දරුවන්ට වස කැවීම නවත්වන්න ගෙනා රටට ගැළපෙන පෝෂණ ආහාර වේල | සිළුමිණ

දරුවන්ට වස කැවීම නවත්වන්න ගෙනා රටට ගැළපෙන පෝෂණ ආහාර වේල

අතීතයේදී රටේ ජනතාව මරණයට පත් වූයේ බෝ වන රෝග හෙවත් වසංගතවලට ගොදුරු වීමෙනි. එහෙත් පසුකාලීනව වසංගත පාලනය කරමින් සෞඛ්‍ය කටයුතු පුළුල් වන විට බෝ නොවන රෝග විසින් ජනතාව බිලි ගන්නා තැනට පත් විය. එනම් අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ දියවැඩියාව යන රෝග හේතුවෙන් මිය යන පිරිස ඉහළ ගියේය. අද වන විට මෙහි අලුත් ම ප්‍රවණතාව වන්නේ පාසල් ළමුන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමයි. රටේ අනාගතය භාර ගැනීමට සිටින ළමා පරපුර අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් යන රෝගවලට ගොදුරු වීම කිසි සේත් සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය ර‍ෙට් ඵලදායිතාවට සහ ශ්‍රම බලකායට ඍජුවම බලපානු ඇත. පාසල් ළමුන්ගේ සෞඛ්‍ය නඟා සිටුවීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය ඍජුව මැදිහත් වන්නේ එබැවිනි.

“පුද්ගලයකුගේ ජීවන චක්‍රය ගත්තාම ගර්භණී අවධියේ පවතින කලල අවස්ථාවේ සිට මරණය දක්වා ම අවධි ගණනාවකට බෙදෙනවා. කලල අවධිය, බිලිඳු අවධිය, ළදරු අවධිය, ළමා අවධිය, නව යොවුන් අවධිය, ගර්භණි අවධිය, තරුණ අවධිය, වැඩිහිටි අවධිය සහ මහලු අවධිය වශයෙන්. මේ සෑම අවධියකම පෝෂණ තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලනවා. ගර්භණි අවධිය, බිලිඳු අවධිය ගැන සොයා බැලීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය ස්ථාපිත කර තිබෙනවා. බෝ නොවන රෝග ඒකකය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වගේ සෑම අංශයකින් ම රටේ ජනතාවගේ පෝෂණ කටයුතු ගැන වෙහෙසෙනවා. පාසල් අවධියේ ළමුන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නේ පෝෂණ අංශයෙන්. අද වන විට අම්මලා තාත්තලා ජීවත් වෙලා සිටිද්දී දියවැඩියාවෙන් , අධි රුධිර පීඩනයෙන් පාසල් වයසේ ළමුන් මරණයට පත්වන අවස්ථා වර්ධනය වී තිබෙනවා. එය බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසයි පාසල් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරා ගැනී‍ෙම් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කළේ.” යනුවෙන් පැවසුවේ පෝෂණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජේතිලක ය.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය සකස් කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජනාවකට අනුවය. රටට ගැළපෙන ආහාර මාලාවක් සකස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු ආසියානු කලාපයට උපදෙස් දෙනු ලැබුවේ මෙම රටවල් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ තර්ජනය දිනෙන් දින ඉහළ යන නිසාය. ඒ අනුව දකුණු ආසියානු කලාපයෙන් ප්‍රථම වරට ආහාර පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහයක් පිළියෙල කිරීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාවට ය. මෙම මාර්ගෝපදේශන සංග්‍රහය තුළින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරා ගැනීම පිළිබඳ නිසි දැනුම සහ ඒ සම්බන්ධයෙන් පවතින ආකල්පමය ගැටලු ගැන නිවැරැදි අවබෝධයක් ලබා දෙනු ඇත. මෙම මාර්ගෝපදේශන සංග්‍රහයේ මූලික සැකැස්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දුන් අතර රටකින් රටකට වෙනස් වන ආහාර අනුව රටට ගැළපෙන ආහාර මාලවක් සකස් කර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සකස් කරනු ලැබූවකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පාසල් දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දී නිරෝගි පරපුරක් රටට දායාද කිරීමයි. එනම් පැකට් කළ ආහාර දරුවන්ට සුදුසු ද නුසුදුසු ද යන්න ප්‍රදර්ශනය කර දරුවන් රැක ගැනීමයි.

