දේශපාලන අතපෙවීම් සිම්බාබ්වේ ක්‍රිකට් ගිලගනියි | සිළුමිණ

දේශපාලන අතපෙවීම් සිම්බාබ්වේ ක්‍රිකට් ගිලගනියි

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ඉකුත් ජූලි මස 18 වැනිදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එය මුළු ක්‍රිකට් ලොවම මවිතයට පත් කිරීමට හේතු වූයේය. එමඟින් දැන්වූයේ සිම්බාබ්වේ රාජ්‍යයට ක්‍රිකට් තහනමක් පැනවූ බවය. මෙම තීන්දුව ඒකමතිකව ගත්තේය.

මෙම තහනමට හේතුව ලෙසට අයි.සී.සී. විසින් සඳහන් කළේ සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයට එරටේ රජය විසින් දේශපාලන මැදිහත්වීම් කරන බවකි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැති රැස්වීම් කිහිපයකින් පසුවය.

“ඔවුන් සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් නිලවරණයක් පැවැත්වීමට සමත්ව නැහැ. එමෙන්ම ඔවුන් ක්‍රිකට් පරිපාලනයට රාජ්‍ය මැදිහත්වීමක් නොමැති බව සනාථ කළ යුතුයි.” ඉහත අයි.සී.සී. නිවේදනය මඟින් දක්වා ඇත.

මෙම තහනම නිසා සිම්බාබ්වේට අයි.සී.සී. විසින් පිරිනමන අරමුදල් නොලැබෙනු ඇත. එමෙන්ම අයි.සී.සී. විසින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට හෝ ඉසව්වකටත් සහභාගි වීමට අවස්ථාව නොලැබේ. එමෙන්ම කිසිඳු අයි.සී.සී. රැස්වීමකට සහභාගි වීමටත් ඡන්දය භාවිතා කිරීමටත් නොහැකිය.

ඉකුත් ජුනි මාසයේදී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් නිලවරණයක් පවත්වමින් නව නිලධාරි මඩුල්ලක් පත් කර ගත්තේය. එහෙත් එම නිලවරණය සාධාරණව පැවැත්ව‍ූයේ නැති බවට ඇතැම් පාර්ශව විසින් චෝදනා කළේය.

ඒ ගැන අවධානය යොමු කළ එරටේ එස්.ආර්.සි. (ක්‍රීඩා සහ විනෝද කටයුතු කොමිසම) විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළේය. අයි.සී.සී. විසින් එම තීරණය පිළිගත්තේ නැත. ඔවුන් සිම්බාබ්වේට ක්‍රිකට් තහනමක් පැනවූයේ ඒ නිසාය. වහාම පෙර පැවැති සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත ස්ථාපිත කළ යුතු බව අයි.සී.සී. විසින් සිම්බාබ්වේ රජයට දැන්වූයේය. ඒ සඳහා තෙමසක කාලයකුත් ලබා දී තිබේ.

එම කාලය තුළදී අයි.සී.සී. උපදෙස් ක්‍රියාත්මක නොකළහොත් අයි.සී.සී. විසින් සිම්බාබ්වේ සිය සාමාජිකත්වයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් කරනු ඇත. සිම්බාබ්වේ ක්‍රිකට් තහනමට දැඩි අවධානයක් යොමු වීමට හේතු වූයේ පූර්ණ සාමාජිකත්වය හිමි එමෙන්ම ටෙස්ට් වරම් සහිත රටකට එරෙහිව මෙවැනි තහනමක් අයි.සී.සී. විසින් පැනවූ ප්‍රථම වතාව මෙය වූ නිසාය.

“එස්.ආර්.සී. කමිටුව යනු මහජන ආයතනයක්. මම අයි.සී.සී. සමඟ එකඟ වන්නේ නැහැ. ඒ අයි.සී.සී. මෙම කමිටුව ගත් තීරණය රජයේ මැදිහත් වීමක් ලෙසට අර්ථ නිරූපණය කිරීම ගැනයි. එස්.ආර්.සී. රජයේ එකක් නොවේ. රජයේ සහ මහජන ආයතනයක් අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ ගැන මාධ්‍ය පවා වැඩි අවධානයක් යොමු නොකිරීම පුදුමයි. අයි.සී.සී. ගත් මේ තීරණය හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සම්පූර්ණයෙන් ම වළක්වනවා කියලා මම විශ්වාස කරනවා.”

