සිමෙ­න්ති­ව­ලි­නුත් කසිප්පු පෙරන විස කසිප්පු ජාවා­රමේ සැඟ­වුණු තොර­තුරු | සිළුමිණ

සිමෙ­න්ති­ව­ලි­නුත් කසිප්පු පෙරන විස කසිප්පු ජාවා­රමේ සැඟ­වුණු තොර­තුරු

කුත් නව වැනි දා අත්ත­න­ගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නිකුත් කළ නියෝ­ග­ය­කට අනුව බාඳු­රා­ගොඩ ප්‍රදේ­ශයේ මිය­ගිය අයෙ­කුගේ මළ සිරු­රක් නැවත ගොඩ­ගෙන අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට යොමු කරනු ලදී. වම­නය, පාච­නය, ඇස් දැවිල්ල, ආදී රෝග ලක්ෂණ හේතු­වෙන් මීරි­ගම රෝහ­ලට ඇතු­ළත් කළ එම පුද්ග­ල­යාගේ සිරුර ගොඩ­ගැ­නී­මට හේතුව කසිප්පු පානය කිරීම නිසා සිදු වූ මර­ණ­යක් යැයි ඥාතීන් සැක පහළ කිරී­මයි.

කසිප්පු විස වීම හේතු­වෙන් මීරි­ගම, බාඳු­රා­ගොඩ අවට ගම් කිහි­ප­යක බොහෝ පිරි­සක් මිය­ගිය අතර ඉහත රෝග ලක්ෂණ හේතු­වෙන් තවත් පිරි­සක් රෝහල් ගත වී ප්‍රති­කාර ලබ­මින් පසු­වෙති. මිනිස් ජීවිත ගණ­නා­වක් අවා­ස­නා­වන්ත ලෙස බිලි­ගත් වස සහිත කසිප්පු අලෙවි කළ හා නිෂ්පා­ද­නය කළ බවට සැක කළ පිරි­සක් මේ වන විට අත්අ­ඩං­ගු­වේය. සිද්ධි­යට සම්බන්ධ යැයි කියන තවත් පිරි­සක් ගම්ප­ළා­තෙන් ද අතු­රු­දන්ය. එම සිදු වීම හේතු­වෙන් පල්ලේ­වෙල හා මීරි­ගම පොලී­සි­වල පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් වෙනත් පොලි­සි­ව­ලට මාරු කර යවා ඇත.

එහෙත් කසිප්පු චක්‍රය සක්‍රී­යය. ජීවිත 14කට වග කී විස කසිප්පු කාර­යන්ගේ කෙරුවා නිසා මේ ලියන මොහොත වන විට නම් මීරි­ගම හා පල්ලෙ­වෙල පොලිස් බල ප්‍රදේශ තුළ කසිප්පු ජාවා­රම තර­මක් දුරට ඇන­හිට තිබේ. වැඩේ අඩාළ වී ඇත්තේ සිදු වූ මරණ නිසාය. එහෙත් ඊට නුදුරු පොලිස් වසම් කීප­යක කසිප්පු අලෙවි කරන්නේ වගේ වගක් නැති සේය.

පසු­ගිය දා තව­මත් සක්‍රීය ඒ කසිප්පු තිප්පොළ දකි­න්නට ගියෙමු. හොරාට කසිප්පු පෙර­න්නන් මෙන්ම ඒ තැන්ව­ලට යන එන්නන්ද දකි­න්නට වෙහෙ­සක් දර­න්නට සිදු වූයේ නැත. වගේ වගක් නැතිව කසිප්පු පෙරා ප්‍රවා­හ­නය කරන, කුඩා පොලි­තින් කවර තුළ දමා අලෙවි කරන, කසිප්පු පැකට් රැගෙන යන හා පානය කරන පිරිස් ඒ තැන්වල අඩු­වක් නම් නැත. මෙත­රම් මිනිස් ජීවිත ප්‍රමා­ණ­යක් අහිමි වී තිබි­යදී ද තම­න්ගේම අතින් ගෙන කටට හලා­ගන්නේ වස ද විස ද කියා සිත­න්න­ට­වත් මොහො­තක් ගත නොකර තව තවත් ඉල්ල­න්නට එන මිනි­සුන්ට සප­ය­න්නට ඔවුන් සූදා­නම්ය.

