රෝගී ජීවිත සුව­පත් කරන මනෝ සාය­නික චිත්‍ර කලාව | Page 2 | සිළුමිණ

රෝගී ජීවිත සුව­පත් කරන මනෝ සාය­නික චිත්‍ර කලාව

 

චාල්ස් දයා­නන්ද ලියූ නව­තම ග්‍රන්ථය වන “මනෝ සාය­නික චිත්‍ර කලාව” දොරට වැඩීමේ උත්ස­වය අගෝස්තු මස 24 වැනි සෙන­සු­රාදා පෙ:ව: 10.00 ට කොළඹ මහ­වැලි කේන්ද්‍රයේ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය. මෙම උත්ස­වයේ ප්‍රධාන දෙසුම පව­ත්වනු ලබන්නේ දර්ශ­නය හා සෞන්දර්ය විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය ඩෙස්මන්ඩ් මල්ලි­කා­රච්චි මහතා විසිනි.

 

මනෝ සාය­නික චිත්‍ර­ක­ලාව පිළි­බද ලිය­න්නට චාල්ස් දයා­නන්ද මහ­තාට හේතු පාදක කරුණු බොහෝය.

අදින් වසර 15කට ‍පමණ පෙර මහ­නු­වර බෝග­ම්බර බන්ධ­නා­ගා­රයේ අධි­කාරි ලෙස කට­යුතු කළ තිස්ස ජය­සිංහ මහතා චිත්‍ර කලා ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය චාල්ස් දයා­න­න්දට අපූරු යෝජ­නා­වක් කළේ ඔහු චිත්‍ර කලා අධ්‍යා­පන වෘත්ති­ක­යන්ගේ සංග­මයේ සභා­පති ලෙස කට­යුතු කරන නිසා ය. එම යෝජ­නාව වූයේ බෝග­ම්බර බන්ධ­නා­ගා­රයේ සහ පල්ලෙ­කැලේ එළි­ම­හන් සිර­ක­ඳ­වුරේ රඳවා සිටින තරු­ණ­යන් 160 දෙන­කුට චිත්‍ර කලාව පුහුණු කිරීම ය. මෙම තරු­ණ­යන් බන්ධ­නා­ගා­ර­ගත වී තිබුණේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වර­දට ය. මෙම තරු­ණ­යන් මත් උව­දු­රෙන් ගලවා ගැනීම උදෙසා ඔවුන්ගේ දඩ­බ්බර සිති­විලි රස­වි­න්ද­නා­ත්මක වැඩ­ස­ට­හන් තුළින් වෙනත් දිශා­ව­කට යොමු කර, මාන­සික වර්ධ­නය ඇති කිරීමේ අර­මු­ණින් එව­කට බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යකු වූ තිස්ස ජය­සිංහ මෙම යෝජ­නාව ඉදි­රි­පත් කර තිබුණි.

ඇමෙ­රි­කාව සහ එක්සත් රාජ­ධා­නිය යන රට­ව­ලින් බිහි වී පසුව භාර­තය, චීනය, ජපා­නය යන රට­ව­ලට පවා ව්‍යාප්ත වූ මනෝ සාය­නික චිත්‍ර කලාව හදාරා තිබුණු ගිරා­ගම සෞන්දර්ය විශ්ව විද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යකු හා චිත්‍ර කලා අධ්‍යා­පන වෘත්ති­ක­යන්ගේ සංග­මයේ සභා­පති වූ චාල්ස් දයා­න­න්දට සිය දැනුම ප්‍රායෝ­ගි­කව අත්හදා බැලී­මට මෙය ඉතා හොඳ අව­ස්ථා­වක් විය. ඔහු තිස්ස ජය­සිං­හගේ යෝජ­නා­වට එක­ඟ­ත්වය පළ කළේ එබැ­විනි. මෙම වැඩ­ස­ට­හ­නට අවශ්‍ය පැන්සල්, කොළ, පින්සල්, දිය සායම් වැනි උප­ක­රණ අනු­ග්‍රා­හක භව­තු­න්ගෙන් සපයා ගෙන එක් දින වැඩ­ස­ට­හ­නක් වශ­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට පිය­වර ගත් චාල්ස් දයා­නන්ද මේ සඳහා තරුණ උප­දේ­ශ­ක­ව­රි­යන් කීප­දෙ­න­කුගේ සහය ලබා ගැනී­මට තීර­ණය කළේ තරුණ සිර­ක­රු­වන්ට ආද­රය, කරු­ණාව ද අවශ්‍ය වන බැවිනි.

