එකම විසඳුම හතුරුසිංහ හතුරු කර ගැනීම ද? | සිළුමිණ

එකම විසඳුම හතුරුසිංහ හතුරු කර ගැනීම ද?

දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වූයේ පෙරළි රැසක් ඉතිරි කරමින්ය. එංගලන්තය හාපුරා කියා ක්‍රිකට් කිරුළ දිනා ගනිද්දි නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් අනුශූරයෝ වූහ. අවසන් මහා තරගයේ කුමාර් ධර්මසේන ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් ලෝකයේ ම අවධානය යොමු විය. මේ සියල්ල මෙසේ පෙළ ගැසෙන විට එකී තරගාවලියට එක්වූ රටවල ක්‍රිකට් පුහුණුකරුවන්ට ද දැඩි බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහට ද ඉන් ගැලවීමක් නොවීය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ධුරයෙන් හතුරුව ඉවත් කර රුමේෂ් රත්නායක කටයුතු කරන්නේ එවන් පසුබිමකය. හසල අත්දැකීම් ඇති රුමේෂ් රත්නායක මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඒ අනුව රුමේෂ්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ කටයුතු කිරීම එතරම් ගැටලුවක් නොවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ‍ග්‍රැහැම් ෆෝඩ්ගේ ඉවත්ව යෑමත් සමඟ මතු වූ ගැටලුකාරි තත්වය හතුරුගේ පැමිණීමත් සමඟ නිමා වනු ඇතැයි බොහෝ දෙනා සිතූ නමුත් එය පැවැති අර්බුද දිග්ගස්සන තැනට පත්ව ඇති බව පැහැදිලි විය. ග්‍රැහැම් ෆෝඩ්ගේ ඉවත් යෑමත් සමඟ නික් පෝතාස් එකී තනතුරට පත්වූ නමුත් බලධාරින්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් මත එකී කාර්යය අවුල් වූ බව නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යෑමට මත්තෙන් කළ ප්‍රකාශයෙන් පැහැදිලි විය. ඒ හා සමානම ප්‍රකාශයක් ‍ග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යෑමට පෙර කළ බව දනිමු. ෆෝඩ් මෙන් ම පෝතාස් ද නිරන්තරයෙන් ම අවධානය යොමු කළේ ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටින බවත් ඊට ඉහළින් එල්ලවන බලපෑම් මත තම රාජකාරිය හරියාකාරව කර ගෙන යාමට බාධාවක් වී ඇති බවය. ෆෝඩ් මෙන් ම ‍පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යෑමෙන් පසු එකම ගැලවුම්කරු ලෙස පිහිටට ආවේ හතුරුය.

හතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් විවිධ හැල හැප්පීම් මැද ඉදිරියට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමනට තිරිංග වැටුණාම නොවේ. නමුත් වැටි වැටි නමුත් පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වූ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථක වීමත් සමඟ ම එකී තරගාවලියේ දක්ෂතා අතරට නොයෑම සම්බන්ධයෙන් ද ඇඟිල්ල දිගු විය. එකී තත්ත්වය වර්ධනය වීමේ ප්‍රතිඵලය වූයේ හතුරු වෙනුවට රුමේෂ් සිංහ කිවි ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරුවා ලෙස වැඩ බාර ගැනීමය.

මේ අතර මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පවතින ගිවිසුම ගැන යළිත් සලකා බැලීමක් කළ යුතු බවය. ක්‍රීඩකයන්ට කියනවා නම් තරග දිනන විදියට, 50 - 100ක්, ගහන විදියට පඩි ගෙවනවා කියලා, ඒ වගේම පුහුණුකරුටත් ගෙවීම් කරන්න ඕනෑ කියන එකයි මම කියන්නේ. හතුරුසිංහට මාසයකට ඩොලර් 40,000/-ක් ගෙවනවා. අමතර කිසිම දෙයක් නැතුව. මේ ඩොලර් හතළිස් දහසෙන් පන්දාහක් - දහදාහක් කවුරු හරි ගන්නවා නම් ඒකට වග කියන්නේ කවුද? එහෙම දේවල් වෙන්න බැරි නැහැනේ. මේ දේවල් හොයා බලන එක වැරැදි දැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි. මේ අතර අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ හතුරුසිංහ අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් ද ගැටලු පවතින බවයි. හතුරුසිංහ ඉවත් වෙලා යනවා නම් එයාට ගෙවන්න ඕනෑ මාස තුනක වැටුප විතරයි. අපි එයාව යවනවා නම් අවුරුද්දක වැටුප් ගෙවන්න ඕනෑ. මේක පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ. මේ ගිවිසුම ගහපු කෙනාට කවුද අවසර දුන්නේ. ඒක ‍කළේ කොහොමද? දැන් හතුරුසිංහගේ ගිවිසුම සම්බන්ධයෙන් වැඩියෙන් ම අඬන්නේ කවුද කියන එක පැහැදිලියි. ඒකෙන්ම තේරෙනවා මේ ගිවිසුම අත්සන් කළේ කවුද කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හතුරුසිංහට සති දෙකක කාලයක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. මාධ්‍ය කියන කියන විදියට අපි කාවවත් එළවන්නේ නෑ. අපි ඒ අයගේ දක්ෂතා බලලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අපි අවුරුදු එකහමාරක කාලයක් පුහුණුකරුවාගේ දක්ෂතා දිහා බලලා තමයි මේ තීරණ අරගෙන තියෙන්නේ.

