වේගවත්ව රිය පදවන්නකු දකින අපේ රියදුරන්ගේ වැරදි | Page 3 | සිළුමිණ

වේගවත්ව රිය පදවන්නකු දකින අපේ රියදුරන්ගේ වැරදි

ලංකාවේ සිදුවන රිය අනතුරු මේ වන විට ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ. රටේ මහාමාර්ග හා රථවාහන පැදැවීම සම්බන්ධයෙන් කුමන නීති රීති පැවැතිය ද පොලිස් මෙහෙයුම් දිවා රෑ සිදු වුව ද දිනෙන් දින සිදුවන රිය අනතුරුවල වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොලැබෙයි. මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 08 දෙනෙකු පමණ මරණයට පත්වන බවත්, මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මාරක රිය අනතුරු 1506ක් සිදුවී ඉන් පුද්ගලයින් 1606ක් මිය ගොස් ඇති බවත් වාර්තා වෙයි.

රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යාම නිසා මාර්ග අනතුරු වළක්වා ගැනීමේ සැළසුම් සහගත වැඩපිළිවළක් රටේ ක්‍රියාත්මක කළ යුතුව ඇති බව මේ පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරී සංවිධානවල අදහසයි. රටේ පවතින රථවාහන නීතිය දැඩි කරමින්, රියැදුරන් තුළ ස්වයං විනයක් ඇති කිරීමෙන් රිය අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බව, ලංකාවේ රිය අනතුරු වළක්වා ගැනීම සඳහා ක්‍රියාකාරීව තම දායකත්වය දක්වන ලෝක මෝටර් රථ ධාවනශූර ඩිලන්ත මාලගමුවගේ අදහසයි. රිය අනතුරු වළක්වා ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ කතාබහට එක්වෙමින් ඔහු සිළුමිණට පවසා සිටියේ මෙවන් අදහසකි.

රියැදුරන්ගේ නොසැලකිලිමත් බව

'ලංකාවේ රිය අනතුරුවලට ප්‍රධානම හේතුව තමයි බරවාහන ධාවනයේ දී එම රථවාහන රියැදුරන්ගේ නොසැලකිලිමත් බව. මොකද ඔවුන් පදවන වාහනය ප්‍රමාණයෙන් විශාලයි. අනෙක් ඒවා සමඟ ගැටුණවිට ඔවුන්ට හානියක් නොවන බව ඔවුන් දන්නවා. මේ නිසා ඔවුන් මාර්ග නීති රීති පිළිපඳින බවක් පෙනෙන්නට නැහැ. වාහනේ එහාට මෙහාට කපමින් සිතූ පරිදි ධාවනය කරනවා. පිටරටවල නම් බරවාහන රියැදුරන්ට දවසකට යා හැකි සීමිත දුර ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. සමහර රියැදුරන් මා සමඟ පවසා තිබෙනවා ඔවුන්ට පැය ගණනින් ගිහින් එන්න කියලා හිමිකරුවන් ටාගට් එකක් දී තිබෙන බව. එලෙස එන්න නම් අධික වේගයකින් රිය ධාවනය කළ යුතු වෙනවා. මෙවැනි දේවල් කරන බස් හිමිකරුවන්ටත් දඩ ගැසීම් කළ යුතුයි. සමහර බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේ යෙදෙන බවට චෝදනා පවතිනවා. මේ නිසා ඒ වෙනුවෙන් අලුත් නීතිරීති ගෙන එන්නට පොලීසිය සූදානම් වෙන බව දැන ගන්නට ලැබුණා.' ඔහු පවසන්නේ බරවාහන හිමිකරුවන්ට චෝදනා කරමිනි.

රියැදුරන්ගේ සහ පදිකයන්ගේ විනය මාර්ග අනතුරු අවම කිරිම වෙනුවෙන් 'සේෆ් ශ්‍රී ලංකා' නමින් වැඩසටහනක් මේ වන විට දියත් කොට තිබේ. මෙය වෛද්‍යවරුන්ගේ සංකල්පයකි. එහි ප්‍රධාන අරමුණ වන්නේ විනයගරුක ධාවනයක් වෙනුවෙන් රිය­ැදුරන් දැනුම්වත් කිරීම හා පදිකයන් දැනුම්වත් කිරීමය. සමාජ සත්කාර්යයක් ලෙස ඩිලන්ත මෙයට දායක වි ඇත්තේය.

'රිය ධාවනයේදී විනය කියන දේ ඇත්තේම නැහැ. පදිකයන් ගත්තම ඔවුන් ද එසේමයි. ත්‍රීවිල්, මෝටර් බයිසිකල් අධික වේගයෙන් ධාවනය වන බව පේනවා. වෙන රටවලත් මාර්ග අනතුරු වෙනවා. නමුත් බහුලව සිදුවන්නේ නැහැ. මෝටර් රථ ධාවන තරගාවලියකදී නම් මගේ වේගය කිලෝමීටර්යට තුන්සීයක් තුන්සිය දහයක් වගේ වෙනවා. එහි දී අපි හැමෝම එකම පැත්තට ධාවනයේ යෙදෙනවා. ඉදිරියෙන් වාහන එන්නේ නැති වුණත් එය අවදානම්. නමුත් එයට මනා පුහුණුවක් පළ පුරුද්දක් මා සතුව තියෙනවා. අපිත් අනතුරුවලට ලක් වෙනවා. එත් පදිකයන්ට හෝ බලාසිටින්නන්ට එයින් අනතුරක් වන්නේ නැහැ. මම ධාවන ශුරයෙක් වුණාට ලංකාවේ පාරවල්වල මගේ මෝටර් රථ ධාවනය කරනවිට ඉතාම පරිස්සමින් තමයි යන්නේ.'