ලේසි­යෙන්ම කළ හැකි පහ­සු­වෙන් හා ඉක්ම­නින්ම ගොඩ යා හැකි මේ ජාවා­ර­මට හුරු වු පිරිස ද ජාවා­රම අත­හැර යන්නට කිසි සේත් සූදා­නම් නැත. මීට වසර දහ­ය­කට පහ­ළො­ව­කට පෙර කාලය සස­ඳද්දී මහා පරි­මාණ මෙන්ම සුළු පරි­මාණ කසිප්පු වෙළෙ­න්දන් සැල­කිය යුතු අඩු වීමක් තිබෙන බව සැබෑය. එය සිදු වන්නේ නීති සැර වීම නිසා නොව, යම් සමාජ ආර්ථික පරි­ව­ර්ත­න­යන් සම­ඟය. අපට වැට­හෙන තර­මින් නීති රීති කොත­රම් දැඩි කළ ද කසිප්පු පෙරීම නතර කිරී­මට ඒවා ප්‍රමා­ණ­වත් වී තිබුණේ නැත.

කල­කට පෙර මීග­මුව හලා­වත ආදී ප්‍රදේ­ශ­වල කසිප්පු පෙරීම සිදු වූයේ බොහෝ ලිහිල් නීති රීති මැදය. ඊට ලැබුණු දේශ­පා­ලන රැක­ව­ර­ණය ද සුළු­පටු නොවේ. ස්වයං රැකි­යා­වක් ලෙස පව­ත්වා­ගෙන යන්නට නීත්‍ය­නු­කූල නොවන අන්ද­මින් ලැබී තිබූ දේශ­පා­ලන අව­ස­රය නිසා දංකො­ටුව වැනි ප්‍රදේ­ශ­වල ඒ යුගයේ දඟ­ර­යක් හෝ පත්තක් නැති ගෙද­රක් තිබුණේ නැති තරම්ය. එක ළිපක බත් මුට්ටිය ඉදෙද්දී අනෙක් ළිප වෙන් වන්නේ කසිප්පු හැළි­ය­ටය. එය කොත­රම් සර­ලව පැව­තු­ණා­දැයි කිය­න­වා­නම් හැලි අරක්කු පෙරීම සිය­යට අනූ­වක් පමණ සිදු කෙරුණේ කාන්තා­වන් අතිනි. හැළි­ව­ලින් පෙරී­මේදී දඟ­රය වෙනු­වට හල්මිල්ල ලීව­ලින් තනා­ගන්නා පත්තක් භාවි­ත­යට ගැනිණි.

වස නැති කසිප්පු

නිෂ්පා­ද­නය වැඩි වීම හේතු­වෙන් ඇති වන තර­ග­කා­රී­ත්වය නිසා එකල කසිප්පු ප්‍රමි­ති­ය­කින් යුක්ත විය. අහි­ත­කර රසා­ය­නික ද්‍රව්‍ය එක් කිරී­මක් සිදු වූ නැති තරම්ය. කාන්තා­වන් විසින්ම අලෙවි කරන කසිප්පු අස­ල්වැ­සි­යන් මෙන්ම නිවසේ සාමා­ජික පිරිස (කාන්තා­වන් ද ඇතු­ළුව) පානය කිරීම ද විස රසා­ය­නික වැනි දේ භාවිත නොකි­රී­මට බල­පාන ප්‍රධා­නම හේතු­වක් විය.