තුවාලයට පිළියම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉවත් කිරීම නොවන බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි. හතුරුසිංහ ගැටලුවේදී පරිපාලනය වැඩි වගකීමක් ගන්න ඕනෑ. මෙතැනදි ක්‍රීඩකයන්ටත් වගකීමක් තියෙනවා. පුහුණුකරුවාට වගේ ම පුහුණු කාර්යය මණ්ඩලයටත් වගකීමක් තියෙනවා. මේක සාමූහික වගකීමක්. පුහුණුකරුවාට විතරක් මෙතැනදි ඇඟිල්ල දිගු කරන්න බෑ. කොටින් ම මේක තුවාලයට පිළියම නොවෙයි කියන එක පිළිගන්න වෙනවා. මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ චන්දික හතුරුසිංහ අතර ඇති කරගෙන ඇති ගිවිසුම අනුව කල්පිරීමට පෙර ඉවත් කරන්නේ නම් වසරක වැටුපක් වන්දි මුදලක් ලෙස ගෙවිය යුතු බවය.

‍ෙම් අතර ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා ලොව විශිෂ්ටම පුහුණුකරුවන් රැසක් ම අයදුම් කර ඇති බවයි. එමෙන්ම හතුරුසිංහට ගෙවන වැටුපට වඩා අඩකට ඔවුන්ගේ සේවාව ලබා ගත හැකි බවය. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහටත් ප්‍රශ්න තිබුණා. එතුමාගේ කකුලෙන් ඇද්දා. එතුමාට ඕනෑ විදියට වැ‍ෙඩ් කරන්න දුන්නේ නෑ. එහෙම ප්‍රශ්නයකුත් තිබුණා.

තමන්ට එල්ලවන චෝදනා පිළිබඳ දැන ගන්නේ ද මාධ්‍ය හරහා බව මීට පෙර ප්‍රකාශකළ හතුරුසිංහ තමන් කටයුතු කරන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගැටලුවක් නොතිබූ බවද පවසයි. මාධ්‍යවල චෝදනා මට වලංගු නැහැ. මට වලංගු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගැටලුවක් තියෙනවා නම් විතරයි. එහෙම එකක් තියෙනවා නම් මං ඒ අය එක්ක සාකච්ඡා කරනවා.

--------------------

ක්‍රිකට් ව්‍යුහයේ වෙනසකට දේශපාලන කැමැත්ත වැදගත්

- සංගා

පසුගිය වසර කිහිපයේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දැඩි අරගලයක නිරත වූ බව සංගා පවසයි. නමුත් එකි අරගලය තව තවත් දියාරු වූවා මිස ඉදිරියට යාමක් නොවු බවද පවසයි.

පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු දල්වා ගෙන මහා වික්‍රමයක් පෑමට හැකි යැයි විශ්වාස කලද පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී මූලික වටයෙන්ම ඉවතට විසිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දින කිහිපයේ පුහුණුකරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පැවැති තුවාලය තව තවත් පෑරුණා මිසක් සුව අතට නොහැරුණු බව පවසන සංගා එහි දිගුවක් ලෙස දැන් පැවැත්වෙන නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කර තිබේ. ඒ හතුරුසිංහගේ සේවය අත්හිටු වීමෙන් පසුවය. ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුරක්ෂිත වීමට ආරක්ෂිත පරිසරයක් අවශ්‍ය බවද සංගා අවධාරණය කරයි. අවුල් ජාලාවක් මත කටයුතු කිරීම අපහසු බව පෙන්වා දෙන සංගා පුහුණුවීම් සඳහා හොඳම පහසුකම්, ක්‍රීඩා කිරීමට ආරක්ෂිත වටපිටාවක්, පරිසරයක්, ස්ථාවර තේරීම් ප්‍රතිපත්ති, වඩාත් හොඳින් පිරිපහදු කළ වඩා තරගකාරී දේශීය ක්‍රිකට් ව්‍යුහයක් අවශ්‍ය බවද පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයේ විශාල සැලසුම් අවශ්‍ය වන්නේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නව ව්‍යුහයක් සමඟ ඉදිරියට ගමන් කිරීමට බවද අවධාරණය කරයි. මෙය අන්තර් ජාතික ක්‍රිකට් පිටියට අත්‍යවශ්‍ය බවද පෙන්වා දෙයි.

දේශීය තරග පිටියේ ප්‍රමාණවත් දක්ෂතා ඇති බව විශ්වාස කරන සංගා එය දක්ෂතාවල අඩුවක් හෝ හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිගයක් නොවන බව ද අවධාරණය කරයි. බොහෝ දක්ෂතා වලින් පිරිපුන් ක්‍රීඩකයන් අතරින් කිහිප දෙනකු හෝ විශිෂ්ට ක්‍රීඩකයන් විය හැකි බව ද පවසයි.

එකී පණිවිඩය ඉහළ සිට පහළට ගලා යන ආකාරයට යෝග්‍යතාව, මානසික කුසලතාව, තාක්ෂණය වඩා වැදගත් අාකාරයෙන් යොදා ගැනීම ඵලදායක බවද පවසයි.

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව, අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාව, තේරීම් ප්‍රතිපත්ති, සහ වඩා යහපත් පරිපාලනය සඳහා තමා ඇතුළු මහේල සහ අරවින්ද ඉදිරිපත් කළ ක්‍රිකට් ව්‍යුහය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පවසන සංගා පවතින තත්වය වෙනස් කිරීමට දේශපාලන කැමැත්ත වැදගත් බවත් පවසයි.

-----------------

හතුරුසිංහ ලෝකයේ හොඳම පුහුණුකරුවන්ගෙන‍් කෙනෙක්

- තිලංග සුමතිපාල

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වන්නේ පෞද්ගලික ගිවිසුමක් හරහා. අපි ආරාධනා කරලයි හතුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් බාර දෙන්නේ. එහෙම කරලා ඉවර වෙලා අද එයාගේ වැටුප ගැනයි, කරන වැඩ ගැනයි ප්‍රසිද්ධියේ කතා කරන එක සම්පූර්ණයෙන් ම වැරැදියි. ඒ වැඩේ කැතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරම් පහත් මට්ටමකට වැටිලා කතා කරන එක නින්දිතයි.

හතුරුසිංහ කියන්නේ අද ලෝකයේ හොඳ ම පුහුණුකරුවන් 3 - 4 දෙනා අතර ඉදිරියෙන් ම ඉන්න කෙනෙක්. බංග්ලාදේශ කණ්ඩායම උපරිමය තලයකට ගෙනාපු කාලයක තමයි අපේ ආරාධනය පිළිඅරගෙන ඔහු රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්නේ. එහෙම කෙනෙකුට රට සලකන්නේ මෙහෙම නම් ඒ මිනිස්සු මොනතරම් පහත් මට්ටමකට වැටිලාද කියලා තේරුම් ගන්න අමාරු නෑ.

අද අපි කුමාර් ධර්මසේන, රන්ජන් මඩුගල්ලේ වගේම සංගා ගැනත් මහත් ආඩම්බරයකින් කතා කරනවා. එහෙම ලෝකයම පිළිගත් තව කෙනෙක් විදියට තමයි අපි හතුරුසිංහ හඳුනා ගන්නේ. මේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිස ගැන මොන තරම් ආඩම්බර වෙන්න ඕනෑද? ඒත් අපි අද කරන්නේ මොන තරම් තුට්ටු දෙකේ වැඩද කියන එක හතුරුසිංහගේ සිද්ධියේදී පැහැදිලියි. මේවා දිහා ලෝකයම බලා ගෙන ඉන්නවා.

Comments