දේශපාලන හයියෙන් බලපත් නැතිව මහ රෑ සැපට දුවන යාපනය - කොළඹ සැප බස් | Page 2 | සිළුමිණ

දේශපාලන හයියෙන් බලපත් නැතිව මහ රෑ සැපට දුවන යාපනය - කොළඹ සැප බස්

දිනපතා ඔරලෝසුවේ රාත්‍රී හත හමාර, අට කණිසම වැදෙන විට ලංකාවේ හතර දිග් භාගයේ නගර දෙකක් ඉතා කාර්ය බහුල වෙයි. ඒ යාපනය සහ කොළඹ වැල්ලවත්තයි. ඒ ජනාකීර්ණ නගර දෙක යා කරමින් රාත්‍රී කාලයට පමණක් ධාවනය වන නැව් වැනි විශාල බස් රථ එකසිය පනහක් පමණ ඇත. ඒවා සුඛෝපභෝගි සැප සම්පත් වලින් පිරිපුන් නිසා, මඟීන් ඒ බස් හදුන්වන්නේ අති සුඛෝපභෝගී බස් රථ කියාය. රාත්‍රී අටට, අටයි තිහට එවැනි බස් රථ ගණනාවක් කොළඹ වැල්ලවත්තෙන් යාපනය බලා පිටත් වෙද්දී, යාපනයෙන්ද තවත් බස් රථ ප්‍රමාණයක් සුපුරුදු පරිදි කොළඹ බලා පිටත් වෙයි. කුමන නමකින් හදුන්වනු ලැබූවද ඒ බස් රථ අයත් වන්නේ පෞද්ගලික හිමිකරුවන් පිරිසකටය.

අපේ රටේ පෞද්ගලික බස් රථ පාලනය කිරීමට හා නියාමනය කිරීමට පිහිටුවා ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියට හෝ වෙනත් කිසියම් ආයතනයකට මේ බස් රථවල පාලනය යටත් වී නැත. අඩුම තරමින් රාත්‍රී කාලයට ධාවනය වන වෙනත් බස් රථ අධීක්ෂණය කරමින් නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටවත් මේ බස් රථ රියැදුරන් මෙන්ම හිමිකරුවෝ අවනත නොවෙති. ර‍ටේ නීතිය හෝ මහමඟ නීතිය තුට්ටුවකට මායිම් නොකරන මේ බස් රථ සේවයේ සැබෑ වගතුග ජනතාවට පවසන්නේ තමාගේ ආරක්ෂාවේ වගකීම තමා සතුව පවතින නිසාය.

මුලින්ම අප විමසීම් කළේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකුගෙනි. ඔහු මුලින්ම අපට පැවසුවේ ඒ බස් රථ ධාවනය වන අන්දම ගැනය.

''මේ රටේ ඕනෑම බස් රථයක් ධාවනය කරවීම සඳහා මාර්ග බලපත්‍රක් අවශ්‍ය වෙනවා. කොළඹ යාපනය අතර ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථවලටත් ඒ නීතිය වලංගුයි. නමුත් මේ ධාවනය වන බස් රථ දෙසීයකට ආසන්න ප්‍රමාණයෙන් තිහකට හැර අනෙක් බස් එකකටවත් මාර්ග බලපත්‍රයක් නැහැ. ඒ සේරම බස් දුවන්නේ හොරටයි.

ඒ බස් රථ පරීක්ෂා කරන්න අපි නිලධාරීන් යොදවනවා. ඔවුන් එතකොට පාරවල් වෙනස් කරලා ධාවනය කරවනවා. පසුගිය දවස්වල උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් ඒ වගේ බස් රථ තිහකට වඩා ඇල්ලුවා. දැන් දේශපාලනඥයන්ගෙන් ආණ්ඩුකාරවරයට බලපෑම් එන්න පටන්ගෙන තියනවා. ඒ බස් රථ ධාවනය වෙන්නේ නීතිරීවලින් පිටස්තරවයි. යාපනය කොළඹ අතර ධාවනය වන මේ බස් එකක ටිකට් එක රුපියල් 1400ක් විතර වෙනවා. මේ බස් රථවල ආසන කල් තබා වෙන් කරන්න පහසුකම් තිබෙනවා. ආසන අන්තර්ජාලය ඔස්සේත් ආසන වෙන් කරන්න පුළුවන්. ඒ නිසා අප යටතේ පාලනය වන බස් සංගම්වලට ඒ බස්වලින් කීයක්වත් ලැබෙන්නේ නෑ. කොටින්ම ලංකාවේ කිසිම බස් නැවතුම් පළක් ඒ අය භාවිතා කරන්නේ නැහැ.

