අහිමි පෙමට වෛර නොකළ සොඳුරු සිතක ගීතය | සිළුමිණ

අහිමි පෙමට වෛර නොකළ සොඳුරු සිතක ගීතය

මට මාවත් හිමි නැති තරමට

මා ඔබේම වූ අතීතයට

මතකයේ පියගැට පෙළ නගිනවා

ඔබෙ අතැඟිලි තවමත් මම හොයනවා

ආදරයේ සිසිලස අහිමිව

ළා දල්ලක් සේ තැවෙනවා

පාළුව ඇවිළෙන හැම රෑකම

නෙත් සිහින නෙළනවා

මල් පෙති කොපුලක සුවඳ වින්ද

මතකය කටු තුඩු අනිනවා

හදවත පෑරී වේදනාව

නෙත් ඉවුරු බිඳිනවා

ගායනය හා තනු නිර්මාණය - අරුණ ගුණවර්ධන

පද රචනය - ප්‍රදීප් කුමාර දිසානායක

 

ඔහු අපේ පවුලට සම්බන්ධ වූයේ අක්කාගේ යහළුවකු ලෙසිනි. ඒ මෙයින් වසර තිස් ගණනකට පෙරය. ඔහු අක්කාගේ යෙහෙළියක හා පෙමින් බැඳුණේය. මෙනිසා ඔහු නිතර අපේ නිවෙසට ද ආවා ගියේය. ඒ ප්‍රේමය සුන්දරය. ඔවුන් හමු වූයේ පන්සලේදීය. අක්කලා, අයියලා පන්සල් යති. එවිට අපේ සහෝදරයකු තරමටම පවුලේ කෙනෙකු මෙන් වූ ඔහුද අප හා පන්සල් යන්නේය. ඇයත් ඔහුත් පන්සලේ පඩිපෙළක වාඩි වී කතා කරති. ඒ අතර පුංචි ළමයි වූ අපි ද ඔවුන් අසලය. විහිළු තහළු කරමින් අප විනෝදයෙන් ගත කළ ඒ අතීතය සුන්දරය. ඔහු ඇයත් බොහෝ දේ කතා කරති. විටෙක ඔහු ඇගේ අතින් අල්ලාගෙන පන්සල පාරේ ඇවිදින්නේය. මේ ප්‍රේමය බොහෝ කලක් තිබිණි. ඒ ඔවුන් දෙනොගේම ප්‍රථම ප්‍රේමයයි. නමුදු අක්කාගේ යෙහෙළියගේ මවු පියෝ මේ සම්බන්ධයට අකමැති වූහ. එනිසා දෙදෙනාම ඒ සම්බන්ධය අතහැර දැමූහ. ඇය වෙනත් විවාහයක් කර ගත්තාය. ඔහු විදේශගත වුයේය. ඒ ප්‍රේමයේ වේදනාවද හදෙහි තබාගෙනය.

විදෙස්ගත වීමට පෙර ඔහු අප නිවෙසට ආවේය.

“මට ආසයි එකම එක වතාවක් එයාව දකින්න.”

ඔහු එලෙස කීවේ අප සැවොම ඉදිරිපිටය. කිසිවෙක් කතා නොකළහ.

“සාගරී දැන් මෙහෙ නැහැ අයියේ. එයා ඉන්නේ හුඟාක් දුර.”

බොහෝ විට සඳුන් අයියාගේ තනි නොතනියට ගිය ලොකු අයියා කියන විට සඳුන් අයියා බලා සිටියේ දෑසේ කඳුළු පුරවාගෙනය.

කාලය ගෙවී ගියේය. විටින් විට ඔහු ලංකාවට පැමිණියේය. ඒ පැමිණි හැම වතාවකම ඔහු අප නිවෙසට ආවේය. ආගිය තොරතුරු කතාකරමින් සිටින අතර ඔහු අපෙන් අසන එක් ප්‍රශ්නයකට අප සැවොම ගොළුවෙයි.

“සාගරි කොහොම ද දන්නේ නෑ නේද?”

කොයි කාලෙද පුතේ. එයා බැඳලා ගියාට පස්සේ අපිවත් දැක්කෙ නැහැ. දැන් එයාගේ දරුවොත් ලොකු ඇති. ”

අම්මා කියන විට සඳුන් අයියා නිහඬ වෙයි. ඔහු දිගු කල්පනාවකට වැටෙයි. කාලය වේගයෙන් ගෙවිණි. සඳුන් අයියා විවාහ වුයේය. දරුවන් ලැබුවේය. ඒ දරුවෝ ද දැන් විවාහකය. වසර ගණනාවකට පසු ඔහු ලංකාවට පැමිණි අප දකින්නට පැමිණියේය. යෞවනයේ තිබූ පියකරු බව ඔහුගේ වියපත් රුව තුළින් මතුව පෙනෙයි. වයස අවුරුදු හැට ද ඉක්මවා සිටින ඔහුට අතීතය හොදින් මතකය.

“සාගරිට කොහොම ද දන්නේ නෑ නේද?”

වසර ගණනක් තිස්සේ අපේ අක්කලාගෙන් අයියලාගෙන් අම්මාගෙන් ඇසූ පැනය ඔහු මෙවර ඇසූවේ මගෙන්ය.

“දන්නේ නැහැ අයියේ. අහන්න කෙනෙක්වත් නැහැ. එයා ගැන තොරතුරක් නැහැ. ඔයාට තාම එයාව අමතක කරන්න බැරි වුණා ද?”

