ආක්ෂේගෙන් ට්වින්කල්ට ස්කූටර් පාඩමක් | සිළුමිණ

ආක්ෂේගෙන් ට්වින්කල්ට ස්කූටර් පාඩමක්

වත්පොහොසත් කම් අතින් කිසිදු අඩුවකින් තොරව දිවි ගෙවුවද ට්චින්කල් ගේ හිතට වද දුන් පුංචි ප්‍රශ්නයකුත් තිබුණා. ඒ තමයි, මෝටර් සයිකලයක් පදවාගෙන යෑමට නොහැකි වීම.

දිගින් දිගටම ජනප්‍රිය චිත්‍රපට රැසක ආකර්ෂණීය චරිත නිරූපණය කළ ආක්ෂේ කුමාර් අද වන විට බොලිවුඩ් සිනමාවේ ඉහළ තලයක කිරුළු දරා සිටිනවා. අද ඔහු චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් අය කරන මුදලෙහි වටිනාකම සුළු පටු නැහැ. ආක්ෂේ මේ වන විට චිත්‍රපටයක රඟපෑමට ඉන්දීය රු. කෝටි 54ක මුදලක් අය කරන බවයි පැවසෙන්නේ. මේ මුදල, ඔහු විසින් මීට අවුරුදු 7 කට පෙර, අය කළ මුදල මෙන් දෙගුණයක්. 2012 දී ඔහු ‘රච්ඩි රථෝර්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් අය කළේ රු. කෝටි 27ක මුදලක්. ඒ අනුව ආක්ෂේ අද බොලිවුඩය තුළ සිටින්නේ කෙබඳු තැනකදැයි කාටත් වටහා ගත හැකිවේවි.

මෑතකදී ලෝකප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ද ආක්ෂේ රැඳී සිටින්නේ ඉහළම ස්ථානයේ බවයි වාර්තා වෙන්නේ. එම සමීක්ෂණයට අනුව 2018 ජුනි මාසයේ සිට 2019 වසරේ අද වන විට ආක්ෂේ උපයා ඇති ආදායම රු. කෝටි 444ක් යැයි පැවසෙනවා.

ආක්ෂේගේ වයස දැන් අවුරුදු 51ක්. තවමත් ඔහු වෙතින් දිස්වන්නේ ක්‍රියාශීලී, ප්‍රබෝධමත් තරුණයෙකුගේ ස්වරූපයක්. ඒ නිසයි ඔහු තවමත් ප්‍රධාන නළුවා හැටියට චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වන්නේ. ආක්ෂේ රඟන අලුත්ම චිත්‍රපට තමයි ‘මිශන් මන්ගල්’, ‘හවුස්ෆුල් 4’, ‘සුර්යවංශි’, ‘ලක්ෂ්මි බොම්බ්’ සහ ‘භච්චන් පාන්ඩේ’. බොලිවුඩ් සිනමාවට එක්වෙලා මේ වන විට දශක තුනක් ගෙවී ගිහින්. නමුත්, ඔහු කෙතරම් ජනප්‍රියත්වයට පත්ව සිටියත්, තවමත් හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට කැමැත්ත පළ කරලා නැහැ. ආක්ෂේගේ මේ වෙනස් නොවීම දෙස බලා සිටින්නේ පුදුමයෙන්. ඇත්තටම, ඔහුට මෙතෙක් හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට ඇරයුම් ලැබී නැතිවා වත්ද ?

“මම කියන්නෙ නැහැ, මට හොලිවුඩ් චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබුණේ නැහැ කියලා. ඒ වුණත්, මම බොලිවුඩ් චිත්‍රපටවල නම් රඟපාන්නෙ හරිම ආසාවෙන්. මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් හොලිවුඩ් චිත්‍රපටයක් ලැබුණොත් මම රඟපානවා.” ඉන්දීය පුවත්පතකට ආක්ෂේ එලෙස පවසා තිබුණා.