කසිප්පු පෙරී­මට පොල් රා පම­ණක් යොදා­ගත් කාල­යක් තිබිණි. රා ප්‍රමා­ණ­යට අවශ්‍ය මාත්‍රා­වට “ඊස්ට්” (බේකරි නිෂ්පා­දන සඳහා පිටි පිපී­මට යොදන පිපු­ම්කා­ර­කය) එක් කර වඩිය පැසෙ­න්නට තැබු­වේය. දින හතක් හෝ අටක් වැනි දීර්ඝ කාල­යක් කාඩිය පැසුණු පසු පෙරීම සිදු කළේය. රා වෙනු­වට සීනි හෝ පැණි ද භාවිත විය. වැඩි ලාබ­යක් ලැබීම සඳහා පැණි නිප­ද­වී­මෙන් අන­තු­රුව ඉතිරි වන පැණි මණ්ඩි හෝ ඉවත ලන කරවූ පැණි ද පාවි­ච්චි­යට ගැනිණි. කරවූ පැණි­ව­ලින් නිප­ද­වන කසිප්පු යම් පම­ණ­කට අප්‍ර­සන්න මල­කඩ රස­යක් හා ඒ සමාන ගන්ධ­ය­කින් යුක්ත විය.

සක්කරා” නැමති හකුරු භාවිත කළ විටත් පෙර සේම මල­කඩ රස­යක් හා ගන්ධ­යක් ඇති වෙයි. වර්ත­මා­නය වන විට ප්‍රවා­හන අප­හ­සුතා ගබඩා කර තබා­ගැ­නී­මේදී මතු වන නීති­මය ගැටලු ආදිය හේතු­වෙන් වැඩි වශ­යෙන්ම කසිප්පු පෙරන්නේ සීනි පම­ණක් උප­යෝගි කර­ගැ­නී­මෙනි.

කසිප්පු විකල්ප

පොල් රා, තල් රා, කිතුල් රා, ඇතුළු කුමක් යෙදු­වත් කාඩිය දින හත අට­කට වඩා වැඩි කාල­යක් පල් වී පැසී­මට සැලැ­ස්විය යුතුය. එත­රම් කාල­යක් කාඩි­යක් සඟවා තබා­ගැ­නීම අසීරු කාරි­යක් වූ බැවින් පසු කාලයේ දී ඒ සඳහා නොයෙ­කුත් විකල්ප අත්හදා බැලී­මට සිදු විය. ස්වභා­වි­කව සිදු වන පැසීමේ ක්‍රියා­ව­ලිය වේග­වත් කිරී­මට යොදා ගැනුණු අත්හදා බැලීම් මේ වන විට පම­ණ­ටත් වඩා සාර්ථ­කය. කොත­රම් සාර්ථ­කද කිය­නවා නම් ගහපු ගමන් නාග­සලං ය. සම­හර විට වළ­ප­ල්ල­ටම යන ගම­නට කසිප්පු උගු­රක් ආමා­ශ­ගත වීමෙන් ඉඩ සැල­සෙයි.

කසිප්පු පෙරීම සඳහා සකස් කරනු ලබන ගෝඩා හැළිය ස්වභා­වි­කව පැසී­මට දින හත අටක් ගත වුවත් අද වන විට දින එක­හ­මා­රක වැනි සුළු කාල­යක් දක්වා ඒ පැසීමේ ක්‍රියා­ව­ලිය කෙටි වී තිබේ. එත­රම් ඉක්ම­නින් සිදු වන කෘතීම පැසී­මක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය­යන්ට අම­ත­රව ඉතා විස සහිත යව­කාර ලුණු, යූරියා පොහොර සහ ඇමෝ­නියා යොදා­ගනු ලබයි. මුල් කාල­යේදී සුළු වශ­යෙන් එක් කර­ගත් මිනිස් ශරී­ර­යට භයා­නක ලෙස අහි­ත­කර එම රසා­ය­නික ද්‍රව්‍ය අධික ලෙස යොද­මින් අද වන විට කසිප්පු පෙරීම සිදු කරයි.

කෙටි කාල­යක් තුළ කාඩිය පැසීමේ රසා­ය­නික ක්‍රියා­ව­ලිය සිදු­ව­නවා සේම අධික සැරක් ලබා­ගැ­නීම සඳහා ඉහත කී රසා­ය­නික වර්ග වැඩි ප්‍රමා­ණ­යක් යොදනු ලබයි. මෙරට තුළ කසිප්පු පෙරන සිය­ල්ලෝම එම රසා­ය­නික ද්‍රව්‍ය භාවිත කිරී­මෙන් කෙටි කාල­යක් තුළ කසිප්පු නිප­දවා ගැනී­මට හුරු වී සිටිති.

