ජල භීතිකාව හැදුණොත් මරණය නිසැකයි | සිළුමිණ

ජල භීතිකාව හැදුණොත් මරණය නිසැකයි

වර්තමානයේ ඩෙංගු, පිළිකා සහ ඒඩ්ස් ගැන බොහෝ දෙනකු විසින් අවධානය යොමු කරනු ලබන්නේ එකී රෝග මාරාන්තික රෝග වන නිසාය. එනම් එම රෝග සුව කළ හැකි ඖෂධ මෙතෙක් ලොව සොයාගෙන නැති නිසාය. එහෙත් රෝගයට ගොදුරු වූ පසුව නියතයෙන්ම මරණය අත් වන ජලභීතිකා රෝගය ගැන වැඩිදෙනකු එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට දක්වන උනන්දුව, සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබා දීමට නොදක්වන්නේ එම නොසැලකිල්ල නිසාය.

සමා‍ජයේ බො‍හෝ දෙනකු සැලකිලිමත් නොවුවත් ජලභීතිකා රෝගය සුළු කොට තැකිය හැකි රෝගයක් නොවේ. එය මාරාන්තික රෝගයකි. ජලභීතිකාව වැල‍ඳෙන්නේ ක්ෂීරපායි සතුන් සපාකෑමෙන්, සීරිමෙන්, තුවාලයක් ලෙවකෑමෙන් හෝ එම සතුන්ගේ කෙළ ශරීරගත වීමෙනි. ඊට හේතුව, ජලභීතිකා වෛරසය ක්ෂිරපායි සතුන්ගේ කෙළවල තිබීමයි.

ජලභීතිකාවට ගොදුරු වීමෙන් වසරකට ලෝක ජනගහනයෙන් 60,000 ක් දෙනා මිය යති. ලංකාවේ වසරකට මිය යන සංඛ්‍යාව 20-25 ක් අතරය. මිනිසුන්ට වැඩි වශයෙන් ජලභීතිකාව වැල‍ඳෙන්නේ සුනඛයන්ගෙනි. සංඛ්‍යාත්මකව දක්වන්නේ නම් එය 99% කි. එහෙත් පූසන්, වඳුරන්, මීයන් වැනි සතුන් සපා කෑමෙන් ද ජලභීතිකාව වැලඳුණු අය ඉඳහිට හෝ වාර්තා වේ. සුනඛයන් මෙන් ම නිවසේ සුරතලයට ඇති කරන පූසන්ට ද ජලභීතිකා එන්නත් ලබා දිය යුත්තේ එබැවිනි.

“ජලභීතිකාව වැඩිපුර හැදෙන්නේ බල්ලන්ගෙන්. බල්ලන්ගෙන් තමයි පූසන්, වඳුරන් වැනි ක්ෂීරපායි සතුන්ට බෝවෙන්නේ. ඒ නිසා බල්ලෙකු සපා කෑවා වගේම පූසෙක්, මීයෙක් සපා කෑවාමත් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. සතකු සපා කෑවාම තුවාලය හොඳින් සබන් ගාලා ජලයෙන් සෝදන්න ඕනෑ. ඊට පසුව හැකි ඉක්මනින් රජයේ රෝහලකට යන්න ඕනෑ. තුවාලය සබන් ගාලා හෝදලා බේත් දාගෙන ගෙදරට වෙලා ඉන්න එපා. මොකද ජලභීතිකා වෛරසය ශරීරගත වී තිබෙන්න පුළුවන් නිසා. ඒ නිසයි පුළුවන් තරම් ඉක්මනට රජයේ රෝහලකට යන්න කියලා දැනුම් දෙන්නේ. සමහර පෞද්ගලික රෝහල්වලින් සතෙක් සපා කාලා ගියාම පිටගැස්මට විතරක් එන්නත් කරනවා. ජලභීතිකා වෛරසයට එන්නත් දෙන්නේ නැහැ. ඇත්තටම මිනිසුන්ට දෙන ජලභීතිකා එන්නත් මිල අධිකයි. ඒත් රජයේ රෝහල්වල මෙම එන්නත් ප්‍රතිකාර කරන්නේ නොමිලේ. සතා සපා කාලා තුවාලයෙන් ලේ වහනය වී‍මක් වුණා නම් පමණක් පැය 2ක් රෝහල්ගත කරනවා. තුවාලයට බේත් විදිනවා. නැතිනම් ජලභීතිකා එන්නත් ලබා ගෙන ගෙදර එන්න පුළුවන්.

