාරිත්‍ර රැසකම මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මහනුවර මහ විෂ්ණු දේවාලයයි. පෙරහරේ ආරම්භයත් අවසානයත් සනිටහන් කරන කප් සිටුවීමේ හා දිය කැපීමේ මංගල්‍යයන් හා බැඳී පවතින චාරිත්‍ර මෙහිදී ප්‍රධාන තැනක් ගනී. මෙම චාරිත්‍ර දෙකම ඉෂ්ට සිද්ධ කිරීමේ වගකීම මහ විෂ්ණු දේවාලයට බාරවී තිබෙන්නේ රාජ නියමය අනුවය.

විෂ්ණු දේවාලය මහනුවරට

දෙවුන්දර සිට අලුත්නුවරට විෂ්ණු දෙවියන් වැඩම කිරීම සිදුව තිබෙන්නේ ක්‍රි.ව 1200 පමණය. එතැන් පටන් වසර පන්සියයක පමණ කාලයක් විෂ්ණු දෙවියන් උදෙසා පෙරහර මංගල්‍යයන් හා පුද පූජා පැවැත්වීම හතර කෝරලය මූලික කර ගනිමින් අලුත්නුවරදී සිදු කෙරිණි. සීතාවක රාජධානියේ සිට මහනුවර දක්වා පැමිණිය හැකි මාර්ගය මෙම දේවාල භූමිය ඔස්සේ වැටී තිබිණි. සුදු ජාතිකයින් මෙම මාර්ගය ඔස්සේ උඩරට ආක්‍රමණය කිරීමට ඒමේදී දේවාලයට හානි කිරීම නිසා 18 වන සියවස මුල් භාගයේදී විමලධර්මසූරිය රජු උපුල්වන් විෂ්ණු දේවාලය මහනුවරට ගෙන ආ බව ඉතිහාස තොරතුරු වලින් අනාවරණය වෙයි.

මහනුවර පිහිටි රජ මාලිගාව ආසන්නයට විෂ්ණු දේවාලය ගෙන ඒමේදී අලුත්නුවර රාජකාරි කළ පිරිස්ද ඒ සමඟ මහනුවරට පැමිණියේ රාජ නියමය පරිදි අදාළ රාජකාරී ඒ ලෙසින්ම ඉටු කරන්නටය. පැරණි විෂ්ණු දේවාලය පිහිටි මාවනැල්ල අලුත්නුවර භූමියේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ දැඩි මුණ්ඩ දේවාලයයි. මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පත්වන තැනැත්තා අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේදී බස්නායක නිලමේ ලෙසද පිළිගැනීම සියවස් ගණනායක සිට පැවැත එන සම්ප්‍රදායකි. දේවාල දෙක එකම බස්නායක නිලමේවරයෙකු යටතේ පාලනය වීම මගින් රජ දවස පටන් මෙම දේවාළ දෙකෙහි පැවැති සම්බන්ධතාව මනාව පැහැදිලි වෙයි.

කප කැපීම

විෂ්ණු දේවාලය මහනුවර ස්ථාපිත කිරීමෙන් පසු මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පෙරහර කිරීම ආරම්භ විය. මහනුවර පෙරහර සිදු කිරීමේදී අලුත්නුවර පෙරහර සිදුකර අත්දැකීම් ඇති රාජකාරීකරුවන් මූලිකත්වය ගැනීම නිසා විෂ්ණු දේවාලයට එහි ප්‍රධාන කාර්යභාරයක් සිදු කිරීමේ වගකීම පැවරිණි. දේවලයේ මුල් ඉඩම් හා රාජකාරිකරුවන්ගේ ඉඩම් සියල්ල අලුත්නුවර පිහිටා තිබීම නිසා පෙරහරට කප කපා ගැනීම සිදු කෙරෙන්නේ අලුත්නුවර දේවාල පරිශ්‍රයෙනි. එම කප අලි ඇතුන් සහිත පෙරහරකින් මහනුවර විෂ්ණු දේවාලයට වැඩම කර පල්ලේ දේවලයේ තැන්පත් කරයි. කප ලෙස කපා ගන්නා පණස දැව කඳ කැබලි හතරකට කපා කප් සිටුවීමේ මංගල්‍යය සඳහා සෙසු දේවාලවලට බෙදා දීම සිදු කරනු ලබන්නේ වන්නගු රාළ හා දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ මූලිකත්වයෙනි. කප ගලවා රැගෙන ගොස් දියේ පාකර දිය කැපුම් මංගල්‍යය පවත්වන රාජකාරියේද ප්‍රධාන තැන හිමිවන්නේ විෂ්ණු දේවාලයටය.