“අපි ඒ අය එක්ක ආද­ර­ණීය විදි­හට කතා කරලා චිත්‍ර නිර්මාණ වැඩ­ස­ට­හන හඳුන්වා දුන්නා. රැඳ­වියෝ එක්ව­රම කිව්වේ ඔවුන්ට චිත්‍ර අඳින්න බැහැ කියලා. මම පැහැ­දිලි කළා චිත්‍ර අඳින්න අවශ්‍ය නැහැ, සුදු කඩ­දා­සි­වල ඉරි ඇඳලා ඒ තුළින් මතු වන හැඩ­තල පාට කරන්න කියලා. ඔවුන් එයට කැමති වෙලා නිශ්ශ­බ්දව ඇඳලා ඉතා අලං­කාර වර්ණ රටා මැව්වා. ඉන් පස්සේ ඔවුන් ඔවුන්ගේ ම චිත්‍ර­ව­ලට වසඟ වෙලා තව තව වැඩ ඉල්ලන්න පටන් ගත්තා. අපි පරණ පත්තර කොළ දීලා ඒවා ඉරලා තමුන් කැමති විදි­හට සුදු කඩ­දා­සි­වල අල­වන්න දුන්නා. ඔවුන් අපි බලා­පො­රොත්තු නොවූ විදි­හට ඔවුන්ගේ අභ්‍ය­න්ත­රයේ ඇති හැඟීම් නිර්මාණ හරහා ප්‍රකාශ කරන්න පටන් ගත්තා. චිත්‍ර බෑ කියූ බොහෝ දෙනෙක් විවිධ චිත්‍ර, සංකේත රූප, සත්ව රූප ඇඳ තිබුණා. එක් කෙනෙක් ඔරු­වක් ඇඳලා ‘හබ­ලක් නැති ඔරු­වක් වගේ මමත් ඔහේ පාවුණා’ කියලා ලියලා තිබුණා. තවත් කෙනෙක් අම්මාට වඳින ආකා­රය චිත්‍ර­යට නඟලා ‘අම්මේ මට සමා­වෙන්න මම ගියේ වැරදි පාරක’ කියලා ලියලා තිබුණා. ගොඩාක් අය බුද්ධ රූප, ‍ෙජ්සු රූප අල­වලා තමන්ගේ දුක කියලා තිබුණා. මේ විදි­හට හැමෝ­ගේම අභ්‍ය­න්ත­රයේ තිබුණු දුක් වේදනා, තරහ, කල­කි­රීම වැනි හැඟීම් අපිට පිට­තට ගන්න පුළු­වන් වුණා.” යනු­වෙන් චිත්‍ර කලා ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය චාල්ස් දයා­නන්ද පැව­සු­වේය.

