පොදු­ජන පෙර­මුණේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්තන්ත්‍රවාදයයි | සිළුමිණ

පොදු­ජන පෙර­මුණේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්තන්ත්‍රවාදයයි

 චන්ද්‍ර­ගුප්ත තේනු­වර සෞ­න්දර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ ආචා­ර්ය­ව­ර­යෙකි. පුර­වැසි බලය පෙරටු කොට­ගත් සිවිල් දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යකු ලෙස කට­යුතු කරන ඔහු සමඟ ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බ­ඳව කළ තුල­නා­ත්මක සාක­ච්ඡා­වකි.

 

• 2015 ඇති කළ වෙන­සෙන් රටට, ජන­තා­වට මොන­වද වුණේ? කියල සම­හරු අහ­නවා.

2015 අප මේ වෙනස කළේ නැවත ජනා­ධි­ප­ති­ව­රණ නොප­ව­ත්වන ගිවි­සු­මක් සහි­ත­වයි. ඒ අනුව මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා තමයි විධා­යක බලය සහිත අව­සාන ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් වන්නේ. ඊට පස්සේ එන ජනා­ධි­ප­ති­වරු ජන­තා­වගේ පැත්තෙන් රාජ්‍ය නාය­කයා හැටි­යට ඉන්නවා; නමුත් ඔහු නාමමාත්‍රි­කයි. එවිට ආණ්ඩුව සහ ආණ්ඩුවේ නාය­කයා අග­මැති ප්‍රමුඛ පාර්ලි­මේ­න්තුව බවට පත්වෙ­නවා. පාර්ලි­මේ­න්තු­වට තමයි බලය යන්න ඕන. ඒ බලය පැව­රීමේ ක්‍රියා­ව­ලිය තමයි අවශ්‍ය වුණේ. නමුත් අවා­ස­නා­ව­කට තවම 19 වැනි සංශෝ­ධ­න­යෙන් ඔබ්බට යන්න බැරි වුණා. නමුත් 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය කිසි­යම් ආකා­ර­යක ප්‍රග­ති­ශීලී වෙන­සක් ඇති කළා. උදා­හ­රණ විදි­යට 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය මඟින් අහෝසි වුණු, ඒ වගේම දුර්වල කළ කොමි­සන් සභා ස්වාධීන ලෙස පිහි­ටු­වීම සහ විවිධ අණ­ප­නත් පාර්ලි­මේ­න්තුව හරහා සම්මත කර ගැනීම වැනි සාධ­නීය කාරණා දක්වන්න පුළු­වන්.

 

• ජනා­ධි­ප­ති­ව­රයා හා අග­මැති ප්‍රමුඛ

පාර්ලි­මේ­න්තුවේ බල­තල පිළි­බඳ ව කතා කිරී­මේදී 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව විසින් ම එහි දුර්ව­ල­තාව ප්‍රකට කර තිබෙ­නවා.

ඔව්, විශේ­ෂ­යෙන් ම බල කේන්ද්‍ර දෙකක් පැව­තීම රටේ අනා­ග­ත­යට කොයි­ත­රම් හානි­ක­රද කියන කාර­ණාව මින් ප්‍රධා­නයි. එක්තරා විදි­ය­කට 2018 ඔක්තෝ­බර් 26 වෙනිදා කුම­න්ත්‍ර­ණය සිදු වෙන්න එක් හේතු­වක් තමයි මේ තත්ත්වය. මුළු රටේම ඡන්ද­ව­ලින් එක පුද්ග­ල­යෙක් ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කරනු ලබ­නවා. ඒ ආකා­ර­ය­ටම මුළු රටේම ඡන්ද­ව­ලින් පාර්ලි­මේ­න්තු­ව­කුත් පත් කර ගන්නවා. මේ නිසා බල කේන්ද්‍ර දෙකක් ස්ථාපිත වී ජන බලය දෙපැ­ත්ත­කට බෙදී තිබෙ­නවා. මේ නිසා විධා­ය­කයේ කොළ කෑල්ලේ මොන­ත­රම් බලය නැහැ කිව්වත්; රටේම ජන­තා­වගේ ඡන්ද­යෙන් තේරී­පත් වන නිසා ඔහු වටා යම්කිසි ආකා­ර­යක බල­යක් කේන්ද්‍ර­ග­තවී තිබෙ­නවා. අප හිතපු ආකා­රයේ මහා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෙන­සක් ඉතා ඉක්ම­ණින් කරන්න නොහැකි වෙන්නෙත් මේ නිසාම තමයි. ඒ නිසා මෙහි සාධ­නීය ආකා­රයේ නිර්භීත වෙන­ස්කම් කළ යුතුව තිබෙ­නවා.