රටේ අවාසනාවට මෙන් රිය අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාවෙන් වැඩිම පිරිස අවුරුදු 15ත් 44ත් අතර වයසේ පසුවන අයයි. එයින් මරණයට පත්වන පිරිසට අමතරව තවත් බොහෝ පිරිසක් අබාධිත තත්ත්වයට ලක්වෙයි.

වේගයෙන් යෑමට පුහුණුව

'මම අත්දැකීමෙන්ම දන්නවා වාහනයක් වේගයෙන් පදවන ක්‍රමවේදය. ඒ නිසා වේගයෙන් වහනයක් පැදවිම මනා පුහුණුවක් නැතුව කළ නොහැකියි. වාහනයක් බර වෙන්න වෙන්න තිරිංග ක්‍රියාත්මක වීම අඩුයි. කිලෝ දාහක් බර කාර් එකක් නවතන්න මීටර් සීයක් එහායින් නම් කිලෝ දෙදහසක එකක් නවත්වන්න මීටර් එකසිය තිහක් කලින් තිරිංග තද කළ යුතු වෙනවා. වාහනයක බර වැඩි වෙන්න වැඩිවෙන්න තිරිංග තද කළත් ඇදිලා යන ප්‍රමාණය වැඩියි. නමුත් අපේ රටේ බස් කාර්වලටත් වඩා පස්සේ තමයි තිරිංග තද කරන්නේ.'

දේශපාලකයන්ගේ රථවල අධික වේගය

අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීම, මාර්ග නීති පිළි නොපැදීම, මෙම රිය අනතුරුවලට මූලිකව බලපා තිබෙන බව ඔහුගේ අදහසයි.

'විශේෂයෙන්ම දේශපාලකයන්ගේ හා හමුදා රථවාහනත් අධික වේගයකින් පාරේ ධාවනය කරනවා. ඔවුන් අනෙක් වාහන සතපහකට මායිම් කරන්නේ නැහැ. මේ තත්ත්වයත් රිය අනතුරුවලට අතවැනීමක්. ඔවුන්ටත් සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන නීතියම ක්‍රියාත්මක විය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා හමුදා ප්‍රධානින්ව මේ ගැන දැනුම්වත් කරලා ක්‍රියාමාර්ගයක් ගන්නට. කවුරුත් තමාට නියමිත වේගසීමාව තුළ වාහනය ධාවනය කරනවා නම් කාටවත් හානියක් වෙන්නේ නැහැ. '

නීති කඩන රියැදුරෝ

'අද කවුරු අතත් ස්මාර්ට් ජංගම දුරකතන තිබෙනවා. මෙමඟින් මාර්ගයේ නීතිරීති කඩන රියැදුරන් කැමරාගත කරන්න පුළුවන්. ඒ රූපරාමු අදාළ පොලිස් ස්ථානය වෙත එවීමෙන් නීතිය ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. රිය අනතුරුවලින් සියයට අනූපහක්ම සිදු වන්නේ නොසැලකිල්ල නිසයි. බොහෝ විට රිය අනතුරු සිදු වන්නේ ඉදිරිය නොපෙනෙන තැන්වලදී ඉස්සර කරන්න ගිහින්. ඒ වගේම වංගුවලින් කිසිවිටෙකත් ඉස්සර නොකළ යුතුයි.' මාලගමුව පවසයි.

අනතුරු නිසා සංචාරකයන් පැමිණිම

'මගෙත් එක්ක එන සංච­ාරකයින් අහන්නේ මේ විදිහට ලංකාවේ රියැදුරන් අපරික්ෂාකාරීව රිය පදවන්නේ ඇයි කියලයි. මම දකින විදිහට එය‍ට හේතුව මේ අයට නිසි අධ්‍යාපනයක් නොමැති කම. වාහන රියැදුරු බලපත්‍රය ලබා දෙන විටම ඔවුන්ට නීතිරීති ගැන පුළුල් දැනුමක් දිය යුතුයි. මම අද පාවිච්චි කරන්නේ ලැම්බෝගිනි රථයයි, අවුඩියයි. මේ වාහන එළියට ගන්නකොට මම ඒවායේ සුක්කානමට තෙවරක් වැඳලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ අද මම යන ගමනින් කිසිවෙකුටත් අනතුරක් නොවේවායි කියලයි. ධාවන තරගයකට ගියත් මම වැඳලා ඉල්ලන්නේ කවදාවත් එයින් දිනන්න කියලා නෙවෙයි. ‍අද මේ තරගයේ දී කිසිවෙකුටත් අනතුරක් වෙන්න එපා කියලයි. මම ධාවන ශූරයෙකු වූ නිසාම තමයි විනය ගරුක රියැදුරෙකු වුණෙත්. ධාවන තරගවලදී අපිට විනය නීති මාලාවක් තිබෙනවා. පිටරටවල රියැදුරන් පුහුණුව සඳහා සිමියුලිටරි තිබෙනවා. ඒ පුහුණුවෙන් පසු ප්‍රමිතියකට අනුව තමයි රියැදුරු බලපත්‍රය දෙන්නේ. ලංකාවේද ඒ තත්ත්වය ඇති කළ යුතුයි.'

Comments