විවිධ රෝග­ව­ලින් පෙළෙ­න්නන්ට ඇති වන ප්‍රධාන බාධ­කය වන්නේ සිත අවුල් වීම සහ පසු­තැ­වී­මයි. මෙම තත්ත්වය වඩාත් ම දක්නට ලැබෙන්නේ පිළිකා සහ හෘද රෝගි­න්ගෙනි. විශේ­ෂ­යෙන් එවැනි රෝග වැල­ඳුණු අයගේ චිත්ත ස්වාභා­වය සහ පසු­ගාමි තත්ත්වය අපට අන­න්ත­වත් දැක ගත හැකි වී තිබේ. මෙම මාන­සික කඩා වැටීම රෝගය සුව නොවී­මට හා උත්සන්න වීමට ඍජු­වම බල­පානු ඇත. ඕනෑම රෝග­යක රෝගි තත්ත්වය 25%ක් වන අතර මාන­සික තත්ත්වය 75%ක් වන බව අද වෛද්‍ය­ව­රුන් හඳු­නා­ගෙන තිබේ. වෛද්‍ය විද්‍යාව දියුණු යුග­යක රෝග සුව­පත් කිරී­මට ඖෂධ සහ ශිල්ප ක්‍රම තිබුණ ද රෝගින් සුව­පත් කිරී­මට ඖෂධ පම­ණක් ප්‍රමා­ණ­වත් නැති බව වෛද්‍ය­වරු පව­සති. ඊට රෝගි­යාගේ මාන­සික ශක්තිය ද අව­ශ්‍යවේ. මනස දුර්වල වූ විට හද­වත දුර්වල වේ. මනස බිය වූ විට හද­වත වේග­යෙන් ගැහෙ­න්නට පටන් ගනී, රෝගින්ට ප්‍රති­කාර කිරීම සඳහා හද­වත යහ­පත් ක්‍රියා­කා­රි­ත්ව­යෙන් තබා ගත යුතුය. හද­වත හොඳින් තබා ගැනී­මට නම් මනස ශක්ති­මත් කළ යුතුය. මහ­ර­ගම අපේක්ෂා රෝහලේ ළමා රෝගින් 100ක් මූලික කර ගෙන චිත්‍ර කලා අධ්‍යා­පන වෘත්ති­ක­යන්ගේ සංග­මය විසින් මනෝ සාය­නික චිත්‍ර කලා අභ්‍යා­ස­යක් පැවැ­ත්වූවේ එබැ­විනි.

“මහ­ර­ගම පිළිකා රෝහලේ කනිෂ්ක කරු­ණා­රත්න වෛද්‍ය­ව­රයා 2008 දී අපිට කිව්වා පිළි­කා­වට ගොදුරු වුණු දරු­වන්ට මනෝ සාය­නික චිත්‍ර අභ්‍යා­ස­යක් කරමු කියලා. ඒකට හේතුව මේ දරු­වන්ට උදේ ඖෂධ එන්නත් කළාට නිසි ආකා­ර­යට ශරී­ර­ගත නොවීම. ඖෂධ සෛල කරා ගමන් කිරී­මට හොඳින් ලේ ගම­නා­ග­ම­නය සිද්ධ විය යුතුයි. හොඳින් ලේ ගම­නා­ග­ම­නය වීමට නම් මනස ශක්ති­මත්ව තිබිය යුතුයි.

ඒත් මේ රෝගින් අපේක්ෂා භංග­ත්ව­යට පත්වෙලා මන­සින් කඩා වැටිලා ඉන්නේ. ඒ නිසා ප්‍රති­කා­ර­වල ක්‍රියා­කා­රි­ත්වය නිසි ආකා­ර­යට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වයස අවු: 10ට අඩු ළමයි 100කට අපි මාස­යක් පුරා මනෝ සාය­නික චිත්‍ර අභ්‍යා­සය පැවැ­ත්වුවා. අපේ චිත්‍ර අභ්‍යා­ස­යෙන් පස්සේ ඔවුන් මුළු දව­සම ප්‍රබෝ­ධ­යෙන් ගත කළා. වෙන­දාට වඩා එන්නත් දුන්නාට පස්සේ ක්ලාන්ත ගති­යෙන් නිදි­ම­තෙන් හිටපු ළමයා දුව­ගෙන ඇවිත් චිත්‍ර අඳින්න පටන් ගත්තා. වෙනදා වගේ වම­නය කළෙත් නැහැ. වෛද්‍ය­ව­රු­නුත් දරු­වන්ගේ මේ වෙනස දැක්කා. මේ විදි­හට සන්තෝ­ෂ­යෙන් චිත්‍ර ඇඳපු ළමයි ටිකෙන් ටික සුව­පත් වෙන්න පටන් ගත්තා. අපේ මනෝ සාය­නික චිත්‍ර අභ්‍යාස ප්‍රති­කාර ක්‍රමය සාර්ථක වුණා.” යනු­වෙන් සිය අත්දැ­කීම් විස්තර කළේ චිත්‍ර කලා ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය චාල්ස් දයා­නන්ද ය.‍