 

• අාණ්ඩුව කිසි­යම් ආකා­ර­යක සාධ­නීය වැඩ කොට­සක් සිදු කළත්, පුර­වැ­සි­යන් අපේක්ෂා කළ සම­හර දේවල් විශේ­ෂ­යෙන් ම හොරු ඇල්ලීම වගේ දේවල් සිදු කිරී­මට නොහැකි වීම නිසා කිසි­යම් අප්‍ර­සා­ද­ය­කට පත්ව තිබෙ­නවා.

තනි­ම­ත­යක් අර­ගෙන ආණ්ඩු­ව­කට වැඩ කිරීමේ හැකි­යාව තියෙන මොහො­තක: කිසි­යම් ආකා­ර­යක සම්මු­ති­වාදී රජ­යක් පැව­තීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අන­න්‍ය­තාව ඔවුන් ප්‍රකාශ කරන්න යෑම නිසාම බහු­ත­ර­යක් සිටිය එක්සත් ජාතික පෙර­මු­ණට වුණත් නිසි­යා­කා­රව වේගෙන් වැඩ කිරී­මට නොහැකි තත්ත්ව­යක් ඇති වුණා. හොරු අල්ලන්න නම් විශේෂ අධි­ක­රණ පද්ධ­ති­යක් ස්ථාපිත කළ යුතුයි කියල කිව්වම, ඒකට සෑහෙන කාල­යක් බලන් ඉන්න සිද්ධ වුණා. එය නිශ්චිත ක්‍රම­වේ­ද­ය­කට ස්ථාපිත කර ගන්න අවු­රුදු තුන­ක­ටත් වැඩි කාල­යක් ගත­වුණා. එත් එක පැත්ත­කින් බැලු­වම මේවා කඩි මුඩියේ සිදු නොකර විවිධ මත ගැටී­මට ඉඩ සැල­සී­මත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­තින බවට සහ­ති­ක­යක්. නමුත් ජන­තාව ඒක තේරුම් ගත්ත බවක් පේන්නට නැහැ. ඔවුන්ට අවශ්‍ය, වේග­වත් ව තීන්දු තීරණ ගැනී­මයි. අන්න ඒ වේග­වත් තීන්දු තීරණ නොගැ­නීම තමයි ප්‍රමාද වීම්ව­ලට හේතුව ඒ වගේම වැඩ නොකෙ­රෙ­න්නත් මෙය හේතු­වක් වුණා. ඔක්තෝ­බර් 26 සිදු වූ සිදු වීමත් එක්ක ආණ්ඩුව දෙකට බෙදී දෙපැ­ත්ත­කට ගියා. ඒකයි අද මෙවැනි තත්ත්ව­යක් ඇති වී තිබෙන්නේ.

 

• 19 වෙන සංශෝ­ධ­න­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා සතු බල­තල ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ආකා­ර­යට විම­ධ්‍ය­ගත කළාට පස්සේ මෙවැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් ලංකා­වට ඕනද?