“මිනිසාගේ ජීවන චක්‍රයේ ගර්භණි සමය සහ ළමා අවධිය සුවිශේෂි අවධි දෙකක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. ගැබිනි මව්වරුන්ගේ පෝෂණය ගැන වගේ ම බිලිඳු දරුවන්ට කවන පොවන ආකාරය ගැන පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් දැනුම්වත් කරනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ ඒකකයේ අවධානය ළමයින්ට යොමු කරනවා. පාසල් දරුවන්ගේ පෝෂණය ගැන වැඩ කරන විට අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එකතු වෙනවා. මීට අවුරුදු 5කට පෙර පාසල් ආපනශාලාවල අලෙවි කළ යුතු ආහාර සහ ‍අලෙවි නොකළ යුතු ආහාර ගැන චක්‍රලේඛයක් ඉදිරිපත් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ හා අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා. එය අද වන විට සාර්ථක වී තිබෙනවා. සමහර පාසල්වල ගුරුවරුන් ඉසුරුපායේ පෝෂණ අංශයට කතා කරලා අසවල් කෑම ආපනශාලාවේ අලෙවි කරන්න පුළුවන්ද කියලා අහනවා. පාසල් ආපනශාලාවේ නිසි බලධාරියා වෙන්නේ පාසලේ විදුහල්පති. යම් ප්‍රමාණයකට පාසල් ආපනශාලා අධීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවා තිබෙනවා. ඒත් මේ දරුවන්ගේ මව්පියන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔවුන් ඒ ගැන ඒ තරම් දැනුම්වත් නැහැ. ඒ නිසයි අපි මෙම මාර්ගෝපදේශන සංග්‍රහය තුළින් වැඩිහිටියන්ට නිසි දැනුම ලබා දෙන්න හිතුවේ. අපි කොච්චර කිව්වත් පේස්ට්‍රි, රෝල්ස් දරුවන්ට දෙන්න එපා කියලා මව්පියන් අරං දෙනවා නම් වැරැද්ද කාගෙද? අද දරුවන් ඉලක්ක කරගෙන නානාප්‍රකාර ආහාරපාන ගැන වෙළෙඳ ප්‍රචාරයන් සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන් ඉලක්ක කර ගත් වෙළෙඳ දැන්වීම්වලදි ඒ ආහාරපානවල අඩංගු සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක අඩංගු ප්‍රමාණයන් ඇතුළත් කළ, දරුවන්ට සුදුසු ආහාරපානවලට පමණක් දරුවන් යොදා ගැනීමටත් දරුවනට විකිණීමටත් මෙම මාර්ගෝපදේශන සංග්‍රහය උපදෙස් දෙනවා.” යනුවෙන් පෝෂණ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජේතිලක විස්තර කළේය.

සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක අඩංගු ප්‍රමාණය පැකට් කළ ආහාර සඳහා ඇතුළත් කළ හැකිය. එහෙත් වෙන් වෙන් වශයෙන් අලෙවි වන කට්ලට්, පැටිස්, රෝල්ස් වැනි ආහාර සඳහා එවැනි සංයුතියක් ප්‍රදර්ශනය කළ නොහැක්කේ ඒවායේ ඇසුරුම් නොමැති නිසාය. එහෙත් පැකට් කළ ආහාර වර්ගවල අඩංගු සීනි, ලුණු, කෘත්‍රිම රසකාරක සහ පෝෂණ දත්ත ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඉතා වැදගත් වනු ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ පෝෂණ ඒකකයෙන් සිදු කළ මෙම කාර්යය තවමත් නීතිගත කර නොමැත. නුදුරු දිනක දී මෙම මාර්ගෝපදේශන සංග්‍රහය නීති රාමුවට ඇතුළු කළ හැකි වුවහොත් පෝෂණ දත්ත ප්‍රදර්ශනය නොවන ආහාර සඳහා නඩු පැවරීමට පවා හැකියාව ලැබේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජේතිලක සඳහන් කරන්නේ එය රටේ ආර්ථිකයට අහිතකර අන්දමින් බලනොපාන ආකාරයට සිදු කළ යුතු බව ය. මන්ද යම් හෙයකින් ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත අඩාල වී වැසී ගියහොත් එය රටේ ආර්ථිකයට අයහපත් අන්දමින් බලපාන නිසා ය. එපමණක් නොවේ. කර්මාන්ත වැසී යෑමෙන් ඒවායේ සේවය කරන පුද්ගලයන්ගේ රැකියා අහිමි වේ. ඔවුන්ගේ දරු පවුල් අසරණ වේ. එය රටකට හිතකර නැත. ළමයින්ගේ පෝෂණය ගැන කටයුතු කිරීමේදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පියවර තැබීමට සිදු වන්නේ එබැවිනි.

“අද ගොඩාක් දෙමව්පියන්ගෙන් ලැබෙන පැමිණිල්ලක් තමයි දරුවන් මැල්ලුම්, එළළුළු ජාති කන්නෙ නැහැ කියලා. ෆ්‍රයිඩ් රයිස් විතරයි කන්නේ කියනවා. දරුවන්ට මැල්ලුම්, එළවළු, මස් හෝ මාළු වර්ග බත් එක්ක අනලා කවලා කෑමට හුරු කළ යුතු වයසක් තිබෙනවා. ඒ අවුරුද්දේ සිට අවුරුදු 5 දක්වා. ඒ වයස් කාණ්ඩයේ දී දිවට සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක වර්ග හුරු වුණොත් දරුවන් දිගටම ඉල්ලන්නේ ඒ කෑම ජාති. එළවළු පලා ජාති කන්න ළමයින්ට හුරු නැහැ. ඒ නිසා කුඩා අවධියේ පටන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් දෙමව්පියන් විසින් දරුවන්ට හුරු කළ යුතු වෙනවා. ඒ නිසාම පාසල් දරුවන් ගැන වගේම පෙර පාසල් දරුවන්ගේ ආහාර රටාව ගැනත් අපි වි‍ශේෂ අවධානය යොමු කර තිබෙනවා. මේ වන විට පෙර පාසල් ගුරුවරියන් දැනුම්වත් කරලා දරුවන්ගේ විවේක කාලයේදි ගෙදරින් ගෙනෙන කෑම බීම ගැන විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙනවා.” යනුවෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජේතිලක සඳහන් කළේය.

ඔහු පවසන ආකාරයට සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක ආහාර සඳහා දරුවන් ඇබ්බැහි වූ පසුව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කිරීම පහසු නැත. එවැනි ආහාර රටාවකට දරුවන් පුරුදු කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි.

අප කුඩාවියේදී නම්” හබුං කටයි බත් දෙකටයි” කියා බත් කැවීමට නිවෙස් තුළ අම්මා හෝ ආච්චි සිටියේ ය. එහෙත් වර්තමානයේ පවතින තරගකාරි සමාජ ක්‍රමය හමුවේ දරුවන්ට බත් කැවීමට සිටින්නේ නිව‍සේ මෙහෙකාරිය හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සේවය කරන කාන්තාවන් ය. ඔවුන්ට හබුං කටයි බත් දෙකටයි කියන්නට කෙනෙකු නැත. එබැවින් අද දවසේ පෙර පාසල් වියේ දරුවන්ට කෑම ටික උගුරෙන් පහළට තල්ලු වන්නේ රූපවාහිනි යන්ත්‍රයට පින් සිදු වන්නටය. සෞඛ්‍ය බලධාරින් දරුවන්ගේ පෝෂණය ගැන අවධානය යොමු කරන විට ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.

Comments