සෙල්ලම් ගෙය නමින් හැඳි­න්වෙන පිළිකා රෝහලේ ළමුන් සඳහා ම ගොඩ නඟා ඇති විශේෂ පරි­ශ්‍රය භාරව කට­යුතු කරන කේ.ජී. තේජා සන්ධ්‍යා ළමුන් වෙනු­වෙන් චිත්‍ර කලා අභ්‍යාස තව­දු­ර­ටත් පවත්වා ගෙන යන්නේ මෙයින් සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකි බව රුධිර පරී­ක්ෂ­ණ­ව­ලින් ප්‍රත්‍යක්ෂ කර­ගෙන ඇති නිසා ය.

ඉන් අන­තු­රුව 2011 වර්ෂයේ දී සබ­ර­ග­මුව පළාත් සභා පරි­වාස කොම­සා­රිස් චන්ද්‍රාණි සම­ර­කෝන්ගේ ඇර­යු­ම­කට අනුව සබ­ර­ග­මුව පළාත් ළමා නිවා­ස­වල ජීවත් වන දරු­වන් වෙනු­වෙන් ද ම‍නෝ සාය­නික චිත්‍ර කලා වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්විණි. එය ආරම්භ කළේ නිවාස අතර චිත්‍ර නිර්මාණ තර­ගා­ව­ලි­යක් වශ­යෙනි. ඊට සම­ගා­මීව දරු­වන්ගේ නිර්මාණ හැකි­යාව වර්ධ­නය කිරීමේ අර­මු­ණින් සෑම ළමා නිවා­ස­යක ම සති­ය­කට දින 2 බැගින් වැඩ­මුළු සංවි­ධා­නය කළේ බතික් කලාව, වෙස්මු­හුණු කැට­යම්, බිත්ති සැර­සිලි වැනි නිර්මාණ කලා­වන් ගැන වෘත්තීය පුහු­ණු­වක් ද ලබා දෙමිනි. ඊට හේතු වූයේ ළමා නිවා­ස­වල ජීවත් වන බොහෝ දරු­වන් තනි­කම, බලා­පො­රොත්තු රහිත බව කර­පි­න්නා­ගෙන කල්ගත කරන බැවින් මාන­සික සතුට මෙන් ම ජීවි­ත­යට අර­මු­ණක්, අපේ­ක්ෂා­වක් ඔවුන් තුළ ඇති කිරීම චාල්ස් දයා­නන්ද ඇතුළු පිරි­සගේ අර­මුණ වීමයි.

“ළමා නිවා­ස­වල කඳ­වු­රු­වල ජීවත් වන දරු­වන්ගේ චිත්‍ර තුළින් අපට වැඩි­පුර දකින්න ලැබුණේ අඳුරු වර්ණ. මෙම වර්ණ­ව­ලට සුවි­ශේෂි වූ චරිත ශක්ති තිබෙ­නවා. මිනිස් සිරුරේ ලේ ගමන් කිරීම ස්නායු ක්‍රියා­කා­රි­ත්වය ආදි­යට වර්ණ­ව­ලින් කෙරෙන බල­පෑම පර්යේ­ෂ­ණ­ව­ලින් සොයා ගෙන තිබෙ­නවා. ඒ නිසා වර්ණ කියන දේ ලොකු බල­පෑ­මක් කළ හැකි ශක්ති­යක් බව තහ­වුරු වී අව­සන්. වර්ණ­ව­ලින් චරිත ස්වභා­වය කියන්න පුළු­වන්, වර්ණ මිනිස් සිරු­රට බල­පාන හැටි වගේම වර්ණ ප්‍රති­කාර සඳහා යොදා ගන්නා හැටි වර්ණ විද්‍යා­වට ඇතු­ළත්.” යනු­වෙන් පැහැ­දිලි කළේ චිත්‍ර කලා ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය චාල්ස් දයා­නන්ද ය.

 

Comments