දිනෙන් දින තැනින් තැනට මාරු­වෙ­මින් හොරෙන් රහ­සින් නීතියේ ඇසට වැලි ගසා පෙරීම් ක්‍රියා­ව­ලිය සිදු කරද්දී භාවිත කරන ක්‍රම­වල ද උප­ක­ර­ණ­ව­ලට ද ප්‍රමි­ති­යක් සොය­න්නට පෙර­න්නන්ට කලක් වේලා­වක් ඉතිරි වන්නේ නැත. කාඩි සඟවා තබ­න්නට සිදු වන්නේ කිසි­වෙ­කු­ටත් ඇස නොගැ­ටෙන ඉස­ව්වල ය. කැලෑ­වල සඟවා තැබී­මේදී කාඩි­යට කටු­ස්සන්, මීයන්, ගැර­ඬින්, පම­ණක් නොව ඉතා විස සහිත සර්ප­යන් පවා වැටෙන අවස්ථා එම­ටය. පෙරී­මට සහ කාඩිය දැමී­මට භාවිත කරන බැරල් සේදීම පිරි­සුදු කිරීම කුමන අයු­ර­කින් සිදු කර­නවා ද දන්නේ පෙර­න්නන් ම පමණි. බැර­ල්වල ඇති මල­කඩ, ඒවා සඟවා තබන තැන්වල තිබිය හැකි අහි­ත­කර වස විස ප්‍රමාණ වශ­යෙන් කොත­රම් එකතු වනවා දැයි අනු­මාන කර­න්නට බැරිය.

කසිප්පු පෙරා­ගැ­නිම සඳහා අවශ්‍ය පම­ණට පැසුණු පසු කාඩිය ළිපක් මත තබා පොල්ක­ටු­ව­ලින් ගිනි දැල්වීම පැරණි ක්‍රම­යයි. දැන් වැඩි දෙනා පොල්කටු ළිප වෙනු­වට ගෑස් භවිත කරති. ළිප ගිනි දල්වා ගෝඩා රත් කිරී­මෙන් වාෂ්ප බවට පත් වී පසුව තඹ දඟ­ර­යක් තුළින් ගමන් කරවා සිසිල් කර­ගන්නා ස්ප්‍රීතුව ලබා­ගැ­නී­මට පෙරීම අව­සන් වන තුරුම තඹ බඳුන සහිත භාජ­න­යට සිසිල් ජලය එක් කළ යුතුය.

ඒ සඳහා මොන ජරා වළ­කින්, කුණු ඇළ­කින්, අසූචි පොකු­ණ­කින් හෝ ජලය ලබා­ගැ­නී­මට “පෙර­න්නන්” දෙපා­රක් සිතන්නේ නැත. පෙරා අව­සන් වූ පසු ලැබෙන ස්ප්‍රීට් ප්‍රමා­ණ­යට එකට එකක් වතුර දමා කසිප්පු ප්‍රමා­ණය දෙගු­ණ­යක් කර­ගත හැකිය. ඒ සඳහා උණු කර නිවා­ගත් ජලය භාවිත කළ යුතුය. එලෙස කසිප්පු දෙගුණ කර­න්නට භාවිත කරන්නේ උණු වතු­රද, ඇල් වතු­රද, පල් වතු­රද කියා දන්නේද පෙර­න්නන් ම පම­ණය.

මද්‍ය­සාර පෙරී­මේදී ඊත­යිල් හා මීත­යිල් ඇල්කො­හොල් ප්‍රභේද ඇති වේ. මත් වීමට සඳහා යොදා ගන්නේ ඊත­යිල් ඇල්කො­හොල්ය. මීත­යිල් යනු අධි­කම විස සහිත රසා­ය­න­යකි. ක්ෂණික මර­ණය වුවද ළඟා කළ හැකි ඒ විස රසා­ය­නය වෙන් කර­ගැ­නී­මට ප්‍රමි­ති­ගත ස්කාගාර තුළ විද්‍යා­ත්මක ක්‍රම භාවිත කරයි.