හිටපු සිම්බාබ්වේ එක්දින ජගත් තරග නායකයකු වන ග්‍රාන්ට් ෆ්ලවර් එසේ පවසයි. හෙතෙම මේ වන විට පාකිස්තාන ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසට ක්‍රියා කරමින් සිටියි.

“අපි ඉවත් වන විටත් දක්ෂ යොවුන් ක්‍රීඩකයන් ඉදිරියට එමින් සිටියා. ඒ නිසාම රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගියා. නමුත් දැන් එවැනි තත්ත්වයක් නැහැ. දේශීය තරගාවලි පවා පවත්වන්න බැහැ. මේ නිසා ක්‍රීඩකයෝ වෙනත් රටවල ලීග් තරගවලට ක්‍රීඩා කරයි. ඒ ඔවුන්ගේ පවුල් බලා ගන්න ඕනෑ නිසා. මේ තහනම ලබා දීපු දිනය හරිම දුක්බරයි. වත්මන් හුඟාක් ක්‍රීඩකයෝ තවමත් තරුණයි. ඊට බ්‍රෙන්ඩන් ටේලර් සහ කයිල් ජාර්විස් වගේ අයත් වෙනවා. ඔවුන් මීට පෙරත් රට අතහැර ගිහිල්ලා යළි පැමිණිය ක්‍රීඩකයෝ. ඔවුන්ට තවමත් වෙනත් රටවල ක්‍රීඩා කරන්න පුළුවන්.” ග්‍රාන්ට් තවදුරටත් පැවසුවේය.

වත්මන් සිම්බාබ්වේ ක්‍රීඩා ඇමැතිවරිය ලෙසට කටයුතු කරන්නේ කර්ස්ටි කවෙන්ට්‍රිය. 35 හැවිරිදි (උපත 1983 සැප්තැම්බර් 16) ඇය එ‍රටේ ක්‍රීඩා ඉතිහාසයේ පමණක් නොව අප්‍රිකාවෙත් සාර්ථකම ඔලිම්පික් ක්‍රීඩා ශූරියයි.

කර්ස්ටි විශිෂ්ටතම පිහිනුම් ක්‍රීඩා ශූරියකි. ඇය ඔලිම්පික් ශූරියකි. ලෝක ශූරියකි. එමෙන්ම ලෝක වාර්තා හිමිකාරිණියකි. ඇගේ තරග ඉසව් වූයේ පසුපස ආර සහ කේවල (තනි) මෙඩ්ලිය. කර්ස්ටි සිය ක්‍රීඩා හැකියාව දියුණු කර ගත්තේ ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පිහිටි ඕබර්න් විශ්ව විද්‍යාලයෙනි.

ඇය 2004 සහ 2008 ඔලිම්පික් ක්‍රීඩා උලෙළවල් හීදී රන් 02, රිදී 04 සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වී සිටින්නීය. එමෙන්ම ලෝක ශූරතා කෙටි දුර රන් 04, ලෝකඩ 01, දිගු දුර රන් 03, රිදී 05ක් හිමි කර ගත්තාය. ඒ 2005 - 09 අතර කාලයේදීය. මීට අමතරව 2002 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදීත් ඇයට රන් පදක්කමකි.

ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසුව 2018 වසරේදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) ක්‍රීඩක කොමිසමේ සභාපතිනිය බවටත් තේරී පත්වූවාය. මේ අතර 2018 වසරේම සැප්තැම්බර් මාසයේදී සිම්බාබ්වේ රජයේ කැබිනට් ඇමැති ධුරයකුත් ඇයට ලැබුණාය. ඒ අනුව ඇය යොවුන්, ක්‍රීඩා, කලා සහ විනෝද කටයුතු ඇමැතිවරිය ලෙසට කටයුතු කරන්නීය.

සිම්බාබ්වේ රජයේ ක්‍රියාත්මක එස්.ආර්.සී. කමිටුව පත් කිරීමේ බලය පැවරී තිබෙන්නේ එරටේ ක්‍රී‍ඩා ඇමැති ධුරයටයි.

