පැහැපත් විය යුත්තේ මුහුණේ සම පමණක් ම නොවේ | සිළුමිණ

පැහැපත් විය යුත්තේ මුහුණේ සම පමණක් ම නොවේ

ඇස් යට අඳුරට ටී බෑග්ස්

අඳුරු දෙතොලට කහදොඩම්

කළු වූ වැලමිටට අර්තාපල්

 පැළුණු දෙපාවලට කෝමාරිකා බේබි ක්‍රීම් - කඩල පිටි

බොහෝ දෙනකු රූපලාවණ්‍ය ප්‍රතිකාර කරන්නේ සමට පමණයි. පැහැපත් සමක් ලබා ගැනීමට ඕනෑම දෙයක් කරන්න සූදානම්. දීර්ඝ කාලයක් සමට පමණක් ම සාත්තු කරද්දී මඟ හැරෙන තැන් තිබෙනවා. ඒ තැන්වලට ප්‍රතිකාර නොමැති නිසා අඳුරු පැහැයක් ඇතිවනවා. පසුව සත්කාර කළත් පෙර තිබූ තත්ත්වයට එන්න ටික දවසක් ගතවෙනවා. අද මේ ඉදිරිපත් කරන සොබාවික සත්කාර මඟ හැරුණු සමේ එම ස්ථාන මනා ලෙස පැහැපත් කරාවී.

ඇස් යට අඳුරට යෝගට්

බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් මෙය. සමහර අය කියන්නේ අපල කාල ආපුහාම එහෙම වෙනවා කියලා. මට නම් කියන්න තිබෙන්නෙ වුවමනාවක් නැතිකම හා ඒ සඳහා ඇති කම්මැළිකම ලොකුම අපලය කියලා. අපි මුහුණ සෝදන විට සබන් - ෆේස් වොෂ් - ක්ලෙන්සර් වැනි දේ භාවිත කරනවා. මේවා ඇස් අවට ගෑවෙන්න හොඳ ම නෑ. ඉතා සිනිඳු සමක් ඇස් වටා පිහිටා ඇත්තෙ. එහෙම නම් ඇස් වටා කුණු... දුහුවිලි... අඳුර නැති කර දමන්න මොනවද පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා යෝගට් ඉතාම හොඳයි. ඔබට පුළුවන් යෝගට් එකක් ගෙන ශීතකරණයේ තබා දිනපතාම වුණත් පාවිච්චියට ගන්න. යෝගට් ස්වල්පයක් අල්ලට ගෙන ඇස් වටා හිමිහිට ගා පුංචි ඇඟිල්ලෙන් පිරිමැද (විනාඩි 5ක්) පුළුන් කෑල්ලක් ආධාරයෙන් ඉවත් කරන්න.

ටී බෑග්ස් දෙකක් ප්‍රයෝජනයට ගෙන දවසට වතාවක් පරිස්සමට මේ ටී බෑග්ස් දෙක ඇස් අවට මාත්තු කරන්න. එය ඉතාමත් හොඳ අතර ටී බෑග්ස් දෙකක් ඇස් මත තබා විනාඩි 25ක් පමණ සිටීමෙන් අඳුරු පැහැය නැති කර නැවුම් බවක් ලබා ගත හැකියි.

ඒ වාගේම පිපිඤ්ඤා ඉස්ම ගෙන පුළුන් කෑල්ලක් ආධාරයෙන් ඇස් වටා ගා පිරිසුදු කරන්නත් පුළුවන්. පිපිඤ්ඤා පෙති දෙකන් ඇස් වසා ඒ මත තබා හිඳීමෙනුත් කුණු - දුහුවිලි ඉවත් වී අලුත් බවක් ගෙන දේවි.