කටුනායක ගුවන් තොටුපළට යන අයත්, පිටරටින් ඇවිත් යාපනයට යන්න ඉන්න අයත් මේ අය ගිහින් එකතු කරගෙන එනවා. ඒතකොට ගාස්තුව රුපියල් 2000ක් වෙනවා. මේ විදිහට මාර්ග වෙනස් කරන්න නීතියෙන් බැහැ. ඒකට හේතුව තමයි මාර්ග බලපත්‍රයේ දී ඇති ගමන් මඟ වෙනස් කරන්න බස් රථවලට බලයක් නැති නිසා. මේ බස් රථ හිතුවක්කාර විදිහට දුවන්නේ බස් රථ වල අයිතිකාරයන්ගෙන් වැඩි පිරිසක් උතුරේ දෙමළ දේශපාලනඥයන් වීමයි. ඒ බස් රථ ඔවුන්ගේ නම් වලට නැහැ. ඒක නිසා මේ බස් එක අහවල් දේශපාලනඥයාගේ අරක අනෙක් කෙනාගේ කියලා නම් කරන්න බැහැ. එහෙම හොරෙන් බස් රථ දුවන්න පුළුවන් වෙන්නේ පොලීසියවත් මේ බස් රථ නවත්තන්නේ නැති නිසා. මේ පිටුපස ලොකු රහසක් තියෙන බව ඕන කෙනෙකුට තේරෙනවා. ඒ රහස තමයි දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආශිර්වාදය ලබන ව්‍යාපාරිකයන් මේ බස් රථවල අයිතිකරුවන් වීම''. පෞද්ගලික බස් රථ මෙහෙයවන හා නියාමනය කරන නිලධාරීහු මේ ක්‍රියාකලාපය නිසා දැඩි සේ අසරණ වී සිටිති.

මේ බස් මාෆියාව පිළිබඳ යාපනයේ විවිධ අය හා අපි දොඩමලු වීමු. එහිදි මේ බස් රථ අයත් දෙමළ දේශපාලනඥයන්ගේ නම් වට්ටෝරුවක්ද අපිට ආරංචි විය. නමුත් ඒ බස් රථ ලියාපදිංචි කොට ඇත්තේ ඔවුන්ගේ සත්‍ය නම්වලින් නොවේ. යාපනයේ හෝ කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නමට බස් රථ ලියාපදිංචි කොට ඔවුහු ඇඟ බේරාගෙන සිටිති. එවැනි බස් රථ බදු ක්‍රමයක් යටතේ ලබාගෙන දේශපාලන හයිය මත ඒ බස් රථ ධාවනය කරවන ව්‍යාපාරයක් ගැනද අසන්නට ලැබේ. යාපනය හා කොළඹ අතර දිනකට දුම්රිය අටක් ධාවනය වීම මේ බස් රථ ජාවාරමට විශාල පහරක් වැදී තිබේ.

1977 වසරේදී යාපනය හා කොළඹ අතර බස් සේවාව ආරම්භ විය. එකල යොදා ගන්නා ලද්දේ මෙතරම් අති සුඛෝපභෝගී බස් රථ නොව අර්ධ සුඛෝපභෝගී බස් රථය. වෙනසකට වූයේ එම බස් රථ වවුනියාවෙන් දකුණු ප්‍රදේශයේදී කිසිදු මඟියෙකු නංවා නොගැනීමත් ඒ ප්‍රදේශවල නතර නොකිරීමත් පමණි.

එදා ඒ බස් දිවා රාත්‍රී දෙකේම ධාවනය විය. 1983 වසර වන විට එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් බලවත් වීමත් සමඟම මේ බස් රථ පාලනය ඔවුන්ගේ යටතට ගනු ලැබීය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල්වලින්ද බස් රථ යොදා ධාවනයට එක් කළ අතර අනෙක් බස් රථවලින් කොටි සංවිධානය කොමිස් මුදලක් ලබා ගත්තේය.

මේ බස් ධාවනයට දුම්රිය සේවය විශාල බාධකයක් වූ බැවින් කොටි ත්‍රස්තවාදීහු උතුරු දුම්රිය මාර්ගය පුපුරුවා විනාශ කළහ.