“මම අතිශයින්ම කණගාටුවට පත් වූවා අයි.සී.සී. තීරණය නිසා. මේ නිසා සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වන බලපෑමත් මට තේරෙනවා. ක්‍රීඩා ඇමැති තමයි එස්.ආර්.සී. පාලක මණ්ඩලය තෝරා ගන්නේ. එස්.ආර්.සී. යනු රජය නොවේ. සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ හොඳ පාලනයක් තිබිය යුතුයි. මං ඉදිරියේදී සිම්බාබ්වේ ජාතික කණ්ඩායම්වල නායක නායිකාවන් හමු වෙනවා.” කර්ස්ටි පැවසුවාය.

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට තහනමක් පැනවිමට අයි.සී.සී. විසින් ගත් තීරණය ගැන මත දෙකක් තිබේ. ඊට පක්ෂව අදහස් දක්වන පිරිස අතර ඉදිරියෙන් ම සිටින්නේ හිටපු ක්‍රීඩකයකු වන හෙන්රි ඔලොන්ගාය.

“මෙය සිදු වුනේ සිම්බාබ්වේ ක්‍රිකට් දුර්වල පරිපාලනය නිසයි. එහි ඇතැම් තීරණ නිසා විශාල ක්‍රීඩකයෝ පිරිසක් අපට අහිමි වුණා. ඊට කොලින් ඩි ග්‍රොන්ඩ්හොම්, ගැරී බැලන්ස්, ටොම් සහ සෑම් කරන් වගේ සිටිනවා.” ඔලොන්ගා පවසයි. කොලින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් අනුශූර නවසීලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකි. ගැරී සහ සෑම් එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරති. ටොම් මෙවර ලෝක ශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකි.

“සිම්බාබ්වේ රජය කිසිඳු ආකාරයකින් හෝ ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයට දේශපාලන මැදිහත්වීමක් කළේ නැහැ. අතුරු කමිටුව පත් කළේ රජයේ බලපෑමකින් තොරවයි. එය ස්වාධීන ආයතනයක් විසින් සිදු කළ දෙයක්. ක්‍රීඩා සහ විනෝද කටයුතු සම්බන්ධ කොමිසම (එස්.ආර්.සී.) ස්වාධීන ආයතනයක්. එය සමඟ රජයට සම්බන්ධයක් නැහැ. ඔවුන් තමයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිණිස අතුරු කමිටුවක් පත් කළේ. එය ස්වාධීන මහජන ආයතනයක්.” සිම්බාබ්වේ ක්‍රීඩා ඇමැතිවරිය වන කර්ස්ටි කවෙන්ට්‍රි වැඩිදුරටත් පැවසුවාය.

එස්.ආර්.සී.

එස්.ආර්.සී. හෙවත් ක්‍රීඩා සහ විනෝද කටයුතු කොමිසම 1991 වසරේදී පිහිටුවූයේ සිම්බාබ්වේ හි පාර්ලිමේන්තු පනතක් මඟිනි. ඊට සාමාජික සාමාජිකාවන් පත් කරනු ලබන්නේ ක්‍රීඩා ඇමැති හෝ ඇමැතිවරිය විසිනුයි. එසේ වුවත් එය කිසිසේත්ම රජයට සම්බන්ධ කොටසක් නොවේ.

එහි මූලිකම කාර්යයන් දෙකකි. එනම් සිම්බාබ්වේහි ලියාපදිංචි ක්‍රීඩා සංගම් නියාමනය කිරීමය. එමෙන්ම අදාළ සංගම් ඔවුන්ගේ ව්‍යවස්ථාවන්ට අනුව කටයුතු කිරීම සහතික කිරීමත්ය.

මෙවර සිම්බාබ්වේ ක්‍රිකට් නිලවරණය පැවැත්වූයේ ජුනි මාසයේදීය. එහිදී සභාපති ධුරයට තේරී පත්වුනේ ටාවෙන්ග්වා මුකුහ්ලානිය. හෙතෙම මීට පෙර එරටේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් විවිධ පරිපාලන තනතුරු දැරුවේය.