සමහරු හිතනවා නාභිය වටේට දින 21ක් එන්නත් විදිනවා කියලා. දැන් එහෙම කරන්නේ නැහැ. අත් සහ කකුල්වලට විතරයි බෙහෙත් විදින්නේ.” යනුවෙන් පැවසුවේ කොළඹ ජාතික රෝහලේ ජලභීතිකා ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි අමිල දර්ශන ගුණසේකරය.

ජලභීතිකාවට ප්‍රතිකාර කිරීමේදී දින 21 ක් යා යුතු නැති වුවත් සිවු (4) වතාවක් පමණක් රෝහලට යා යුතුය. එය රෝහලෙන් ලබා දෙන නියමිත දිනයට ම අනිවාර්යෙන් සිද්ධ විය යුතු බව අවධාරණය කරන්නේ දිනයක් දෙකක් ප්‍රමාද වීම, ශරීරගත වී තිබෙන ජලභීතිකා වෛරසය යළි මතු වීමට හේතු වන බැවිනි. එය රෝගියාට මරණය අත්කර‍ දෙන බියකරු ප්‍රමාදයක් වන බැවිනි. ජලභීතිකා ප්‍රතිකාරය සම්පූර්ණ වන්නේ සිවු වතාවක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුවය. ජලභීතිකා වෛරසය විනාශ කිරීමට නම් මෙම ප්‍රතිකාරය සම්පූර්ණ වශයෙන් ලබා ගත යුතුය. නැතහොත් නොනැසී ශරීරගතව සිටින ජලභීතිකා වෛරසය මාස ගණනකින් හිස එසවිය හැකිය. එවිට සිදු වන්නේ ජලභීතිකා රෝගයට ගොදුරු වී මරණයට පත් වීමයි. රෝගය වැලඳුණු පසුව සුව කිරීමට ප්‍රතිකාර නැත. ඇතැම් විට ජලභීතිකා රෝගය මතු වන්නේ වසර ගණනාවක් කල්ගත වූ පසුවය. සුනඛයකු සපා කෑමෙන් අවුරුදු ගණනක් ඉක්ම ගිය පසු ජලභීතිකා රෝගය මතු වූ රෝගීන් ද ඉඳහිට වාර්තා වී තිබේ.

“ජලභීතිකාව වැලඳුණු පුංචි හාමුදුරුවරුන් මිය යන අවස්ථාත් අපට වාර්තා වෙනවා. ගිය අවුරුද්දෙත් හාමුදුරු නමක් අපවත් වුණා. මේ අවුරුද්දෙත් අපවත් වුණා. සුනඛ සපා කෑම්වලට ලක් වන හාමුදුරුවරුන් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. ඒකට හේතුව පන්සල්වලට බලුපැටවුන් ගෙනත් දැමීම. පොඩි හාමුදුරුවරුන් බලු පැටවුන් සුරතල් කරනවා. සෙල්ලම් කරනවා. ඒ නිසයි මේ විදිහේ අවාසනාවන්ත සිදුවීම්වලට ගොදුරු වෙන්නේ. සතුන් මහ මඟ, පන්සල්වලට ගෙනත් දැමීමෙන් අයාලේ යන බල්ලන් පූසන් වැඩි වෙනවා. අයාලේ යන සතුන් නිසා මානව ජලභීතිකාව පාලනය කරන්න අමාරුයි. රජයෙනුත් වෙනත් සංවිධානවලිනුත් අයාලේ යන සුනඛයන්ට එන්නත් ලබා දීමත්, වඳ සැත්කම් කිරීමත් සිදු කරන්නේ සුනඛ ගහනය පාලනය කරලා මානව ජලභීතිකා රෝගය මර්දනය කිරීමටයි.” යනුවෙන් කොළඹ ජාතික රෝහලේ ජලභීතිකා ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි අමිල දර්ශන ගුණසේකර විස්තර කළේය.