යුද්ධය තදින් ඇවිළුණු කාලයේද දෙපැත්තේ අවසරය මත මේ බස් රථ ධාවනය විය. නැව් මෙන් විශාල අති සුඛෝපභෝගී බස් රථ මේ සේවාවට එක් වූ පසුව ගමන් වාර රාත්‍රී කාලයට පමණක් සීමා විය. ඊට හේතුව වන්නේ යාපනයේ හෝ කොළඹ සිටින වැසියන්ට උදෑසනම ඒ නගරවලට යෑමට ඇති අවශ්‍යතාවයි. ඒ අවශ්‍යතාව වැඩි වන්නේ විදේශ රටවලට වැඩි වශයෙන් හා ලාබදායී ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ අලුයම් කාලයේ බැවිනි. ඒ බස් රථ ගුවන් තොටුපළ දක්වාම ගමන් කිරීම නිසා රාත්‍රී කාලයට බස් රථ ධාවනයේ යෙදවීම ඔවුන්ට වඩාත් වාසිදායක වී තිබේ.

ඒ වාසියෙන් අසාධාරණයකට ලක් වූ පිරිසක්ද සිටිති. ඒ සාමාන්‍ය බස් රථ උපයෝගී කරගෙන යාපනය හා කොළඹ අතර බස් රථ ධාවනය කරවන පිරිසයි. උතුරේ එම බස් අයිතිකරුවන්ගේ සංගමයක් ඇති අතර එහි නිලධාරියෙකු කියා සිටියේ ඔවුන් මාර්ග බලපත්‍රය ලබාගැනීමට ඉතා විශාල මුදලක් වැය කොට තිබියදී කිසිදු මුදලක් නොගෙවා ධාවනය වන මේ බස් රථ නිසා තමන්ගේ බස් රථ වලට විශාල පාඩුවක් සිදු වන බවයි.

''යාපනය කොළඹ බස් සේවයට මාර්ග බලපත්‍රයක් ගන්න මේ දවස්වල ටෙන්ඩර් එක යන්නේ ලක්ෂ අනූවක් විතර මුදලකුයි. කාලයකට ඉස්සර වෙලා එහෙම බලපත්‍ර ගත්ත අය ඒවා විකුණන්නේ රුපියල් කෝටියකට එහා මුදලකටයි. කොහොම වුණත් යාපනය කොළඹ බස් එකක් දුවන කෙනෙක් මේ බලපත්‍ර ගන්න ලක්ෂ පනහකට වඩා වියදම් කරනවා. ඉතින් අපේ අය එහෙම ලොකු ගානක් වියදම් කරලා බස් එක දාලා දුවන්නෙත් මේ අය දුවන පාරේමයි. එයාලා සතයක්වත් ආණ්ඩුවට නොදී ලක්ෂ ගණනක් නිකන්ම හම්බ කර ගන්නවා. අපි ඒ බලපත්‍රය අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනේ වෙනවා. ඊට අමතරව එන ගාස්තු කෙළවරක් නැහැ. ඒ සේරම ආණ්ඩුවටයි. ඒ අතරේ අපේ බස් සංගම් තියනවා. ඒවට සාමාජික මුදල් ගෙවන්න අවශ්‍ය වෙනවා. පාර දිගට ඉන්න අපේ රනර් මහත්වරුන්ට කීයක් හරි දෙන්න ඕනේ. බස් එක ලෝඩ් කරන අයටත් සල්ලි දෙන්න ඕනේ. මඟට දෙන්න ඕනේ එව්වා කෙළවරක් නැහැ.

අපේ රියැදුරු මහත්තයට කොන්දොස්තර මහත්තයට ඒ රස්සාව කරන්න ලියාපදිංචි බලපත්‍රයක් තියෙන්න ඕනේමයි කියලා කියනවා. යුනිෆෝම් එක නැත් නම් ඒවාට දඩ ගහනවා. ටිකට් දුන්නේ නැත්නම් දඩ ගෙවන්නයි වෙනවා. ඒත් අර මිනිස්සුන්ගේ බස් වලට ඒ කිසිම නීතියක් නෑනේ. එනවා පටවා ගන්නවා යනවා බස්සනවා. සල්ලි ගන්නවා. අපි හැම කෙනාම නීත්‍යනුකූලව සල්ලි ගෙවලා බස් දුවන්නේ. ඒ අය පටවගෙන යන්නේ අපේ බස්වල යන්න ඕනේ මඟීන්ගෙන් කොටසකුයි. ඒත් අපි ආණ්ඩුවටයි හැම තැනටමයි ගෙවනවා. එයාල නිකන්ම මේ වැඩේ කරගෙන යනවා.

පොලීසියට ඕනෑ වුණාමත් ගන්නේ අපේ බස් විතරයි. ආණ්ඩුවේ වැඩවලටත් ආව ගමන් බස් එක අරන් යනවා. ඒවට සල්ලි නැහැ. එදාට අපේ රියදුරන්ට කොන්දොස්තරලට පඩි සල්ලි දෙන්න වෙන්නේ අතේ සල්ලිවලින්.