එස්.ආර්.සී. කොමිසම විසින් පසුව ටාවෙන්ග්වා ප්‍රමුඛ නිල මඩුල්ල ඉවත් කළේය. ඒ වෙනුවට ඩේව් එල්මන් බ්‍රවුන්ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කළේය. එල්මන් සිම්බාබ්වේ ක්‍රිකට් සංගමයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි.

අයි.සී.සී. ප්‍රතිචාරය

වත්මනදී අයි.සී.සී. සභාපති ධුරය දරනු ලබන්නේ ඉන්දීය ජාතික ශාෂාන්ක් මනෝහර් විසිනි. හෙතෙම (උපත 1957 සැප්තැම්බර් 29) වෘත්තියෙන් නීතිඥයෙකි. ඔහු 2008 - 11 සහ 2015 - 16 අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාය. 2015 සිට අයි.සී.සී. සභාපති ධුරය දරයි.

“අපි සාමාජික‍යකු තහනම් කිරීමට සැහැල්ලුවෙන් තීරණයක් ගන්නේ නැහැ. ඒ වුණත් දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් තොරව අපේ ක්‍රීඩාව නිදහස්ව තබා ගත යුතුයි. සිම්බාබ්වේ හී ඇති වූ සිදුවීම අයි.සී.සී. ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක්. එවැනි දෙයක් දිගටම සිදුවීමට ඉඩ දිය නොහැකියි.” මනෝහර් සිම්බාබ්වේ තහනම ගැන එසේ පැවසුවේය.

බොහෝ දෙනාට අනුව අයි.සී.සී. මෙවැනි තීරණයක් ගැනීමට හේතුව වන්නට ඇත්තේ ඔවුන් ක්‍රිකට් සංවර්ධනයට ලබා දෙන අරමුදල් සිම්බාබ්වේ රජයට පවරා ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙන බවට අයි.සී.සී. හට සැකයක් මතු වීමයි.

සිම්බාබ්වේ රජය මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින රටකි. මේ නිසාම රජයට මුදල් නැත. අයි.සී.සී. විසින් සිය සාමාජික රටවල පාලක මණ්ඩලවලට අරමුදල් ලබා දෙන්නේ ඇමෙරිකානු ඩොලර්වලිනි. එම මුදල් එරටේ රජය විසින් ලබා ගනු ඇති බවට අයි.සී.සී. හට බියක් ඇති වී තිබේ.

ඊට මූලිකව බලපෑවේ ක්‍රිකට් අතුරු කමිටුව පත් කළ සී.ආර්.සී. කොමිසමේ සභාපතිවරයා නිසාය. ඔහු නමින් ජෙරාල්ඩ් ම්ලොට්ස්හ්වාය. හෙතෙම නීතිඥයෙකි. එමෙන්ම එරටේ වත්මන් ජනාධිපතිවරයා වන එමර්සන් ම්නාන්ගාග්වාගේ (උපත 1942 සැප්තැම්බර් 15) බෑණනුවාය.

‍එමෙන්ම ඔහු දිගු කාලයක් සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකි. තවද ක්‍රිකට් පරිපාලනය සමඟ විවිධ ගැටලු ඇති වූ විට ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටිමින් අවශ්‍ය නීතිමය සහාය දෙනු ලැබු‍වේත් ම්ලොට්ස්හ්වාමය.

ගැටලු රැසක්

සිම්බාබ්වේට අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය හිමි වන්නේ 1992 වසරේදීය. එම වසරේදීම ඔවුන් මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙති. ඔවුන් 1983 වසරේ සිට එක්දින ජගත් තරගවලට ක්‍රීඩා කරති.

එර‍ෙට් නිත්‍යානුකූල ක්‍රිකට් පරිපාලනය සිදු කෙරෙන්නේ සිම්බා‍බ්වේ ක්‍රිකට් ආයතනය මඟින්ය. එය 2004 වසරේ සිට එනමින් හැඳින්වෙයි. ඊට පෙර හැඳින්වූයේ සිම්බාබ්වේ ක්‍රිකට් සංගමය නමින්ය.