කපු පරම්පරා

මහනුවර විෂ්ණු දේවාලයේ රාජකාරී පැවරුණු කපු පරම්පරා පහකි. රජුගේ නියමය අනුව පත්කළ මෙම කපු පරම්පරා පහෙන් එක් පරම්පාරවක් නියෝජනය කරනු ලබන වරුණ බණ්ඩාර මහතා කපූ ධූරයට අමතරව සතර කෝරළයේ විදානේ ධූරයක්ද හොබවයි. පනස් පස් වැනි වියේ පසුවන ඔහු මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම හා දිය කැපුම් මංගල්‍යයන් සඳහා තම දායකත්වය වසර 39 ක පමණ කාලයක් තිස්සේ ලබා දෙයි. මහනුවර ඇසළ පෙරහරේ අවසන් චාරිත්‍රය ලෙස සලකන දිය කැපුම් මංල්‍යය හා බැදුණු චාරිත්‍ර හා ඒවාහි අදටත් නොනැසී පවත්නා සම්ප්‍රදායන් පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීය.

“මම දේවල කපුමහතෙකු ලෙස රාජකාරි බාරගත්තේ 1981 වසරේදී. ඒ තාත්තාගෙන් පස්සේ. දැන් අවුරුදු 37ක් මම මේ රාජකාරි කරනවා. දියකැපුම් මංගල්‍යයට සෑම වසරකම මම සම්බන්ධ වෙනවා. කපුමහත්තයා කියන ධූරය මට ලැබුණේ පරම්පාරාවෙන්. ඒක රජ්ජුරුවෝ අපේ පරම්පාරාවට පවරපු රාජකාරියක්. මෙයට අමතරව මට හතර කෝරලයට බලපාන පරිදි විදානේ ධූරයක් හිමියි. කප කපන අවස්ථාවේ නිලමේ වෙනුවෙන් එතැන රාජකාරි භාරව කටයුතු කරන්නේ මමයි. ඒක විදානේ තනතුර නිසා හිමිවන බලයක්. දියකැපුම් මංගල්‍යයට මාත් එක්ක දේවාළයේ තවත් එක් කපු මහත්තයෙක් සම්බන්ධ වෙනවා.

රජ්ජුරුවෝ දේවාලයේ රාජකාරි කපු පරම්පරා පහකට පවරා දී තිබෙන්නේ හොඳට හිතලා බලලා දෙවියන්ගේ රාජකාරි අකුරටම ඉටු කරන්න ඕන නිසයි. එක පරම්පරාවකට කපු රාජකාරිය පැවරෙන්නේ එක මාසයයි. මේ මාසේ මම රාජකාරි කළොත් නැවත මාස පහකට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ. කපු රාජකාරිය කරන කොට හොඳට පේ වෙලා මස් මාංසවලින් තොරව ඒක කරන්න ඕන. ඒ මාසය තුළ තමන්ගේ බිරිය සමඟවත් එක් වන්න අවසර නැහැ. මනුෂ්‍යයෙකුට මෙහෙම පේවෙලා ඉන්න පුළුවන් කාලයක් තිබෙනවා. ඊට වඩා හිටියොත් ඔහුගේ හිත වෙනස් වෙන්න ඉඩක් තිබෙනවා. රජ්ජුරුවෝ දන්නවා එහෙම වු‍ණොත් දෙවියන් වෙනුවෙන් ඉටු කරන්න තිබෙන වත් පිළිවෙත් තමයි නිසියාකාරව ඉටු නොවන්නේ කියලා. මේ නිසා රජ්ජුරුවෝ එක් කපු පරම්පරාවකට මාසය බැගින් බෙදී යන පරිදි රාජකාරි පැවරුවා. මේ ක්‍රමයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මාසයක කාලයකට පස් දෙනා අතර කාලය බෙදුනම ඇසළ මාසේ රාජකාරි සෑම පරම්පරාවටම ලැබෙනවා. මට මේ අවුරුද්දේ ජනවාරි මාසේ කපු රාජකාරිය ලැබුණොත් ආයේ මට ජනවාරි මාසේ ලැබෙන්නේ අවුරුදු පහකට පස්සෙයි. “ එසේ පැවැසුවේ වරුණ බණ්ඩාර කපු මහතාය.