අවපැහැ වූ දෙතොලට

කහ දොඩම් ලෙලි

සමහර අයගේ මුහුණ සුදු වුණත් දෙතොල් ඉතාම දුර්වර්ණයි. සමහරුන්ගේ කළුයි; විශේෂයෙන් කාන්තාවන්ගේ. ඒ නොයෙකුත් ලිප්ස්ටික් වර්ග භාවිතකරන නිසා. මෙයට ගෙදරදී කරගත හැකි ප්‍රතිකාර අතර කහ දොඩම් ලෙලි සත්කාරය වටිනවා. ඔබට පුළුවනි කහ දොඩම් ලෙලි දින දහයක් පමණ හොඳට තද අව්වේ වේළා ගන්න. පසුව එය සීනි මෙන් කුඩුකර ගත යුතුය. පොඩි බෝතලයකට මේ දොඩම් ලෙලි කුඩු දමාගන්න. අවශ්‍ය වෙලාවට පීරිසියක් ගෙන මේස හැඳි භාගයක් දමා එයට යෝගට් තේ හැන්දක් දමන්න. හොඳින් අනා වියළි දෙතොල් මත ගා විනාඩි 35කට පසු සෝදා හරින්න.

මී පැණි රෝස පෙති සත්කාරය මඟිනුත් අවපැහැ වූ දෙතොල් පැහැපත් කර ගැනීමට පුළුවන්. හොඳම මී පැණි ඔබ මේ සදහා තෝරාගන්න. තද හෝ ළා පැහැ රෝස මලක් අරගන්න. පිරිසුදු කරගත් දෙතොලේ මී පැණි ඝනකමට ආලේප කරන්න. දැන් ඒ මතින් රෝසමලේ පෙති තබන්න. යළි රෝස පෙති මතින් මී පැණි යන්තමට ගාන්න. සිසිල් තැනකට වී විනාඩි 35ක් නිස්කලංකව ඉන්න.

අඳුරු වී ගිය වැලමිටට

අත - පය පැහැපත් වුවත් වැලමිට බොහෝ අයගේ අඳුරුපැහැ ගැන්විලා. සමහර අයගේ තද කළු වෙලා. මේ කැත හොඳට පෙනෙන්නෙ අත් කොට ඇඳුම් අඳින විටයි. මේ සඳහා ලොකුඅල ගෙඩියක් අරගන්න. දෙකට මැදින් කපා එක බෑවක්ම හොඳට සූරා අරගන්න. අනිත් බෑව පෙති කපා ගන්න. පිරිසුදු රෙදි කෑල්ලක් අරගන්න. දැන් සූරාගත් අල ටිකක් ගෙන වැලමිටෙ තබා ඒ මත අලපෙති තබා හොඳට තදට රෙදි පටියකින් ගැට ගසන්න. ඔබට පැයක් ඉන්න වෙනවා. පැයකට පසු රෙදි පටි ගලවා අල පෙති ඉවත් කර තෙත පුළුන් කෑල්ලකින් පිසදා හරින්න. මේ ප්‍රතිකාරය දවස් දෙකකට වතාවක් සිදු කිරීමෙන් ඉතා කෙටි කාලයකින් පැහැපත් වැලමිටක් ඔබට ලැබේවි.

දෙපා පැළිලා දනවද?

මෙය ඉවසන්නම බැරි දෙයක්. කාන්තාවෝ තමා මේ දුක්බර තත්ත්වයට බොහෝ විට මුහුණ දෙන්නෙ. මෙහෙම වෙන්න ශරීර උෂ්ණත්වය හරියට බලපානවා. සැර කෑම කනවා නම් නිතරම මේ තත්ත්වයෙන් මිදෙන්නම බෑ. පුළුවන් තරම් වතුර බීලා ඇඟ සිසිල් කරගන්න කියලා මුලින්ම කියන්න ඕනෑ. ප්‍රතිකාර ලෙස කෝමාරිකා නිතර ආලේප කිරීම ඉතාම හොඳයි. තව කඩල පිටි ස්වල්පයක් එයට බේබි ක්‍රීම් ස්වල්පයක් කෝමාරිකා යුෂ ස්වල්පයක් කලවම් කර පැළුණු දෙපාවල ගා විනාඩි 30කට පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය සුමානයකට දෙතුන් පාරක් කළත් කමක් නැහැ. අධික ලෙස දෙපා පැළිලා නම් ඇඟට ආයුර්වේද බෙහෙත් බොන්නම ඕනැ. තව වෙනිවැල්ගැට - කොහොඹ තැම්බූ වතුරෙන් දෙපා සේදීමත් හොඳ දෙයක්. මතක තබාගන්න සැර සබන් දෙපාවල නොගා මෘදු බේබි සබන් වර්ගයකින් සෝදා හරින්න.

Comments