2000 දශකයේ සිට එ‍රටේ ක්‍රිකට් ක්‍රීඩාවට කණකොකා හැඬ‍ුවේය. ඒ රජයේ සහ ක්‍රිකට් බලධාරින්ගේ ඇතැම් කටයුතුවලට ක්‍රීඩක‍යෝ විරෝධය දැක්වූ නිසාවෙනි.

2003 එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වන හිටපු නායක ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොන්ගා ක්‍රීඩා කළේ කළු පැහැති අත්පටි පැළඳගෙනය. ඔවුන් එසේ ක්‍රියා කළේ එවකට ජනාධිපතිවරයා වූ රොබට් මුගාබේ (උපත 1924 පෙබරවාරි 21) පාලනයට විරෝධය දැක්වීමටයි. ඒ සමඟම ඔවුන්ගේ ජගත් තරග දිවියත් අවසන් වූහ.

2004 වසරේදී තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක‍යෝ පිරිසක් ජගත් තරග දිවියට සමු දුන්හ. ඒ එවකට නායකයා වූ හීත් ස්ට්‍රීක්ව නායකත්වයෙන් ඉවත් කිරීමට එරෙහිවයි. මේ නිසාම යොවුන් ක්‍රීඩකයෝ පිරිසකගේ සේවය ජාතික කණ්ඩායමට ලබා දීමට එරටේ ක්‍රිකට් බලධාරින්ට සිදු වූහ. මෙම කණ්ඩායම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව හමුවේ දරුණු පරාජයන්ට ලක්වූහ. එහි ප්‍රතිඵලය වූයේ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම වසර කිහිපයක්ම ටෙස්ට් තරගවලට සහභාගි නොවීමයි.

එම වසරේදී ම එස්.ආර්.සී. විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීය. පසුව අතුරු කමිටුවක් මාස 06ක කාලයකට පත් කළේය.

2006 වසරේදී එස්.ආර්.සී. විසින් එවකට පැවැති එරටේ පළාත් ක්‍රිකට් පාලක මණ්ඩල 05ම විසුරුවා හැරීය.

2013 වසරේදී එස්.ආර්.සී. විසින් විශේෂ විධානයක් නිකුත් කළේය. එමඟින් දැක්වූයේ මින් ඉදිරියට ජාතික තේරීම් කමිටුවට පත් විමට හැකියාව ති‍ෙබන්නේ හිටපු ක්‍රීඩකයන්ට පමණක් බවයි.

අයි.සී.සී. තහනම හේතුවෙන් වැඩිම බලපෑමක් ඇති වී තිබෙන්නේ එ‍රටේ කාන්තා ජාතික කණ්ඩායමටයි. එහි ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් සහ පුහුණුකරුවෙක් ගෝලීය සංවර්ධන සංචියට තෝරා ගෙන තිබුණි. ඒ එංගලන්තයේ දී පැවැත්වෙන 20 - 20 තරගමාලාවක් සඳහාය. එහෙත් ඉහත තහනම නිසාම ඔවුනට එම දුලබ අවස්ථාවට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ නැත.

“මිලියන ගණනක් වන සිම්බාබ්වේ කතුන්ගේ ජීවිත වෙනස් කර ගැනීමට ලැබුණු ප්‍රවේශ පතක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. එය සති 03ක් වැනි කාලයකදී නැති වුණා. මට සමාවෙන්න. මම උත්සාහ කළා.” කාන්තා කණ්ඩායමේ නායිකාව වන මේරි ඈන් මුසොන්ඩා පැවසුවාය.

අයි.සී.සී. විසින් සිම්බාබ්වේට ක්‍රිකට් තහනමක් පැනවීමෙන් අනතුරුව බොහෝ ක්‍රීඩකයන් ජගත් තරගවලින් විශ්‍රාම ගනු ඇතැයි වාර්තා වේ.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සොලොමන් මීරේ දැනටමත් එසේ සමුගත් ක්‍රීඩකයෙකි. මීරේ (උපත 1989 අගෝස්තු 21) දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යැවීය.

ඔහු අන්තර්ජාතිකව 2014 සිට 19 දක්වා ක්‍රීඩා කළේය. එහිදී ටෙස්ට් තරග 02, ලකුණු 78, කඩුල්ලකි. එක්දින ජගත් තරග 47, ලකුණු 955, කඩුලු 12, උඩපන්දු 12කි. 20 - 20 ජගත් තරග 09, ලකුණු 253, කඩුලු 01, උඩපන්දු 02කි.