ගහට පුදපූජා

කප් සිටුවීම සඳහා කප කපා ගනු ලබන්නේ මාසේ පෝය දිනකය. ඒ සඳහාද විශේෂ හේතුවක් තිබෙන්නේය. ඒ පිළිබඳ අදහස් දැක්වූ වරුණ කපු මහතා මෙසේ පැවසුවේය.

“මාසේ පෝය දවසක ගසක කොටසක් කපලා දින කිහිපයක් ගියාට පස්සේ ඒ ගහේම තවත් කොටසක් කපලා මේ දෙක එකම ස්ථානයක තියලා බලන්න. මාසේ පෝය දවසේ කපපු ලීයට ගුල්ලෝ ගහන්නේ නැහැ. තවත් විශේෂ කාරණයක් කියන්න තියෙනවා. සෑම ගසකම දෙවිවරු වැඩ ඉන්නවා. අපි කප් සිටුවන්න ගහ කපන්න කලින් ඒ ගහ සුවඳ පැණින් නාවලා පුදපූජා රැසක් කරනවා.

ඔරු හතරකින් ගඟ මැදට

එහෙම කරලා අපි එහි වැඩ සිටින දෙවිවරුන් ගෙන් ඉල්ලනවා දළදා හාමුදුරුවන් හා සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන පූජෝත්සවය වෙනුවෙන් මේ ගහ කපනවා, ඒ නිසා අපට අනුකම්පා කරලා ගහෙන් වෙනත් තැනකට වඩින්න කියලා. ඒවා පෞරාණිකව පැවැත එන චාරිත්‍ර. රජ දවස පටන් මේවා ඒ ආකරයෙන්ම රකිනවා.

මෙසේ කපා ගන්නා කප පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කරන්න ලැබේවායි ප්‍රාර්ථනය කරමින් දේවාළ පරිශ්‍රයේ විශේෂ ස්ථානයක සිටවනු ලබයි. එය හඳුන්වනු ලබන්නේ ඇහැළ ගේ නමිනි. කුඹල් පෙරහර වීදී සංචාරය කිරීමට ප්‍රථම දේවාළ අභ්‍යන්තර පෙරහර පවත්වන්නේ මේ ඇහැළ ගේ වටාය.අවසන් රන්දෝලි මහ පෙ

රහර වීදී සංචාරය කිරීමෙන් පසු සතර මහ දේවාළ මගින් ඒ ඒ දේවාළයනිහි සිටුවන ලද කප ගලවා අලි ඇතුන් සහිත පෙරහරකින් ගැටඹේ දියකපනා තොට වෙත ගමන් ගන්නේ පෙර වසරේ දියකැපීමෙන් පසු දේවාලයේ තැන්පත් කර තිබෙන ජලය සහිත කෙන්ඩියද රැගෙනය.

එහිදී සිදුවන චාරිත්‍ර වරුණ කපු මහතා විස්තර කළේ මෙසේය. “දිය කැපුම් මංගල්‍යය අවස්ථාවේ ප්‍රධානත්වය ගන්න නිලමේ කෙනෙක් පත්කරනවා. ඒකට කාවද නම් කරන්නේ කියලා තීරණය කරන්නේත් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තුමයි. කපු මහත්තරු දෙන්නයි, දිය රොක් කරන කෙනයි, වියන් අල්ලන දෙන්නයි එක්ක හත් දෙනෙකු මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. කපු මහත්වරු දෙන්නගෙන් එක් අයෙක් දිය පිරවූ කෙණ්ඩියද අනෙක් කෙනා දිය කපන්න අවශ්‍යය කඩුවද රැගෙන යනවා. දිය කැපීම ඉර පායන්න කලින් කරන්න ඕන. දෙගොඩහරි ජාමේ තමයි මේක කරන්නේ. ඔරු හතරකින් මේ අය ගඟ මැදට ගිහින් චාරිත්‍ර කරනවා. මේ වෙලාවේ දේවාලවලින් අරන් යන කප ජලයේ පාකර හරිනවා. ඊට පස්සේ කෙණ්ඩියේ තියෙන දිය ජලයට මුසු කරලා දිය කැපුම් මංගල්‍යය කරනවා. දිය කපා කෙණ්ඩියකට ලබා ගන්න ජලය පෙරහරින් අරන් ඇවිත් මහනුවර ගණ දෙවි කෝවිලේ තැන්පත් කරනවා. පසුව දවල් පෙරහර අවස්ථාවේ එය රැගෙන පැමිණ මහ දේවාලයේ ඊ ළඟ අවුරුද්දේ දිය කැපුම් මංගල්‍යය තෙක් තැන්පත් කර තබනවා.