20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝ­ධ­නය හරහා මේ සඳහා එක්තරා ආකා­ර­යක යෝජ­නා­වක් ගෙනැ­විත් තිබුණා. ඔක්තෝ­බර් කුම­න්ත්‍ර­ණය නිසාම ඒකත් අත­ර­මඟ නැව­තුනා. ඒ සාක­ච්ඡාව දිගට ගෙනිච්ච නම් මහ­ජන මුදල් නාස්ති­ය­කින් තොරව පාර්ලි­මෙ­න්තුව හරහා ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත් කර ගැනීමේ අව­ස්ථාව උදා වෙන්න තිබුණා. දැන් වුණත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු තුනෙන් දෙකක් කැමති වුණොත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළු­වන්. ඒත් පක්ෂ­වල ඉන්න උද­විය ඒ සඳහා කොයි­ත­රම් දුරට මැදි­හත් වේවිද කියන ප්‍රශ්නය අපට තිබෙ­නවා. මොකද දැන් ඒ හැමෝම ජනා­ධි­පති වීමේ සිහි­න­ය­කයි ඉන්නේ. මගේ නම් මතය මෙබඳු ජනා­ධි­ප­ති­ව­රණ ලංකා­වට සුදුසු නැහැ කිය­ලයි. පාර්ලි­මේ­න්තුව තමයි බල­වත් කරන්න ඕන. නමුත් අවා­ස­නා­වට දැන් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට කලින් ජනා­ධි­ප­ති­ව­ර­යෙක් තෝරා­ගැ­නීමේ අව­ස්ථාව එළ­ඹිලා තියෙ­නවා.

 

• බොහෝ දියුණු රට­වල මත­වාදී ආධි­පත්‍ය හසු­ර­වන්නේ ඒ රටේ සිවිල් සමාජ ක්‍රියා­ධ­ර­යන්. නමුත් අපේ රටේ විශේ­ෂ­යෙන් ම 2015න් පස්සේ මෙය ජාති­වාදී මත­වා­දය දරණ පිරි­සක් විසින් ඩැහැ­ගෙන තිබෙ­නවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහො­මද?

2005දී රාජ­පක්ෂ කඳ­වුර විසින් බලය ලබා­ග­ත්තට පස්සේ ජාති­වා­දය පෝෂ­ණය කිරීම දිගින් දිග­ටම ක්‍රියා­ත්මක වුණා. ඔවුන් විසින් යුද්ධය ජය­ග්‍ර­හ­ණය කර­වීම සඳ­හාම ජාති­වා­දය, දේශ­ප්‍රේ­මී­ත්වය වැපු­රුවා. නමුත් යුද්ධය හමාර වූවා­යින් පසු­ව­වත් එයින් මිදී­මට ඔවුන් උත්සාහ කළේ නැහැ. නමුත් සිවිල් සමාජ ව්‍යාපා­රය එය අබි­බවා ගොස් 2015 වෙන­සක් ඇති කළත්; අවා­ස­නා­වට ඒ රජ­යත් විවිධ මත­වාද දර­න්නන්ට යට වුණා. ආග­මික සංස්ථා අද දේශ­පා­ලන අව­කා­ශයේ බලය ලබා­ගැ­නීමේ ව්‍යාපෘ­තිය ජය­ගෙන තිබෙ­නවා. ඒක එහෙම වෙලා තියෙන්නේ මේ අස්ථා­වර දේශ­පා­ලන පසු­බිම නිසා. ඒ අස්ථා­ව­ර­ත්වය ගොඩ­නැ­ඟෙන්නේ පෙර සඳ­හන් කළ ව්‍යවස්ථා අර්බු­දය නිසයි. නිසි කලට, නිසි ලෙස ව්‍යව­ස්ථා­මය වෙනස නොකළ නිසාම පාර්ලි­මේ­න්තුව පිට­තින් වෙනත් බල­යක් නිර්මා­ණය වී තිබෙ­නවා. ඒ අනුව ආග­මික මත­වා­දය දර­න්නන් වෙනම බල­වේ­ග­යක් හැටි­යට මතු වී තිබෙ­නවා.

 

• මේ රජය ගොඩ­නැ­ඟීමේ එක මූලික අපේ­ක්ෂා­වක් වුණේ එක ආග­ම­කට පම­ණක් විශේ­ෂ­කොට සැල­කීම වෙනු­වට සියලු ආග­ම්ව­ලට සමා­නව සැල­කී­මයි?