ආක්ෂේ ගේ රංගනයෙන් ප්‍රභාමත් වූ ‘කේසාරි’ මෑතකදී තිරගත කිරීම ආරම්භ කළ චිත්‍රපටයක්. එම නිර්මාණයට පාදක වී ඇත්තේ 1897 දී ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානයේ ජන කොටස් අතර ඇති වූ යුදමය වාතාවරණයයි. මේ චිත්‍රපටය ලොව පුරා තිරගත කළ මුල්ම සතියේදීම උපයන ලද ආදායම රු. කෝටි 100 ඉක්ම වූ බවයි වාර්තා වෙන්නේ. 2019 වසරේ මෙතෙක් වැඩිම ආදායමක් ඉපයු බොලිවුඩ් චිත්‍රපට 10 අතරට මේ චිත්‍රපටය එක් වූ බවත් සඳහන්. ආක්ෂේව මීට සති කිහිපයකට කලින් ඉන්දීය මාධ්‍යවල දැඩි අවධානයට ලක් වූ කරුණක් තිබුණා. ඔහු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම ගැනයි එලෙස අවධානයට ලක්වුණේ. පසුගිය දා මේ ගැන එක්තරා මාධ්‍ය හමුවකදී ආක්ෂේගෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විමසුවා. ඔවුන් ඇසුවේ අගමැතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම අභියෝගයක් වුණාද කියලයි.

“නෑ කිසිම අභියෝගයක් මතු වුණේ නැහැ. මම සාමාන්‍ය විදිහට අගමැතිතුමා එක්ක කතා කළා. සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මට අවශ්‍ය වුණා. ඔහු මොනවගේ පුද්ගලයෙක්ද කියල දැනගන්න. මම ප්‍රශ්න ඇහුවා. ඔහු ඒවාට උත්තර දුන්නා.” ආක්ෂේ එලෙස කීවේ සුපුරුදු සිනහව මුව’ ග රඳවා ගනිමින්. අගමැතිවරයා සමඟ කළ ඒ කතා බහට ආක්ෂේගේ ආදරණීය බිරිය, ට්වින්කල් ඛන්නාත් එකතු වුණා.

ආක්ෂේ ගේ ජීවිතයේ බොහෝ වැඩ කටයුතුවලදී ඔහු සමඟ රැ‍ඳෙන්නේ ට්වින්කල්. ඇය දැන් චිත්‍රපටවල රඟපාන්නේ නැහැ. චිත්‍රපට නිෂ්පාදිකාවක හැටියට කටයුතු කරනවා. 2018 දී තිරගත වූ ‘පෑඩ් මෑන්’ චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක වුණේ ඇයයි. වත්පොහොසත් කම් අතින් කිසිදු අඩුවකින් තොරව දිවි ගෙවුවද ට්චින්කල් ගේ හිතට වද දුන් පුංචි ප්‍රශ්නයකුත් තිබුණා. ඒ තමයි, මෝටර් සයිකලයක් පදවාගෙන යෑමට නොහැකි වීම. ට්වින්කල්ට මෝටර් සයිකලයක් පදවන්න වුවමනාව තිබුණත් ඒ වෙනුවෙන් කාලය යොදවන්න ඇයට වෙලාවක් ලැබුණේ නැහැ. මෙහෙම ටික කාලයක් ගත වෙද්දි ඇයටත් අාක්ෂේටත් එක්තරා ප්‍රසිද්ධ මෝටර් බයිසිකල් සමාගමකින් ඇරයුමක් ලැබුණා. සමාගම දෙදෙනාගෙන්ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ අලුත්ම ස්කූටරය වෙළඳ පොළට හඳුන්වා දීම වෙනුවෙන් නිර්මාණය වන වෙළඳ දැන්වීමක පෙනී සිටින ලෙසයි. මේ රූපවාහිනී දැන්වීමේ එක් දර්ශනයක් වෙන් වුණේ ට්වින්කල් මේ ස්කූටරය පදවා ගෙන යන අවස්ථාවක්. ඒ නිසා ස්කූටරයක් පැදවීම පුහුණු වෙන්න ට්වින්කල්ට සිදු වුණා. පුහුණුකරු වුණේ වෙන කවුරුන්වත් නොවෙයි. ඇගේ සැමියා. ආක්ෂේ. ට්වින්කල්ට යතුරු පැදි පැදවීම පුහුණු කරන්න ආක්ෂේට ඉක්මණින්ම පුළුවන් වුණා. පුහුණුවෙන් පසුව ට්වින්කල් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි ඡායාරූපයක්ද පළ කළා. එහි දැක්වුණේ ආක්ෂේ ඇයට ස්කූටරය පදවා ගෙන යෑමට පුහුණු කරන හැටියි.

බොලිවුඩ් සිනමාවේ ඉහළම තැන රැඳී සිටියද යුග ජීවිතයේදී ආක්ෂේ කෙතරම් සරල මිනිසකු දැයි මේ සිදුවීමෙන් තේරුම් ගන්න පුළුවන්.

Comments