අපේ බස් එකක විනාඩි දහයක් පහු වුණොත් කාඩ් එක ගහන කෙනාගේ බැණිල්ලේ ඉවරයක් නැහැ. ඊට පස්සේ යන්න ඉන්න බස් එකේ කෙනා කුණුහරප වපුරනවා. ''

මගියෙකුගේ පැත්තෙන් බලන විට ඉතා සැප පහසුවට ගමන යෑමට මේ සුඛෝපභෝගි බස් රථ මනා පිටිවහලක් විය හැකිය. ඒත් ආදායම භුක්ති විඳින්නේ බස් රථයේ අයිතිකරුවාම පමණකි. ඔහුට සිදු වන්නේ දෙදෙනෙකුට වැටුප් ගෙවීමත් ඉන්ධන පිරවීමත් බස් රථය නඩත්තු කිරීමත් පමණකි. රජයට හෝ බස් රථ පාලනය කරන ආයතනවලට කිසිම ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නැත. මේ බස් මාෆියාව පිළිබඳ මීට ඉහතදී අවස්ථා කීපයක්ම කතා බහ කළද ඒ මාෆියාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා හදිසියේම මේ බස් රථ වලට අත තබන්නට ගියේ වෙනත් අරමුණක් නිසාය.

උතුරු පළාතේ මාර්ගවල සිදු වන රිය අනතුරු සංඛ්‍යාව දෙස බලන විට වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදු වන්නේ ඒ-9 මාර්ගය පාදක කරගෙනය. ආණ්ඩුකාරවරයා එම අනතුරු අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නද, එය ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරදී ඒ-9 මාර්ගයේදී අනතුරු තවත් වැඩි විය. ඒ ගැන තතු සොයා බලන විට ආණ්ඩුකාරවරයාට පෙනී ගියේ මේ අති සුඛෝපභෝගී බස් රථවලින් බොහොමයකට බලපත්‍ර නැති බවයි. අනතුරු නිවාරණය පිළිබඳ වූ කාර්ය සාධක බළකායත් ප්‍රවාහන අධිකාරියේ නිලධාරීනුත් යොදවා ඔහු කළ හදිසි වැටලීමකදී පරීක්ෂා කළ බස් රථ පනස් හතරෙන් තිස් දෙකක්ම කුමන හෝ නීතියක් උල්ලංඝනය කළ බස් රථ බවට කරුණු අනාවරණය විය.

වරක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියාවේදී කියා සිටියේ බලපත් නැති හා විවිධ අඩුපාඩුකම් ඇති නීති විරෝධී බස් රථවල ගමන් කරන මඟීන්ට යම් කරදරයක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් වන්දියක් ලබාගැනීම ඉතා දුෂ්කර බවයි.

''බලපත්‍ර නැතිව ධාවනය වන බස් රථ නිසා විශාල හානියක් සිදු වන්නේ ඒවායෙහි ගමන් කරන මඟී ජනතාවටයි. එවැනි බස් රථයක් අනතුරකට පත් වුවහොත් මඟීන්ට කිසිම වන්දියක් ලැබෙන්නේ නැහැ. තමන් ගමන් කරන බස් රථයේ බලපත්‍ර තියනවාද කියලා මඟීන් සොයා බලන්නේ නැහැ. එහෙම විමසීමක් කළත් ඔවුන්ට ඊට හොඳ පිළිතුරක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා අප බස් රථ පරීක්ෂා කරලා කිසිම අඩුවක් නැති නීත්‍යනුකුලව ධාවනය කෙරෙන බස් රථවලට විශේෂ ස්ටිකරයක් ඇලවීමට කටයුතු යෙදීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ජනතාව දැනගන්නවා ස්ටිකරයක් නැති බස් එක්ක ගියොත් කරදර වැඩියි කියලා. මඟීන් ඒ බස්වල නොයන්න පටන් ගන්නකොට ඒ අයට නිකම්ම තමන්ගේ බස් රථ සඳහා නීත්‍යනුකූල භාවයක් ලබාගන්න සිදු වෙනවා.“ ' එසේ පවසන්නේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ය.

උතුරේ දෙමළ දේශපාලනඥයන්ගේ බස් රථ හා ඔවුන්ගේ හෙංචයියන්ගේ බස් රථ මඟින්ට ඔච්ච්ම් කරමින් දුවන්නට පෙර රටේ නිතිය ක්‍රියාත්මක විමට කාලය පැමිණ ඇත.

Comments