ඔව්, අපේ මූලික අද­හස වුණේ නිරා­ග­මික ආණ්ඩු­වක් අපට අව­ශ්‍යයි කියන කාර­ණාව ඉදි­රි­යට ගැනී­මයි. ආගම් ඇදහීම හෘදය සාක්ෂි­යට අයිති දෙයක්. එය ජන­තා­වගේ අයි­ති­යක්. තමන් කැමති ඇද­හි­ල්ලක් වෙනු­වෙන් හැමෝ­ටම සමාන අයි­ති­වා­සි­කම් තිබෙ­නවා. නමුත් මුළු රටම එක ආග­ම­කට ප්‍රමු­ඛ­ත්ව­යක් දෙන: අනෙක් ආග­ම්ව­ලට සල­ක­නව කියන වග­න්තියේ තියෙන මේ ගැට­ලුව 1972 සිට පැවත එන ගැට­ලු­වක්. ඒක අද ලෙහා ගන්න බැරි­වෙලා තියෙන්නේ. මේ කාර­ණාව සම්බ­න්ධ­යෙන් අප රජය විවේ­චය කරන්න පුළු­වන්. නමුත් රජය ගත් ක්‍රියා­මාර්ග සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් කළ යුතුයි කියල එයින් කියැ­වෙන්නෙ නැහැ. මොකද මේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ගමන අප දිගට ම යා යුතුයි; පාර්ලි­මේන්තු ක්‍රම­ය­කට යායු­තුයි. සංහි­ඳි­යාව සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් තීන්දු තීරණ ගත යුතුයි.

 

• ඔබ ඔහොම කිව්වට ඕව කරන්න ගියාම අන්ත­ර්ජා­තික බල­පෑම්, එන්ජීඕ බල­පෑම් කියලා ඒවා විවේ­ච­න­යට ලක්වෙ­නවා. විශේ­ෂ­යෙන්ම විරුද්ධ පක්ෂයේ.

මේවා අන්ත­ර්ජා­තික දේවල් නෙමෙයි මානු­ෂීය දේවල්. මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­යම ඇති කළ උගත් පාඩම් කොමි­සම මඟින් ගෙනාපු කාරණා මෙතන තියෙ­නවා. ඒ වගේම 13වන සංශෝධ­න­යට එහා ගිය 13+ දෙනව කියල කිව්වා. නමුත් අව­ශ්‍ය­ වෙන්නේ 13වන සංශෝ­ධ­නය හරහා සම්මත වූ දේවල් භාවි­ත­යට ගෙන ඒමයි. ඒ බල­ග­න්වපු දෙය මේ රට තුළ නීති­යක් බවට පත්වෙන්න ඕන. නමුත් එය ක්‍රියා­ත්මක වීමට ඉඩ නොදෙන සමා­ජ­යක් මේ තියෙන්නේ. මේ නිසාම පළාත් පාලන ආය­තන සුදු අලි­යෙක් බවට පත්වෙලා තියෙ­නවා. ඔවුන්ට දේශ­පා­ල­නික වශ­යෙන් පැවැ­ත්මට තියෙන බලය දුර්වල කරල තමයි මෙය පිහි­ටු­වල තියෙන්නේ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒ අන්ත­ර්ජා­තික බල­පෑ­මක් නිසා­වත් එන්ජීඕ නිසා­වත් නෙමෙයි. මේ රටේ අප හැමොම එකා­වන්ව සම­ඟි­යෙන්, සතු­ටින් ජීවත් විය යුතු නිසා. ඒක මානු­ෂීය හැඟී­මක්. 2015 දී ප්‍රජා පීඩ­කයා ඉවත් කිරීම සඳහා කරපු සට­නේදී සංහි­ඳි­යාව ප්‍රශ්නය මුලට ආවේ නැහැ.