නමුත් ගමේ කසිප්පු මුද­ලාලි ඊත­යිල් වලින් මීත­යිල් වෙන් කර­ගන්නේ අතේ හුරු­ව­ටය. ඔවුන්ට අනුව මුලින්ම බටය දිගේ ගලා­එන බෝතල් කාලක පමණ ස්ප්‍රීට් ප්‍රමා­ණය මිනිස් පරි­භෝ­ජ­න­යට ඉතා අහි­ත­කර අති­ශය විස සහිත කොට­සය. අප විද්‍යා­වේදී ඉගෙන ගෙන ඇති ආකා­ර­යට උග්‍ර විස “මීත­යිල්” ය. විද්‍යාව හරි හැටි නොද­න්නවා වුවද සම­හර “පෙර­න්නන්” මුල් ස්ප්‍රීතු කොටස දෙන්නේ කඩ­වර දෙවි­ය­න්ටය. එසේ කිය­මින් මුලින්ම පෙරී එන ස්ප්‍රීට් යම් ප්‍රමා­ණ­යක් ගෙන ළිපට විසි කිරීම සිරි­තය. මීත­යිල් ශරී­ර­ගත වුව­හොත් එය වම­නය, ඇස් දැවිල්ල, පාච­නය, ඉතා කෙටි වේලා­වක් තුළ ඇස් නොපෙනී යාම, පම­ණක් නොව මර­ණ­යෙන් කෙළ­වර වන කෙළි­යකි.

සාර්ථ­කව වඩි­යක් ගසා නිම කර­ගැ­නී­මට මනා පළ­පු­රු­ද්දක් තිබිය යුතුය. නිවැ­ර­දිව වැඩේ නොක­ළ­හොත් සියල්ල අහ­ක­ටය. දඟ­ර­යක් හෝ පත්තක් ඇති නම් ඉඳ­හිට වඩි­යක් ගසා­ගෙන මිතු­රන් අතරේ පම­ණක් විකි­ණීමේ ක්‍රමද තිබේ. ඒ සඳහා බොහෝ විට ඉවත් කිරී­මට ආසන්න පල­තුරු යොදා­ගන්නා නිසා මෙයට පල­තුරු වඩිය යැයි කියති. කසි­ප්පු­ව­ලට රස කාරක වර්ග යොදා පල­තුරු වඩියෙ බඩු කිය­මින් වැඩි මිලට බඩු විකු­ණන පිරිස් ද ඔවුන්ට අහු­වෙන පිරිස් ද ඕනෑ තරම්ය.

අලි ඉන්ජෙ­ක්ෂන්

කැලෑ අලින් මෙල්ල කිරීම සඳහා භාවි­ත­යට ගන්නා එන්නත් වර්ග­යක් කල් ඉකුත් වූ පසු සාන්ද්‍ර­ණය අඩු කොට කසිප්පු ලෙස වෙළ­ඳ­ප­ළට එන බව කසිප්පු පෙරන්නෝ කියති. පෙති වර්ග දිය කර නිෂ්පා­ද­නය කරන කසිප්පු වර්ග ගැන ද කතා පැතිරී ඇත. නුව­ර­එ­ළිය, බණ්ඩා­ර­වෙල ආදී සීතල පළා­ත්වල කසිප්පු නැත්තේ මොන දේ දැම්මත් සීතල නිසා කාඩිය පැසෙන්නේ නැති නිසාය.

“ඉස්සර වගේ නෙවෙයි දැං තියෙන කසි­ප්පු­වල අඩු තරමේ කසිප්පු ගඳ­වත් නෑ. වෙරි නෙවෙයි තියෙන්නෙ නිදි­මත. ගහපු වෙලේ ඉඳලා වැඩක් පලක් කරන්ඩ පණක් නෑ. කොච්චර ගැහු­වත් පැය බාග­යක් යන­කොට වෙරි බැහැලා. රෑට බීල නිදා­ග­ත්තාම පාන්දර දෙකට විතර ඇහැ­රෙ­නවා. ඒ වේලාවෙ ඉඳල පුදුම වතුර තිබ­හක් තමයි හැදෙන්නෙ.”