ජලයේ පා කර යවන කප ලබා ගැනීමට ගඟ පහළ විශාල පිරිසක් රැස්කකා සිටින්නේ එය තමන්ගේ වගා භූමියේ සිට වීමෙන් වගා බිම සශ්‍රීක වන බවට පවතින විශ්වාසය නිසයි “වරුණ බණ්ඩාර කපු මහතා පවසයි.

දියකපන අවස්ථාවේ කඩුවකින් ජලයට පහරක් එල්ල කර ජලය දෙපසට විසිරී ගොස් යළි ජල පාර එකතු වීමට පෙර කෙණ්ඩියට ජලය ලබා ගැනීමක් සිදුවන බවට ජනතාව තුළ විශ්වාසයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසූ අවස්ථාවේ වරුණ කපු මහතා ලබා දුන්නේ අපූරු පිළිතුරකි. “මේවා පරම්පරවේ රහස්. පාරුවකින් ජලය මැදට ගිහින් අඳුරේමයි මේවා කරන්නේ. මේවා සිදු කරන විදිහ කාටවත්ම කියන්න එපා කියලා තමයි අපේ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ. දෙවියන් වෙනුවෙන් කරන දේ හෙළි කළොත් වස් වදිනවා. සමහර දේවල් අපේ බිරියටවත් කියන්නේ නැහැ. මගෙන් පස්සේ රාජකාරිය බාර ගන්නා කෙනාට මම මේ රහස් සියල්ල කියා දෙනවා. මම හදිසියෙවත් පුතාට කියා දෙන්න කලින් මැරුණොත් එතනින් එහාට මේවා යන්නේ නැති නිසා දරුවාට කල්තියා චාරිත්‍ර විධි කියා දෙනවා.

පවුලක පුත්තු හතර දෙනෙක් හිටියොත් පරම්පරාවේ උරුමය කාටද දෙන්නේ කියලා තීරණය කරන්නේ පියා. ආබාධිත අයෙකුට කොහොමත් මේ රාජකාරිය පවරන්නේ නැහැ. දරුවන් අතරින් මේ දේවල් වලට කැපවීම,හැඟීම තියෙන දරුවට තමයි තාත්තා ශාස්ත්‍රය දෙන්නේ.“

“ඇත්තටම මිනිස්සු හිතාගෙන ඉන්නේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දිය කැපීමෙන් හමාර වෙනවා කියලා. පෙරහරට සම්බන්ධවූ නිලමේවරුන්ට, කපු මහත්වරුන්ට, අලි ඇතුන්ට, කලාකරුවන්ට ඇස් වහ දෝෂ, දෙවි දෝෂ මඟ හැරෙන්න කියලා දවල් පෙරහරට පසුදින ඉඳලා හත් දවසක් එක දිගට මහ විෂ්ණු දේවාලයේ වලියක් මංගල්‍යයක් කරනවා. මේක ඇත්තටම ශාන්ති කර්මයක්. මේක කරලා පෙරහර වෙනුවෙන් අලුත් නුවර බැඳ තිබෙන වියන් කපනවා. එතනින් තමයි හරියටම මහනුවර පෙරහර මංග්‍යය නිමාවට පත් වෙන්නේ. ඇත්තටම දේව රාජකාරි ඉටු කිරීමට ලැබෙන්න පින නිසයි. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ රටේ ජනාධිපති වෙන්න ඕනම කෙනෙකුට අවස්ථාව තිබෙනවා. ඒත් කපු මහත්තයෙක් වෙන්න එහෙම බැහැ. ඒකට පරම්පාරවේ උරුමය තියෙන්න ඕන“.. වරුණ කපුමහතා පවසයි.

 

ඡායාරූප - රුවන් මීගම්මන

Comments