“බංකර කුරුටු ගී” කෘතිය එළි දැක්වූ දා...පන්හිඳත් ගිනි අවියත් දෙකක් නොව එකක් කළ | සිළුමිණ

“බංකර කුරුටු ගී” කෘතිය එළි දැක්වූ දා...පන්හිඳත් ගිනි අවියත් දෙකක් නොව එකක් කළ

පුරා වසර තිහක් අපරට වෙළාගත් කුරිරු යුද්ධයේ වේදනාත්මක මතක සටහන් තවමත් අප හදවත් තුළ සැරිසරයි. එලෙස සැරිසරන කටුක මතකයන් රණවිරුවන්ගේ ඇඟිලි තුඩු මතින් බංකර්වල, ගස් ගල්වල, කැඩී බිඳී ගිය තාප්ප හා බිත්තිවල සටහන්කර තිබි‍ණි. එසේ රණවිරුවන් විසින් යුද්ධයේ කටුක බව හා වේදනාත්මක මතකයන් සටහන් කර තිබූ සියල්ල ‘බංකර කුරුටු ගී’ නමින් කෘතියක් ලෙස පසුගිය දා ජනගත කෙරුණි. ‘බංකර කුරුටු ගී’ මෙම කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදියකු සාහිත්‍යවේදියකු හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ චරිත් කිරිඇල්ලගේ සංස්කරණයකි. බංකර් කුරුටු ගී නව සංස්කරණය ජනගත කිරීම පසුගිය දා කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති, විශේෂ බළකා ප්‍රධානී ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, මහා සංඝරත්නය, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන්, වෘත්තීයවේදීන්, සිවිල් පුරවැසියන්, උතුරු පළාතේ ආණ්ඩුකාර සුරේන් රාගවන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

බංකර කුරුටු ගී කෘතිය ජනගත කිරීමට පෙරාතුව යුද්ධයේදී මාතෘ භූමීය වෙනුවෙන් දිවි පිදු වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කිරීමක්ද සිදු කෙරුණේ කාගේත් නෙතගට කඳුළක් එක් කරමින්ය. කිරම විමලජෝති, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස සහ උඩුදුම්බර කාශ්‍යප හිමිවරු එම අවස්ථාවට එක්වුහ.

ප්‍රවීණ රංගනවේදී හා සාහිත්‍යවේදී ජැක්සන් ඇත්තනී කලාකරුවා මෙම සංවේදී මොහොතට එක් වී දක්වන ලද අදහස් කිහිපයකි, මේ. “ශ්‍රී ලංකා යුද ඉතිහාසය තුළ මෙන්ම යුද සාහිත්‍ය තුළ බිහිවුණු වැටෙන හුස්මක් පවා නතර කරවන අග්‍රසර නිර්මාණ කාර්යයක් විදිහට ‘බංකර කුරුටු ගී’ කෘතිය ලෝකය ඉදිරියේ හැඳින්වීමට ලැබීම අපගේ භාග්‍යයක් කියල හිතනවා. උසස්ම රසවින්දනයක් සහිත නිර්මාණ කාර්යයක් වන කුරුටු ගී කෘතිය එළිසමය පිළිබඳව හය හතර නොදත් ගිනි අවිය කරතියාගත්තු සෙබලුන් අතින් ලියැවුණු ඓතිහාසික නිර්මාණ කාර්යයක් විදියට අවිවාදිතයි. මේ මියැදුණ නාඳුනන සෙබළුන් හයිකු කවියන්; ඔවුන්ගේ කාව්‍ය නිර්මාණ එතරම් ප්‍රබලයි. පන්හිඳත් ගිනි අවියත් දෙකක් නොව එකක් කළ ලොව ප්‍රබලතම කවියන් පිරිසකගේ නිර්මාණ මේ ‘බංකර කුරුටු ගී’ කෘතිය හරහා ලෝකයට ඉදිරිපත් කරයි. මේ එතරම් ප්‍රබල නිර්මාණකරුවන් පිරිසක් රණවිරුවන් පිරිසක් මතක තබාගන්න. මේ තමයි ඒ ශ්‍රී ලාංකීය හමුදාව. මේ තමයි ඒ සෙබළුන්ගේ අවදිවුණු සැබෑම අධ්‍යාත්මය...

මාධ්‍යවේදී නයනක රන්වැල්ල මහතා ද මෙහිදී දෙසුමක් පැවැත් වූ අතර සංගීතවේදීන් වන ඇන්තනී සුරේන්ද්‍ර, සමන් ලෙනින්, දයාන් විතාරණ, නිලක්ෂි හැලපිටිය සහ දුවින් කුලරත්නගේ මියුරු සරයද මෙම අවස්ථාවට එක් කළහ. රණවිරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් තිබෙන ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම සාක්ෂියක් වන බංකර් කුරුටු ගී කෘතිය ඉදිරි ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කරනු දැක්වීමට ආරක්ෂක ප්‍රධානීන් පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කළහ. ‘ආර්ය ‘ පදනම මෙම වැඩසටහන සංවිධානය කළ අතර බංකර කුරුටු ගී කෘතිය විකිණීමෙන් ලැබෙන ආදායම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන බවද ආර්ය පදනමේ සභාපති චරිත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

 

Comments