නමුත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කිරී­මත් එක්ක සංහි­ඳි­යාව නොමැති නම් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නඩත්තු කර­න්නත් බැහැ. ඒ නිසා සිංහ­ලයා සිංහ­ලයා අතර සංහි­ඳි­යා­වක් අව­ශ්‍යයි; සිංහ­ලයා හා අන්‍ය ජාතීන් අතර සංහි­ඳි­යා­වක් අව­ශ්‍යයි; පොදුවේ සියලු ම ජාතීන් අතර අනෝන්‍ය සංහි­ඳි­යා­වක් අව­ශ්‍යයි. නැත්නම් දෙමළ සිංහල ජාතීන් වෙත විත­රක් අව­ධා­නය යොමු කර­මින් සංහි­ඳියා ප්‍රශ්නය විස­ඳන්න බැහැ. ඒ නිසා සෑම පුර­වැ­සි­යෙක්ම තමාගේ ජීවි­තයේ වටි­නා­කම; ඒකට තියෙන බලය; තමන්ට ජීවත් වීමට තිබෙන අයි­තිය තහ­වුරු කරන සමා­ජ­යක් බවට මේ සමා­ජය පරි­ව­ර්ත­නය කළ යුතුයි. ඒ ශ්‍රී ලංකික ජාති­කයා අප තවම බිහි කළේ නැහැ; ඒ ව්‍යාපෘ­තිය අපට තව­මත් ඉතිරි වී තිබෙ­නවා. එය ඉතා ඉක්ම­නින් ම විස­ඳිය යුතු ප්‍රශ්න­යක්. මං හිතන්නේ ඒ හරහා තමයි අපට සංහි­ඳි­යාව යථා­ර්ථ­යක් බවට පත් කර ගත හැක්කේ. තමන්ගේ සංස්කෘ­තික අන­න්‍යතා, ඇද­හිලි හා විශ්වා­ස­වල අන­න්‍යතා තියා ගනි­මින්ම එක ජාති­යක් හැටි­යට නැඟී සිටින්න අපට පුළු­වන්ද? අද ඒ හිඩස නිසා තමයි එක එක අය යකඩ හස්ත දාල මේක හරි­ග­ස්සන්න ඕන කියල කියන්නේ. නමුත් ඒක එවැනි යකඩ හස්ත­ව­ලින් හදන්න පුළු­වන් කමක් නැහැ. ඒ දේ හදන්න පුළු­වන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යෙන් ම පම­ණයි.

 

• මේව­න­විට එක පක්ෂ­ය­කින් තමන්ගේ අපේ­ක්ෂ­කයා තෝරා­ගෙන අව­සන්. නමුත් ඔවුන් කට­යුතු කරන්නේ ජාති­වා­දය හා ආග­ම්වා­දය පද­නමේ තබා­ගෙන බවයි බොහෝ අය පව­සන්නේ. ඔබ සඳ­හන් කළ සංහි­ඳි­යාව ගොඩ­න­ඟ­මින් අනා­ගත ශ්‍රී ලංකික පුර­වැ­සියා

බිහි කිරී­මට මේ අයට පුළු­වන් ද?

ඒ අය එවැනි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ගම­න­කට නුසු­දුසු බව තමන්ගේ පවු­ලෙම කෙනෙක් අපේ­ක්ෂ­කයා ලෙස පත් කිරී­මෙන් ම පෙන්නුම් කර තිබෙ­නවා. පවු­ල්වා­දය හෝ පවුල් තන්ත්‍ර­යක් තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් තිබෙ­න්නට බැහැ. එතෙන ඇති­වෙන්න පුළු­වන් එක්කෝ වැඩ­ව­සම් එහෙම නැත්තම් පවුල් කේන්ද්‍රීය ප්‍රජා පීඩක ඒකා­ධි­පති පාල­න­යක් ව්‍යූහ­යක් පම­ණයි. අපට රාජ වංශ අහු­වෙන්නේ එත­නින් තමයි. අද බල­වත් වී සිටින්නේ රාජ­වං­ශය වෙනු­වට රාජ­ප­ක්ෂ­යයි. නැති වංශ­යක්; වංශ­යක් බවට පත් වීම තමයි මෙත­නදි වුණේ. ශ්‍රීනි­පය වැනි පක්ෂ දුර්වල කිරී­ම­ටත් හේතු වුණේ මේ පිළි­ලය; එහෙ­මත් නැත්තම් පිළි­කාව ශ්‍රීල­නී­පය තුළ වර්ධ­නය වීම නිසා. ඒනිසා එවැනි ගති­ක­යක් සහිත මේ රාජ­ප­ක්ෂ­යට එය වර්ධ­නය කර ජාතීන් අතර බෙදීම තව­ත­වත් තීව්‍ර කර­නවා හැර විස­ඳිය නොහැ­කියි.