මේ අනුව මහමඟ අසරණ වී සිටින සුනඛයන්ට සහ පූසන්ට සත්ව කරුණාව දැක්වීම නපුරක් විය හැකිය. එබැවින් අසරණ සතුන්ට උවටැන් කළ යුත්තේ තමාගේ පරිස්සමට මුල් තැන දෙමිනි එවැනි සතුන්ගේ කෙළ කිසිම විටෙක තමුන්ගේ සිරුරේ තැවරීමට ඉඩ දිය යුතු නැත. වරක් කාන්තාවක් සිය බලු පැටවා සුරතල් කරන විට ඌ කාන්තාවගේ දෙතොල් ලෙව කෑම නිසා ජලභීතිකා වෛරසය ඇයට ශරීරගත වු පුවතක් අපට අසන්නට ලැබුණේ රෝහල් හෙදියකගෙනි. හෙදිය සඳහන් කළ ආකාරයට වෛරසය ශරීරගත වී තිබෙන්නේ කාන්තාවගේ දෙතොල් පැළී තිබීමෙන් ඒ හරහා ගමන් කිරීමෙනි. තුවාලයක්, සීරීමක් වැනි ස්ථානයක් සතුන් ලෙව කෑම ජලභීතිකා වෛරසය ශරීරගත වීමට හොඳටම ප්‍රමාණවත් බව එයින් අපට පැහැදිලි වේ.

එමෙන්ම නිවසක ඇති කිරීමට රැගෙන එන බලු පැටවුන් සහ බළල් පැටවුන් පශු වෛද්‍යවරයකුට පෙන්වා පශු වෛද්‍යවරය‍ාගේ උපදෙස් පරිදි ඇති දැඩි කළ යුතුය. එවැනි අවස්ථාවක පශු වෛද්‍යවරයා සුරතලුන් පරීක්ෂා කර ජලභීතිකා එන්නත් ලබා දිය යුතු දින පිළිබඳව දැනුම්වත් කරනු ඇත.

“සමහර ගෙවල්වල ඉඳුල් භාජන එළියෙ තියනවා. ඒවා අස් කරන්නේ නැහැ. ඉඳුල් කන්න ඌරු මීයො එනවා. මනුෂ්‍ය වාස ප්‍රදේශවලට එන මීයන් බය වෙලා කලබල වුණාම මිනිසුන්ව හපා කනවා. මීයන් සපා කෑ අයත් අපේ ප්‍රතිකාර ඒකකයට එනවා. මීයන්ගෙනුත් ජලභීතිකා වෛරසය ශරීරගත විය හැකි නිසා අපි ප්‍රතිකාර කරනවා. ගෙවල්වලට මීයන් එන එක මිනිස්සුන්ට වළක්වා ගන්න පුළුවන්. බල්ලන් පූසන්ව නිසි වේලාවට එන්නත් කරලා ජලභීතිකා රෝග ව්‍යාප්තිය පාලනය කරන්න පුළුවන්. ජලභීතිකාව මර්දනය කිරීමට රජය වාර්ෂිකව රුපියල් මිලියන 500 ක් පමණ වියදම් කරනවා. ඒ මිලියන 500 ට මිනිසුන් වෙනුවෙන් ලබා දෙන ඖෂධ සහ සතුන් වෙනුවෙන් දෙන ඖෂධ ඇතුළත් වෙනවා. සමහරුන් මතයක් යවනවා ජලභීතිකාවට දෙන ඖෂධ මිල අධික නිසා රජයේ රෝහල්වල ඖෂධ නැහැ, ඖෂධ හිඟයක් තිබෙනවා කියලා. එය බොරුවක්. එහෙම හිඟයක් රජයේ රෝහල්වල නැහැ. ඒ නිසා සතෙකු හපා කෑවොත් කෙළ ශරීරගත වුණොත් අප්‍රමාදව රජයේ රෝහලකට එන්න.” යනුවෙන් ජලභීතිකා ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අමිල දර්ශන ගුණසේකර අවධාරණය කළේ ජලභීතිකා රෝගය මාරාන්තික නිසාය.

 

Comments