මේ එක් කසිප්පු බොන්නෙකු කී දෙයක් නොවේ. උදේ හවස කසිප්පු බොන්නන් හැමෝම කියන්නේ ඔය කතා­ව­මය. ඊට හේතුව කුමක් දැයි අප දන්නේ නැත. එහෙත් සිය­ල්ල­න්ගේම දැන­ගැ­නීම පණිස මෙසේ ලියා තැබිය යුතුය. ඒ ලියන්නෙ “පෙර­න්නන්ගේ” නව තම සොයා­ගැ­නීම පිළි­බ­ඳය. ඒ සොයා­ගැ­නීම නිසා ඔවු­නට කාලය ශ්‍රමය පම­ණක් නොව මිලක්ද ඉතිරි කර­ගත හැකිය.

සිමෙ­න්ති­යෙන් කසිප්පු පෙරීම

නව ක්‍රම­යට කසිප්පු නිෂ්පා­ද­නය කිරී­මට පෙර සේම සීනි, ඊස්ට්, වලට අම­ත­රව යව­කාර, යූරියා, ඇමෝ­නියා, නිය­මිත මාත්‍රා­වට යොදා දවස් එක­හ­මා­රක් පමණ පැසෙ­න්නට තැබිය යුතුය. ඉන් පසුව සිමෙන්ති කිලෝ පහක් හයක් කාඩි­යට දමා බලා­සි­ටි­න්නට වන්නේ පැයක පමණ කාල­යක් පමණි. සිමෙන්ති යටට මිදී වැහි වතු­ර­ටත් වඩා පිරි­සුදු වතුර තට්ටු­වක් භාජ­නයේ ඉතිරි වෙයි. අන­තු­රුව කරන්නේ සිමෙ­න්ති­ව­ලට නොදැ­නෙන සේ බට­යක් දමා පිරි­සි­දුව පෙනෙන වතුර වැනි දේ වෙනත් භාජ­න­ය­කට වෙන් කර­ගැ­නී­මය. එප­ම­ණකි. බෙදා හැරීම, පැකට් කිරීම, විකි­ණිම, පෙර පරි­දි­මය.

මේ විස බොන උන්ගේ බොකු බඩ­වැල් දිරා­පත් නොවී තිබිය නොහැ­කිය. අද­හා­ගත නොහැකි පුදු­මය මුන් මේ කසිප්පු බී ජීව­ත්වී­මය. ඒ ජීව­ත්ව­න්නන් දෙස මතින් තොර රටක් හද­න්නට දිවු­රුම් දුන් ආය­තන මවිත වී බලා­ගෙන සිටී­මය.

ගමේ මේ ජාවා­රම පසු­පස සිටින්නේ ගමේ මැර­යෝය. උන්ට අනු­බල දෙන්නේ ගමේ දේශ­පා­ල­ක­යෝය. ඒ දේශ­පා­ල­ක­යන් රැකෙන්නේ උන්ට උඩ ඉන්නා උන්ගේ දේශ­පා­ලන ලොක්ක­න්ගෙනි. පොලි­සිය උන්ගේය. රට­ටම විස කසිප්පු බෙදනා ඇතැම් ජාවා­ර­ම්ක­රු­වන් සම­හර විට ඉන්නේ කවු­න්ස­ල­යේය. නැති නම් කවු­න්සලේ චරිත උන්ගේ ඔඩො­ක්කු­ව­ලය. එවිට සිය­ලුම බලය උන් අතේය. මේ විසම දාමය කසිප්පු විකු­ණන උන් හෝ බොන උන් අල්ලා නව­ත්ව­න්නට නොහැකි බව නොතේ­රෙ­න්නෙක් නැත.

තව ජීවිත ගණ­නා­වක් එක් මොහො­තක විස කසිප්පු බී ළප­ල්ලට ගිය විට අපට තව මෙවැනි රස කතා­වක් ලිවිය හැකිය. ඔබට එය රස­වි­ඳි­මින් කිය­විය හැකිය. කාටත් වැට­හෙන පරිදි සිදු විය හැකි එකම දේ එප­ම­ණය.

Comments