මෙම අර්බුදය නිසා ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෙවිය යුතුව තිබෙන වැටුප් පවා ඔවුනට ලැබී නැත.

ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අන්තර්ජාතික සම්මේලනයක් වේ. එය ප්‍රචලිතව තිබෙන්නේ ෆිකා හෙවත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනය නමින්ය. එහි වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන ටෝනි අයිරිෂ් විසින් ද අයි.සී.සී. හට විශේෂ ඉල්ලීමක් කළේය. ඒ ඔවුන් ගත් තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙසටයි.

“සිම්බාබ්වේ ක්‍රීඩකයන් හට වසර ගණනාවක් තිස්සේ විවිධ දුෂ්කරතා විඳ දරා ගැනීමට සිදුවුනා. ඒ සිම්බාබ්වේ ක්‍රිකට් නිසයි. දැන් ඔවුන්ට තවත් ගැටලුවක් ඇතිවෙලා.” අයිරිෂ් පවසයි.

ක්‍රීඩා ඇමැතිවරියට විශේෂ ඉල්ලීමක්

වත්මන් සිම්බාබ්වේ පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම්වල නායකයා සහ නායිකාව විසින් එ‍රටේ ක්‍රීඩා ඇමැතිවරියට විශේෂ ලිපි යොමු කරමින් ක්‍රිකට් අර්බුදය විසඳීමට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කර ඇත.

පිරිමි ජාතික කණ්ඩායමේ නායකයා වන්නේ හැමිල්ටන් මැසකඩ්සාය. හෙතෙම (උපත 1983 අගෝස්තු 09) වහාම මැදිහත් වීමක් කර මෙම ගැටලුව විසඳන ලෙසට සිය ලිපිය මඟින් ඉල්ලා තිබේ.

“වැදගත් ලෙස සටහන් කළ යුතුයි. අයි.සී.සී. තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පාලක මණ්ඩලය. ඔවුන් තීරණයක් ගෙන තිබෙනවා එය හරිද වැරදිද කියලා මේ මොහොතේදී වාද විවාද කිරීම තේරුමක් නැති දෙයක්. අපි ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා එස්.ආර්.සී. කමිටුවට ක්‍රීඩාවට තවත් අවස්ථාවක් ලබා ගැනීම සඳහා පැවැති පරිපාලනයම නැවත පිහිටුවන්න කියලා.” හැමිල්ටන් සිය ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සිම්බාබ්වේ කාන්තා ජාතික කණ්ඩායමේ වත්මන් නායිකාව වන්නේ මේරි ඈන් මුසොන්ඩාය. ඇය (උපත 1991 අප්‍රේල් 08) තම ලිපිය මඟින් ක්‍රීඩා ඇමැතිවරියෙගන් ඉල්ලා සිටින්නේ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සහ එස්.ආර්.සී. කොමිසම අතර පවතින ගැටලුව විසඳන ලෙසටයි.

මේ අතර එස්.ආර්.සී. මෙම සිදුවීමට අදාළව විශේෂ ප්‍රකාශයකුත් නිකුත් කර ඇත. “මෙම තහනම අවසන් කිරීමට එස්.ආර්.සී. හෝ අතුරු කමිටුව කළ යුතු දෙයක් නැහැ. අයි.සී.සී. විධාන අනුව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් මඟින් බව අවධාරණය කරනවා.”

මෙම තහනම සිම්බාබ්වේ විනිසුරුවන්ටත් බලපා තිබේ. සංචාරක ඉන්දීය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන තරගමාලාවේ විනිසුරුවරයකු ලෙසට තෝරා ගෙන සිටිය 34 හැවිරිදි ලැන්ග්ටන් රෂියර්ට එම අවස්ථාව අහිමි වී ඇත. ඔහු 2018 වසරේ 20 - 20 කාන්තා ලෝක කුසලාන අවසන් තරගයේ ප්‍රධාන විනිසුරුවරයකු ලෙසටත් ක්‍රියා කළේය.

Comments