“කොහොම අමතක කරන්නද? ඒ තමයි මගෙ පළවෙනි ආදරය. අපිට ඒ කාලේ ගොඩක් හීන තිබුණා. කාලයක් ගතවුණත් මට ඒ අතීතය අමතක කර ගන්න බැරි වුණා. එයාව අමතක කරන්න ඕන නිසාමයි මම ලංකාවෙන් ගියේ. ඒත් .... ”

ඔහු නිහඬ විය. ඒ දැස කඳුළින් දිලිසෙනු මා දුටිමි. ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් ඉනූ කඳුළක හැඩරුව මම ඔහුගේ දෑසේ දකිමි.

ප්‍රේමය නිසා ඇසින් කඳුළක් නොසැලු, සුසුමක් නොහෙළු කෙනෙකු මේ මිහිපිට නැති තරම්ය. ප්‍රේමය බිදී ගියදා කාලයත් සමඟ හිත හැදුණාද ඒ අතීතය සිතේ ආත්මය කොටගත් විට කුමක් කළත් කොතැන ගියත් හදේ ඇත්තේ එහි සුන්දරත්වයි, විරහවයි, වේදනාවයි. මේ සමාජයේදී අපට එවන් වූ පෙම්වත්තු පෙම්වතියෝ කොතෙකුත් හමු වේති. බොහෝ නිර්මාණ කරුවන්ගේ තේමාව ප්‍රේමයයි. සිතට තදින් දැනුණ ආදරය සෙනෙහස විරහව මේ ගීත වලට අත්දැකීම් වී ඇත. දැන් දැන් ලියැවෙන ඇතැම් ප්‍රේම ගී විලාපයන් බඳුය. ඒ තරුණ නිර්මාණකරුවන් විසින් නිර්මාණශිලී බවින් තොරව කරනු ලබන නිර්මාණවල ඇත්තේ හරසුන් බවයි. වින්දනයෙන් තොර සංගීතයයි. එවන් ගී බිහිවෙන යුගයක අසන්නට ලැබුණ මේ ගීතය තරුණ පද රචකයකුගේ සුන්දර නිර්මාණයකි. කොළඹින් බෙහෝ දුර බැහැර

‍ප්‍ර ෙද්ශයක ජීවත් වන ඔහු ප්‍රදීප් කුමාර දිසානායකය. මේ ඔහුගේ දෙවන ගී පද රචනාවයි. සරල වචන පෙළක් එකට අමුණා ඔහු විරහව ගැන ලියන්නේය.

“මට මාවත් හිමි නැති තරමට

මා ඔබේම වූ අතීතයට

මතකයේ පියගැට පෙළ නගිනවා

ඔබෙ අතැඟිලි තවමත් මම හොයනවා”

ගීතය පිළිබඳ ප්‍රදිප්ගේ අදහස මෙසේය:

“මේ ගීතය ලියන්න බලපෑවේ මගේම අත්දැකීමක්. මම ඇයට ආදරය කළා. අපේ ප්‍රේමය විවාහයකින් කෙළවර වුණේ නැහැ. ඇය අහිමි වුණාම මට දැනුණේ මගේ හැමදේම නැති වුණා වගේ. මට හිතුණා මට මාවත් නැති වුණා කියලා. මුලින්ම කවියක් ලෙසින් මෙය ලියැවුණේ. අරුණ අයියා මේ වචන ටික දැකලා එය ගීතයක් කරන්න කැමති වුණා. ඔහු ගිටාර් එක ගහමින් මේ ගීතයේ මුල් කොටස ගායනා කර තිබුණා. ඉන් පස්සේ අරුණ අයියා මට කිව්වා මල්ලි මේ ගීතය මම ගයන්නම් කියලා. මගේ පද පෙළට ඔහු අපුරු තනුවක් නිර්මාණය කෙරුවා වගේම අරුණ අයියා හැඟිම්බරව මේ ගීතය ගායනා කරනවා. මම මේ ගීතයට හරි ආදරෙයි. මගේ හිතේ මට නොලැබුණ ඇය ගැන තරහක් වෛරයක් නැහැ. ඉස්සර ඇයට පෙම් බැන්ද මම දැන් මේ ගීතයට පෙම් බඳිනවා.”

ප්‍රදීප් පවසන්නේ කඳුළක් ගීතයක් බවට පෙරළුණු අපුරුවයි.

අරුණ ගුණවර්ධන අද අපට සිටින නවපරපුරේ නිර්මාණශීලි තනු නිර්මාණ ශිල්පියෙකි. ඔහු තනු නිර්මාණය කළ ගී බොහෝමයකි. වෙනදාට කිසිදු ලෝබකමකින් තොරව අනුන් වෙනුවෙන් තනු නිර්මාණය කළ ඔහු මෙවර ප්‍රදීප්ගේ පද පෙළ ඔහු විසින්ම ගායනා කිරීම සතුටකි.

“ප්‍රදීප්ගේ වචන ටික හරි සරලයි. ඒ සරල වචනවල ගැඹුරු අරුතක් තියෙනවා. මේ පද පෙළට තනු නිර්මාණය කළට පස්සේ මට මහා ලෝබකමක් දැනුණා මේක වෙන කාටවත් දෙන්න. වෙන කවදාවත් මට එහෙම හිතිලා නැහැ. ඒත් මේ ගීතය මටම ගයන්න ඕන කියලා හිතුණා මම ගැයුවා. අපේ රසිකයන්ට බාරයි දැන මෙහි සාර්ථක අසාර්ථක බව තීරණය කිරීමට.”

ඒ සංගීත ශිල්පි අරුණ ගුණවර්ධනගේ අදහසයි.

Comments