 

• ශ්‍රීල­නී­ප­යට මේ පිලි­ළ­යෙන් ගැල­වී­මක් ඇත්තෙම නැද්ද?

මොකද නැත්තේ, හොඳ­ටම පුළු­වන්. මොකද තමන්ගෙ ශරී­ර­යෙන් මේ නරක සෛල දැන් ඉව­ත්වෙලා තියෙන්නේ. ඒ පිළි­කාව දැන් පොදු­ජන පෙර­මුණ විදි­යට එළි­යට ඇවිත් තියෙන්නේ. මේ තමයි සුව­පත් වෙන්න ඔවුන්ට ලැබුණු හොඳ ම අව­ස්ථාව. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ ශ්‍රීල­නී­පයේ ආර­ම්භක අර­මුණ වෙත ගමන් කිරී­මයි. ඒ තමයි පොදු මිනි­සාගේ අයි­තීන් වෙනු­වෙන් පෙනී සිටීම කියන කාර­ණය. එය නිවැ­ර­දිව තේරුම් ගැනීම ඔවුන්ගේ අයි­ති­යක්. එහි සභා­ප­ති­ව­රයා, ලේක­ම්ව­රයා හා දේශ­පා­ලන මණ්ඩ­ලය ඒ සඳහා කතිකා කළ යුතුයි. බලය රැක­ගැ­නීම කෙසේ වෙතත් ශ්‍රීල­නි­පය බිහි වූ දේශ­පා­ලන අර­මුණ වෙනු­වෙන් ඔවුන් පෙළ­ගැ­සී­මයි; මේ මොහොතේ වඩාත් ම යහ­පත් ක්‍රියා­මා­ර්ගය වන්නේ. එය අපේ රටේ අනා­ග­ත­යට අත්‍යා­ව­ශ්‍යයි. මොකද එජා­ප­යත් ශ්‍රීල­නි­ප­යත් තමයි මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක. මේ පක්ෂ දෙක එකි­නෙ­කා­ගෙන් විවේ­ච­නය වෙමින් පෝෂ­ණය වෙමින් පූර­ණය වෙමින් පැව­තියේ. නිසා එවැනි පසු­බි­මක් තියෙන පක්ෂ­යක් මරා­ගෙන උප­දින කෙහෙ­ල්ම­ල­කට ඉඩ­දෙ­න­වට වඩා මව රැක­ගැ­නීම වැද­ගත්. මව රැකු­ණොත් ඒ සෙවණේ දරු­වන් හැදේවි වැඩේවි. තමන්ගේ අන­න්‍ය­තාව රැක­ගැ­නීම සෑම පක්ෂ­ය­කට ම අව­ශ්‍යයි. තමන් අතට බලය හිමි වූ මෙහොතේ පටන් මහින්ද රාජ­පක්ෂ විසින් කළේ ශ්‍රීල­නි­පය විනාශ කිරී­මයි.

ඒ තුළ හිඳ එහි බලය අල්ල­ගෙන මහින්ද රාජ­පක්ෂ පක්ෂය බවට එය ගොඩ­නැ­ඟුවා. ඒ පක්ෂ­යට ආද­රය කරන කිහි­ප­දෙ­නෙක් නිසා අද යන්තම් හෝ පක්ෂය ඉති­රිවී තිබෙ­නවා. එනිසා ඉතාම බුද්ධි­මත් ව මේ අව­ස්ථාවේ ක්‍රියා කළ යුතු වෙනවා.

Comments