මිලානෝ නගරයට අපේ කෑම සුවඳ කැන්දන ලන්දු | Page 2 | සිළුමිණ

මිලානෝ නගරයට අපේ කෑම සුවඳ කැන්දන ලන්දු

කතා කරන්නේ සිංහලෙන්

 

ඉලක්කය ශ්‍රී ලාංකිකයෝ

ඉතාලියේ මිලානෝ Piazza Sant'Agostino දුම්රියපොළින් පිටතට පැමිණි අපගේ අරමුණ වූයේ ඓතිහාසික දූමො දේවස්ථානය දැක බලාගැනීමය. දුම්රිය ස්ථානයෙන් ටික දුරක් ඇවිද යන විට අසන්නට ලැබුණු වචන කීපයකින් අපි විස්මයට පත් වුණෙමු. එය සිංහල කටහඬකි. ‘රෝල්ස් කට්ලට්, පැටිස්, රෝල්ස් කට්ලට්‘ යැයි කීප වරක් කියන දුම්රිය පොළේ ඒ ගැහැනු කටහඬ පැමිණි දිසාව සොයන්නට විමු. හිස ඔසවා බැලූ අපට දක්නට ලැබුණේ කළු පාටට හුරු ගවුමක් ඇඳ සිටි කාන්තාවකි. ඈ අසල තරමක් විශාල බෑගයක්ද විය. එම කාන්තාව පසුකර අප ගමන් කරන විටත් ඇය ‘රසවත් පිරිසුදු කෑම රෝල්ස් කට්ලට්, පැටිස් යයි ‘කියන්නට වූවාය. මෙම දුම්රිය ස්ථානය හරහා ගමන් කරනා ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ක්ෂණික ආහාරපාන අලෙවි කිරීම මේ කාන්තාවගේ ජීවන වෘත්තීයේ කොටසකි. මඳකට නතර වී ඇය හා කතාකරන්නට අවැසි වුවද ඒ ඊට සුදුසු මොහොතක් යැයි නොසිතිණි. එනිසා අපි අපේ ගමන ඇරඹුවෙමු.

යුරෝපයේ වෙසෙන බොහෝ දෙනකුගේ වැදගත් කාලයක් වන්නේ වසන්ත නිවාඩුවයි. එම කාලය කාර්යබහුල ජීවිතයෙන් මිදී සිය පවුලේ උදවිය සමග ගත කිරීමට ලැබෙන මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ද අරමුණය.

ස්විට්සර්ලන්තයේ ජීවත්වන අපගේ දරුවන් සඳහා ලැබෙන වසන්ත නිවාඩුව දින 45කට ආසන්නය. ඉන් අඩු තරමින් ඉන් දින දාහතරක් හෝ තම දරුවන් සමඟ ගත කිරීමට බොහෝ මවුපියෝ කටයුතු කරති.

ස්විට්සර්ලන්ත දේශ සීමාවේ පිහිටි ඉතාලිය බොහෝ විට අපගේ නිවාඩු සන්ධිස්ථානයක් බවට පත්වේ. ඒ ශ්‍රී ලාංකික කෑම බීම අනුභව කිරීමට හා භාණ්ඩ මිලදී ගැනීමට ඕනෑ තරම් ඉතාලියේදී ඉඩ ප්‍රස්තා ලැබෙන බැවිනි. මෙම අගෝස්තු මස මුල් සතියේ දින පහක නිවාඩුවක් ගත කිරීම සඳහා අපි ඉතාලියේ මිලානෝ නුවරට පැමිණියෙමු. ඉන්පසු දින අපගේ අරමුණ වුයේ මිලානෝ දූමො දේවස්ථානය දැකබලා ගැනීම හා ශ්‍රී ලාංකික ආපන ශාලාවකින් දහවල් ආහාර ගැනීමය. ඉහත කී අත්දැකීමට අප ලැබූවේ මේ ගමන ආරම්භයේදීමය.

ඉතාලියේ (via Cesare da Sesto) හී ශ්‍රී ලාංකික ආපන ශාලා කිහිපයක්ම ඇති බව පවසමින් එම ස්ථානයට අපව රැගෙන ගියේ මිලානෝ හි වෙසෙන ලයනල් හා ඔහුගේ බිරිය ය. ඒ අනුව ‘නෙල්සන් පබ්, ආපන ශාලා වෙත අපි ගොඩ වැදුණෙමු. ඇතුළු වුණු වහාම අපට දක්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාරපාන සපයන ආපන ශාලාවක ස්වරූපයකි.

පුද්ගලයින් පනස් දෙනකුට පමණ වාඩිවී කෑම ගැනීමට පහසුකම් ඇති මෙම ආපන ශාලාව ඒ වන විටත් ශ්‍රී ලාංකික හා ඉතාලි ජනයාගෙන් පිරී ඉතිරී තිබිණි. කෑම සඳහා අපට මේසයක් නොතිබුණු අතර තවත් පිරිසක් කෑම ගෙන අවසන් වන තුරු බලා සිටීමට සිදු විය. ඒ අතර තුළ ‘ටේක් අවේ,හි (take away) කෑම මිලදී ගැනීමට පැමිණෙන්නන්ගේ ද අඩුවක් නොවිණි. ආපන ශාලාවට ඇතුළු වන විටමඇසුණේ හුරුපුරුදු ගී හඬකි. ඒ මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාගේ මියුරු හඬය. ‘එදා රෑ ගුවන් තොටුපළේ දී මා, ගීතය ඇසෙන්නට වූ අතර ශ්‍රී විශාල රූපවාහිනි තිරයක ශ්‍රී ලංකාවේ රූප රාමු රැසක් ප්‍රදර්ශනය කෙරෙමින් තිබිණි.

සිංහල භාෂාව නොතේරුණද මිල්ටන් මල්ලවආරච්චි ගේ ගීත කනට ශ්‍රවණය කරමින් මුව අයාගෙන බලා සිටින ඉතාලි ජාතිකයින් ද එහි වූහ. ආපන ශාලාවට ඇතුළුවන තැන දකුණු පසට වන්නට ශ්‍රී ලාංකික කෑම බීම විශාල ප්‍රමාණයක් දක්නට ලැබිණි. ඒ අතර බත් ,එළවළු වෑංජන, ඉඳිආප්ප, පාන්, රෝස් පාන්, රෝල්ස් ,කට්ලට්, පොල් රොටි, මාළු පාන්, සමෝසා, උලුඳු වඩ, ආදි කෑම රැසක් තිබිණි.

මෙම ආපන ශාලාවේ බාරකාරිය වන්නේ නෙල්කා අනූරානී දිසානායකයි. ඇය පවසන ආකාරයට අවන්හල විවෘත කර ඇත්තේ අදින් වසර පහකට පෙර ය. තම අවන්හලේ කෑම බීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉතාලි ජාතිකයින්ගේ ද වැඩි ඉල්ලුමක් පවතින බව ඇය කීවාය. සති අන්ත දිනයකදී නම් තුන්සියයකට අධික පිරිසක් කෑම බීම ගැනීමට පැමිණෙන බව ඇය පැවසුවේ දැඩි සතුටකිනි.

රසවත් කෑම වේලක් රස විඳීමෙන් පසුව අපි නෙල්සන් පබ් ඉදිරියේ පිහිටි Piazza Sant'Agostino මාර්ගය ඔස්සේ ඇවිද ගියෙමු. ඒ අතරතුර අපට මෙරට බැංකු, ඒජන්සි ආයතන, මෙන්ම සිල්ලර කඩ ද දක්නට ලැබිණි. බොහෝ ස්ථානවල ශ්‍රී ලාංකික ධජයන් ඔසවා තිබූ අතර ‘සිංහල තොග වෙළෙන්දෝ’ නමින් වෙළඳසලක්ද එහි විය. මෙම වෙළෙඳ සලෙන් ශ්‍රී ලාංකික කෝලිකුට්ටු රස බැලීමටද අපි අමතක නොකළෙමු. ඉන්පසු අපගේ අරමුණ වූයේ නැවත ලයනල්ගේ නිවස කරා ගමන් කිරීමය. ඒ අනුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයට ඇතුළුවූ අපට යළිත් වරක් “රෝල්ස්, කට්ලට්, පැටිස් ගන්නවාද?” යැයි අසන කාන්තා හඬ ඇසිණි. එවර නම් ඇය හා කතා කරන්නට මම විමසිලිමත් විමි. නමුදු ඇය අපට මුලින් හමුවූ කාන්තාව නොවීය. හොඳ කෑම වේලක රස විඳ පැමිණි අපට යළිත් ක්ෂණික ආහාර කෑමේ ආශාවක් නොවූවත් අපේකමට ඇයගෙන් යම් ආහාර ප්‍රමාණයක් මිලදී ගැනීමට සිතුණි. නමුදු අප සමඟ පැමිණි මිත්‍රයාගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ අදහස වූයේ මෙම කාන්තාවන්ගේ ප්‍රධාන ජීවනෝපාය මෙය නොවන බවය. ඔවුන් වෙනත් රැකියා කරන අතර අමතර ආදායමක් ලබා ගැනීම සඳහා metro දුම්රිය පොළවල් අසල ක්ෂණික ආහාර අලෙවි කරන බවය.

ඉතාලිය ප්‍රංසය ආදි යුරෝපා රටවල ජීවත් වේනන් පිළිබඳ හිතේ මැවෙන්නේ සොඳුරු සිතුවිලිය. ඔවුන්ගේ ජීවිත දෙව්ලොව මෙන් යැයි ඔබට සිතෙනු ඇත. එනමුදු යුරෝපා ජීවිත හිතන තරම් සූන්දර නොවන බවට මෙය කදිම නිදසුනකි....

ඡායාරූප - ශෂී සුබ්‍රමනියම්

Comments